Attention please!!! අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස - සිංහල! (වඳවී යන භාෂා සම්බන්ධ යුනෙස්කෝ වාර්තාවක් ඇසුරෙන්)

Tuesday, July 14, 2009
සිංහල ලස්සනයි; සිංහල සරලයි; සිංහල සංකීර්ණයි; සිංහල අමාරුයි; සිංහල පහසුයි; සිංහල දියුණුයි; මේ ආදී වූ විවිධාකාර කියුම් ඇති සිංහල දැන් අභාවයට යාමට පටන් ගෙන ඇත. මෙය දිගටම පැවතිය හොත් ලෝකයේ වඳ වෙමින් යන භාෂා ලැයිස්තුවට සිංහලද ඇතුලත් වීමට වැඩි කලක් ගත නොවනු ඇත. (තවමත් ලංකාවෙන් මෙයට ඇතුලත් වී ඇත්තේ වැදි බස පමණි.) නමුත් එක් දෙයක් හොඳින් මතක තබා ගන්න. ඉංග්‍රීසි නොදත් ඉංග්‍රීසීන් නැති උනාට(ඉන්නවානම් කියන්න) සිංහල නොදත් සිංහලයින් අපි අතර කොතෙකුත් ඉන්නවා!!

මේ ගැන සාකච්ඡා කිරීමට ප්‍රථම යුනෙස්කෝව විසින් භාෂාවක ඇති ජීවගුණය හා තර්ජනයට ලක්වීමේ හැකියාව (vitality and endangerment) හඳුනාගැනීමට යොදාගෙන ඇති නිර්නායක 9 සලකා බලමු.

1. පරම්පරා අතර භාෂාවේ සම්ප්‍රේෂණය (Intergenerational language transmission)
2. භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව (Absolute number of speakers)
3. මුළු ජනගහනය තුල භාවිතා කරන්නන්ගේ අනුපාතය (Proportion of speakers within the total population)
4. භාෂාව භාවිතා කරන ක්ෂේත්‍රයන්හි වෙනස්වීම (Shifts in domains of language use)
5. නව ක්ෂේත්‍ර හා මාධ්‍ය වෙත දක්වන ප්‍රතිචාරය (Response to new domains and media)
6. භාෂාව ඉගෙනුමට හා සාක්ෂරතාවයට ඇති ප්‍රභව (Materials for language education and literacy)
7. නිල තත්වය හා භාවිතයද ඇතුළුව භාෂාව සම්බන්ධව ඇති රාජ්‍ය හා ආයතනික ආකල්ප හා ප්‍රතිපත්ති (Governmental and institutional language attitudes and policies, including official status and use)
8. තම භාෂාව පිළිබඳ සමාජයේ ආකල්ප (Community member’s attitudes towards their own language)
9. ප්‍රලේඛනයන්හි වර්ග හා ගුණාත්මකබව (Type and quality of documentation)

දැන් අපි මේ එක් එක් කරුණ සිංහල භාෂාව විෂයෙහි සලකා බලමු. (සිංහල ප්‍රජාව තුල ඉංග්‍රීසි භාෂාව සමග සංසංදනාත්මක ලෙස) මෙහි නිර්නායක සඳහා යොදා ඇති අගයන්/ලකුණු සඳහා ලිපියේ අග ඇති යුනෙස්කෝ වාර්තාව බලන්න. (ඉංග්‍රීසි සඳහා ලෝක ප්‍රජාව තුල මෙම නිර්නායක සියල්ලටම ඉහලම ලකුණු ඇති බව සැලකිය හැක.)

1. මෙය නම් පැහැදිලිවම ඉතා සීඝ්‍රයෙන් අඩු වෙනවා. අද සිංහල සමාජයේ දෙමව්පියන්ට තම දරුවාට සිංහල කියාදීමට උවමනාවක් ඇත්තේම නැහැ. උවමනාව ඇත්තේ ඉංග්‍රීසි ඉගැන්වීමට පමණි යන්න අතිශයෝක්තියක් නොවේ. ඉහල පැළැන්තිය තුල සිංහල ඉදිරියට සම්ප්‍රේෂණය ඉතාම පහළ මට්ටමකයි පවතින්නේ. මෙහි නව පරම්පරාවලින් සිංහල දන්නේ අතලොසක් පමණි. මධ්‍යම පාන්තිකයින් හා ග්‍රාමීය ප්‍රජාව තුල මෙය තවමත් සාමාන්‍ය ප්‍රමාණයෙන් පැවතුනත් එය සීඝ්‍රයෙන් අඩු වීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙයට හේතු වන කාරණා සම්බන්ධව පහත කරුණු වලදී සාකාච්ඡා කරමු.
සිංහල (5-) තත්වයේ සිට 4 දක්වා යමින් තිබෙනවා යැයි පැවසීමට පුළුවන.

2. තවමත් සිංහල භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා පවතිනවා. යුනෙස්කෝව විසින් ප්‍රකාශිත වඳවීමේ භාෂා ලැයිස්තුවට සිංහල ඇතුලත් නොවීමට ප්‍රධාන හේතුව මෙයයි. නමුත් මෙම අගය අඩුවීමේ ලක්ෂණ දැන් දැන් මතුවෙමින් පවතිනවා. (බොහෝ දුරට අළුත් පරම්පරා සිංහල භාවිතයෙන් ඈත් වීමත් සමග) නමුත් ලංකාව තුල ඉංග්‍රීසි භාවිතා කරන ප්‍රමාණය වේගයෙන් ඉහල යමින් පවතිනවා.

3. මෙයත් දැනට ඉහල මට්ටමක පවතිනවා. නමුත් මෙම අගයත් අඩුවීමේ ලක්ෂණ දැන් මතුවෙමින් පවතිනවා. මෙම අනුපාතය තුල ඉංග්‍රීසි සැලකිය යුතු ලෙස ඉදිරියට ඒමේ ප්‍රවනතාවයක් පවතිනවා.
සිංහල 4 තත්වයේ සිට 3 දක්වා පහල බසින බව දැකීමට පුළුවන.

4. ‍සිංහල භාෂාව භාවිතා වන ක්ෂේත්‍ර අද වන විට පෙර නොවූ විරූ ලෙස හීන වෙමින් පවතිනවා. මෙහිදී ප්‍රධානම වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයයි. කිමද එය අනෙක් ක්ෂේත්‍ර සියල්ලටම පාහේ බලපාන බැවිනි. මෙහි ඉතා කණගාටුදායක ලෙස සිංහල මාධ්‍ය අධ්‍යාපනය සීඝ්‍රයෙන් පහල බසිමින් තිබෙනවා. එයිනුත් ඉතා වැදගත් වන විද්‍යා හා තාක්ෂණ අංශ ප්‍රධානයි. අද උසස් අධ්‍යාපන අංශයේ(විශ්වවිද්‍යාල ඇතුළුව) විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙන් “ලබා නොදේ” යන්න වැරදි නොවේ. එමෙන්ම ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන අංශයන්හීද සිංහල මාධ්‍ය අධ්‍යාපනය සීඝ්‍රයෙන් දියාරු වෙමින්(කරමින්?) පවතිනවා. නමුත් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ශක්තිමත්ව අතිවිශාල අනුග්‍රහයක් ඇතිව ඉතා පුළුල්ව පැතිරෙනවා.(පතුරනවා?) රාජ්‍ය අංශයේ ආයතන තුල සිංහල භාවිතය නොසැලී පැවතුනත්(රාජ්‍ය භාෂාවක් නිසා) රාජ්‍ය අංශ තුල දැන් දැන් තොරතුරු තාක්ෂණ භාවිතයන් නිසා සිංහල, ඉංග්‍රීසියෙන් ප්‍රතිෂ්ඨාපනය වෙමින් පවතිනවා. ඊළඟ වැදගත් ක්ෂේත්‍රය වන්නේ පෞද්ගලික අංශය හා ව්‍යාපාරික ප්‍රජාවයි. පෞද්ගලික අංශය හා ව්‍යාපාරික ප්‍රජාව තුල සිංහල භාවිතය ඉතා පහළ බව කීමට අටුවා ටීකා අවශ්‍ය නැතැයි සිතමි. සිංහලෙන් සම්මුඛ සාකච්ඡා(interviews) පවත්වනවාද?(අඩුම තරමේ එකක්වත්?) ආයතන තුල ලිපි ආදිය සිංහලෙන් තිබෙනවාද? ආයතන තුල රැස්වීම් හා සම්මන්ත්‍රණ වල සිංහලෙන් කතා කරනවාද?(සිංහලයින් පමණක් සිටින අවස්ථාවලදී හෝ) මේ අනුව බලන විට සිංහල භාවිතය නිවෙස් තුලට පමණක් සීමා වීමේ ප්‍රවණතාවයක් පවතිනවා. නමුත් එය එයිනුත් එහාට යමින් මළ බසක් බවට පත් නොවතැයි වගකීමක් දිය ‍නොහැක.
සිංහල 4 තත්වයේ සිට 3 හෝ සමහරවිට 2 දක්වා යමින් සිටින බව දැකිය හැක.

5. සිංහල දුර්වලම වන්නේ මේ කාරණයේදීය. මානව දැනුම හා ක්‍රියාකාරකම් ගොන්නට දිනපතා නව සොයාගැනීම් හා නව ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් එකතු වේ. අන්තර්ජාලය හා තොරතුරු තාක්ෂණය මෙයින් එක් ක්ෂේත්‍රයක් පමණි.(විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය තුල පමණක් තොරතුරු තාක්ෂණයට අමතරව අති විශාල නව ක්ෂේත්‍ර ගණනාවක් ඇත.) යම් භාෂාවක් මේ අළුත් ක්ෂේත්‍ර තුලට විහිදී නොයයි නම් එම භාෂාව සමාජය තුල කොන්වීමට ලක්වේ. නව වචන නිෂ්පාදනය මෙහිදී අති වැදගත්ය. වර්තමානයේ සිංහල භාෂාවේ නව වචන නිෂ්පාදනයක් සිදු නොවන තරම්ය. වචන දෙක තුනක් නිපදවුවත් ඒ වචන සමාජගතවීමක් සිදුනොවන තරම්ය. (නව වචන නිෂ්පාදනය ගැන පසු ලිපියකින් සවිස්තරාත්මකව කතා කරමු.) එමෙන්ම ජනමාධ්‍ය තුල සිංහල භාවිතය සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතිනවා. (ගුණාත්මක හා ප්‍රමාණාත්මක යන දෙඅංශයෙන්ම) නමුත් ඉංග්‍රීසි භාවිතය වේගයෙන් ඉහල යනවා.
මෙහි සිංහල ඇත්තේ 2 හෝ 1 වැනි පහළ මට්ටමක බව කීම අතිශයෝක්තියක් නොවනු ඇත.

6. දුක්ඛදායකම කරුණ වන්නේ සිංහල හා සිංහලෙන් ඉගෙනුමට තවමත් ඇත්තේ අතලොසක් වූ පැරණි පොතපත පමණක් වීමය. සිංහල හා සිංහලෙන් ඉගෙනුමට නව පොතපත හා විද්‍යුත් මාධ්‍ය හා අන්තර්ජාලය තුල ඉගෙනුම් සම්පත්(education material) නොමැති තරම්ය. උදාහරණයක් ලෙස අද සිංහලෙන් පොත්(සිංහල ඉගෙනුම, විද්‍යාව, සාහිත්‍යය ආදී විවිධ ක්ෂේත්‍ර වල) පල වන්නේ කෙතරම් අඩුවෙන්ද? එයිනුත් දෙකයි පණහේ බොලඳ කතා ටික ඉවත් කල විට ඉතිරි වන්නේ කුමක්ද? එමෙන්ම සිංහල ඉගැන්වීමට තවමත් භාවිතා කරන්නේ පැරණි ක්‍රමය. සංසංදනාත්මක ලෙස ඉංග්‍රීසි හා ඉංග්‍රීසියෙන් ඉගෙනුමට අතිවිශාල ඉගෙනුම් සම්පත් ප්‍රමාණයක් ඇතිවා මෙන්ම නව සම්පත් දිනපතා එකතු වේ. එමෙන්ම වඩා සාර්ථක ලෙස ඉංග්‍රීසි ඉගෙනුමට හා ඉගැන්වීමට භාවිතා කරන ක්‍රම ශිල්ප හා උපක්‍රම දිනෙන් දිනම අළුත් වෙමින් හා ශක්තිමත් වෙමින් පවතී. උදාහරණයක් ලෙසට “රජකඩුව, English class for me” වැනි වැඩසටහන් දැක්විය හැක. නමුත් සිංහල සඳහා මෙවැනි දේ කවදා නිර්මාණය වේවිද?
මේ අනුව සිංහල 4 හෝ 3 මට්ටමේ සිට 3 හෝ 2 දක්වා යමින් පවතිනවා යැයි පැවසීමට හැකිය.

7. තවමත් සිංහල ලංකාවේ රාජ්‍ය භාෂාවකි. නමුත් මෙම තත්වය නැති කර දැමීමට බොහෝ දෙනා කැසකවන බව අද නොරහසකි. රාජ්‍ය භාෂාවක් වුවද එය නමට පමණක් සීමා වීමේ ප්‍රවණතාවක්ද අද දක්නට ඇත. එමෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති තුල ඉංග්‍රීසි භාෂාව භුක්ති විඳින ඉහල වරප්‍රසාද සිංහලයට අද නැතිවී ගොසිනි. හොඳම උදාහරණයක් වන්නේ රාජ්‍ය ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වසරක් පවා ප්‍රකාශයට පත් කරමින් ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා පුහුණු ගුරුවරුන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රවර්ධනය කර ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා අති විශාල අවකාශයක් නිර්මාණය කරන අතරම සිංහල කොන්වන තත්වයකට පත්කිරීමයි. (සිංහල භාෂාව නිසා වාර්ගික ගැටුම් ඇතිවිනිය යන කතාවද මෙම සිංහලයට යනඑන මං නැති කර දැමීමේ ක්‍රියාවලියේම කොටසක් වීමට බොහෝ ඉඩ කඩ ඇත.) එමෙන්ම මෙය ලියන මා උසස් අධ්‍යාපනය ලබන්නේ විද්‍යා අංශයෙනි. මාහට සිංහල ඉගෙන ගැනීමට ලැබුනේ සාමාන්‍ය පෙළ දක්වා පමණි. නමුත් සාමාන්‍ය පෙ‍ළින් ඔබ්බට උසස් පෙළදීත් විශ්වවිද්‍යාලය තුලදීත් ඉංග්‍රීසි විශයයක් විධියට(ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට අමතරව) ඉගෙන ගැනීමට සිදුවිය. මෙය සිංහල රටේ සිංහලයාට සිදුවන දෛවයේ සරදමක්ද? පෞද්ගලික අංශය තුල සිංහල සඳහා කිසිදු පිළිගැනීමක් නොමැති බව කීම අතිශයෝක්තියක් නොවේ. එය පෞද්ගලික අංශයේ ආයතනයකට ගිය විට හොඳින් දැකගත හැකිය.
මේ අනුව සිංහල 4 මට්ටමේ සිට 3 හෝ 2 දක්වා යමින් සිටින බව දැකිය හැක.

8. මෙය සිංහල භාෂාවේ සීඝ්‍ර දුගතිය පෙන්වන තවත් වැදගත් සාධකයකි. අද සමාජයේ සිංහල කෙරෙහි ඇති ආකල්පය ඉතා දුර්වල බව නොකිවමනාය. සිංහල ප්‍රජාවේ ඉහල සමාජය තුල බොහෝ දෙනා දැන් සිංහල භාවිතය ලැජාජාවට කාරණාවක් ලෙස සැලකීම හොඳින්ම දැකිය හැක. මෙය පහළ සමාජ ක්ෂේත්‍ර තුලටද සීඝ්‍රයෙන් පැතිරෙන(පතුරන?) බවත් දැකිය හැක. සිංහල යනු කටුගෙට යැවිය යුතු බසක් ලෙස සාමාන්‍ය සමාජයේ ආකල්පය වෙනස් වෙමින්(කරමින්?) පවතී. “සිංහල දැන ගැනීමෙන් ඇති වැඩක් නෑ. නමුත් ඉංග්‍රීසි නැතුවම බෑ” යන අදහස අද බොහෝ දෙනා තුල රෝපණය වී ඇත. අද දෙමව්පියන්ගෙන් කීයෙන් කීදෙනෙක් තමන්ගේ දරුවාට සිංහල කියා දිය යුතු යැයි සිතන්නේද? ඒ වෙනුවට ජනමාධ්‍ය ඔස්සේ, පාසල් ඔස්සේ වියතුන්, ගුරුවරුන්, ප්‍රවීනයන් සමාජයට දෙන පණිවිඩය නම් “හැකිතාක් නිවසේදීත් ඉංග්‍රීසි භාවිතා කරන්න. එය අනාගත ආයෝජනයක් වේවි” යන්නයි. මේ අවනඩුව අපි කාට කියන්නද?
මේ අනුව සිංහල ඉතාමත් කණගාටුදායක ලෙස 2 හෝ 1 මට්ටමේ සිට 0 දක්වා යමින් සිටින බව දැක්විය හැක.

9. ‍සිංහල සඳහා තවමත් පැරණි විශිෂ්ඨ පොතපත පවතිනවා. නමුත් මේවා ආරක්ෂා කර ගැනීමේ හෝ ප්‍රවර්ධනය කිරීමේ උවමනාවක් කිසිවෙකුටත් නොමැති තරම්ය. එමෙන්ම වෙනස්වන භාෂාවත් සමග මේවා යාවත්කාලීන නොවන තරම්ය.(අද භාවිතා වන සිංහල අදින් වසට සියයකට පෙර භාවිතා වූ සිංහලට වඩා වෙනස් බව පැහැදිලි කල යුතු නැතැයි සිතමි.) ඒ අනුව බලන කල අද ඇත්තේ පැරණි සිංහලයක් ඉගෙනීමට ඇති සම්පත්ය. මෙයත් බරපතල ප්‍රශ්නයකි. එමෙන්ම සිංහල විෂයෙහි භාෂාත්මක ප්‍රවීනයින්ගේ(linguistics) හිඟයක් මෙන්ම භාෂාත්මක පර්යේෂණ(linguistic research) හි නියඟයක්ද පවතී. මෙයද සුළුවෙන් තැකිය නොහැකි තත්වයකි.
මේ අනුව සිංහල 4 මට්ටමේ සිට 3 දක්වා යන බව පැවසිය හැක.



දැන් ඔබ සමහරවිට ඉංග්‍රීසි සම්බන්ධව තවමත් මෙවැනි ආකල්පයක් දරනවා විය හැක. “ඉංග්‍රීසි කියන්නේ අන්තර්ජාතික භාෂාවයි. එනිසා සිංහල වඳවීමට එය බල නොපායි. ඉංග්‍රීසි අන්තර්ජාතික භාෂාව නිසා ලෝකයේ ජීවත්වීමට සිංහල කෙසේවෙතත් ඉංග්‍රීසි දැනගත යුතුමය.”
ඔබ තවමත් සිටින්නේ මෙතැන නම් මම මෙලෙස අසන්නම්. “සිංහල හෝ ජපන් බස හෝ චීන බස අන්තර්ජාතික භාෂාව නොවී ඉංග්‍රීසි අන්තර්ජාතික භාෂාව වූයේ ඇයි? එසේත් නැත්නම් එය අන්තර්ජාතික භාෂාව වීමටම බිහි විනිද? එසේත් නැත්නම් දෙවියන් විසින් මෙය අන්තර්ජාතික භාෂාව ලෙස භාවිතා කිරීමට පවසන ලද්දේද?”
මෙයට පිළිතුර ඉතාම පැහැදිලියි. ඉංග්‍රීසි අන්තර්ජාතික භාෂාව ලෙස ඉබේ පත් නොවිණි. එසේත් නැතිනම් ලෝක ජනගහනය විසින් එය සන්නිවේදනයට ඉතා සුදුසු, ලෝක භාෂාවක් වශයෙන් පිළිගත්තේද නැත. එය වසර සිය ගණනක අධිරාජ්‍යයන් විසින් අවි හා මුදල් බලයෙන් ලෝක ප්‍රජාව මත බලෙන් පටවන ලද්දකි. අදටද එය බටහිර මාධ්‍ය හා සියළුම ක්ෂේත්‍ර වල බටහිර විශේෂඥයින්(specialists) මගින් බලෙන් ලෝක ප්‍රජාව මතට පටවයි. මෙය ඉතා පැහැදිලිව පෙනෙන දෙයකි.

ඉංග්‍රීසි හා සිංහල ගැන සමාජයේ ඉතා වැරදි මත රාශියක්ම ඇත. (ඒ සියල්ල මෙහි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවේ) එයින් වැදගත්ම වැරදි මතයක් වන්නේ “රටක/ පුද්ගලයෙකුගේ මනා සංවර්ධනයට ඉංග්‍රීසි යනු අත්‍යාවශ්‍යයම සාධකයක්” යන්නය. මෙහි අසත්‍යතාවය පෙන්වීමට හොඳම උදාහරණය වන්නේ මුලු ලෝකයටම සංවර්ධනය පිළිබඳ ලෝක සංකේතයක් (a global icon) ලෙස සලකන ජපානයයි. ජපානයට දියුණු වීමට ඉංග්‍රීසි කිසිලෙසත් අත්‍යාවශ්‍ය සාධකයක් වී නැත. ඔවුන් ලෝකය තුල ඔවුන්ගේ අනන්‍යතාවය තවමත් රැකගෙන සිටිති. එසේ නම් අපගේ වැනි රටවල ඇති මේ ඉංග්‍රීසි උන්මාදය කුමක්ද? මෙයට මූලිකම හේතුව යටත්විජිත මානසිකත්වයේ අළු තවමත් මෙරට (හා තවත් මෙරට වැනි රටවල් ගණනාවක) මිනිසුන්ගේ හිත් පතුලේ තැන්පත් වී තිබීමයි. විශ්වවිද්‍යාල ප්‍රජාව තුලද මෙය හොඳින් දක්නට ලැබේ. විශ්වවිද්‍යාල ප්‍රජාව තුල ඇත්තේ බාහිර සමාජයේ පැතිරෙමින්(පතුරමින්?) යන “පහල පංතියේ(low class)ඇමරිකන් ලිබරල් මානසිකත්වයක්” නොව “ඉහල පංතියේ(high class)බ්‍රිතාන්‍ය මානසිකත්වයක්” බව හොඳින් දෘෂ්‍යමාන කරුණකි. (හොඳ අවධානයකින් යුතුව වටපිට බැලුවොත් එය දැකීම අපහසු නොවනු ඇත.) අපි නිදහස් ජාතියක් කියල මහ ලොකුවට ලෝකෙට කිව්වට අපි මානසිකව වහල් ජාතියක්. ඒ වගේම මේ මානසික වහල් බව ඇ‍හඟෙන් පිළිකාවක් ඉවත් කරනවා වගේ ඉක්මනට හා බොහොම පරිස්සමෙන් ඉවත් කල යුතුමය. එමෙන්ම ජපානය මෙන් දියුණුවේ හිණිපෙත්තටම යාමට අපට නොහැකි වී ඇත්තේ ඉංග්‍රීසි නොදන්නා නිසා නොව, කිසි දේකට උවමනාවක් නැති කම නිසයි. අපි හැමෝම බලාගෙන ඉන්නේ කව්රුහරි හැම දෙයක්ම කරලා අපේ කකුල් දෙක ළඟට ගෙනත් දෙනකං. ඉංග්‍රීසි දැනගෙන හිටියත් නැතත් මේ කම්මැලිකමෙන් (උවමනාවක් නැතිකමෙන්) මිදෙනකං අපිට ගොඩ ඒමක් නෑ! එනිසා ගැටළුවල සැබෑ මූල හේතුවලට ප්‍රතිකාර නොකර, නැති ප්‍රශ්න, ප්‍රශ්න කරගෙන දඟලන එකෙන් දැන්වත් මිදෙමු!

මෙතැනදී මට එක් කතාවක් සිහිවේ. Dan Brown (Da Vinci Code හි කතුවරයා) විසින් රචිත ප්‍රබන්ධයක් වන Angels and Demons කෘතියේ කතා නායකයා යුරෝපයේ CERN ආයතනයට(න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වූ යුරෝපීය සංවිධානය) යනවා. එහිදී එහි සේවය කරන විවිධ ජාතීන්ට අයත් විද්‍යාඥයින් දැක ඔහු එම ආයතන ප්‍රධානියාගෙන් මේ විවිධ ජාතීන්ට අයත් සියළු දෙනා එකිනෙකා සමග සන්නිවේදනය කරන්නේ කොහොමද කියලා අසනවා. එවිට ඔහුට ලැබෙන පිලිතුර: “විද්‍යාවේ භාෂාව ඉංග්‍රීසියයි. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.” එවිට කතා නායකයාට සිතෙන්නේ “මම හිතං හිටියේ විද්‍යාවේ භාෂාව ගණිතය කියලයි.” මේ සරල සිද්ධිය තුලින් දෘශ්‍යමාන කාරණය ඔබට පෙනෙනවාද?
විද්‍යාව හා තාක්ෂණය භාෂා බැම්මෙන් මිදිය යුතුය; එසේ නොමැතිව යම් භාෂාවක් පැතිරවීමට විද්‍යාව අවියක් ලෙස භාවිතා කරයි නම් එය අමන ක්‍රියාවකි.

***වැදගත්: සිංහල රැකගැනීමටනම් ඉංග්‍රීසි හෙලාදැකිය යුතු බවක් හෝ ප්‍රතික්ෂේප කල යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ. ඉංග්‍රීසි සම්බන්ධ කරුණු දක්වා ඇත්තේ සිංහල ප්‍රවර්ධනය කල හැකි ක්‍රම සඳහා උදාහරණ, අදහස් ආදිය ලබා ගැනීමට පමණි.

මින් මතු කියවීමට පෙර මෙම ප්‍රශ්නය ඔබෙන් අසන්න. “සිංහල ප්‍රවර්ධනය සඳහා මම කර ඇත්තේ මොනවාද? සිංහල පහත හෙලීමට මගෙන් සිදුවී ඇති වැරදි මොනවාද? මෙම ලිපිය කියවීමෙන් පසු මම මෙය අමතක කර දමා නැවතත් පරණ විධියටම ඉන්නවාද? නැත්නම් මම මේ සඳහා ක්‍රියාත්මක වෙනවාද?” (දැන්ම ක්‍රියාත්මක වන්න; ඔබේ සුළු ප්‍රමාදය සදහටම ප්‍රමාදයක් විය හැක.)

ඉතින් දැන් අපිට මේ සඳහා කල හැක්කේ කුමක්ද? මූලිකම කාරණය නම් ඒ ගැන දැනුවත් වීම(being aware) හා අනෙක් හැකි සෑම දෙනාම දැනුවත් කිරීමයි.(දැනුවත් වීමෙන් නවතින්න එපා! බොහෝ දෙනා දැනුවත් වීමෙන් නවතිනවා. ඔබ එසේ නොවන්න.) එමෙන්ම තවත් කල හැකි දේ බොහෝය. එය වෙනමම ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සඳහා ඔබට අදහස් ඇත්නම් එය මෙහි සඳහන් කරන්න. එය අපගේ මව්බස රැකගැනීමට උදව්වක් වේවි.



ලිපිය අවසාන කිරීම සඳහා පහත යුනෙස්කෝ වාර්තාවේ සඳහන් ප්‍රකාශ දෙකක් සඳහන් කිරීමට කැමැත්තෙමි.

“I dream in Chamicuro, but I cannot tell my dreams to anyone, because no one else speaks Chamicuro. It’s lonely being the last one.”
(Natalia Sangama, a Chamicuro grandmother, 1999)

“If you don't breathe, there is no air. If you don't walk, there is no earth. If you don't speak, there is no world.”
(Paraphrased by Akira Yamamoto from a Navajo elder’s words, PBS-TV Millennium Series, Tribal Wisdom and the Modern World, hosted by David Maybury-Lewis, aired on 24 May,1992)



ආශ්‍රිත ලිපි :-
මේ පිළිබඳ යුනෙස්කෝ වාර්තාවක්(pdf)
මේ වාර්තාවම වෙනත් ආකාරයකට
යන්නෙ කොහෙද? මල්ලෙ පොල්!
සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියක්
Daily News පුවත්පතේ පළවූ ලිපියක්
හතර වෙනි තට්ටුවෙන්:
ජාතිද්‍රෝහින්, ඇඟිල්ල හා මම
සිංහල භාෂාව,ලංකා ඉතිහාසය හා මම
තාක්ෂණය , සිංහල ව්‍යාකරණ හා මම

අමතර කරුණු :-
සිංහල භාෂාව ගැන දැන දැනගැනීමට: Sinhalese language
භාෂාත්මක අධිරාජ්‍යවාදය ගැන දැන ගැනීමට: Linguistic imperialism

15 ක් වූ ප්‍රතිචාර:

LishWish said...

සිංහලය වල පල්ලට යාම වන්නේත්.., උඩු ගම් බලා යන්නේත් අපේ ක්‍රියාකාරකම් වල උඩු පහල යාම නිසා බව අමුතුවෙන් කිව යුතු නෑ. කුමක් නමුත්, නිදහස් මෘදුකාංග වලට සිංහල ආවා වගේ... අප තවතවත් ලොව තුලට සිංහල රැගෙන යාමට ක්‍රමවේද හෙවීමට දැන් තියාම පිඹුරු පත් සැකසිය යුතුයි...

වැදගත් ලිපියක්... දිගටම ලියන්න.. සුභ.!!!

පොතේ ගුරා said...

නියම ලිපියක්..“විද්‍යාවේ භාෂාව ඉංග්‍රීසියයි. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.” එවිට කතා නායකයාට සිතෙන්නේ “මම හිතං හිටියේ විද්‍යාවේ භාෂාව ගණිතය කියලයි.” මේ සිද්දිය මගෙත් හිතට වැදුන ඒ කතාව බලද්දි..

"දුක්ඛදායකම කරුණ වන්නේ සිංහල හා සිංහලෙන් ඉගෙනුමට තවමත් ඇත්තේ අතලොසක් වූ පැරණි පොතපත පමණක් වීමය." මේ කියමනට නම් එකග වෙන්න අමාරුයි..අලුත් පොත්පත් බිහි වෙන්නෙ නැති එක ඇත්ත..නමුත් අපි නොහිතන තරම් පොත් ගොඩක් තියෙනව..හොයාගන්න තමයි අමාරු..

(අනික පුස්තකාල තිබුනට අපේ කට්ටිය ඕන කමක් නෑ ඒවයින් ප්‍රයෝජනයක් ගන්න..)

VBmaster said...

පළමුවෙන්ම ගොඩක් හොද ලිපියක්.
5. සිංහල දුර්වලම වන්නේ මේ කාරණයේදීය.

මේ වාක්‍යටනම් මට කොහොමත්ම එකඟවෙන්න බැහැ.මම දන්න තරමින් මේ කාරණයට හොදම බස වෙන්නේ සිංහල(මම හිතන විදිහට) මේකේදි දුර්වල වෙලා තියෙන්නේ අපිමයි. කුහක කම(අනිත් අයට තෙරෙයි කියලා),සිංහල ගැන හීන මානයෙන්(අනිත් භාෂා තරම් සිංහල වටින්නේ නැහැ කියලා හිතිම) හා කම්මැලි කම(යමක් කිරිමට ගොස් නිදා ගැනිමට තියෙන වෙලාව අඩු කර ගැනිමට ඇති අකමැත්ත) ආදි වු ක්‍රම වලින් අද දුබල මොඩයන් වි සි‍ටින අපි අතිතයේ දක්ෂයන් වුවත් අද අදක්ෂයන් විමෙන් නව වචන නිර්මාණය කල නොහැකි විමයි 5 වෙනි එකට හෙතුව විදිහට මම දකින්නේ.


හොදම උදාහරණය

එක්සත් කේත(unicode) ස්ථාපනය කර නොමැති පරිඝනකයකින් පුළුවන්ද මේ සිංහල ජාල ලඝු සටහන කියවන්න ?

ජීවන්ත said...

@LishWish,
අදහස් දැක්වීමට තුති! බස රැක ගැනීම ගැන අළුත් ලිපි පෙළක් මග එනවා. බස රැකීමට එකට වැඩ කරන්න සූදානම් වෙමු.

@පොතේ ගුරා,
අදහස් දැක්වීමට තුති! ඔබ කියන කතාවත් ඇත්ත. මේ පොත් අතුරුදහන් වෙන්න කලින්(හෙල අටුවා වලට උනා වගේ) හොයාගෙන ආරක්ෂා කරන එක අපි හැමෝගෙම වගකීමක්!

@VBmaster,
අදහස් දැක්වීමට තුති! සිංහල දුර්වල වෙනවා කියන එකෙන් අදහස් කලේ සිංහල භාවිතා කරන අයගේ නොසැලකිල්ල හේතුවෙන් බසෙහි ශක්තිය හීන වෙනවා කියන එකයි. යම් අළුත් සංකල්පයක් ගැන කතා කරන්න අපිට වචන නැත්නම් එතැනදි අපේ බස අනෙක් භාෂා ඉදිරියේ හෑල්ලු වෙනවා. අන්න ඒකයි මම සිංහල දුර්වල වෙනවා කියල අදහස් කලේ. අනිත් එක අපි අදක්ෂ නෑ. ඒ වෙනුවට අපිට කිසිම දේකට උවමනාවක් නෑ. ඒකයි ප්‍රශ්නෙ. අපි හැමෝම බලාගෙන ඉන්නේ කව්රුහරි හැම දෙයක්ම කරලා අපේ කකුල් දෙක ළඟට ගෙනත් දෙනකං. මේකෙන් මිදෙනකං අපිට ගොඩ ඒමක් නෑ!

නුවන් මහේෂ් said...

හොද ලිපියක්...සුභ පතනවා පළමුවෙන්ම
කාලීන මාතෘකාවක්.

VBmaster said...

සමාවෙන්න ඕනි වැරැද්දට. අදක්ෂ , දක්ෂ කියලා මම භාවිතා කර දෙකට.ඇත්තටම ඒකට එන්න ඕනි නුවමනාව හා උවමනාව කියන එකයි.ස්තුතියි ඒක පෙන්නුවට. :-)

Supun Sudaraka said...

මට අවශ්‍යවෙන වැදගත් තොරතුරු ඉදිරිපත් වුන ලිපියක් තමයි මේ. නියමයි... හැකියාවක් ලැබුනොත් ඉදිරියට මේ ගැන බ්ලොග් සටහනක් මාත් ලියන්නම්...

ජීවන්ත said...

@නුවන් මහේෂ්,
අදහස් දැක්වීමට තුති!

@VBmaster,
:)

@සුපුන් සුදාරක,
අදහස් දැක්වීමට තුති! ඔව්, ඔව්, හැකි සෑම විටම අපි හැමෝම දැනුවත් කරන්න ඕනෙ. ඔබේ අනාගත සටහනට සුභපැතුම්!

Ramachandra said...

බොහොම වැදගත් ලිපියක්.තර්කානුකූලව අදහස් ඉදිරිපත් කොට තිබෙනවා.ඔබ කියා තිබෙන ආකාරයටම සිංහල ප්‍රවර්ධනය කරන්න අපේ මට්ටමෙන් කරන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා.ඒකට අපි කවුරුත් අවධානය යොමු කරන්න ඕනෙ.අන්තර්ජාලයේ සිංහල භාවිතය වැඩි දියුනු කිරීම මේ කාරනයේදී ඉතාම සාධනීය පියවරක්.
ද්විතික අධ්‍යාපනයේ මාධ්‍යය ඉංග්‍රීසි කිරීම,ජාත්‍යන්තර පාසල්වල ව්‍යාප්තිය- දේශීය භාෂාවල පරිහානිය මේ කාරනාත් එක්ක සමගාමී වෙනවා.මේක බලය සම්බන්ධ ගෝලීය දේශපාලනය එක්ක ගැටගැහිල තියෙනවා කියන එකත් සම්පූර්න ඇත්ත.
ඉංග්‍රීසි බස වැදගත්.ඒක ගැන තර්කයක් නැහැ.වෙනත් රටවල බිහිවෙන දැනුම් පද්ධතින්වල ගත යුතු දේවල් අවශෝෂනය කරගන්න ඉංග්‍රීසි දැනුම වැදගත් වෙනවා.හැබැයි අපේ අනන්‍යතාවය බිල්ලට නොදී එය කරගත හැකියි.කරගත යුතුයි.
වෙනත් යුරෝපීය රටවල් සහ ජපානය චීනය වගේ රටවල් වැඩකරන ආකාරය මෙහදී හොද ආදර්ශයක්

ජීවන්ත said...

@රාමචන්ද්‍ර,
අදහස් දැක්වීමට තුති! ලංකාවෙ සිංහල මාධ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් දැන් ඇතිවෙමින් යන තත්වය එතරම් සුභදායක නෑ. අපි මේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ නෑ. බස රැක ගැනීමට අපිට(සමාජයේ වැදගත් හෝ ප්‍රසිද්ධ පුද්ගලයින් නොවුනත්) ගත හැකි ක්‍රියාමාර්ග බොහොමයි. ඒ සම්බන්ධව අපි දැනුවත් වෙමු; ක්‍රියාත්මක වෙමු.

fossurgeon said...

ලංකාවෙ සිංහල මාධ්‍ය අධ්‍යාපනය පාසල තුල පමණයි. ඉන් පසු සමහර වෘතියනට ඇතුලුවන දා පටන්, සිංහල බස, කතාවට පමණක් සීමා වෙනව. සිංහල බොලොග් ලියන්න කලින් ,මව් බසින් ලියන්නෙ වසරකට කිහිපවාරයක් පමණයි. ඔන්න බස මියයන තව හේතුවක්...

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) said...

අපේ බස තවම මියැදෙමින් පවතින බසක් නොවුණාට දිනෙන් දින, වසරින් වසර යම් පිරිහීමක් ඇති වන බව දක්නට ලැබීම ඇත්තයි. මෙහි වරද ද, සිංහළයන්ගේ ම යි. නිදසුනක් ලෙස, බොහෝ දෙනාට සිංහළ වියරණය වරදවා ලිවීම සාමාන්‍ය දෙයක්. එහෙත් ඔවුන්ට ඉංග්‍රීසිය වැරැද්දීම මහත් වූ ලැජ්ජා ගෙන දෙන්නක්. සිංහළ කතා කරද්දී මෙන් ම, ලියද්දීත්, ඉංග්‍රීසි ඇතුළු දහසකුත් භාෂාවල වදන් රිසි ලෙස මුසු කර, කවලම් පලා මැල්ලුම් සදන්න ද බොහෝ දෙනා ලැජ්ජා නො වන බව නොරහසක්.

ඔබේ වියුණු සටහනත්, "හතර වැනි තට්ටුවේ" දක්වා තිබූ කරුණුත් දැකීමෙන් පසු, මා හට ද, අප බසේ අගය හා එය රැක ගැනීමේ වගකීම ගැන ලියන්නට සිත් වුණා. මින් පෙර ද, මා ද, කලෙකට පෙර මේ පිළිබඳව ලිපි පෙළක් ලියූ මුත් මෑතක දී ඒ ගැන ලියන්නට වුණේ නැහැ. " http://www.rajith.org/search/label/සිංහළ ". ඔබේ ලිපිය කියැවූ පසු අපේ බසේ රැක්ම උදෙසා ලිවීම නොනැවැත්විය යුතු බව සිතුණු නිසා ළඟ දී ම ඒ ගැන ලිපියක් ලිවීමටත් මා තීරණය කළා.

මෙවන් දැය අවදි කරවන ලිපි ලීවාට තුති. තවත් මෙවන් ලිපි රැසක් ලිවීමට දිරිය, සවිය ලැබේවා.

ඉන්දික said...

හරවත් ලිපියක් යාලුවේ..ස්තූතියි අපිට දැනුම දෙනවට!

Gayan Anuradh Liyanage said...

ඔබේ ලිපි දෙකම කියෙව්වා. මම එකඟයි. හැම කරුනකටම වගෙ ඔබ කියන. එත් මෙතන පොඩි ප්‍රායෝගික ප්‍රශ්න කීපයක් තවම තියනවා. ඒවා විසදිය නොහැකි ප්‍රශ්න නෙවෙයි. තවම නොවිසදුනු ප්‍රශ්න. මං දන්න විදියට ජපානයේ වුවත් ඉංග්‍රීසි භාවිතය අවම වූයේ තාක්ෂණයේ දියුණුවත් සමගයි. මොකද ජපනුන් ඔවුන්ගේ බසින් ඉංග්‍රීසි පොත්පත් පරිවර්ථනය කොට පල කලා. අන්තර්ජාලය තුල ප්‍රධාන වෙබ් අඩවි සැමකම වාගේ ජපන් පරිවර්ථන තිබෙනවා. එහෙම තියා අපේ භාෂාව තවම ගූගල් පරිවර්ථකයේවත් නෑ. එත් 2006 දී තත්වය ගැන ඔබ හිතල බලන්න. ඒ කාලෙ සිංහල කේත හරියට තිබුනේ නෑ. අධිවේගී අන්තර්ජාල සම්බන්දතා ප්‍රචලිත වෙලා තිබුනෙ නෑ. ඒත් ඒ කාලෙට වඩා අද වෙනකොට අන්තර්ජාලයේ ශ්‍රි ලාංකීය නියෝජනය කොච්චර වැඩිවෙලා තියෙනවද? ඒ වගේ තමයි..
අපි අපේ මානව සම්පත හැකියාවන්ගෙන් හා ආකල්ප වලින් දියුණු කලදාට,ලෝකයට අපිව නැතිව බැරිව ගිය දාට, සුද්දටත් සිද්දවෙයි සිංහල දැන ගෙනම ලංකාවට එන්න.එතකොට සිංහල බසත් නොනැසී පවතීවි. ඒත් මේ පාර්ථනාව හීනයක් කියල ඔබ කිව්වොත් මට එවිට නම් දෙන්න උත්තරයක් නෑ....

Gayan Anuradh Liyanage said...

මේ ගැන මාගේ තවත් අදහසක් පහත ලිපියේ තියෙනවා. පුලුවන්නම් බලන්න. ස්තුතියි.
ජාතිවාදියකු වේ යැයි බියේ... ජාතිආලයකු නොවී සිටීම...

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails