මගේ සිංහල යුනිකෝඩ් කෙරුවාව (හිත ඇත්නම් පත කුඩාද?)෴

Monday, August 10, 2009
දැන් සිංහල බ්ලොග් අවකාශයට බ්ලොග් ලියන්නන්/ කියවන්නන් සෑහෙන්න අළුතින් එකතු වෙන බවක් පේනවා. ඒ උනාට මේ ගොඩ දෙනෙක්ට සිංහලෙන් ලිවීම තවමත් අපහසු කාර්යයක් බවයි පෙනෙන්නට තියෙන්නේ.(ගොඩ දෙනෙක් සිංහලෙන් ලියන්න සෑහෙන කට්ටක් කන බවක් පේනවා) ඒ හින්දා මේ හැමෝටම පොඩි හරි උදව්වක් වෙයි කියන බලාපොරොත්තුවෙන් හැමෝටම බලාගන්න කියලා මගේ සිංහල යුනිකෝඩ් කෙරුවාව ලියන්න ඕනෙ කියල හිතුනා. ඔන්න එහෙනම් මගේ සිංහල යුනිකෝඩ් ඉතිහාසය පටාන් ගත්තා.

මම මුලින්ම සිංහල යුනිකෝඩ් ගැන දැන ගත්තේ දැනට අවුරුදු එක හමාරත්, දෙකහමාරත් අතර කාලෙකට කලින්.(හරියටම මතක නෑ) ඒ කාලෙ මට තිබ්බා සිංහල උණක්! ඒ කාලෙ වෙනකොට මගේ ඉංගිරීසියත්(මේකට කඩුව කියන්න නම් මම කැමති නෑ) සෑහෙන්න හොඳ මට්ටමක තිබ්බත්,(සිංහල උණට කලින් මට කාලයක් ඉංගිරීසි උණකුත් හැදිලා තිබ්බනේ!) ඒ ඔක්කොම අතෑරලා මම “සිංහල විතරයි” ප්‍රතිපත්තියකට ආවා.(මම දන්නෙ සිංහලයි, ඉංගිරීසියි විතරයි හො‍ඳේ!) ඒ කාලෙ සෑහෙන්න අමාරුවෙන් එක ඉංගිරීසි වචනයක් වත් කතා කරනකොට වත් පිටවෙන්න නොදී හිටියා. ඒත් ඉතින් පරිඝණකයේ හැම වැඩක්ම ඉංගිරීසියෙන් කරන්න වෙච්චි එක ගැන කණගාටුවකුත් තිබ්බා. ඉතින් ඔහොම ඉන්නකොට මම ICTA එකෙන් රූපවාහිනියේ දාපු දැන්වීමක් දැක්කා. මේකෙ කිව්වේ සිංහලෙන් ඊ-මේල් යවන්න දැන් පුළුවන් කියලයි.(මං හිතන්නේ මේ සිංහල යුනිකෝඩ් වින්ඩෝස් වලට මුලින්ම හදපු දවස්වල වෙන්න ඕනෙ.) ඔන්න එතකොට මගේ හිසේ මලක් පිපුනා වගෙයි. ඉංගිරීසි භාවිතය තව එක ක්ෂේත්‍රයකින් අඩු කරන්න පුළුවන්, හුරේ!

ඉතින් අර රූපවාහිනි දැන්වීමේ දාපු වෙබ් ලිපිනයට(locallanguages.lk හෝ siyabas.lk) ගිහින් මමත් ඔය කියපු “Sinhala pack” එක බාගත්තා. ඉතින් මේකෙ “මාව කියවන්න”(read me) එක කියවනකොටයි මට තේරුනේ මේකෙන් සිංහලෙන් ඊ-මේල් විතරක් නෙවෙයි පරිඝණකයේ හැම දෙයක්ම වගේ සිංහලෙන් කරන්න පුළුවන් කියලා. දැන් ඉතින් සතුට දෙගුණ, තෙගුණ වෙලා. ඉතින් දැන් කොහොම කොහොම හරි මේක ස්ථාපනය(install) කර ගත්තයි කියමුකෝ.

ඒත් ඉතින් මල කෙලියයි. සිංහලෙන් ලියන්නෙ කොහොමද? සිංහල Keyboard layout එකක් ඇත්තෙත් නෑ. අකුරු තියෙන්නෙත් හරි අමුතු විදියකට. ‘ම’යන්න ගහන්න හිතාගෙන m එබුවට වදින්නේ ‘ප’. මදෑ කොලා! දැන් මොකද කරන්නේ. අනික ඉතින් ඒ දවස්වල සිංහල keyboard layout එක මුද්‍රණය කරලා තියෙන keyboard තියෙනවා කියල මම දැනං හිටියෙත් නෑ. ඒ වගේම සිංහල යුනිකෝඩ් පරිවර්තක තියෙන බවක් මම දැනගෙන හිටියෙත් නෑ. අනික ඉතින් මම ඒ දවස් වල පරිඝණක ක්ෂේත්‍රය ගැන හරියට දන්නෙත් නෑනෙ. අනික ඉතින් මේක අහගන්න කෙනෙක් මම දැනගෙන හිටියෙත් නෑ.

මොනවා කරන්නද දැන්? ඕන දෙයක් කියලා මේක කොහොම හරි type කරන්න ඉගෙනගන්නවා කියල හිතාගත්තා. මුලින්ම දා ගත්තා MS Word. ඊට පස්සේ යතුරු පුවරුවේ තියෙන හැම අකුරක්ම/ යතුරක්ම enter ගගහ ඉංගිරීසියෙන් පල්ලෙහාට ලියාගෙන ගියා. ඊට පස්සේ භාෂාව සිංහලට මාරු කරලා, අර කලින් ලියපු හැම අකුරකම/ යතුරකම ඉංගිරීසි එකට ඉස්සරහින් සිංහලෙන් ලියාගෙන ගියා. ඒත් ඉතින් අකුරු තව අඩුයි. ඊට පස්සෙ shift යතුර ඔබාගෙන හැම අකුරක්ම ගහලා බැලුවා; ඒත් අකුරු අඩුයි. ඊට පස්සේ ctrl, alt විතරක් නෙවෙයි f1, f2 වගේ යතුරුත් (shift + ctrl), (shift + alt) වගේ එක එක යතුරු සංයෝජනත්(key combination) ආදී එක එක විධියට ගහලා ගහලා සෑහෙන අකුරු තොගයක් ගහන විධිය හොයාගත්තා.

ඒත් ඉතින් තනි තනි අකුරු ගහන්න දැනගත්තට වැඩක් නෑනෙ. සිංහල ඉතින් ඉංගිරීසි වගේ නෙවෙයිනේ. අකුරු බැඳිලා එක එක තව අකුරුත් හැදෙනවානේ. මේවාත් ඉතින් මම කට්ට කාගෙන type කරලම තමයි හොයාගත්තේ. ‘ශ්‍රේ’ වගේ අකුරු ගහන්න ඉගෙනගන්න සැහෙන්න කට්ටක් කෑවා. ඉස්සෙල්ලා ගහන්න ඕනෙ කොම්බුවද නැත්නම් ‘ශ’යන්නද, හල් කිරීමට කලින්ද නැත්නම් පස්සෙද ‘්‍ර’ ගහන්නේ කියලා දැනගන්තේ එක එක විධියට ගහලම තමයි. ‘රු’ ලියන්නේ, ‘ර’යන්නට පාපිල්ල(ු) එකතු කරලා මිසක් ‘ර’යන්නට ඇදය(ැ) එකතු කරල නෙවෙයි කියල හොයාගන්න සෑහෙන අමාරු උනා. ඒ කියන්නේ අකුරු හැදෙන්නේ ඒකෙන් නිරූපිත ශබ්දයට අනුව මිසක් ඒකෙ දෘෂ්‍ය හැඩයට අනුව නෙවෙයි කියන එක. මේ විධියට එක එක වි‍ධියේ විකාර කරමින් කොහොම කොහොම හරි ඕනෙ අකුරක් ගහන විධිය ඉගෙනගත්තා. (ඒත්, ක්‍ෂ, ර්‍ග, ඳ්‍ව වගේ බැඳි අකුරු ගහන විධිය ඉගෙනගත්තේ දැනට සති කීපයකට කලින්.) මේ සම්පූර්ණ වැඩේට මාසයක් දෙකක් විතර ගියා.(සමහරවිට ඊටත් වැඩිද මන්දා...)

ඊට පස්සේ CorelDraw දාගෙන ඇන්දා keyboard layout. තව අකුරු බැ‍ඳෙන විධිය ලියලා පොඩි help document එකකුත් ලිව්වා. දන්න දන්න ගොඩ දෙනෙක් අතරේ මේක බෙදාහැරියා. හැබැයි ඉතින් මම මේවා දුන්න එක්කෙනෙක් වත් තව කාටවත් මේවා දුන්නෙ නැති බවත් දන්නවා. මොනා කරන්නද? මට උන්ට බලෙන් දෙන්න කියන්න බෑනේ! මේක මම කොච්චර බෙදාහැරියද කියනවා නම් ‘උපාලි පුවත්පත් සමාගම’ටත් මම CD එකක දාලා පිටපතක් යැව්වා! ඒකට මොනවා උනාද, ඒකෙන් වැඩක් උනාද කියල නම් මම දන්නේ නෑ.

ඉතින් ඔය ඔක්කොම කරන අතරේ මම දිගටම සිංහලෙන් අකුරු හොය හොයා type කරා. මේක කොච්චර නැගලා ගියාද කියනවා නම් වෙනදා පෑනකින් කොල වල ලියපු දේවලුත් මම type කරා. ඒ වගේම පුළුවන් හැම folder එකක්මත් සිංහලෙන් rename කරා. කෙටියෙන්ම කියනවා නම් පරිඝණකයේ අතුරු මුහුණත හැර ගොඩක් දේවල් සිංහල කරා.

කොහොම උනත් මේ හැම දෙයක්ම කලේ යුනිකෝඩ් පරිවර්තකයකින් තියා සිංහල අකුරු මුද්‍රණය කරලා තියෙන keyboard එකකින් වත් නෙවෙයි; මම තාමත් සිංහල type කරන්නේ එක සිංහල අකුරක්වත් නැති ඉංගිරීසි අකුරු විතරක් තියෙන keyboard එකකින්! ඒත් අද වෙන කොට මට ඉංගිරීසි වලට වඩා 1.5ත් 2ත් අතර වේගෙකින් සිංහල type කරන්න පුළුවන්! අදත් මට ඉංගිරීසියෙන් touch typing බැරි උනාට දැන් දැන් සිංහලෙන් යන්තම් පුළුවන්! ඔන්න ඕකයි මගේ සිංහල යුනිකෝඩ් කෙ‍රුවාව෴

ඉතින් මම හිතනවා මේකෙන් කාටහරි පොඩි හරි උදව්වක් වෙන්න ඇති කියලා. ඉතින් මම කියන්නේ සිංහල type කරන්න අදම ඉගෙනගන්න; අමාරුයි කියල අඬ අඬ ඉන්න එපා. හිත ඇත්නම් පත කුඩා වෙන්නේ නෑ කොහොමටත්! සිංහල යුනිකෝඩ් පරිවර්තක තියෙන එක හොඳයි.(බහු ජන හිතසුව පිණිස ඒවා හදපු අයට අපි ගරු කල යුතුයි.) ඒත් ඒවාට කොටු වෙන්න එපා, මොකද එතකොට අපි සිංහල සඳහා තවත් භාෂාවක් මත යැපෙනවා. භාෂාවක් උනහම ස්වාධීනව පැවතීමේ ශක්තියක් තිබිය යුතුයි.

ඒ වගේම සිංහල type කරන්න ඉගෙනගන්න හොඳම ක්‍රමය : සිංහල අකුරු නැති ඉංගිරීසි keyboard එකකින් පුරුදු වෙන එකයි. මොකද සිංහල අකුරු තියෙන keyboard එකක් පාවිච්චි කලාම අකුරු බල බල ගහන්න පුරුදු වෙනවා. ඒත් සිංහල අකුරු නැති ඉංගිරීසි keyboard එකකින් type කරන්න පුරුදු උනාම අකුරු තියෙන තැන් වඩා හොඳින් ඇඟිලි වලට මතක තියෙනවා.

ආ, තව දෙයක්; මම දන්න විධියට නම් මේ විජේසේකර keyboard layout එක තමයි සිංහල type කරන්න තියෙන හොඳම එක. මම දන්න විධියට නම් මේක හදල තියෙන්නේ ඉංගිරීසියෙන් type කරන්න තියෙන qwerty හා Dvorak keyboard layout වගේ වැඩිපුර අවශ්‍ය අකුරු පහසුවෙන් type කරන්න පුළුවන් විධියකටයි.

මොනවා උනත් මම කාටවත් බල කරන්නේ නෑ. කැමති විධියක් කරන්න. කාට හරි ඕනෙ නම් සිංහල type කිරීම සම්බන්ධව මට පුළුවන් විධියක ඕනෙ උදව්වක් දෙන්න මම සූදානම්. එහෙනම්, සිංහලයට ජය වේවා! හෙල බස සදා රැ‍ඳේවා!

17 ක් වූ ප්‍රතිචාර:

අනූ said...

ගොඩක් අය හිතන් ඉන්නෙ විජේසේකර යතුරුපුවරුව පුරුදු වෙන එක හරි අමාරු දෙයක් කියල. මං පුරුදුවු‍නේ දවස් තුනෙන්. ඒක ඒතරං අමාරු නෑ. හැබැයි සාමාන්‍ය විජේසේකර පුවරුවයි යුනිකෝඩ් විජේසේකර පුවරුවයි වෙනස් නිසා ඔය දෙක මට තාමත් පැටලෙනවා. :)

kapila said...

මටත් මුලින්ම ප්‍රශ්නයක් තිබ්බා කොහොමද ‍ඔබ මෙච්චර දිගට ලිපි ලිව්වෙ කියල

ඇත්ත මහන්සි වෙන්නෙ නැතුව බැ

අනිත් එක අමාරු වැඩකට "උණක්" හදාගන්න ඕන

Thejan said...

විජේසේකර යතුරු පුවරුව ලෝක සම්මතයක් වෙලා ඉවරයි සිංහල වලට. අපි අනෙක් සියලුම උත්සාහයන් කරන්න කලින් මේක පුරුදු වෙලා ඉන්න. සිංග්ලිෂ් යතුරු පුවරුව කියන්නේ මෙලෝ රහක් නැති එකක්. තාමත් හඳ වගේ එකක් ලියන්න ඒකට අලි කෙළියක් කරන්න ඕන. Handa ගැහුවොත් හන්ද වෙනවා.Hada ගැහුවොත් හඩ වෙනවා.

මට තියෙන ප්‍රශ්නේ ඇයි ‍අපේ අය මේ යතුරු පුවරුවට හුරුවෙන්න මේ තරම් අකමැති කියලයි.

English QWERTY Keyboard එකේ තියෙන අකුරු A,B,C,D,E පිළිවෙලට හදන්න කවුරුත් try කරන්නේ නෑනේ.

පුරුදු වෙන්න ඕන අතට ලැබෙන එක පාවිච්චි කරලා ගහන්න.
අමාරු ඒවට ගහන්න ලේසි ක්‍රම හොයනවට වැඩිය.

අනූ said...

@Thejan
සිරාවටම විජේසේකරේට වඩා වැඩි අකුරුගානක් සිංග්ලිෂ් වලින් ගහන්න ඕනි වචනයක් හදාගන්න. විජේසේකර පුරුදුවෙන්න වැඩිය දඟලන්න ඕනි නෑ.

ජීවන්ත said...

මේ කමෙන්ට් කරලා තියෙන හැමෝම යතුරු පුවරුවෙන් type කරන අය නේද? එහෙම නැති කව්රුවත් නෑ නේද?

maxtalker said...

මචන් sri ටයිප් කරන්නෙ කෝමද

ජීවන්ත said...

"ශ්‍රී" ලියන්නේ මෙහෙම: මුලින්ම shift+y
ඊළඟට ~ (ඒ කියන්නේ qට උඩින් තියෙන 1ට වමෙන් තියෙන යතුර)
ඊළඟට shift+s

මේවා පියවරෙන් පියවර ගහල බලන්න අකුර නිර්මාණය වෙන විධිය.

said...

මාත් හැමදාම හිතගෙන ඉන්නවා ඕක පුරුදු වෙන්න කියලා ඒත් තාම බැරි උනා. දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න බ්ලොග් ලියන්වා එසැනින් පරිවර්ථකයෙන්

Narada said...

"ක්‍ෂ" ලියන්නේ කොහොමැයි ආයුබෝ? (විජේසේකර යුනිකේත එකෙන්).

සිංහල විජේසේකර කොටන්න පුරුදු වෙන්න හොඳ මාදුකෘශයක් 'සියපත' :
http://wakoopa.com/software/siyapatha

Thameera said...

මමත් මුල ඉඳලම විජේසේකර ක්‍රමේට තමයි බැස්සෙ. ඉංග්‍රීසි ටච් ටයිපිං පුළුවන් වුණත් නැතත් සිංහල අල්ල ගන්න එක අමාරු දෙයක් නෙමෙයි.
ඔය සිංහල යුනිකෝඩ් පරිවර්තකයක් මාත් හැදුවා. ඒක හැදුවෙ අපේ බෝඩි‍මේ යාලුවො ටික බ්ලොග්කරණෙට නම්ම ගන්න. නමුත් ඒ අයටත් කිව්වෙ දැනට මේකෙන් පුරුදු‍ වෙලා ටික ටික විජේසේකර කී බෝඩ් එකට එන්න කියල. අදහසක් තියෙනවා සිංහල ටයිපිං පුරුදු කරන සොෆ්ට්වෙයා කෑල්ලක් හදන්නත්. මේ ලිපිය කියෙව්වම ලොකු තල්ලුවක් ආවා.
ස්තුතියි පෝස්ට් එකට.

Thameera said...

@බිංකු
මචං මම දැන් සියපත ගැන දැනගත්තෙ. වටින නිර්මාණයක්. මේක ගැන ගොඩක් දෙනා දන්නෙ නැහැනෙ!

ක්‍ෂ ලිවීමට
ක + \(backslash) + ෂ

http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/d5a0fdc96aeae5b5?hl=si#

ජීවන්ත said...

@ම,
ඉක්මනටම පුරුදු වෙන්න.

@බින්කු,
සියපත ගැන මමත් දැනුයි දන්නේ. ස්තූතියි!

@තමීර,
ඔබේ මෘදුකාංගයට සුභ පැතුම්!

kapila said...

විජේසේකර යතුරු පුවරුව

http://www.sinhalabloggers.com/wp-content/uploads/2008/04/wijesekera.png

Anonymous said...

ඏ ඐ ලියන හැටි පොඩ්ඩක් කියනවද? මං මෙතනින් ඔය අකුරු දෙක අර ගත්තේ
http://docs.google.com/View?docid=dc7cz2j9_10zk2f2vd5

ජීවන්ත said...

"ඏ" ලියන්නේ: right alt+,(කොමාව)
"ඐ" ලියන විධියනම් හරියට දන්නෙ නෑ: right alt+,(කොමාව) සහ shift+a ගහපුවහම පොතේ හැටියටනම් වදින්න ඕනෙ. ඒත් මගේ ඒ අකුරු දෙක බැ‍ඳෙන්නෙ නෑ. මෙන්න මෙහෙම වදින්නේ "ඏෟ" සිංහල යතුරු පුවරුව මෙතනින් බලාගන්න. http://www.sinhalabloggers.com/wp-content/uploads/2008/04/wijesekera.png

Anonymous said...

බොහොම ස්තුතියි.

Eranga Jayalatharachchi said...

සිංහල පැක් එක එක්ක එන PDF එකක් තියනවා කොහොමද type කරන්නේ කියලා.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails