සැබෑ වෙනස

Saturday, March 21, 2009
[මෙම ලිපියෙහි අරමුණ අනෙක් ආගම් වලට පහර ගැසීම නොව බුදුදහම හා බෞද්ධයින් ගැන සමාජයේ ඇතිවී ඇති දුර්මත ගැන සාකච්ඡා කිරීම පමණක් බව සලකන්න.]
මොහොතකට හිතන්න පුද්ගලයන් දෙන්නෙක් ගැන, මේ ලෝකෙ ඉන්න හොඳම, බුද්ධිමත්ම, ඔක්කොම හොඳ වැඩ කරන, කිසිම නරක වැඩක් නොකරන වගේම දෙන්නටම විශේෂ හැකියාවන් තියෙන පුද්ගලයො දෙන්නෙක් ගැන හිතන්න. ඒ වුනාට එක්කෙනෙක් කියනව එයා දෙවියෙක් (හෝ දෙවියන්ගෙ නියෝජිතයෙක්), ඇවිත් ඉන්නෙ ඔයාලට උදව් කරන්න කියලා. ඒ වගේම කියනව එයාගෙ දේවත්වය හරි එයා කියන දේව වචන හරි ප්‍රශ්න කරන්න එපා කියල. (මේ පුද්ගලයා ඔබට බොරු කියනවා නොවේ. ඔහු ඇත්තටම හිතනවා ඔහු දෙවියෙක් (හෝ දෙවියන්ගෙ නියෝජිතයෙක්) කියලා එහෙම නැත්නම් සමාජය විසින් ඔහුව ඒ විධියට හිතන්න යොමු කරල ඇති. බියෙන් තැතිගත් මිනිස්සු තමන්ට ආලෝකය දෙන සූර්යයා, තමන්ට සෙවන දෙන මහා වෘක්ෂ පමණක් නොව තමන්ට පිහිට වන ඕනෑම දෙයක්, ඕනෑම පුද්ගලයෙක් දෙවියන් ලෙස සැළකීමට පෙළ‍ඹෙන බව බුදුන් වහන්සේ පවසා ඇත.) අනිත් කෙනා කියනවා එයත් අපි වගේම සාමාන්‍ය කෙනෙක්, ඔයාලට උදව් කරන්න ආවෙ ඒ වගේම එයා කියන කිසිම දෙයක් ඔයාල හිතල බලල තේරුම් ගන්නකම් පිළිගන්න එපා කියල. ඔබ කාවද පිළිගන්නෙ? එහෙමත් නැත්නම් ඔබ කාවද අනුගමනය කරන්නෙ? ප්‍රශ්න අහන්නෙ නැතුව එයා කියන විධියට ගිහිල්ල විමුක්තියට (දෙවියන් ලඟට) යන්න කියන කෙනාවද? නැත්නම් අනුගමනය කරන්න හරි නොකරන්න හරි ඔබට තෝරගන්න දෙන, ප්‍රශ්න අහන්න ඉඩ දීල සැක දුරු කරගෙන විමුක්තියට මග පෙන්වන කෙනාවද? මෙයයි බුදුදහමේ වෙනස! අනුගමනය කරන්නන්ට, බුද්ධියට, දැනුමට මුල් තැන දෙන ඒ වගේම කාටවත්, කවදාවත් ඔප්පු කරන්න බැරි දේවල් (ඒ කියන්නේ බුද්ධි ගෝචර නොවන දේවල් - බුදුදහමේ ඇති "එන්න ධර්මය දකින්න" යනුවෙන් කීමට ඇති හැකියාව බොහෝ ආගම් වලට නොමැත.) අහක දාන එකම ආගම බුදුදහමයි.
ඒ වගේම අනෙක් ආගම් මෙන් බුදුදහමේ පදනම රඳා පවතින්නේ විශ්වාසය මත නොව අවබෝධය මතයි. අනෙක් ආගම් වල භක්තිකයන් එම ආගමේ සැබෑ භක්තිකයන් වන්නේ දෙවියන් වහන්සේ ගැන ඇතිවන බලවත් විශ්වාසය නිසාවෙනි. නමුත් බෞද්ධයකු සැබෑ බෞද්ධයකු වන්නේ බුදුන් වහන්සේ හෝ බුද්ධ ධර්මය හෝ සංඝයා වහන්සේ ගැන ඇතිවන විශ්වාසයෙන් නොව ඒ පිළිබඳව ඇතිවන මනා අවබෝධයෙනි. (බුදුන් වහන්සේ පවසන දෙය පවා තමා තමාගේ නුවණින් හොඳින් අවබෝධ කර ගන්නා තෙක් විශ්වාස නොකරන ලෙස බුදුන් වහන්සේම පවසා ඇත. - මෙය හොඳට චූළ හත්ථිපදෝපම සූත්‍රයේ උදාහරණයකින් විස්තර කරනවා. සිහියෙන් කියවන්න)
බුදුදහම පිළිබඳව සමාජයේ කතා වන තවත් කරුණක් නම් බුදුදහම විද්‍යාත්මකද යන්නයි. මේ පිළිබඳව සොයා බැලීමට පෙර විද්‍යාව යනු කුමක්දැයි දැනගැනීම වටී. විද්‍යාව යනු ස්වභාවධර්මයේ අප නිරීක්ෂණය කරන දේ, අප සංවේදනය කරන දේ සිදුන්නේ මෙලෙසින්ය, සිදුවන්නේ මේ හේතුවෙන්ය, එය සිදුවීමෙන් මෙවන් ප්‍රතිඵල ලැබේ යනුවෙන් අප විසින් නිර්මාණය කර ගත් දැනුම පද්ධතියකි. එනම් විද්‍යාව යනු සොබාදහම නොව සොබාදහම අප දකින ආකාරයයි. එමෙන්ම විද්‍යාව යනුවෙන් ඇති මුළු දැනුම පද්ධතියම ගොඩනගා ඇත්තේ උපකල්පන මතය. ක්වොන්ටම් යාන්ත්‍රණය වේවා, සාපේක්ෂතාවාදය වේවා, ගණිතය වේවා මේ සියලු විද්‍යාවන් ගොඩනගා ඇත්තේ උපකල්පන (හෝ axioms) මතය. වස්තුවක පෘෂ්ටයේ ඇති අංශු කම්පනය වීමෙන් විකිරණ පිටකරයි යන්න, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, ක්වාක්, ලෙප්ටෝන් වැනි අංශු පවතීය යන්න ආදිය පමණක් නොව එකයි එකයි දෙකයි යන්න පවා උපකල්පනයකි. (ගණිතයෙහි ඇති මූලික axioms මඟින්) එක් අඹ ගෙඩියකුයි තවත් අඹ ගෙඩියකුයි එකතු කල විට අඹ ගෙඩි දෙකක් වූ පළියට මුළු විශ්වය සඳහාම එය එසේ යැයි ඔප්පු කල හැක්කේ කාටද? (සමහර සංසිද්ධි සඳහා එය එසේ නොවන බව නවීන විද්යාිවෙන්ම ඔප්පු කර ඇත. උදා: අංශු භෞතික විද්යාදවේ (particle physics) එන fundamental particle decay හි අතරමැද අවස්ථාවක් වන virtual particle වැනි අවස්ථා වලදී - නමුත් එහිදී මොකක්දෝ විකාර කතාවක් කියා විද්‍යාව එයින් ගැලවෙයි - යථාර්තයෙන් පැන යාම වැනි කතාවක්!) එනම් විද්‍යාවේ පදනමද අවබෝධය නොව විශ්වාසයයි. (උපකල්පන සත්‍යය යැයි ඇති විශ්වාසයයි.) නමුත් බුදුදහම උපකල්පන මත ගොඩනගා නැත. බුදුදහමට සොබාදහම විශ්වාස කිරීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අවබෝධයක් ඇති කර ගැනීමය. (විශ්වාස කිරීම හා අවබෝධ කර ගැනීම අතර වෙනස වටහා ගැනීම සමහරුන්ට අපහසු විය හැක.)
සත්වයා හා සත්වයාගේ සිත යන්න පවා සොබාදහමේම කොටසකි. බුදුදහමෙන් සිදුකරන්නේ මාර්ගෝපදේශනයකි. එනම් සත්වයා හා සත්වයාගේ සිත යන සොබාදමේ අංග ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට මග පෙන්වීමය. සත්වයා හැරුණු කොට අනෙක් දේ ගැන සිත යොමු කිරීම බුදුදහමෙහි ප්‍රතික්ෂේප කර නැත. තමුත් එවන් දේ ගැන සිතීමෙන් සත්වයාට ඇති ප්‍රයෝජනයක් නැතැයි බුදුරදුන් පවසා ඇත. උදාහරණයක් ලෙස දක්වන්නේ නම්, අපගේ දැනුම හා බුද්ධිය උපයෝගී කරගෙන ජීවිතය පහසු කිරීමට යැයි සිතාගෙන නිර්මාණය කර ඇති මේ නවීන, සංකීර්ණ ලෝකයේ ඒකාකාරී ජීවිත ගත කරන කාර්යබහුල මිනිසුන්, මීට වසර දෙදහසකට පෙර සිටි සරල මිනිසුන්ට වඩා විවේකයෙන් හා සතුටින් සිටින්නේ යැයි කිව හැක්කේ කාටද?
මෙවිට සමහරු කියන්න පුලුවන් බෞද්ධයන් යනු කිසිත් විශ්වාස නොකරන, ඉච්ඡාභංගත්වයට පත්වූ පිරිසක් කියල. නමුත් සැබෑව එයද? තමන්ගේ දුක, බිය, නොහැකියාව, දුර්වලතා, ඉච්ඡාභංගත්වය ආදිය වසා ගැනීමට මිනිසුන් අපූරු සංකල්පයක් නිර්මාණය කලහ. ඒ දෙවියන්ය. තමන්ගේ දුක, බිය, නොහැකියාව, දුර්වලතා, ඉච්ඡාභංගත්වය ආදී සියලු දේ දෙවියන්ට, දේව කැමැත්තට, දේව අණට බාර කල මිනිස්සු වගකීමෙන් මිදුණහ; දෙවියන් මාර්ගයෙන් තමන්ගේ කිළිටි අත් පිරිසුදු කරගත්හ. (මිනිසුන් දෙවියන්ගේ නිර්මාණයක් වීම කෙසේවෙතත් දෙවියන් යනු මිනිසුන් විසින් නිර්මිත "සංකල්පයක්" බව අප මෙහිදී මතක තබා ගත යුතුය.) ඉතින් ඉච්ඡාභංගත්වයට පත්වී ඇත්තේ බෞද්ධයන්ද? එමෙන්ම සැබෑ බෞද්ධයා යනු නිර්වචන වලට කොටුවී නොමැති, තමා විශ්වාස කරන දෙයට වඩා තමන්ගේ බුද්ධියට මුල් තැන දෙන විචක්ෂණ බුද්ධියෙන් හෙබි පුද්ගලයෙකි. උදාහරණයක් විධියට කැළෑවක ගමන් ගන්නා පුද්ගලයෙකුට කොටියකු කෑ ගසන ශබ්දයක් ඇසේ. දේව භාෂිත යනුවෙන් හඳුන්වා ගන්නා දේ පරම සත්‍යය යැයි විශ්වාස කරන්නෙකුට නම් ඒ කොටියෙකි. (දේව වාක්‍යයක එසේ ඇත්නම්) නමුත් බෞද්ධයෙකුට ඒ කොටියෙකු විය යුතුම නැත. සමහර විටෙක එය කොටියෙකුගේ හඬ පටයක් වීමටද පුළුවන. එනම් බෞද්ධයකු තමන් දුටු දේ, තමන් ඇසූ දේ එකෙනෙහිම විශ්වාස නොකරන අතර ඒ ගැන තම බුද්ධියෙන් විමසා බලයි. නමුත් දේව භාෂිත යනුවෙන් හඳුන්වන “නිර්වචන”, පරම සත්‍යය යනුවෙන් විශ්වාස කරන්නවුන්ට එලෙස කිරීමට නොහැක. කිමද දේව භාෂිත නම් වූ නිර්වචන වලට පිටින් සිතීමට ඔවුන්ට නොහැක; ඒ ඒවා ඉක්මවා යාමට ඔවුන්ට ඇති අයිතියත් ඒ දේව භාෂිත වලින්ම ඉවත් කර ඇති නිසාය. (උදා: දස පණතේ පළමුවැන්න)
බුදුදහම අනෙක් ආගම් වලින් වෙනස් වන තවත් කරුණක් නම් අනෙක් ආගම් මෙන් බුදුදහමේ කරුණු නොඉගැන්වීමයි. ඒ වෙනුවට බුදුදහමේ සිදුකරන්නේ සත්‍යාවබෝධය සඳහා ඉගෙනගැනීමට මග පෙන්වීමයි. ඒ ඒ පුද්ගලයාගේ චින්තනයන්ගේ වූ අනන්‍ය ස්වභාවය මැනවින් වටහා ගෙන නිර්මාණය කර ඇති බුදුදහමේ මේ ගුරුවරයා නොව ශිෂ්‍යයා කේන්ද්‍ර කරගත් ඉගැන්වීම් ක්‍රම ශිල්පය අද වන විට ඉගැන්වීම සඳහා හොඳම ක්‍රමයක් ලෙස ලොවම පිළිගෙන ඇත. (නමුත් පෙරදිග නිර්මාණය වූ බොහෝ කරුණු මෙන්ම එම ක්‍රමයද නවීන ලොව තුල කරලියට පැමිණ ඇත්තේ බටහිර නිර්මාණයක් ලෙස හුවා දක්වමිනි.)
බුදුදහම ගැන ඇති තවත් දුර්මතයක් නම් බුදුදහම යනු සතුට ගැන නොව දුක පිළිබඳව පමණක් උගන්වන ආගමක් යන්නයි. මෙය අසත්‍යයකි. “නීරෝගීකම පරම ලාභයයි; සතුට උතුම්ම ධනයයි” යනුවෙන් බුදුරදුන්ම පැවසීමෙන්ම එය පැහැදිලි වේ. එමෙන්ම චතුරාර්ය සත්‍යයේ පවා තෙවන හා සිව්වන කරුණු පැහැදිලි කරන්නේ දුකෙන් මිදී සංතුෂ්ටිය ලබා ගැනීම පිළිබඳවය. තවද පංච සීලය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මහාමංගල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය වැනි බොහෝ සූත්‍ර වල අඩංගුව ඇත්තේ දුක ගැන නොව සතුට ලඟා කර ගැනීම පිළිබඳවය; විශේෂයෙන්ම තනි තනිව නොව මුළු මහත් සමාජයක් ලෙසම සතුටු විය හැකි ආකාර, පිළිවෙත් ගැනය.

9 ක් වූ ප්‍රතිචාර:

Sankha said...

ජීවන්ත, ඔබ‍‍ගේ උත්සාහය අගය කරන අතර බුද්ධිමත් ‍‍සංවාදයකට සූදානම් යැයි සි‍‍‍‍තෙන නිසා පහත කරුණු ‍‍‍‍‍‍යො මු කරනවා.
1 ඔබ විද්‍යා ශිෂ්‍ය‍‍‍යෙක් ‍‍‍ලෙස මීට වසර 2500 කටත් එහා සිදු වූ ‍‍‍සො යා ගැනීමක් නවීන විද්‍යාවටත් වඩා පිළිගන්නවාද?
2 සෑම ආගමක්ම මිනිසුන්‍ ‍‍‍ගේ සුව‍‍සෙ ත සදහා ‍‍‍‍‍‍පෙනී සිටින බව පිළිගන්නවද?
3 ආගම් වල සදහන් ‍‍‍‍‍දේට වඩා ප්‍රා‍‍‍‍යෝගිකව සිදුවන ‍දේ ‍‍‍වෙනස් බව ගැන කුමක් සිතනවාද?
4 ප්‍රා‍‍‍‍‍‍‍‍‍‍‍යෝගික භාවිතය ගැන සලකා බැලූ විට වත්මන් බුදුදහම ගැන සිතන්‍‍‍‍‍නේ කුමක්ද?

‍‍‍‍‍‍‍‍මෙහි අවසාන ප්‍රශ්නයට මට දීමට ඇති පිළිතුර නම් වත්මන් ශ්‍රී ලංකා‍‍‍වේ බුදු දහම ක්‍රියාත්මක වන ආකාරය දකින අන්ආගමික‍‍‍‍යෙක් හට ඔබ විසින් ‍අන් ආගමක් ගැන ලියා ඇති ආකාර‍යමෙ වි‍‍‍වේචනයක් කිරීමට ඉඩ ඇති බවයි

Ramachandra said...

කර්මය හා පුනර්භවය වගේ දේවල් වර්තමාන බෞද්ධයා පිලිගද්දි එතන තියෙන්නෙ ආප්ත ඥානය (පෙර ආචාර්යවරුන්ගෙන් පැවතගෙන ආ,පොතේ පවතින)ඥානය නෙමෙයිද?
බෞද්ධයා ඒක පිලිගනිද්දි එතන තියෙන්නෙ අවබෝදයට වඩා විශ්වාසය නේද?
පංච නීවරන වල එකක් විචිකිච්ඡාව-ධර්මය ගැන තියෙන සැකය.ශ්‍රද්ධාව සත්‍යාව‍බෝධය සදහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස සැලකෙනවා නේද?
බුදු දහම ආයතනගත විමත් එක්ක ඒක සංස්ථාවක් බවම පත්විම සමග මුල් බුදු සමය තුල තිබුන සාරය තවදුරටත් එහි තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
විද්‍යාව ගැන මේ පැහැදිලි කිරිමත් කරන්න.දැන් ශුක්‍රානුවක් හා ඩිම්බයක් සංසේචනය වී කලලයක් සෑදේ කියල(ජීව විද්‍යාවේ)කියන කොට එතන තියෙන්නෙ ආනුභූතික අව‍බෝධයද?උපකල්පනයක්ද?
එතකොට සත්වයාගේ වර්තමාන පැවැත්මට පෙර භවයක කරන ලද කුසල කර්ම බලපායි කියල කියද්දී එතන තියෙන්නෙ උපකල්පනයක් නෙමෙයිද?

ජීවන්ත said...

නවීන විද්‍යාව හා බුදුදහම යන දෙක පැහැදිලිවම වෙනස් පදනම් මත ගොඩනැගුනු දෙකක්. මෙතෙන්දි අපි අමතක නොකල යුතුයි අද අපි නවීන විද්‍යාව කියල හඳුන්වන්නේ බටහිර සංස්කෘතික පදනමක් මත මූලිකවම නිර්මාණය කෙරුණු දෙයක් කියල. එමෙන්ම ඇත්තටම කියනව නම් අපි පෙරදිග දර්ශනය කියන එක හරියට දන්නේ නෑ. අපි දන්නේ පොඩි කාලෙ ඉඳන්ම "බටහිර මොඩලයකට අනුව නිර්මාණය කරපු අධ්‍යාපනය මඟින් ඉගෙනගන්න/උගන්වන පෙරදිග දර්ශනයයි". ඒ වගේම අපි යමක් පිළිගන්නවද කියන එක සාපේක්ෂයි. (දැනුම හා විශ්වාසය ගැන ලිපියක් ඉදිරියේදි පළ කරන්නම්.) විශ්වාසය කියන දේ කැපෙන පිහියක්. අවශ්‍යතාවය වන්නේ අවබෝධයයි. ඒක නිසා "මීට වසර 2500 කටත් එහා සිදු වූ ‍‍‍සොයාගැනීමක් නවීන විද්‍යාවටත් වඩා පිළිගන්නවාද?" කියන දෙයට මට කියන්න තියෙන්නේ එය එම දෙයට අනුව සාපේක්ෂ බවයි. එම දැනුමේ අන්තර්ගතය මගේ වැටහීමත් සමග සංගත වන්නේ නම් එය පිළිගැනීමට බොහෝ දුරට පිළිවන. මෙය "නවීන විද්‍යාව"ටත් අදාලය. බුදුදහමේ තියෙන විශේෂත්වය වන්නේ දැනුම විශ්වාස කිරීමට නොව අවබෝධ/ප්‍රත්‍යක්ෂ කරගැනීමට යොමු කිරීමයි. උදාහරණයක් ඉදිරිපත් කරන්නේ නම් චතුරාර්ය සත්‍යය දැනගත් පමණින් හෝ එය සත්‍යය යැයි විශ්වාස කල පමණින් කිසිවෙකු නිවන් දකින්නේ නැත. නිවන් දකින්නට නම් අප එය ප්‍රත්‍යක්ෂ කල යුතුය.
සෑම ආගමක්ම මිනිසුන්ගේ සුව‍‍සෙත සදහා ‍‍‍‍‍‍පෙනී සිටින බව නම් මා නොදනිමි. නමුත් මම පිළිගන්නා ආකාරයට නම් ආගම් නිර්මාණය වී ඇත්තේ මිනිසුන් තුල ඇති බිය දුරුකිරීම සඳහායි. උදාහරණයක් විධියට කිසිවෙකුගෙන් "ඔබ පවතිනවාද? ඔබට එය ඔප්පු කල හැකිද?" යන ප්‍රශ්නය අසා බලන්න. ඔහු ඔබට පිස්සු යැයි කියාවි. එම ප්‍රශ්නයට මිනිසුන් කෙතරම් බියද යත් එවන් ප්‍රශ්නයක් පවතී යන්න පවා පිළිගැනීමට පවා මිනිසුන් මැලි වෙති. මෙවන් වූ අනේකවිධ බිය ගන්වන සුළු ගැටළු වලට පිළියම් සඳහා ආගම් නිර්මාණය වී ඇතිබව මගේ හැඟීමයි.
තුන්වන ප්‍රශ්නයට පිළිතුරු ලැබුන බව ගැන සිතමි.
වත්මන් බුදුදහම ගැන කතා කරනවා නම් අංග 2ක් ගැන කතා කල යුතුය. එකක් වන්නේ බුදුදහමයි. අනෙක වන්නේ බෞද්ධයන්ය. බුදුදහම අද දක්වා පවත්වාගෙන එන ලද්දේ (මුඛ්‍ය පරම්පරාගතව හා ලේඛන මඟින්) මූලික වශයෙන්ම පෘතග්ජන භික්ෂූන් මඟිනි. රහතන් වහන්සේලාගේ නොමද සහාය මෙලට ලැබුනද මා සිතන ආකාරයට වැඩිම දායකත්වයක් ලැබෙන්නට ඇත්තේ(සංඛ්‍යාත්මක වශයෙන්) පෘතග්ජන භික්ෂූන්ගෙනි. මේ නිසා වෙනස්වීම් ඇතිවීමට ඇති ඉඩකඩ බොහෝය. නමුත් මාගේ වැටහීමට අනුව බුදුදහම යනු සත්‍යයම නොවේ. සත්‍යාවබෝධයට ඇති මාර්ගයයි. නිවන යන්න දැනුමක් නොවේ. (මේ ගැන පසුව කතා කරමු.) කෙසේ වුවත් නිවනට බොහෝ ඈතින් සිටින අප නිවන ගැන මෙලෙස කරුණු ඉදිරිපත් කිරීම නුවණට හුරු නැත. එනිසා මා නැවතත් කියන්නම් නිවන යනු පිළිගන්නා හෝ විශ්වාස කරන්නක් නොව අවබෝධ කර ගන්නකි. කෙසේ නමුත් මා සිතන්නේ වර්තමාන බුදුදහම මුල් බුදුදහමට වඩා වෙනස් වී ඇති නමුත් එය මහා පරිමාණයෙන් නොවන බවයි. බෞද්ධයින් ගැන කතා කරන්නේ නම් අද වන විට විවිධාකාර වූ බෞද්ධයින් බිහිවී ඇත. සුපිරි පැලැන්තියේ බෞද්ධයින්, විද්‍යාත්මක බෞද්ධයින්, සාමාන්‍ය ගැමි බෞද්ධයින් ආදී වශයෙන් බොහෝ සේ මේ අය වර්ග කර දැක්විය හැක. මේ අය අද බුදුදහමට තම තමන්ගේ දැනීමට විවිධාකර වූ අර්ථ දැක්වීම් ඉදිරිපත් කරයි. (මාද එසේ නොවේම යැයි මා නොකියමි.) එය බොහෝ දෙනෙක් කරන්නේ නිවැරදි අවබෝධයකින් තොරවය. (අන්ධයා අලියාගේ හැඩ කියන ආකාරයට!) අප බටහිර අධ්‍යාපනයක් ලැබුවෝ වෙමු. ඒ නිසා අපගේ අදහස් තුල බටහිර ලක්ෂණ නැතැයි කීමට අපට නො‍හැක. නමුත් බොහෝ දෙනෙක් ඒ බව නොපිළිගන්නා අතර බුදුදහම බටහිර ආකෘති තුලට එබ්බවීමට ක්‍රියා කරති. (බුදුදහම විද්‍යාත්මක සාධක ඇසුරෙන් පැහැදිලි කිරීමට යාම වැනි) මෙය අප නොකල යුත්තකි. බුදුදහම බුදුදහම ලෙසම දැකීමට අප උත්සාහ කල යුතුය. අද බෞද්ධයින් යැයි කියාගන්නා පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් නිසා බුදුදහම හෑල්ලුවන අවස්ථා බොහෝය. (මේවා බුදුදහම හෑල්ලු කිරීම සඳහාම ඕනෑකමින් කරන දේවල් වීමට ඉඩ තිබේ.)
@රාමචන්ද්‍ර,
"බෞද්ධයකු සැබෑ බෞද්ධයකු වන්නේ බුදුන් වහන්සේ හෝ බුද්ධ ධර්මය හෝ සංඝයා වහන්සේ ගැන ඇතිවන විශ්වාසයෙන් නොව ඒ පිළිබඳව ඇතිවන මනා අවබෝධයෙනි." මෙය නැවත නැවතත් කිව යුතු යැයි නොසිතමි. බෞද්ධයා හා නියම බෞද්ධයා යන්න ‍වෙනස්ව වටහා ගන්න. අපි මේවා ගැන කතා කරන්නේ රහත් වෙලා නෙවෙයි. ඒ නිසා අපි කතාකරන දේවල් නියම ස්වභාවයෙන් අපගමනය වී තිබෙන්නට පුළුවන්. ඒ වගේම අපි ඉගෙනගන්න විද්‍යාව පරිපූර්ණ දැනුම පද්ධතියක්ද නොවේ. අප දන්නේ අපගේ සංවේදන වලට දැනෙන සීමාව පමණි. අප අපගේ සංවේදන යන රාමුවෙන් කොටුවී සිටිමු. අපගේ සංවේදන වලට හසු නොවන අධෝරක්ත තරංග ආදිය අප අපගේ සංවේදන වලට හසුවන දේවල සිදුවන වෙනස්වීම් මගින් උපකල්පනය කර ලබාගනිමු. මෙහිදී එම උපකල්පන සංගත දැයි බැලීමට විවිධ පරීක්ෂණ කරනු ලබයි. ඒ කුමන පරීක්ෂණය කලත් අප අපගේ සංවේදන වල සීමාව තුලම සිරවී සිටිමු. අඩුම තරමේ අපට රූප, ශබ්ද, ගන්ධ, රස හෝ ස්පර්ශයෙන් නොදැනෙන දෙයක් ගැන සිතීමට වත් පිළිවන්ද? තරංග ආදිය ගැන සිතුවද අප එය සිතන්නේ අවකාශ-කාලය තුල අප සිරවී ඇති රාමුව තුලමය. මෙය සත්වයාගේ ස්වභාවික දුර්වලතාවයකි. එනිසා පිළිගත්තද නැතිද අපට උපකල්පන මත යැපීමට සිදුවී ඇත.

මකබාස් said...

ඈ බං, දැං උඹ කියන්නේ බුදුහාමුදුරුවෝ කොන්ටම් දැනං හිටිය කියලද? එහෙම නැත්තං සංවේදන වලින් දැනගන්නා "ලෝකය" මායාවක් බවද??

ජීවන්ත said...

බුදුහාමුදුරුවෝ යමාමහ පෙළහර පාල පෙන්නුවා නේද ඉන්ද්‍රිය සංවේදන රැවටෙන සුළුයි කියල?

Udara said...

අනේ මකබාසෝ, උඹ නං භෞතිකවාදියෙක් වගෙයි. භෞතිකවාදීන්ට බුදුදහම වහකදුරු වගේද?

Ramachandra said...

ජීවන්ත ඇත්තටම ඔබ යමා මහ පෙලහර වගේ දේවල් විශ්වාස කරනවද?(මගේ මතකය නිවැරදි නම් එක් නාස් පුඩුවකින් ගින්දර හා අනෙකින් ජලය පිටකිරීම-වැරදි නම් නිවැරදි කරන්න)
ඕව නිකම් සාහිත්‍යමය ප්‍රබන්ද කියල හිතෙන්නෙ නැද්ද?
-ඔය විදිහටම "පෙලහර"පාන සායි බබාගේ විජ්ජා ගැන අහල ඇතිනෙ.බුදුන්වත් හුදු මැජික්කාරයෙක්ගෙ තත්වයට පිරිහෙලන සාහිත්‍යයික ප්‍රබන්ධ පමනක් නෙමෙයිද ඔය?-

ජීවන්ත said...

යමාමහ පෙළහර පෑම කියන්නේ එක් පසෙකින් ගින්දරත් අනෙක් පසින් ජලයත් පිටකිරීම නොවේ. ඒ අයුරින් බලා සිටින අයට දිස්වීමට සැලැස්වීමයි. අනික ඒක එහෙමම කලා කියල මම හිතන්නේ නෑ. මම හිතන්නේ මොකක් හරි සංවේදන රැවටෙන සුළු දෙයක් කරන්න ඇති කියලයි. අනික් අතට විද්‍යාවට පැහැදිලි කරන්න බැරි හා අපිට සාමාන්‍ය සිද්ධි ඇසුරෙන් තේරුම්ගන්න බැරි දේවල් බොරු කියල අහක දාන්නත් බෑ. මොකද විද්‍යාව හා අපේ අත්දැකීම් කියන්නේ පරිපූර්ණ දැනුම නොවන නිසා!

Lanka Danweem Pituwa said...

හිතවත් මිතුරනි,
පහත තිබෙන්නේ අපගේ තවත් මිතුරෙක් සැගවි ගිය බුදු දහම නැවත ලෝකයට විවර කිරීමට උත්සහ දරන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනේකුගේ ධර්ම දේශනා ඇතුලත් වෙබ් අඩවියක විස්තර. අපට තර්ක විතර්ක කරමින් සිටීමට කාලයක් නැත. ධර්මය අව‍බෝද කරගන්නට උත්සහ දරන්න.

බණ්ඩාර .......

බුදු රජාණන් වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය ශතවර්ෂ ගණනාවක් පුරා සැඟවී තිබුණි. ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි නොවුනේ එහි ප්‍රතිඵලයක්ලෙසිනි. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන අප හට සසරින් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන ස්වාමීන් වහන්සේ නමක් අපේ පිනට පහල වී සිටිති.

ඒ අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේය.

උන්ව‍‍‍‍හන්සේගේ ධර්ම‍ය අසන විට අප මෙතෙක් කල් සිතා සිටි බොහෝ දේ වැරදි බව අපටම වැටහේ. නොතේරුනු තැන් තේරෙන්නට පටන් ගන්නේ අපවම පුදුමයට පත් කරමිනි. මා නම් මෙවැනි බණක් මගේ ජීවිත කාලයටම අසා නොමැති බව පැහැදිලිවම කිව යුතුය.
වෙබ් අඩවිය
http://sites.google.com/site/hiddenbuddhism/Home/

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails