යන්නෙ කොහෙද? මල්ලෙ පොල්!

Wednesday, March 25, 2009
රටක් දියුණුවෙන්න, මිනිහෙක්ට දියුණුවෙන්න නම් මොනවද ඕනෙ? අද අපිට එදිනෙදා හමුවෙන, පත්තරවල, ටී.වී. එකේ දකින්න ලැබෙන සියලුම සමාජ පංති වලට අනුව නම් දියුණුවෙන්න අත්‍යවශ්‍යම දේ තමයි ඉංග්‍රීසියි, ජාත්‍යන්තරයයි. (මේක international level, international market, international standard ආදී විවිධ නම් වලින් හඳුන්වනවා.) හැබැයි මට නම් ඒක ප්‍රශ්නයක්! දැන් ඔය ලෝකෙ දියුණුයි කියල කියන ජාතීන් දිහා බැලුවම ඒ ප්‍රශ්නෙ තහවුරු වෙනවා.
ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ජපානය, චීනය, රුසියාව හා මැද පෙරදිග රටවල් මුළු ලෝකෙන්ම දියුණුම රටවල් විධියටනෙ පිළිගන්නෙ. ඒ වුනාට ඒ එක රටක්වත් තමන්ගෙ මව් භාෂාවට ඇර වෙන භාෂා වලට ප්‍රමුඛත්වයක් දෙන්නෙ නෑ. ඒ වගේම මේ රටවල උසස් අධ්‍යාපනය තියෙන්නෙත් තමන්ගෙ මව් බසෙන්. ඇමරිකාව, එංගලන්තය තමන්ගෙ මව් භාෂාව වන ඉංග්‍රීසි පාවිච්චි කරනවා (ඒ වගේම ඒක මුළු ලෝකෙටම පතුරුවනවා), ප්‍රංශය වැඩ කරන්නෙ ප්‍රංශ බසෙන්, ජර්මනියෙ තියෙන්නෙ ජර්මන් භාෂාව, ජපන්නු වැඩ කරන්නෙ ජපන් භාෂාවෙන්, චීන්නු පාවිච්චි කරන්නෙ චීන භාෂාව, රුසියාවෙ වැඩ කරන්නෙ රුසියානු භාෂාවෙන්, මැද පෙරදිග රටවල් පාවිච්චි කරන්නෙ අරාබි භාෂාව. මොකද ඒ රටවල මිනිස්සු දැනගෙන හිටියා තමන්ගෙ දේ අමතක කරල පිට දෙයක් බදාගෙන තමන්ට කවදාවත් නැගිටින්න බැරි බව. තමන් කව්ද කියල අමතක කරල පිට දෙයක් වැලඳගෙන ඕනෙමනම් ටික කාලයක් රජා වගේ ඉඳියි. හැබැයි ඉතින් ඊට පස්සෙ වැටෙන වල කොච්චර ගැඹුරුද කියල වැටුනට පස්සෙ තමයි තේරෙන්නෙ.
බොරු කියන්න ඕනෙ නෑනෙ ඉංග්‍රීසි කියන එක යටත් විජිත කාලෙදි, බ්‍රිතාන්‍යයන්ට අපිව පාලනය කරන්න ලේසි වෙන්න අපි මත බලෙන් පටවපු දෙයක්නෙ. හැබැයි ඉතින් ඒ ඉංග්‍රීසියි, ජාත්‍යන්තරයයි මත්තෙම නහින්න හදන ජාතියක් දැක්කම දුකත් හිතෙනවා, අනික් අතට හිනත් යනවා. බ්‍රිතාන්‍යයන්ට අධිරාජ්‍යය පවත්වාගෙන යාම සඳහා ඉංග්‍රීසි ව්‍යාප්ත කිරීමත්, මිශනාරි ව්‍යාපාරවල සාර්ථකත්වයත් බෙහෙවින් ඉවහල් විය. කිමද වෙනස් භාෂා, වෙනස් ආගම්, වෙනස් සංස්කෘතීන්ට අයත් ජන සමූහයන් පාලනය කිරීමේදී යොදා ගත යුතු ක්‍රම ශිල්ප විවිධ වීමත්, ඔවුන්ගේ අවශ්‍යතා හා ක්‍රියාකාරකම් විවිධ විමත් නිසා පාලනය අපහසු හා වියදම් අධික වේ. නමුත් සියලු දෙනා එක් භාෂාවක්, එක් ආගමක්, එක් සංස්කෘතියක් යටතට ගත් විට පාලනය පහසු හා ලාබදායී වේ. ගෝලීය ආර්ථිකය, ගෝලීය සංස්කෘතිය වැනි සංකල්ප මඟින් ඉටුකරන්නෙත් බලෙන් ඉටු කරගැනීමට නොහැකි වූ ඉහත කරුණුමය.
අධිරාජ්‍යය සමය තුල අධිරාජ්‍යවාදීන් විසින් අපගේ දැනුම් වල සාරය උකහාගැනීමෙන් පසුව මුල් දැනුම, මූලාශ්‍ර සමගම විනාශ කර දැමීමට කටයුතු කළහ. (මේවා අදටද විවිධ වේශයෙන් ක්‍රියාත්මක වේ) මෙමගින් අධිරාජ්‍යයට යටත් ජාතීන් මුලුමනින්ම අධිරාජ්‍යයෙන් යැපෙන්නන් (බඩට කෑමත්, ඔළුවට දැනුමත් පිටින් ආනයනය කරන්නන්) බවට පත්වීම තහවුරු කරන ලදී. අපේ දැනුම ඉදිරි පරම්පරා වලට සම්ප්‍රේෂණය වුනා නම් සීගිරිය, රුවන්වැලි සෑය, යෝධ ඇළ පමණක් නොව දඬු මොණරය වැනි නිර්මාණ පවා අද වන විට අපට ස්වාධිනවම නිර්මාණය කිරීමට හැකි වනු ඇත. නමුත් අද අපි කරන නිර්මාණ සියල්ලම පාහේ කරන්නේ බටහිර දැනුම හෝ දැනුම ආකෘති(model) මතය. එනම් අද අප ඉගෙන ගන්නා ගණිතය, විද්‍යාව, සමාජ අධ්‍යයනය, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ආදී සියල්ලම පාහේ බටහිර දැනුම හා බටහිර ආකෘති මත නිර්මාණය කෙරුණු දැනුම වේ. නමුත් අතීතයට සාපේක්ෂව දැන් තත්වය වෙනස්. දැන් ඔවුන් දියුණුයි. අපි නොදියුණුයි. (සාපේක්ෂව) ඒක පිළිගන්න අකමැති වුනාට පිළිගන්න වෙනව. හැබැයි අපි තාමත් පරක්කු නෑ. අපිට තාම අවස්ථාව තියෙනවා. අපිට අපි විධියටම නැගිටින්න පුළුවන්. ඒකට ඉංග්‍රීසියි, ජාත්‍යන්තරයයි කියන්නෙ අත්‍යාවශ්‍ය සාධක නෙවෙයි. අප මෙයින් කීමට උත්සාහ කරන්නේ පිටින් එන දැනුම ප්‍රතික්ෂේප කල යුතුය යන්න නොවේ. අප පවසන්නේ සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම තුලින් ඒ දැනුම මෙරටට ගැලපෙන ආකාරයකට පරිවර්තනය කර ලබා ගත යුතු බවයි. අප ප්‍රතික්ෂේප කරන්නේ පිටින් එන දැනුම (විද්‍යාත්මක දැනුමද ඇතුළුව) කිසිදු වග විභාගයකින් තොරව “ගෙඩිය පිටින්” වැළඳ ගැනීමයි. ලෝකය තුල දේශපාලන අධිපතිවාදයටත් වඩා ඉතාමත් දරුණු ලෙස දැනුම පිළිබඳ අධිපතිවාදයක් (බටහිර විද්‍යාවන් ඇතුළු බටහිර දැනුම සම්බන්ධව) ක්‍රියාත්මක වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අපගේ පාරම්පරික දැනුම පවා බටහිර විද්‍යාවට අනුව විද්‍යාත්මක දැයි බැලීමට අප පෙළ‍ඹෙන්නේ (පොළඹවන්නේ) එබැවිනි.
කෙසේ නමුත් තවම ලංකාවෙ උසස් අධ්‍යාපනයවත් හරියකට මව් බසෙන් උගන්නන එකක්යැ. (විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වල) ඒ කෙසේ වෙතත් දැන් වන විට රටේ පිළිගත් ජනප්‍රිය සිංහල මාධ්‍ය පාසල් බොහෝ ප්‍රමාණයකම කුඩා පංතිවලදීම (5-6-7 වසර වලදී පමණ) පරීක්ෂණයක් පවත්වා තෝරා ගන්නා දක්ෂ ළමයින්ට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනවා. විහිළුවට කරුණක් නම් සමහර පාසල් වල ළමයින්ට කිරිබත් පවා හැඳි-ගෑරුප්පු වලින් කන්න පුරුදු කිරීමයි. එමෙන්ම අද ළමුන්ට අපේ “සිරිත්-විරිත්” නොඋගන්වන වැඩිහිටියෝ ඒ වෙනුවට බටහිරයින්ගේ “manners” ද “හය-හතර” උගන්වනු වෙනුවට “angels and demons” ගැන ද උගන්වති. එමඟින් රටේ අනාගතය බාරගන්නා දක්ෂයින් මව්බසෙන් හා තමන්ගේ රටේ සංස්කෘතියට අනුව කටයුතු කිරීමට නොදත් පිරිසක් බවට පත් වෙනවා. මේවා සමහර විටෙක කාගේ හෝ උවමනාවකට හෝ මව්බසෙහි හා සංස්කෘතියෙහි වැදගත්කම නොදත් අය විසින් කරන ක්‍රියා වේ. එමෙන්ම ඇතැමෙකුට අප රටේ ඉතාමත් ඈත අතීතයේ පටන් පැවතෙන අපගේ හරවත්/ශිෂ්ට සිංහල-බෞද්ධ සංස්කෘතිය, බංකොලොත් බටහිර සංස්කෘතියකින් ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍යව ඇත. (බටහිරයිටද හොඳ සංස්කෘතීන් පවතී. නමුත් එවන් සංස්කෘතීන්ට අන්අයට ලංවීමට නොදෙන ඔවුන් ඔවුන්ගේ බංකොලොත් සංස්කෘතික අංග අප මත බලෙන් පටවති.) රටක ජනතාව අනෝන්‍ය වශයෙන් එකිනෙකාට බැඳ තබන්නේත්, රටක පදනම වනුයේත් රටේ ආර්ථික හෝ දේශපාලන පසුබිම නොව රටේ සංස්කෘතියයි. රටක සංස්කෘතිය බංකොලොත් කිරීමෙන් රටේ ආර්ථීක, දේශපාලන හා සමාජයීය පද්ධතීන් සහමුලින්ම උදුරා දැමිය හැක. මෙම කරුණු, විනාශ කර දමා ඇති (බටහිර දැනුම ආධිපත්‍යය මඟින්) පෙරදිග සමාජ විද්‍යාවන්ට කෙසේ වෙතත් අප හිස් මුදුනින් පිළිගන්නා (පිළිගැනීමට පුරුදු කර ඇති) බටහිර සමාජ විද්‍යාවන්ට පැහැදිලි කල හැකිද යන්නද සැක සහිතය.
වසරකට රුපියල් කෝටි ගණනක අති විශාල වියදමක් දරා ශ්‍රී ලංකාවේ නිදහස් අධයාපනය ලබා දෙන්නේ, ඒ සමගම ඒ අධයාපනය ලබන පුද්ගලයින්ගෙන් රටට යම් සේවයක් බලාපොරොත්තුවෙනි. නමුත් යම් පුද්ගලයෙක් රටට සේවය කිරීමට නම් ඔහු හෝ ඇය රටේ සංස්කෘතියට හා භාෂාවට අනුව කටයුතු කිරීමට දැන සිටිය යුතුය. නමුත් දැන් ලබාදෙන (හා ඉදිරියේදී දැඩිව ලබාදීමට උත්සාහ කරන) බටහිර/ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් එය ඉටුවෙනවා දැයි අපට බලවත් සැකයක් පවතී.
එමෙන්ම ලංකාවේ සිංහල නොවන බහුතරයකට තවමත් ඉංග්‍රීසියට වඩා සිංහල භාවිතා කිරීමට හැකිය. එනිසා ලංකාව තුල අන්තර් භාෂාව ලෙස ඉංග්‍රීසිය නොව සිංහල භාවිතා කල යුතු බව අපගේ වැටහීමයි. අප හට ඇති ගැටළුව නම් ලංකාව මෙලෙස බටහිර/ඉංග්‍රීසි රටක් බවට පත්කිරීමට උත්සාහ කරන්නේ කාගේ උවමනාවටද යන්නයි; එය දේශප්‍රේමීන්ගේ උවමනාවක් නම් විය නොහැක.
විවිධ මූලාශ්‍ර වලින් දැනුම එක්රැස් කර ඒවා තමන්ගේ දැනුම බවට පත්කරගෙන, එමගින් දියුණුවීමට බටහිරයන් සමත් බව කීම අතිශයෝක්තියක් නොවේ. ඉංග්‍රීසීන් පිටතින් ලබා ගන්නා දැනුම ඒ ආකාරයෙන්ම භාවිතා නොකර තමන්ගේ බසට හරවා එය තමන්ගේ බවට පත් කරගනී. උදාහරණයක් ලෙස කළමනාකරණය හා අද භාවිතා කරන ගණිතයෙහි පදනම් කොටස් පවා බටහිරයන් පෙරදිගින් උකහා ගත් දැනුමෙහි වේ. නමුත් අද අපට මේවා ඉගෙනගන්නට සිදුවී ඇත්තේද ඉංග්‍රීසියෙනි. ඉතින් මෙතන කුමක් හෝ වැරැද්දක් සිදුවී ඇති බව කිසිවකුටත් නොපෙනේද? නමුත් කනගාටුදායක කරුණ වනුයේ දැන් අපේ අයද කරනුයේ එයම වීමයි. එනම් ඉංග්‍රීසියෙන් ඇති දැනුම සිංහලට හැරවීම වෙනුවට තවමත් බටහිරකරණය නොවූ අපේ පාරම්පරික දැනුම සොයා ගොස් ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමයි. එමෙන්ම දුප්පත් රටවලට අනුකම්පාවෙන් බටහිරයින් කිසිදිනෙක ස්වභාෂාවෙන් ඉගෙනීමට ආධාර දෙන්නේද? නැත. ඔවුන් ආධාර උපකාර සියල්ල කරන්නේ ඉංග්‍රීසියෙන් ඉගැන්වීමටය. කිමද එමගින් අප රටවල බිහිවන ඉංග්‍රීසි උගතුන් green card, ශිෂ්‍යත්ව වැනි ක්‍රම මගින් බටහිර රටවලට ගෙන්වාගෙන බටහිරට සේවය කරන්නන් බවට පත් කිරීමට හැකි වීමයි. උදාහරණයක් විධියට NASA වැනි ආයතන වල සේවය කිරීමට මෙරට කොතෙකුත් උගත් පිරිස් උත්සාහ කරත්ද? නමුත් එවැනි ආයතනයන් හි සේවය කරන මෙරට පුද්ගලයෙකු නිර්මාණය කරනා විශිෂ්ට නිර්මාණයකින් සතයක හෝ සෙතක් (මුදලින් නොව දැනුමෙන්) මෙරටට ලබාදීමට එම රටවල් ඉඩ ලබාදේද? නැත. දැනුම ඔවුන්ට මහඟු සම්පතකි. තම රටවල නිර්මාණය වන දැනුම ඔවුන් කිසි විටෙකත් පිටතට නොදෙයි. කිමද දියුණුවීමට අවශ්‍ය දැනුම මිස මුදල් නොවන බව ඔවුන් දනිති. වටිනා දැනුම පිටට යාම වැළැක්වීමට දියුණු රටවල නීති පවා දැඩිලෙස ක්‍රියාත්මක වේ. නමුත් දුකට කරුණ නම් අපි හැමවිටම අපේ දෙයින් ප්‍රයෝජනයක් නොගෙන පිටට දීමට (විකිණීමට හෝ විටෙක නොමිලේම දීමට!) උත්සාහ කිරීමයි. මෙයට රාජ්‍ය මට්ටමින් විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව උදාසීන ප්‍රතිපත්ති අනුගමනය කිරීමත් එක් හේතුවක්. කෙසේ නමුත් මේතාක් කාලයකට අපේ රටේ ප්‍රවර්ධනය වුනේ ව්‍යාපාරිකයින් පමණයි යන්න කණගාටුවෙන් වුවත් කිව යුතුමය. මුළු රටම ගායකයොයි, නැට්ටුවොයි කරන්න වෙර දරන සමහර මාධ්‍ය ආයතන උගත්තු බිහි කරන්න උත්සාහ නොකිරීමත් කනගාටුවට කාරණයක්. තමන්ට රට වෙනුවෙන් කැක්කුම ඇති බව පෙන්වීමට (තමන් කරන “අනෙක් වැඩ” වසා ගැනීමට) කරන බොරු රඟපෑම හැරුණු විට මොවුන් කිසිවක් නොකරයි.
ඔබ කවදා හෝ ඉංග්‍රීසි නොදත් ඉංග්‍රීසි ජාතිකයෙක් ගැන අසා තිබේද? එනමුත් සිංහල නොදත් සිංහලයින් අප අතර කොතෙකුත් සිටීම කෙතරම් ලැජ්ජාවට කාරණයක්ද? ඒ වගේම තාම ලංකාවෙ එක පර්යේෂණයක් වත් සිංහලෙන් කරනවද? වෛද්‍ය විද්‍යාත්මක වේවා, භෞතික විද්‍යාත්මක වේවා, කෘෂිකාර්මික වේවා ඔය ඔක්කොම පර්යේෂණ පත්‍රිකා කරන්නෙ ඉංග්‍රීසියෙන්නෙ. මහා කෘෂිකාර්මික ජාතියකට මේ වන විට කෘෂිකාර්මික පර්යේෂණයක පත්‍රිකාවක් වත් තමන්ගෙ භාෂාවෙන් කරගන්න බැරි එකේ අනික් ඒව ගැන මොන කතාද?
සාමාන්‍යයෙන් සමාජයේ ඉංග්‍රීසි වලට කඩුවක් කියලනෙ කියන්නෙ. (මෙවන් ප්‍රකාශ “සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා” වැනි “බටහිරයින් උසස්, අප පහත්” වැනි අදහස් ඉස්මතු කිරීම සඳහා නිර්මාණය කෙරී ඇති බව අපගේ හැඟීමයි.) හැබැයි අපට නම් ඉංග්‍රීසි කියන්නෙ රත්තරනින් හදල, මැණික් ඔබ්බපු මොට්ට පිහියක්, එතකොට සිංහල කියන්නෙ යකඩෙන් හදල මුවහත තියපු හොඳට කැපෙන කඩුවක්. හැබැයි ඉතිං ලස්සනට තියෙන හිංදයි, හරි ගණං හිංදයි ගොඩ දෙනෙක් බදාගන්න හදන්නෙ වැඩි දෙයක් කරන්න බැරි මොට්ට පිහිය. මේක ඉතිං කොච්චර කිව්වත් සමහරුන්ට තේරෙන්නෙ නෑ, සමහරුන්ට තේරුම්ගන්න අවශ්යරතාවයකුත් නෑ, සමහරුන් තේරිලත් නොතේරුනා වගේ ඉන්නවා (එක්කො තමන්ගෙ තත්වෙ බහියි කියල එහෙම නැත්නම් තමන්ට ලැබෙන "කුට්ටිය" අඩු වෙයි කියල).
භාෂාවක් අවශ්‍ය එකිනෙකා අතර සන්නිවේදනය කරන්න. භාෂාවක ශක්තිය මැනිය යුත්තේ භාවිතයේ සරල/ පහසු බව, විශ්වසනීයත්වය (ඒ කියන්නෙ කාලෙන් කාලෙට භාෂාවේ මූලික සැකැස්ම වෙනස් නොකිරීමේ අවශ්‍යතාවය), නිරවුල් බව හා එකිනෙකාට අවබෝධ කර ගැනීමේ පහසුව, අවශ්‍ය දෙය අවශ්‍ය ලෙසටම පැවසීමේ හැකියාව ආදී අනෝන්‍ය සන්නිවේන ගුණාංග වලිනි. එහෙම බැලුවහම සිංහල, ඉංග්‍රීසි වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ. ඉංග්‍රීසි එක්ක බැලුවම සිංහල ඊට වඩා සරලයි වගේම සංකීර්ණයි. ඒ කියන්නෙ බස හැසිරවීමේ පහසුව, නම්‍යශීලීත්වය වගේ කරුණු වලින් සිංහල භාවිතය සරලයි;පහසුයි. ඒ වගේම කතා කල හැකි සියළුම ශබ්ද වාගේ භාවිතා කරමින් සංකීර්ණ සන්නිවේදන අවශ්‍යතා ඉටු කර ගැනීම අතින් සිංහල ඉංග්‍රීසි වලට වඩා ගව් ගානාක් ඉදිරියෙන් ඉන්නෙ. ඒක හිංදයි සිංහල පුළුවන් මිනිහට දිව ඕන අතකට හරවන්න පුළුවන් කියල කියන්නෙ.
ඉතිං ඇයි මේ කැපෙන කඩුව පැත්තකට දාල මොට්ට පිහියක් බදාගෙන දඟලන්නෙ? ඉංග්‍රීසි ඉගෙනගත්තට කමක් නෑ. හැබැයි ඒ ඉංග්‍රීසීන් එක්ක සන්නිවේදනය කරන්නයි, ඉංග්‍රීසියෙන් තියෙන දැනුම ලබාගෙන ඒවා තමන්ගෙ බවට පරිවර්තනය කරගන්නයි. නැතුව “සුද්දො වගේ සැපට” ඉන්න ඕනෙ හිංදා ඉංග්‍රීසි ඉගෙනගන්නවා නම් ඒක මහා විහිළුවක්. (බොහෝ දෙනෙකු "සිංහල වීම" හීනමානයක් විධියටයි දකින්නේ!) ඒ නමුත් ඉංග්‍රීසි ජාතිකයන්ට සිංහලයින් එක්ක සන්නිවේදනය කරන්න ඕනෑ උනාම ඔවුන් කරන්නේ තමන් සිංහල ඉගෙන නොගෙන සිංහලයින්ට ඉංග්‍රීසි උගන්නන එකයි. හැබැයි ඉතිං ඉංග්‍රීසි කතා කරන, ටයි-කෝට් අඳින, හැඳි ගෑරුප්පු වලින් කන මිනිහට “මහත්තයා” කියන, සිංහල කතා කරන, සරමයි කමිසෙයි අඳින, අතින් කෑම කන මිනිහට නිකම්ම නිකම් “මිනිහ” කියන සමාජයක මේව ගැන මොන කතාද?
අපි නිදහස් ජාතියක් කියල මහ ලොකුවට ලෝකෙට කිව්වට අපි මානසිකව වහල් ජාතියක්. ඒ වගේම මේ මානසික වහල් බව ඇ‍හඟෙන් පිළිකාවක් ඉවත් කරනවා වගේ ඉක්මනට හා බොහොම පරිස්සමෙන් ඉවත් කල යුතුමය. ස්වභාෂා භාවිතයෙන් පමණක් රටක් ගොඩගත හැකි බවක් අප මෙයින් අදහස් නොකරමි. ඒ සඳහා තවත් කරුණු රාශියක් එක් රැස් විය යුතුය.(ඒවා ගැන පස්සේ කතා කරමු) එහෙත් ස්වභාෂා භාවිතය එයින් එක් වැදගත් කරුණක් වන්නේය. මව්බසට ලැබිය යුතු තැන වෙනත් බසකට ලබාදෙන්නා මහා ගුණමකුවකු ලෙස අප දකින්නෙමු. එවන් පුද්ගලයෙකුගෙන් අනෙක් කරුණු සම්බන්ධව සාධාරණ කිසිවක් අපේක්ෂා කල හැකිද යන්න ප්‍රශ්නයකි. හැබැයි ඔය මොනව කලත් “අලුත් දේ නොකරන ජාතිය ලොව නොනගී” කියලයි “මුල මතක නැති මිනිහට කවදාවත් හරි යන්නෑ” කියලයි අපේ පැරැන්නෝ කිව්වෙ කට කහනවට නෙවෙයි කියල මතක තියා ගත්තොත් හොඳයි.

5 ක් වූ ප්‍රතිචාර:

Indika said...

ලංකාවේ අපි වලිගෙ පාග ගෙන. සිංහල සහ දෙමළ තමයි අපේ රාජ්‍ය භාෂා. ලංකාව ඇතුලේ ඒව පාවිච්චි කරන්න විවස්තාවෙන්ම හැකියාව තියෙනවා. නමුත් ජාත්‍යන්තරයත් එක්ක වැඩ කරද්දි සම්බන්ධිකරන භාෂාව ලෙස ඉංග්‍රීසි පාවිච්චි කිරීම ලොව සියලු රටවල් සම්මතයක් ලෙස පිලි ගන්නවා. යුරෝපයේ සුද්දන්ගෙන් 90% කම මව් භාෂාව ඉංග්‍රීසි නොවේ. උන්ගෙත් අපේ වගේම ඉංග්‍රීසි චතුර නැහැ. ඒත් උන්ට හිනාවෙන්න තරම් ඉංග්‍රීසි කාරයෝ මෝඩ නැහැ. මගෙ මතය නම් ආයුද දෙකම ඉගෙනගෙන සුදුසු තැනට සුදුසු එක පාවිච්චි කරන එකයි. ඒකේදි සංස්කෘති පටලගත්තොත් නම් අල තමයි.

-බිன்ku- said...

"ලංකාව තුල අන්තර් භාෂාව ලෙස ඉංග්‍රීසිය නොව සිංහල භාවිතා කල යුතු බව"

මේ කාරණය සම්බන්ධයෙන් මට එකඟ විය නොහැක්කෙකි. මෙහිදි අපගේ කියා අදහස් කරන්නේ කවුරුන්ද? සිංහල යනු මේ රටේ බහුතරයගේ භාෂාව වුවත් ප්‍රටේ තිබිය යුතු එකම හෝ අත්තර් භාෂාව විය යුතු නැත. පොදුවේ සිංහල භාවිතා කලද අනේක් භාෂා දෙක වන දෙමල හා ඉංගිසි භාෂාවටද තැනක් ලබා දිය යුතුයි. උදාහරණ ලෙසම ඔබ දක්වා ඇති ඇතැම් බටහිර හා යුරෝපිය රටවල් වුවද ඉංග්‍රිසිය එම රට වල දෙවන භාෂාවක් කරනා ගමන් එම රටේ බහුතර භාෂාව සමඟම දෙවන බහුතර භාෂාවට තැනක් ලබා හී තිබෙනු දැකිය හැකිය, මා මය කියන්නේ අත්දැකිමෙනි. එමෙන්ම කැනඩාවේ බහුතර භාෂාව වන්නේ ඉංග්‍රිසි වුවත් එහි බොහෝ පුවරු හා තැන් වල දෙවන භාෂාව වන ප්‍රංශ භාශාවන් සඳහන් කර තිබෙනු දැකිය හැකිය.


"අපි නිදහස් ජාතියක් කියල මහ ලොකුවට ලෝකෙට කිව්වට අපි මානසිකව වහල් ජාතියක්. "

ඒ කරුණ සම්බන්ධයෙන් මා සම්පුර්ණයෙන් එකඟ වෙමි.

ජීවන්ත said...

අන්තර් භාෂාව කියන්නේ එය විතරක් භාවිතා කල යුතුයි කියල නෙවෙයි. මේ කියන්නේ ලංකාවේ විවිධ භාෂා අතර අන්තර් භාෂාව ලෙස සිංහල භාවිතා කරන්න කියලයි. දැනට ඒ තැන දීල තියෙන්නේ ඉංග්‍රීසියට!

Anonymous said...

එළ. නමුත් අද ෙගා්ලීයකරණය යන සංකල්පය අප එවැනි තත්ත්වයකට පැමිණීම වළක්වා අැත.

buwa said...

ම්... ඔය සිංහල බැරි , හැම මඟුලකටම ඉංග්‍රිසිය ඕනි උන් නම් ඉතින් මෙලෝ රහක් ඇති එවුන් නෙවෙයි . ඒත් ඔයා කියන සුද්දටත් සිංහල ඉගෙනගන්න වෙන තත්වය ලංකාවට හරියන එකක් නෙවෙයි . චීනය, රුසියාව, ජපානය එක්ක ලංකාව ගලප්පන්න බැ . අනික විද්‍යා විශයන් සිංහලෙන් උගන්නන එක නම් පිස්සුවක්

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails