මිනිසා සහ සතුන්

Friday, March 27, 2009
මිනිසා අනෙක් සතුන්ගෙන් වෙන්කර දැක්වීමට කෙතරම් උත්සාහ කලත්, මිනිසුන්ටත් අනෙක් සතුන්ටත් ඇත්තේ එකම පොදු ප්‍රධාන අරමුණකි. වෙනස ඇත්තේ එය ඉටුකර ගන්නා ක්‍රමයේ පමණක් වේ. (එය නම් ජීවත්වීමයි.)
Even though we try to distinguish between animals and humans, the main purpose is same for all. (It is to live) The difference is only in the way how it is achieved.

යන්නෙ කොහෙද? මල්ලෙ පොල්!

Wednesday, March 25, 2009
රටක් දියුණුවෙන්න, මිනිහෙක්ට දියුණුවෙන්න නම් මොනවද ඕනෙ? අද අපිට එදිනෙදා හමුවෙන, පත්තරවල, ටී.වී. එකේ දකින්න ලැබෙන සියලුම සමාජ පංති වලට අනුව නම් දියුණුවෙන්න අත්‍යවශ්‍යම දේ තමයි ඉංග්‍රීසියි, ජාත්‍යන්තරයයි. (මේක international level, international market, international standard ආදී විවිධ නම් වලින් හඳුන්වනවා.) හැබැයි මට නම් ඒක ප්‍රශ්නයක්! දැන් ඔය ලෝකෙ දියුණුයි කියල කියන ජාතීන් දිහා බැලුවම ඒ ප්‍රශ්නෙ තහවුරු වෙනවා.
ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ජපානය, චීනය, රුසියාව හා මැද පෙරදිග රටවල් මුළු ලෝකෙන්ම දියුණුම රටවල් විධියටනෙ පිළිගන්නෙ. ඒ වුනාට ඒ එක රටක්වත් තමන්ගෙ මව් භාෂාවට ඇර වෙන භාෂා වලට ප්‍රමුඛත්වයක් දෙන්නෙ නෑ. ඒ වගේම මේ රටවල උසස් අධ්‍යාපනය තියෙන්නෙත් තමන්ගෙ මව් බසෙන්. ඇමරිකාව, එංගලන්තය තමන්ගෙ මව් භාෂාව වන ඉංග්‍රීසි පාවිච්චි කරනවා (ඒ වගේම ඒක මුළු ලෝකෙටම පතුරුවනවා), ප්‍රංශය වැඩ කරන්නෙ ප්‍රංශ බසෙන්, ජර්මනියෙ තියෙන්නෙ ජර්මන් භාෂාව, ජපන්නු වැඩ කරන්නෙ ජපන් භාෂාවෙන්, චීන්නු පාවිච්චි කරන්නෙ චීන භාෂාව, රුසියාවෙ වැඩ කරන්නෙ රුසියානු භාෂාවෙන්, මැද පෙරදිග රටවල් පාවිච්චි කරන්නෙ අරාබි භාෂාව. මොකද ඒ රටවල මිනිස්සු දැනගෙන හිටියා තමන්ගෙ දේ අමතක කරල පිට දෙයක් බදාගෙන තමන්ට කවදාවත් නැගිටින්න බැරි බව. තමන් කව්ද කියල අමතක කරල පිට දෙයක් වැලඳගෙන ඕනෙමනම් ටික කාලයක් රජා වගේ ඉඳියි. හැබැයි ඉතින් ඊට පස්සෙ වැටෙන වල කොච්චර ගැඹුරුද කියල වැටුනට පස්සෙ තමයි තේරෙන්නෙ.
බොරු කියන්න ඕනෙ නෑනෙ ඉංග්‍රීසි කියන එක යටත් විජිත කාලෙදි, බ්‍රිතාන්‍යයන්ට අපිව පාලනය කරන්න ලේසි වෙන්න අපි මත බලෙන් පටවපු දෙයක්නෙ. හැබැයි ඉතින් ඒ ඉංග්‍රීසියි, ජාත්‍යන්තරයයි මත්තෙම නහින්න හදන ජාතියක් දැක්කම දුකත් හිතෙනවා, අනික් අතට හිනත් යනවා. බ්‍රිතාන්‍යයන්ට අධිරාජ්‍යය පවත්වාගෙන යාම සඳහා ඉංග්‍රීසි ව්‍යාප්ත කිරීමත්, මිශනාරි ව්‍යාපාරවල සාර්ථකත්වයත් බෙහෙවින් ඉවහල් විය. කිමද වෙනස් භාෂා, වෙනස් ආගම්, වෙනස් සංස්කෘතීන්ට අයත් ජන සමූහයන් පාලනය කිරීමේදී යොදා ගත යුතු ක්‍රම ශිල්ප විවිධ වීමත්, ඔවුන්ගේ අවශ්‍යතා හා ක්‍රියාකාරකම් විවිධ විමත් නිසා පාලනය අපහසු හා වියදම් අධික වේ. නමුත් සියලු දෙනා එක් භාෂාවක්, එක් ආගමක්, එක් සංස්කෘතියක් යටතට ගත් විට පාලනය පහසු හා ලාබදායී වේ. ගෝලීය ආර්ථිකය, ගෝලීය සංස්කෘතිය වැනි සංකල්ප මඟින් ඉටුකරන්නෙත් බලෙන් ඉටු කරගැනීමට නොහැකි වූ ඉහත කරුණුමය.
අධිරාජ්‍යය සමය තුල අධිරාජ්‍යවාදීන් විසින් අපගේ දැනුම් වල සාරය උකහාගැනීමෙන් පසුව මුල් දැනුම, මූලාශ්‍ර සමගම විනාශ කර දැමීමට කටයුතු කළහ. (මේවා අදටද විවිධ වේශයෙන් ක්‍රියාත්මක වේ) මෙමගින් අධිරාජ්‍යයට යටත් ජාතීන් මුලුමනින්ම අධිරාජ්‍යයෙන් යැපෙන්නන් (බඩට කෑමත්, ඔළුවට දැනුමත් පිටින් ආනයනය කරන්නන්) බවට පත්වීම තහවුරු කරන ලදී. අපේ දැනුම ඉදිරි පරම්පරා වලට සම්ප්‍රේෂණය වුනා නම් සීගිරිය, රුවන්වැලි සෑය, යෝධ ඇළ පමණක් නොව දඬු මොණරය වැනි නිර්මාණ පවා අද වන විට අපට ස්වාධිනවම නිර්මාණය කිරීමට හැකි වනු ඇත. නමුත් අද අපි කරන නිර්මාණ සියල්ලම පාහේ කරන්නේ බටහිර දැනුම හෝ දැනුම ආකෘති(model) මතය. එනම් අද අප ඉගෙන ගන්නා ගණිතය, විද්‍යාව, සමාජ අධ්‍යයනය, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ආදී සියල්ලම පාහේ බටහිර දැනුම හා බටහිර ආකෘති මත නිර්මාණය කෙරුණු දැනුම වේ. නමුත් අතීතයට සාපේක්ෂව දැන් තත්වය වෙනස්. දැන් ඔවුන් දියුණුයි. අපි නොදියුණුයි. (සාපේක්ෂව) ඒක පිළිගන්න අකමැති වුනාට පිළිගන්න වෙනව. හැබැයි අපි තාමත් පරක්කු නෑ. අපිට තාම අවස්ථාව තියෙනවා. අපිට අපි විධියටම නැගිටින්න පුළුවන්. ඒකට ඉංග්‍රීසියි, ජාත්‍යන්තරයයි කියන්නෙ අත්‍යාවශ්‍ය සාධක නෙවෙයි. අප මෙයින් කීමට උත්සාහ කරන්නේ පිටින් එන දැනුම ප්‍රතික්ෂේප කල යුතුය යන්න නොවේ. අප පවසන්නේ සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම තුලින් ඒ දැනුම මෙරටට ගැලපෙන ආකාරයකට පරිවර්තනය කර ලබා ගත යුතු බවයි. අප ප්‍රතික්ෂේප කරන්නේ පිටින් එන දැනුම (විද්‍යාත්මක දැනුමද ඇතුළුව) කිසිදු වග විභාගයකින් තොරව “ගෙඩිය පිටින්” වැළඳ ගැනීමයි. ලෝකය තුල දේශපාලන අධිපතිවාදයටත් වඩා ඉතාමත් දරුණු ලෙස දැනුම පිළිබඳ අධිපතිවාදයක් (බටහිර විද්‍යාවන් ඇතුළු බටහිර දැනුම සම්බන්ධව) ක්‍රියාත්මක වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අපගේ පාරම්පරික දැනුම පවා බටහිර විද්‍යාවට අනුව විද්‍යාත්මක දැයි බැලීමට අප පෙළ‍ඹෙන්නේ (පොළඹවන්නේ) එබැවිනි.
කෙසේ නමුත් තවම ලංකාවෙ උසස් අධ්‍යාපනයවත් හරියකට මව් බසෙන් උගන්නන එකක්යැ. (විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වල) ඒ කෙසේ වෙතත් දැන් වන විට රටේ පිළිගත් ජනප්‍රිය සිංහල මාධ්‍ය පාසල් බොහෝ ප්‍රමාණයකම කුඩා පංතිවලදීම (5-6-7 වසර වලදී පමණ) පරීක්ෂණයක් පවත්වා තෝරා ගන්නා දක්ෂ ළමයින්ට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනවා. විහිළුවට කරුණක් නම් සමහර පාසල් වල ළමයින්ට කිරිබත් පවා හැඳි-ගෑරුප්පු වලින් කන්න පුරුදු කිරීමයි. එමෙන්ම අද ළමුන්ට අපේ “සිරිත්-විරිත්” නොඋගන්වන වැඩිහිටියෝ ඒ වෙනුවට බටහිරයින්ගේ “manners” ද “හය-හතර” උගන්වනු වෙනුවට “angels and demons” ගැන ද උගන්වති. එමඟින් රටේ අනාගතය බාරගන්නා දක්ෂයින් මව්බසෙන් හා තමන්ගේ රටේ සංස්කෘතියට අනුව කටයුතු කිරීමට නොදත් පිරිසක් බවට පත් වෙනවා. මේවා සමහර විටෙක කාගේ හෝ උවමනාවකට හෝ මව්බසෙහි හා සංස්කෘතියෙහි වැදගත්කම නොදත් අය විසින් කරන ක්‍රියා වේ. එමෙන්ම ඇතැමෙකුට අප රටේ ඉතාමත් ඈත අතීතයේ පටන් පැවතෙන අපගේ හරවත්/ශිෂ්ට සිංහල-බෞද්ධ සංස්කෘතිය, බංකොලොත් බටහිර සංස්කෘතියකින් ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍යව ඇත. (බටහිරයිටද හොඳ සංස්කෘතීන් පවතී. නමුත් එවන් සංස්කෘතීන්ට අන්අයට ලංවීමට නොදෙන ඔවුන් ඔවුන්ගේ බංකොලොත් සංස්කෘතික අංග අප මත බලෙන් පටවති.) රටක ජනතාව අනෝන්‍ය වශයෙන් එකිනෙකාට බැඳ තබන්නේත්, රටක පදනම වනුයේත් රටේ ආර්ථික හෝ දේශපාලන පසුබිම නොව රටේ සංස්කෘතියයි. රටක සංස්කෘතිය බංකොලොත් කිරීමෙන් රටේ ආර්ථීක, දේශපාලන හා සමාජයීය පද්ධතීන් සහමුලින්ම උදුරා දැමිය හැක. මෙම කරුණු, විනාශ කර දමා ඇති (බටහිර දැනුම ආධිපත්‍යය මඟින්) පෙරදිග සමාජ විද්‍යාවන්ට කෙසේ වෙතත් අප හිස් මුදුනින් පිළිගන්නා (පිළිගැනීමට පුරුදු කර ඇති) බටහිර සමාජ විද්‍යාවන්ට පැහැදිලි කල හැකිද යන්නද සැක සහිතය.
වසරකට රුපියල් කෝටි ගණනක අති විශාල වියදමක් දරා ශ්‍රී ලංකාවේ නිදහස් අධයාපනය ලබා දෙන්නේ, ඒ සමගම ඒ අධයාපනය ලබන පුද්ගලයින්ගෙන් රටට යම් සේවයක් බලාපොරොත්තුවෙනි. නමුත් යම් පුද්ගලයෙක් රටට සේවය කිරීමට නම් ඔහු හෝ ඇය රටේ සංස්කෘතියට හා භාෂාවට අනුව කටයුතු කිරීමට දැන සිටිය යුතුය. නමුත් දැන් ලබාදෙන (හා ඉදිරියේදී දැඩිව ලබාදීමට උත්සාහ කරන) බටහිර/ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් එය ඉටුවෙනවා දැයි අපට බලවත් සැකයක් පවතී.
එමෙන්ම ලංකාවේ සිංහල නොවන බහුතරයකට තවමත් ඉංග්‍රීසියට වඩා සිංහල භාවිතා කිරීමට හැකිය. එනිසා ලංකාව තුල අන්තර් භාෂාව ලෙස ඉංග්‍රීසිය නොව සිංහල භාවිතා කල යුතු බව අපගේ වැටහීමයි. අප හට ඇති ගැටළුව නම් ලංකාව මෙලෙස බටහිර/ඉංග්‍රීසි රටක් බවට පත්කිරීමට උත්සාහ කරන්නේ කාගේ උවමනාවටද යන්නයි; එය දේශප්‍රේමීන්ගේ උවමනාවක් නම් විය නොහැක.
විවිධ මූලාශ්‍ර වලින් දැනුම එක්රැස් කර ඒවා තමන්ගේ දැනුම බවට පත්කරගෙන, එමගින් දියුණුවීමට බටහිරයන් සමත් බව කීම අතිශයෝක්තියක් නොවේ. ඉංග්‍රීසීන් පිටතින් ලබා ගන්නා දැනුම ඒ ආකාරයෙන්ම භාවිතා නොකර තමන්ගේ බසට හරවා එය තමන්ගේ බවට පත් කරගනී. උදාහරණයක් ලෙස කළමනාකරණය හා අද භාවිතා කරන ගණිතයෙහි පදනම් කොටස් පවා බටහිරයන් පෙරදිගින් උකහා ගත් දැනුමෙහි වේ. නමුත් අද අපට මේවා ඉගෙනගන්නට සිදුවී ඇත්තේද ඉංග්‍රීසියෙනි. ඉතින් මෙතන කුමක් හෝ වැරැද්දක් සිදුවී ඇති බව කිසිවකුටත් නොපෙනේද? නමුත් කනගාටුදායක කරුණ වනුයේ දැන් අපේ අයද කරනුයේ එයම වීමයි. එනම් ඉංග්‍රීසියෙන් ඇති දැනුම සිංහලට හැරවීම වෙනුවට තවමත් බටහිරකරණය නොවූ අපේ පාරම්පරික දැනුම සොයා ගොස් ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමයි. එමෙන්ම දුප්පත් රටවලට අනුකම්පාවෙන් බටහිරයින් කිසිදිනෙක ස්වභාෂාවෙන් ඉගෙනීමට ආධාර දෙන්නේද? නැත. ඔවුන් ආධාර උපකාර සියල්ල කරන්නේ ඉංග්‍රීසියෙන් ඉගැන්වීමටය. කිමද එමගින් අප රටවල බිහිවන ඉංග්‍රීසි උගතුන් green card, ශිෂ්‍යත්ව වැනි ක්‍රම මගින් බටහිර රටවලට ගෙන්වාගෙන බටහිරට සේවය කරන්නන් බවට පත් කිරීමට හැකි වීමයි. උදාහරණයක් විධියට NASA වැනි ආයතන වල සේවය කිරීමට මෙරට කොතෙකුත් උගත් පිරිස් උත්සාහ කරත්ද? නමුත් එවැනි ආයතනයන් හි සේවය කරන මෙරට පුද්ගලයෙකු නිර්මාණය කරනා විශිෂ්ට නිර්මාණයකින් සතයක හෝ සෙතක් (මුදලින් නොව දැනුමෙන්) මෙරටට ලබාදීමට එම රටවල් ඉඩ ලබාදේද? නැත. දැනුම ඔවුන්ට මහඟු සම්පතකි. තම රටවල නිර්මාණය වන දැනුම ඔවුන් කිසි විටෙකත් පිටතට නොදෙයි. කිමද දියුණුවීමට අවශ්‍ය දැනුම මිස මුදල් නොවන බව ඔවුන් දනිති. වටිනා දැනුම පිටට යාම වැළැක්වීමට දියුණු රටවල නීති පවා දැඩිලෙස ක්‍රියාත්මක වේ. නමුත් දුකට කරුණ නම් අපි හැමවිටම අපේ දෙයින් ප්‍රයෝජනයක් නොගෙන පිටට දීමට (විකිණීමට හෝ විටෙක නොමිලේම දීමට!) උත්සාහ කිරීමයි. මෙයට රාජ්‍ය මට්ටමින් විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව උදාසීන ප්‍රතිපත්ති අනුගමනය කිරීමත් එක් හේතුවක්. කෙසේ නමුත් මේතාක් කාලයකට අපේ රටේ ප්‍රවර්ධනය වුනේ ව්‍යාපාරිකයින් පමණයි යන්න කණගාටුවෙන් වුවත් කිව යුතුමය. මුළු රටම ගායකයොයි, නැට්ටුවොයි කරන්න වෙර දරන සමහර මාධ්‍ය ආයතන උගත්තු බිහි කරන්න උත්සාහ නොකිරීමත් කනගාටුවට කාරණයක්. තමන්ට රට වෙනුවෙන් කැක්කුම ඇති බව පෙන්වීමට (තමන් කරන “අනෙක් වැඩ” වසා ගැනීමට) කරන බොරු රඟපෑම හැරුණු විට මොවුන් කිසිවක් නොකරයි.
ඔබ කවදා හෝ ඉංග්‍රීසි නොදත් ඉංග්‍රීසි ජාතිකයෙක් ගැන අසා තිබේද? එනමුත් සිංහල නොදත් සිංහලයින් අප අතර කොතෙකුත් සිටීම කෙතරම් ලැජ්ජාවට කාරණයක්ද? ඒ වගේම තාම ලංකාවෙ එක පර්යේෂණයක් වත් සිංහලෙන් කරනවද? වෛද්‍ය විද්‍යාත්මක වේවා, භෞතික විද්‍යාත්මක වේවා, කෘෂිකාර්මික වේවා ඔය ඔක්කොම පර්යේෂණ පත්‍රිකා කරන්නෙ ඉංග්‍රීසියෙන්නෙ. මහා කෘෂිකාර්මික ජාතියකට මේ වන විට කෘෂිකාර්මික පර්යේෂණයක පත්‍රිකාවක් වත් තමන්ගෙ භාෂාවෙන් කරගන්න බැරි එකේ අනික් ඒව ගැන මොන කතාද?
සාමාන්‍යයෙන් සමාජයේ ඉංග්‍රීසි වලට කඩුවක් කියලනෙ කියන්නෙ. (මෙවන් ප්‍රකාශ “සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා” වැනි “බටහිරයින් උසස්, අප පහත්” වැනි අදහස් ඉස්මතු කිරීම සඳහා නිර්මාණය කෙරී ඇති බව අපගේ හැඟීමයි.) හැබැයි අපට නම් ඉංග්‍රීසි කියන්නෙ රත්තරනින් හදල, මැණික් ඔබ්බපු මොට්ට පිහියක්, එතකොට සිංහල කියන්නෙ යකඩෙන් හදල මුවහත තියපු හොඳට කැපෙන කඩුවක්. හැබැයි ඉතිං ලස්සනට තියෙන හිංදයි, හරි ගණං හිංදයි ගොඩ දෙනෙක් බදාගන්න හදන්නෙ වැඩි දෙයක් කරන්න බැරි මොට්ට පිහිය. මේක ඉතිං කොච්චර කිව්වත් සමහරුන්ට තේරෙන්නෙ නෑ, සමහරුන්ට තේරුම්ගන්න අවශ්යරතාවයකුත් නෑ, සමහරුන් තේරිලත් නොතේරුනා වගේ ඉන්නවා (එක්කො තමන්ගෙ තත්වෙ බහියි කියල එහෙම නැත්නම් තමන්ට ලැබෙන "කුට්ටිය" අඩු වෙයි කියල).
භාෂාවක් අවශ්‍ය එකිනෙකා අතර සන්නිවේදනය කරන්න. භාෂාවක ශක්තිය මැනිය යුත්තේ භාවිතයේ සරල/ පහසු බව, විශ්වසනීයත්වය (ඒ කියන්නෙ කාලෙන් කාලෙට භාෂාවේ මූලික සැකැස්ම වෙනස් නොකිරීමේ අවශ්‍යතාවය), නිරවුල් බව හා එකිනෙකාට අවබෝධ කර ගැනීමේ පහසුව, අවශ්‍ය දෙය අවශ්‍ය ලෙසටම පැවසීමේ හැකියාව ආදී අනෝන්‍ය සන්නිවේන ගුණාංග වලිනි. එහෙම බැලුවහම සිංහල, ඉංග්‍රීසි වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ. ඉංග්‍රීසි එක්ක බැලුවම සිංහල ඊට වඩා සරලයි වගේම සංකීර්ණයි. ඒ කියන්නෙ බස හැසිරවීමේ පහසුව, නම්‍යශීලීත්වය වගේ කරුණු වලින් සිංහල භාවිතය සරලයි;පහසුයි. ඒ වගේම කතා කල හැකි සියළුම ශබ්ද වාගේ භාවිතා කරමින් සංකීර්ණ සන්නිවේදන අවශ්‍යතා ඉටු කර ගැනීම අතින් සිංහල ඉංග්‍රීසි වලට වඩා ගව් ගානාක් ඉදිරියෙන් ඉන්නෙ. ඒක හිංදයි සිංහල පුළුවන් මිනිහට දිව ඕන අතකට හරවන්න පුළුවන් කියල කියන්නෙ.
ඉතිං ඇයි මේ කැපෙන කඩුව පැත්තකට දාල මොට්ට පිහියක් බදාගෙන දඟලන්නෙ? ඉංග්‍රීසි ඉගෙනගත්තට කමක් නෑ. හැබැයි ඒ ඉංග්‍රීසීන් එක්ක සන්නිවේදනය කරන්නයි, ඉංග්‍රීසියෙන් තියෙන දැනුම ලබාගෙන ඒවා තමන්ගෙ බවට පරිවර්තනය කරගන්නයි. නැතුව “සුද්දො වගේ සැපට” ඉන්න ඕනෙ හිංදා ඉංග්‍රීසි ඉගෙනගන්නවා නම් ඒක මහා විහිළුවක්. (බොහෝ දෙනෙකු "සිංහල වීම" හීනමානයක් විධියටයි දකින්නේ!) ඒ නමුත් ඉංග්‍රීසි ජාතිකයන්ට සිංහලයින් එක්ක සන්නිවේදනය කරන්න ඕනෑ උනාම ඔවුන් කරන්නේ තමන් සිංහල ඉගෙන නොගෙන සිංහලයින්ට ඉංග්‍රීසි උගන්නන එකයි. හැබැයි ඉතිං ඉංග්‍රීසි කතා කරන, ටයි-කෝට් අඳින, හැඳි ගෑරුප්පු වලින් කන මිනිහට “මහත්තයා” කියන, සිංහල කතා කරන, සරමයි කමිසෙයි අඳින, අතින් කෑම කන මිනිහට නිකම්ම නිකම් “මිනිහ” කියන සමාජයක මේව ගැන මොන කතාද?
අපි නිදහස් ජාතියක් කියල මහ ලොකුවට ලෝකෙට කිව්වට අපි මානසිකව වහල් ජාතියක්. ඒ වගේම මේ මානසික වහල් බව ඇ‍හඟෙන් පිළිකාවක් ඉවත් කරනවා වගේ ඉක්මනට හා බොහොම පරිස්සමෙන් ඉවත් කල යුතුමය. ස්වභාෂා භාවිතයෙන් පමණක් රටක් ගොඩගත හැකි බවක් අප මෙයින් අදහස් නොකරමි. ඒ සඳහා තවත් කරුණු රාශියක් එක් රැස් විය යුතුය.(ඒවා ගැන පස්සේ කතා කරමු) එහෙත් ස්වභාෂා භාවිතය එයින් එක් වැදගත් කරුණක් වන්නේය. මව්බසට ලැබිය යුතු තැන වෙනත් බසකට ලබාදෙන්නා මහා ගුණමකුවකු ලෙස අප දකින්නෙමු. එවන් පුද්ගලයෙකුගෙන් අනෙක් කරුණු සම්බන්ධව සාධාරණ කිසිවක් අපේක්ෂා කල හැකිද යන්න ප්‍රශ්නයකි. හැබැයි ඔය මොනව කලත් “අලුත් දේ නොකරන ජාතිය ලොව නොනගී” කියලයි “මුල මතක නැති මිනිහට කවදාවත් හරි යන්නෑ” කියලයි අපේ පැරැන්නෝ කිව්වෙ කට කහනවට නෙවෙයි කියල මතක තියා ගත්තොත් හොඳයි.

සත්වයාගේ නිදහස - දැනුමේ හා විශ්වාසයේ කතාව

Monday, March 23, 2009
නියම නිදහස යන්න විශ්වාසය මඟින් හිරවෙලා තියෙන දෙයක්. ඒ කියන්නේ උදාහරණයක් විධියට යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ව විශ්වාස කරනවා නම් දෙවන පුද්ගලයාට පළමු පුද්ගලයා මත විශාල බලයක් හිමිවේ. පළමු පුද්ගලයාට දෙවන පුද්ගලයා ගැන ඇති විශ්වාසය දැඩිවන තරමට දෙවන පුද්ගලයාට පළමු පුද්ගලයාව පාලනය කිරීම පහසු වේ. (මෙය තේරුම් කර දීමට මිනිස් සබඳතා යොදා ගත්තේ තේරුම් ගැනීමට පහසු නිසාය.) නමුත් සත්වයාගේ සැබෑ නිදහස ඇත්තේ අනෙක් සත්වයන්ගේ/මිනිසුන්ගේ විශ්වාසයන්ගෙන් නිදහස් වීම මතම නොවේ. එය ඊට වඩා ගැඹුරට විහිදේ. අපි අපිට ඇස් දෙකට පේන දේ, කනට ඇහෙන දේ, පොත පතින් ඉගෙන ගන්න දේ, ලැබෙන අත්දැකීම්, මනසට හිතෙන දේවල් කෙටියෙන් කියනවා නම් “දැනුම” විශ්වාස කරමු. එනිසා අපි අපගේ දැනුමට යටත්ව, දැනුමේ සීමා වලින් වටවී දැනුමේ වහලෙකු වී නිදහසකින් තොරව ජීවත් වෙමු. මෙයින් මිදීමට යැයි සිතා “මම කිසිම දැනුමක් විශ්වාස කරන්නේ නෑ” කියල හිතුවොත්/ විශ්වාස කලොත් එයත් එම දැනුම තුලම හිර වීමක්. දැනුමෙන් නිදහස් වීම හිතනවාට වඩා ගොඩක් අමාරුයි. ඒක නිවන් දකිනකොට සිදුවෙන දෙයක් කියලයි මම හිතන්නේ.

සැබෑ වෙනස

Saturday, March 21, 2009
[මෙම ලිපියෙහි අරමුණ අනෙක් ආගම් වලට පහර ගැසීම නොව බුදුදහම හා බෞද්ධයින් ගැන සමාජයේ ඇතිවී ඇති දුර්මත ගැන සාකච්ඡා කිරීම පමණක් බව සලකන්න.]
මොහොතකට හිතන්න පුද්ගලයන් දෙන්නෙක් ගැන, මේ ලෝකෙ ඉන්න හොඳම, බුද්ධිමත්ම, ඔක්කොම හොඳ වැඩ කරන, කිසිම නරක වැඩක් නොකරන වගේම දෙන්නටම විශේෂ හැකියාවන් තියෙන පුද්ගලයො දෙන්නෙක් ගැන හිතන්න. ඒ වුනාට එක්කෙනෙක් කියනව එයා දෙවියෙක් (හෝ දෙවියන්ගෙ නියෝජිතයෙක්), ඇවිත් ඉන්නෙ ඔයාලට උදව් කරන්න කියලා. ඒ වගේම කියනව එයාගෙ දේවත්වය හරි එයා කියන දේව වචන හරි ප්‍රශ්න කරන්න එපා කියල. (මේ පුද්ගලයා ඔබට බොරු කියනවා නොවේ. ඔහු ඇත්තටම හිතනවා ඔහු දෙවියෙක් (හෝ දෙවියන්ගෙ නියෝජිතයෙක්) කියලා එහෙම නැත්නම් සමාජය විසින් ඔහුව ඒ විධියට හිතන්න යොමු කරල ඇති. බියෙන් තැතිගත් මිනිස්සු තමන්ට ආලෝකය දෙන සූර්යයා, තමන්ට සෙවන දෙන මහා වෘක්ෂ පමණක් නොව තමන්ට පිහිට වන ඕනෑම දෙයක්, ඕනෑම පුද්ගලයෙක් දෙවියන් ලෙස සැළකීමට පෙළ‍ඹෙන බව බුදුන් වහන්සේ පවසා ඇත.) අනිත් කෙනා කියනවා එයත් අපි වගේම සාමාන්‍ය කෙනෙක්, ඔයාලට උදව් කරන්න ආවෙ ඒ වගේම එයා කියන කිසිම දෙයක් ඔයාල හිතල බලල තේරුම් ගන්නකම් පිළිගන්න එපා කියල. ඔබ කාවද පිළිගන්නෙ? එහෙමත් නැත්නම් ඔබ කාවද අනුගමනය කරන්නෙ? ප්‍රශ්න අහන්නෙ නැතුව එයා කියන විධියට ගිහිල්ල විමුක්තියට (දෙවියන් ලඟට) යන්න කියන කෙනාවද? නැත්නම් අනුගමනය කරන්න හරි නොකරන්න හරි ඔබට තෝරගන්න දෙන, ප්‍රශ්න අහන්න ඉඩ දීල සැක දුරු කරගෙන විමුක්තියට මග පෙන්වන කෙනාවද? මෙයයි බුදුදහමේ වෙනස! අනුගමනය කරන්නන්ට, බුද්ධියට, දැනුමට මුල් තැන දෙන ඒ වගේම කාටවත්, කවදාවත් ඔප්පු කරන්න බැරි දේවල් (ඒ කියන්නේ බුද්ධි ගෝචර නොවන දේවල් - බුදුදහමේ ඇති "එන්න ධර්මය දකින්න" යනුවෙන් කීමට ඇති හැකියාව බොහෝ ආගම් වලට නොමැත.) අහක දාන එකම ආගම බුදුදහමයි.
ඒ වගේම අනෙක් ආගම් මෙන් බුදුදහමේ පදනම රඳා පවතින්නේ විශ්වාසය මත නොව අවබෝධය මතයි. අනෙක් ආගම් වල භක්තිකයන් එම ආගමේ සැබෑ භක්තිකයන් වන්නේ දෙවියන් වහන්සේ ගැන ඇතිවන බලවත් විශ්වාසය නිසාවෙනි. නමුත් බෞද්ධයකු සැබෑ බෞද්ධයකු වන්නේ බුදුන් වහන්සේ හෝ බුද්ධ ධර්මය හෝ සංඝයා වහන්සේ ගැන ඇතිවන විශ්වාසයෙන් නොව ඒ පිළිබඳව ඇතිවන මනා අවබෝධයෙනි. (බුදුන් වහන්සේ පවසන දෙය පවා තමා තමාගේ නුවණින් හොඳින් අවබෝධ කර ගන්නා තෙක් විශ්වාස නොකරන ලෙස බුදුන් වහන්සේම පවසා ඇත. - මෙය හොඳට චූළ හත්ථිපදෝපම සූත්‍රයේ උදාහරණයකින් විස්තර කරනවා. සිහියෙන් කියවන්න)
බුදුදහම පිළිබඳව සමාජයේ කතා වන තවත් කරුණක් නම් බුදුදහම විද්‍යාත්මකද යන්නයි. මේ පිළිබඳව සොයා බැලීමට පෙර විද්‍යාව යනු කුමක්දැයි දැනගැනීම වටී. විද්‍යාව යනු ස්වභාවධර්මයේ අප නිරීක්ෂණය කරන දේ, අප සංවේදනය කරන දේ සිදුන්නේ මෙලෙසින්ය, සිදුවන්නේ මේ හේතුවෙන්ය, එය සිදුවීමෙන් මෙවන් ප්‍රතිඵල ලැබේ යනුවෙන් අප විසින් නිර්මාණය කර ගත් දැනුම පද්ධතියකි. එනම් විද්‍යාව යනු සොබාදහම නොව සොබාදහම අප දකින ආකාරයයි. එමෙන්ම විද්‍යාව යනුවෙන් ඇති මුළු දැනුම පද්ධතියම ගොඩනගා ඇත්තේ උපකල්පන මතය. ක්වොන්ටම් යාන්ත්‍රණය වේවා, සාපේක්ෂතාවාදය වේවා, ගණිතය වේවා මේ සියලු විද්‍යාවන් ගොඩනගා ඇත්තේ උපකල්පන (හෝ axioms) මතය. වස්තුවක පෘෂ්ටයේ ඇති අංශු කම්පනය වීමෙන් විකිරණ පිටකරයි යන්න, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, ක්වාක්, ලෙප්ටෝන් වැනි අංශු පවතීය යන්න ආදිය පමණක් නොව එකයි එකයි දෙකයි යන්න පවා උපකල්පනයකි. (ගණිතයෙහි ඇති මූලික axioms මඟින්) එක් අඹ ගෙඩියකුයි තවත් අඹ ගෙඩියකුයි එකතු කල විට අඹ ගෙඩි දෙකක් වූ පළියට මුළු විශ්වය සඳහාම එය එසේ යැයි ඔප්පු කල හැක්කේ කාටද? (සමහර සංසිද්ධි සඳහා එය එසේ නොවන බව නවීන විද්යාිවෙන්ම ඔප්පු කර ඇත. උදා: අංශු භෞතික විද්යාදවේ (particle physics) එන fundamental particle decay හි අතරමැද අවස්ථාවක් වන virtual particle වැනි අවස්ථා වලදී - නමුත් එහිදී මොකක්දෝ විකාර කතාවක් කියා විද්‍යාව එයින් ගැලවෙයි - යථාර්තයෙන් පැන යාම වැනි කතාවක්!) එනම් විද්‍යාවේ පදනමද අවබෝධය නොව විශ්වාසයයි. (උපකල්පන සත්‍යය යැයි ඇති විශ්වාසයයි.) නමුත් බුදුදහම උපකල්පන මත ගොඩනගා නැත. බුදුදහමට සොබාදහම විශ්වාස කිරීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අවබෝධයක් ඇති කර ගැනීමය. (විශ්වාස කිරීම හා අවබෝධ කර ගැනීම අතර වෙනස වටහා ගැනීම සමහරුන්ට අපහසු විය හැක.)
සත්වයා හා සත්වයාගේ සිත යන්න පවා සොබාදහමේම කොටසකි. බුදුදහමෙන් සිදුකරන්නේ මාර්ගෝපදේශනයකි. එනම් සත්වයා හා සත්වයාගේ සිත යන සොබාදමේ අංග ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට මග පෙන්වීමය. සත්වයා හැරුණු කොට අනෙක් දේ ගැන සිත යොමු කිරීම බුදුදහමෙහි ප්‍රතික්ෂේප කර නැත. තමුත් එවන් දේ ගැන සිතීමෙන් සත්වයාට ඇති ප්‍රයෝජනයක් නැතැයි බුදුරදුන් පවසා ඇත. උදාහරණයක් ලෙස දක්වන්නේ නම්, අපගේ දැනුම හා බුද්ධිය උපයෝගී කරගෙන ජීවිතය පහසු කිරීමට යැයි සිතාගෙන නිර්මාණය කර ඇති මේ නවීන, සංකීර්ණ ලෝකයේ ඒකාකාරී ජීවිත ගත කරන කාර්යබහුල මිනිසුන්, මීට වසර දෙදහසකට පෙර සිටි සරල මිනිසුන්ට වඩා විවේකයෙන් හා සතුටින් සිටින්නේ යැයි කිව හැක්කේ කාටද?
මෙවිට සමහරු කියන්න පුලුවන් බෞද්ධයන් යනු කිසිත් විශ්වාස නොකරන, ඉච්ඡාභංගත්වයට පත්වූ පිරිසක් කියල. නමුත් සැබෑව එයද? තමන්ගේ දුක, බිය, නොහැකියාව, දුර්වලතා, ඉච්ඡාභංගත්වය ආදිය වසා ගැනීමට මිනිසුන් අපූරු සංකල්පයක් නිර්මාණය කලහ. ඒ දෙවියන්ය. තමන්ගේ දුක, බිය, නොහැකියාව, දුර්වලතා, ඉච්ඡාභංගත්වය ආදී සියලු දේ දෙවියන්ට, දේව කැමැත්තට, දේව අණට බාර කල මිනිස්සු වගකීමෙන් මිදුණහ; දෙවියන් මාර්ගයෙන් තමන්ගේ කිළිටි අත් පිරිසුදු කරගත්හ. (මිනිසුන් දෙවියන්ගේ නිර්මාණයක් වීම කෙසේවෙතත් දෙවියන් යනු මිනිසුන් විසින් නිර්මිත "සංකල්පයක්" බව අප මෙහිදී මතක තබා ගත යුතුය.) ඉතින් ඉච්ඡාභංගත්වයට පත්වී ඇත්තේ බෞද්ධයන්ද? එමෙන්ම සැබෑ බෞද්ධයා යනු නිර්වචන වලට කොටුවී නොමැති, තමා විශ්වාස කරන දෙයට වඩා තමන්ගේ බුද්ධියට මුල් තැන දෙන විචක්ෂණ බුද්ධියෙන් හෙබි පුද්ගලයෙකි. උදාහරණයක් විධියට කැළෑවක ගමන් ගන්නා පුද්ගලයෙකුට කොටියකු කෑ ගසන ශබ්දයක් ඇසේ. දේව භාෂිත යනුවෙන් හඳුන්වා ගන්නා දේ පරම සත්‍යය යැයි විශ්වාස කරන්නෙකුට නම් ඒ කොටියෙකි. (දේව වාක්‍යයක එසේ ඇත්නම්) නමුත් බෞද්ධයෙකුට ඒ කොටියෙකු විය යුතුම නැත. සමහර විටෙක එය කොටියෙකුගේ හඬ පටයක් වීමටද පුළුවන. එනම් බෞද්ධයකු තමන් දුටු දේ, තමන් ඇසූ දේ එකෙනෙහිම විශ්වාස නොකරන අතර ඒ ගැන තම බුද්ධියෙන් විමසා බලයි. නමුත් දේව භාෂිත යනුවෙන් හඳුන්වන “නිර්වචන”, පරම සත්‍යය යනුවෙන් විශ්වාස කරන්නවුන්ට එලෙස කිරීමට නොහැක. කිමද දේව භාෂිත නම් වූ නිර්වචන වලට පිටින් සිතීමට ඔවුන්ට නොහැක; ඒ ඒවා ඉක්මවා යාමට ඔවුන්ට ඇති අයිතියත් ඒ දේව භාෂිත වලින්ම ඉවත් කර ඇති නිසාය. (උදා: දස පණතේ පළමුවැන්න)
බුදුදහම අනෙක් ආගම් වලින් වෙනස් වන තවත් කරුණක් නම් අනෙක් ආගම් මෙන් බුදුදහමේ කරුණු නොඉගැන්වීමයි. ඒ වෙනුවට බුදුදහමේ සිදුකරන්නේ සත්‍යාවබෝධය සඳහා ඉගෙනගැනීමට මග පෙන්වීමයි. ඒ ඒ පුද්ගලයාගේ චින්තනයන්ගේ වූ අනන්‍ය ස්වභාවය මැනවින් වටහා ගෙන නිර්මාණය කර ඇති බුදුදහමේ මේ ගුරුවරයා නොව ශිෂ්‍යයා කේන්ද්‍ර කරගත් ඉගැන්වීම් ක්‍රම ශිල්පය අද වන විට ඉගැන්වීම සඳහා හොඳම ක්‍රමයක් ලෙස ලොවම පිළිගෙන ඇත. (නමුත් පෙරදිග නිර්මාණය වූ බොහෝ කරුණු මෙන්ම එම ක්‍රමයද නවීන ලොව තුල කරලියට පැමිණ ඇත්තේ බටහිර නිර්මාණයක් ලෙස හුවා දක්වමිනි.)
බුදුදහම ගැන ඇති තවත් දුර්මතයක් නම් බුදුදහම යනු සතුට ගැන නොව දුක පිළිබඳව පමණක් උගන්වන ආගමක් යන්නයි. මෙය අසත්‍යයකි. “නීරෝගීකම පරම ලාභයයි; සතුට උතුම්ම ධනයයි” යනුවෙන් බුදුරදුන්ම පැවසීමෙන්ම එය පැහැදිලි වේ. එමෙන්ම චතුරාර්ය සත්‍යයේ පවා තෙවන හා සිව්වන කරුණු පැහැදිලි කරන්නේ දුකෙන් මිදී සංතුෂ්ටිය ලබා ගැනීම පිළිබඳවය. තවද පංච සීලය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මහාමංගල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය වැනි බොහෝ සූත්‍ර වල අඩංගුව ඇත්තේ දුක ගැන නොව සතුට ලඟා කර ගැනීම පිළිබඳවය; විශේෂයෙන්ම තනි තනිව නොව මුළු මහත් සමාජයක් ලෙසම සතුටු විය හැකි ආකාර, පිළිවෙත් ගැනය.

ආර්ථිකයේ උපන්ගෙයි අහේනිය?

Wednesday, March 18, 2009
ආර්ථික විද්‍යාවේ පදනමේම අහේනියක් ඇත. ඒ ලාභය නම් සංකල්පයයි. ලාභ අපේක්ෂාව ආර්ථික විද්‍යාවේ මූලිකම අංගයක් නමුත් එයම ආර්ථික විද්‍යාව බරපතල ලෙස අස්ථාවර කිරීමටද හේතු වෙයි. ඒ කොහොමද කියල අපි බලමු. ආර්ථික පද්ධති 2ක් සලකමු. එක් පද්ධතියක් ලාභ ලැබීමට නම් එම පද්ධති 2 අතර ආර්ථිකමය සමතුලිතතාවය ලාභ අපේක්ෂා කරන පද්ධතිය දෙසට බර විය යුතුය. එවිට කාලයක් ගතවීමේදී එක් පද්ධතියක් ආර්ථිකමය අතින් අධික ශක්‍යතාවයක් ලබන අතරතුර අනෙක් පද්ධතිය විනාශ වී යයි. නමුත් ඒවිට මුල් පද්ධතියේ පැවැත්මද තර්ජනයට ලක්වේ. කිමද එවිට මුල් පද්ධතියට ලාභ ලැබීමට නොහැකි වනවා මෙන්ම එම පද්ධතියේ පැවැත්ම සඳහා වියදම් කිරීමට සිදුවන නිසා එම පද්ධතියද කෙමෙන් විනාශයට ලක්වේ. මේ නිසා ආර්ථික පද්ධතීන්ගේ ස්ථායීතාවය පවත්වාගැනීම සඳහා ලාභය ප්‍රත්‍යාවර්ත වීම අත්‍යාවශ්‍ය සාධකයකි. (දැන් ලෝකයේ(මූලික වශයෙන්ම ඇමරිකානු ආර්ථිකයේ) සිදුවන ආර්ථික කඩාවැටීම වැනි) මෙය ආර්ථික විද්‍යාවේ උපන්ගෙයි අහේනියකි!!! මෙය දැකීමට ආර්ථික විද්‍යාව මහ ඉහලින් උගන්වන හා හසුරුවන ඇදුරන්ගේ හා විශේෂඥයින්ගේ ඇස් පෑදේවා!? ලෝකය සූරා කා, සූරා කන්නට දෙයක් නැති වූ විට සූරා කන්නාද විනාශ වී යයි. මෙය ලෝක ස්වභාවයයි.

අවුල් කරගත් සංස්කෘතිය

Thursday, March 12, 2009
[මෙම ලිපිය විදුසර පුවත්පතේ පළකිරීම සඳහා යැවුවද පළ නොවින.]
2008 ජූලි 2 දින පලවූ සිරිසේන මහතාගේ “සංස්කෘතියේ අවුලද? දැක්මේ අවුලද?” ලිපිය කියවූ මට වැටහුනේ 2008 ජූනි 11 දින පලවූ මාගේ “අවුල් වූ සංස්කෘතිය” ලිපියෙන් මා අදහස් කල කරුණු සමහරුන් හරිහැටි අවබෝධ කරගෙන නොමැති බවයි. එසේ වීමට හේතුව මාගේ ලේඛන රටාවෙහි වූ දුර්වලතාවයක් නම් මා ඒ ගැන කණගාටු වෙමි.
උක්ත ලිපියෙන් මා කිසිවිටෙකත් ලොව පවතින සංස්කෘතීන් (චින්තන රටාවන්) ඉවත්කර ඒ වෙනුවට වෙනත්ම සංස්කෘතියක් ප්රිතිෂ්ඨාපනය කලයුතු යැයි අදහස් නොකලෙමි. එහිදී මා පැහැදිලිවම “දැනුම හෝ චින්තන රටාවන් ප්ර්තික්ෂේප නොවන...” නිදහස් සංස්කෘතික තත්වයක් ඇති කර ගත යුතු බව පවසා ඇත. වෙනත් වචන වලින් කියනවා නම් මා එයින් අදහස් කරන්නේ අප එක් (හෝ කීපයක්) චින්තන රටාවකට හා දැනුම පද්ධතියකට සීමා නොවී ඕනෑම චින්තන රටාවක්, ඕනෑම දැනුම පද්ධතියක් සඳහා අපගේ මනස් විවෘතව තබා ගත යුතු බවය. එමෙන්ම බටහිරයින්ගේ සංස්කෘතික යටත් විජිත වාදයට මාද විරුද්ධ වෙමි. කිමද එමඟින් එක් චින්තන රටාවක් - එක් දැනුම පද්ධතියක් වෙත ගමන් ගන්නා බැවින් මා අපේක්ෂා කරන ආකාරයේ විවිධාකාර වූ චින්තනයන් හා දැනුම පද්ධතීන් උදෙසා අපගේ මනස විවෘත කිරීමට ඇති ඉඩකඩ එයින් අහුරන බැවිනි. නමුත් සංස්කෘතිත යටත් විජිතයකදී දේශපාලන හා ආර්ථික යටත්විජිත වාදයන් මෙන් පුද්ගලයා භෞතිකව නොව මානසිකව යටත් කිරීමකට භාජනය කරන නිසා එවැන්නකට අසුවන්නේ අප “අවිචාරවත් අනුගාමිකයන්” මෙන් කටයුතු කලහොත්ය.
එක් චින්තනයකට (මෙය අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියටත් අදාලය) කොටුවී සිටිමේ භයානකකම මා පැහැදිලි කල යුතු නැතැයි මා සිතමි. ඒ බැව් නලීන් ද සිල්වා මහතාගේ ලිපි වලින් පැහැදිලි වේ. බටහිරයිනට ථෙරවාදී බුදුදහම අවශෝෂණයට අපහසු වී ඇත්තේද මේ එක් චින්තනයකට හිරවීම (අවුල් කරගත් සංස්කෘතිය) නිසාය. ආරම්භයක් හා අවසානයක් අවශ්ය් වන අතිශය රේඛීය වූ බටහිර චින්තනයට, ආරම්භයක් හෝ අවසානයක අවශ්යදතාවයක් පැන නොනගින චක්රීනය චින්තනයක් මත ගොඩ නැගූ ථෙරවාදී බුදුදහම නොතේරෙන්නේ ඒ නිසාය. නමුත් අතීතයේ (බටහිරයින් පැමිණීමට පෙර) අප සංස්කෘතිය මඟින් විවිධ බාහිර සංස්කෘතීන් වල විවිධ අංග අවශෝෂණය කර ගැනීමට කටයුතු කෙරින. නමුත් අද සිදුවන්නේ අප සංස්කෘතියේ ඇති අංග වෙනත් සංස්කෘතීන්ගේ අංග මගින් ප්රෙතිෂ්ඨාපනය වීමකි. සැබවින්ම කියන්නේ නම් ප්ර තිෂ්ඨාපනය කර ගැනීමකි. මෙය කිසිවකු අපට කර නොදෙන අතර අප විසින්ම සිදුකරගනී. බටහිරයින් සිදුකරන්නේ මෙම ක්රි යාවලිය උත්තේජනය, උත්ප්රේ රණය කිරීම හා ඒ සඳහා අවශ්යු වටපිටාව සකස් කර දීමකි. මෙය නැවැත්විය යුතු බව මා පිළිගනිමි. නමුත් මෙය සිදුකරන්නේ බාහිර සංස්කෘතීන් සඳහා වැට බැඳීමෙන්ද? බොහෝ දේවල මෙන්ම චින්තනයන්හි හා දැනුම පද්ධති වලද දෙපැත්තක් ඇත. එනිසා “ගෙඩිය පිටින්” ප්ර තික්ෂේප කිරීම අපට අවාසිදායක විය හැක. එනිසා අප කල යුත්තේ සංස්කෘතික බාධකයක් ගොඩනැගීම නොව ඒ සඳහා සුදුසු පෙරණයක් සකස් කර ගැනීමෙන් වැදගත් කොටස් අවශෝෂණයට කටයුතු කිරීමය.
සිරිසේන මහතා කොදෙව් චින්තනයක් ගැනද සඳහන් කර ඇති නිසා ඒ ගැනද යමක් සඳහන් කිරීමට කැමැත්තෙමි. කොදෙව් චින්තනයක් ගොඩනැගීමට ප්ර ධාන වන්නේ සංකල්පයන්ගේ පවතින අර්ථ දැක්වීම්, නිර්නායක හා මිනිසුන් විසින් ඒවා විශ්වාස කිරීමයි. උදාහරණයක් ලෙස “තරුව” යන සංකල්පය ගනිමු. තරුවක් යනු මෙවැන්නක්ය, එය ක්රි්යාත්මක වන්නේ මෙසේය ආදී වශයෙන් එම සංකල්පය තුල අර්ථදැක්වීම් හා නිර්නායක පවතී. එමෙන්ම මිනිසුන් (එම සංකල්ප නිර්මාණය කල අය පවා) ඒවා බුද්ධිමත්ව විචාරා බලා හෝ නොබලා විශ්වාස කරයි. චින්තනයන් සඳහාද මෙවන් රාමු පවතියි. මාක්ස්වාදය, යුදෙව් චින්තනය, බෞද්ධ චින්තනය ආදී වශයෙන් විවිධ චින්තනයන් සඳහා අප විසින් රාමු ලබාදී ඒවා විශ්වාස කරනු ලබයි. (විශ්වාස කිරීම යනුවෙන් මා මෙහිදී අදහස් කලේ එම සංකල්ප වල අන්තර්ගතය නොව එම සංකල්පය අනෙක් ඒවායින් වෙන් කරනා රාමුව ගැනය.) කොදෙව් චින්තනයට පාදක වන්නේ මේ රාමු නිර්මාණය හා ඒවා විශ්වාස කිරීමයි. රාමු නිර්මාණය නොකල යුතු යැයි මා නොකියමි. යම් දැනුම පද්ධතියක දැනුම විධිමත් ලෙස සකස් කර ගැනීමට රාමු නිර්මාණය උපකාරී වේ. අප නොකල යුත්තේ එම රාමු විශ්වාස කිරීමයි. ඒ වෙනුවට අප කල යුත්තේ ඒවා ගැන අවබෝධයක් ඇති කර ගැනීමය. (විශ්වාස කිරීම හා අවබෝධ කර ගැනීම අතර වෙනස වටහා ගැනීමට සමහරුන්ට අපහසු විය හැක) එනම් මෙම විශ්වයේ පවතින (අපට වෙනස් කල නොහැකි) ගතික හා අවිනිශ්චිත බවට ඉඩ දී සංකල්ප හා ඒවායේ රාමු ස්ථිතික ලෙස නොව වඩා ගතික ලෙස අවශෝෂණය කර ගැනීමය. එනම් සංකල්පයන් හා ඒවායේ රාමු සඳහා වෙනස් වීමට ඉඩ ලබා දීමය. කලාව කලාව වන්නේත් විද්යාලව විද්යාමව වන්නේත් මේ රාමු අවශෝෂණයේදී අනුගමනය කරන ස්ථිතික බව නිසාය. නමුත් ඒවාට ගතික ස්වරූපයක් ලබා දුන් විට කලාව විද්යායව තුලටත් විද්යාකව කලාව තුලටත් විසරණය වීම තුලින් එම සංකල්ප වලට වඩා සංයුක්ත බවක් හා ස්ථාවර බවක් ලැබෙන බව පැහැදිලිය. අනෙකුත් සංකල්ප සඳහාද එසේමය. මා සිතන විධියට මෙමඟින් අපට කොදෙව් චින්තනයෙන් ඈත් වී සිටින්නටත් වඩා නිදහස් වූ චින්තනයක් කරා ගමන් කිරීමටත් ඉඩ ලබා දේ.
එමෙන්ම මට හැ‍ඟෙන ආකාරයට සිරිසේන මහතා සැබෑ නිදහස් චින්තනයක් බිහිවීම සිදුනොවන්නක් යැයි කීම සැමටම තේරෙන වචනයෙන් කියනවා නම් “ෂේප්” වීමකි. මෙය අසීරු බව සැබෑය. මෙයට විටෙක සහස්ර්යක් දෙකක් නොව ඊටත් වඩා ඉතා අධික කාලයක් ගතවිය හැක. නමුත් එය නොහැකිය යන්න විහිළුවකි. බුදුවරයෙකු බුදුවීමට නම් සාරාසංඛ්යඩ කල්ප ලක්ෂයක්වත් පෙරුම් පිරිය යුතුය. නමුත් බෝධිසත්වයන් වහන්සේ එය කල නොහැකිය කියා අතහැරියේ නම් කුමක් සිදුවන්නේද? ඒ නිසා මා පවසන්නේ මෙය අපට අද හෙටම කල නොහැකි වුවත් අඩුම තරමේ අප උත්සාහවත් කල යුතුය. එමෙන්ම නිදහස් චින්තනයක් ගොඩනගා ගැනීම මිනිසුන් සමූහයක් එක්වී සාකච්ඡා කර සම්මත කරගන්නක් නොවන අතර ඒ ඒ පුද්ගලයා විසින් තමන්ගේ චින්තනය, රාමු හා අර්ථදැක්වීම් වලින් නිදහස් කර ගැනීම කල යුතුය. ඒ නිසා මා නැවතත් කියන්නේ අප කල යුත්තේ පවතින සංස්කෘතීන් උදෙසා වාද කිරීම නොව අපගේ චින්තනය නිදහස් කර ගැනීම තුලින් විශ්වය ඇති සැටියෙන් දැකීමට හුරු වීමත්, එතුලින් වඩා සාර්ථක මිනිස් සමාජයක් නිර්මාණය කර ගැනීමත්ය.

අවුල් වූ සංස්කෘතිය

Wednesday, March 11, 2009
[මෙම ලිපිය 2008-ජූනි-11 දින විදුසර පුවත්පතේ පලවිය]
විදුසරෙහි මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ලියන අපේ ප්‍රවාද ලිපි පෙළ කියවූ මට මෙය ලිවීමට සිත්විය. මෙය එම ලිපි පෙළට විවේචනයක් හෝ ඇගයීමක් හෝ ඌණ පූරණයක් නොවේ. මෙය එම ලිපි කියවූ විට මට ඇතිවූ හැඟීම් වේ.
මිනිසා යනු සමාජයීය ජීවියෙකු වුවද, ඒ ඒ මිනිසාගේ චින්තනය ඒ ඒ මිනිසාට අනන්‍ය (unique) වේ. සංස්කෘතියක් ගොඩනැගෙන්නේ යම් සමාජ කොටසක සිටින මිනිසුන් පිරිසකගේ ආසන්න වශයෙන් සමාන වූ චින්තනයන් සමූහයක් එකතු කිරීමෙන්, එම සමාජ කොටස සඳහා පොදු වූ චින්තනයක් ඔවුන් විසින් ගොඩනගා ගැනීමෙන්ය.[මා සමාජයක් යනුවෙන් හඳුන්වන්නේ මිනිසුන් සමූහයකි (group of people) එමෙන්ම සංස්කෘතියක් යනු චින්තන රටාවකි. යම් සමාජයක් පොදු චින්තන රටාවකට අනුගත වූ විට එය එම සමාජයේ සංස්කෘතිය බවට පත්වේ. මෙහිදී යම් සමාජයක් තුල සංස්කෘතීන් කීපයක් පැවතිය හැකි මෙන්ම යම් සංස්කෘතියක් තුල සමාජ කීපයක් වුවද පැවතිය හැක. එනම් එකම මිනිසුන් කොටසක් තුල විවිධ චින්තන රටාවන්ට අනුගත වී ඇති අය සිටිය හැකි මෙන්ම, එකම චින්තන රටාවකට අනුගත වී ඇති මිනිසුන් කණ්ඩායම් කීපයක් වුවද පැවතිය හැක.] කාලයාගේ ඇවෑමෙන් එම සංස්කෘතියට අනුගත වී ඇති සමාජ කොටස ප්‍රසාරණය හෝ සංකෝචනය විය හැක. ඒ කෙසේ නමුත් ඒ සමාජ කොටස තුල ඒ සංස්කෘතියට (චින්තන රටාවට) අනුකූල වන දැනුම නිර්මාණය විය හැක. [මා මේ ලිපියේ “වේ” යන්න වෙනුවට “විය හැක” යනුවෙන් යොදන්නේ මේ විශ්වය අවිනිශ්චිත නිසාය. එනම් මේ අපූර්ව විශ්වය තුල විය නොහැක්කක් නොමැති බව මා පෞද්ගලිකව විශ්වාස කරමි. ඒ නිසා සෑම දෙයක්ම අවිනිශ්චිත බවකින් වෙලී පවතින බව මට හැ‍ඟේ]
එමෙන්ම යම් දැනුමක් සැලකූ විට එය, එය නිර්මාණය වූ සංස්කෘතියට සාපේක්ෂ වේ. එමෙන්ම භාෂාවක් යනු සංස්කෘතියක මූලිකම අවශ්‍යතාවයකි. යම් භාෂාවක් මඟින් එය නිර්මාණය වූ සංස්කෘතිය මූර්තිමත් වේ. යම් භාෂාවක වචනයක් වචනයක් පසා එය අයත් වූ සංස්කෘතිය මඟින් නිර්මාණය වූ දැනුම නියෝජනය වේ. ශබ්දකෝෂ මඟින් කෙතරම් දුරට එක් බසක වචන තවත් බසක වචන වලට අර්ථය අනුව ගැලපීමට උත්සාහ කලද එය සම්පූර්ණයෙන් සාර්ථක නොවේ. කිමද යම් වචනයකින් නියෝජනය වන දැනුම එම සංස්කෘතියට සාපේක්ෂ බැවිනි. උදාහරණයක් විධියට “සංවර්ධනය” / “development” යන වචනය ගනිමු. බටහිර සංස්කෘතියට අනුව “development” යනු ආර්ථිකමය හා භෞතිකමය දියුණුවකි. පෙරදිග සංස්කෘතියට අනුව “සංවර්ධනය” යනු සමාජයීය හා ආධ්‍යාත්මික දියුණුවකි. එමෙන්ම මෙහිදී මා යොදාගත් භෞතිකමය හා ආධ්‍යාත්මික යන වචන වල අර්ථය පවා මා මේ ලිපිය ලියන සංස්කෘතියට සාපේක්ෂ වේ.
එමෙන්ම සංස්කෘතියක් ඇතිවීම සඳහා සෑහෙන මිනිස් සමාජයක් හෝ කාලාන්තරයක් ගතවීම අවශ්‍ය නොවේ. යම් සංස්කෘතියක් නිමේශයකින් වුවද ඇතිවිය හැක. එමෙන්ම එය එක් මිනිසෙකු තුල පවා ඇතිවිය හැක. වඩා සාධාරණ වශයෙන් පවසනවානම් සෑම පුද්ගලයෙක්ම ඔහු/ඇය නියෝජනය කරන සමාජ සංස්කෘතියේ, උප සංස්කෘතියක් නියෝජනය කරයි. එමෙන්ම විටෙක පුද්ගලයෙකුගේ චින්තනය, පවතින එක් සංස්කෘතියක් සමඟවත් සමපාත නොවී පැවතීමට පුළුවන. එවිට එම පුද්ගලයා තුල වෙනම සංස්කෘතියක් පවතින බව අපට කිව හැක. එමෙන්ම බටහිර හෝ පෙරදිග හෝ ඕනෑම සමාජයක ජීවත් වන පුද්ගලයෙකුගේ චින්තන රටාව, ඔහු/ඇය ජීවත් වන සමාජයේ චින්තන රටාවම බව සිතීම වැරැද්දකි. පුද්ගලයෙකුගේ සංස්කෘතියට ඔහු/ඇය ජීවත් වන සමාජයේ සංස්කෘතිය බලපෑම් ඇතිකරන බව සැබෑය. නමුත් ඔහු/ඇය ගේ සංස්කෘතිය ඊට හාත්පසින්ම වෙනස් වීමටද පුළුවන.
අප සිදුකල යුත්තේ දැනට පවතින පවතින සංස්කෘතීන් උදෙසා වාද කිරීම, සටන් කිරීම නොව මුළු මිනිස් වර්ගයාටම යහපතක් වන චින්තන රටාවක් (සංස්කෘතියක්) නිර්මාණය කර ගැනීමය. මා එය නිදහස් සංස්කෘතිය (නිදහස් චින්තනය) ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. මෙහි චින්තනයට සීමා මායිම් නොමැත. චින්තනයට ආකෘති (model) නොමැත. එය අර්ථ දැක්වීම්, නිර්නායක, න්‍යාමයන් හා නීති වලින් කොටු වූ චින්තනයක් නොවේ. මෙවන් චින්තනයක් තුල ඒ ඒ පුද්ගලයාට අවශ්‍ය ආකාරයට දැනුම නිර්මාණයට ඉඩ ලැබේ. එනමුත් සංකල්ප නිර්මාණයේදී රාමු වලට කොටු නොවූවද සමාජයීය හා චර්යාත්මක (social and behaviour) කරුණු වලදී යම් ප්‍රමාණයකට හෝ රාමු පැවතිය යුතුය. කිමද සෑම පුද්ගලයෙක්ම බුද්ධිමතුන් නොවෙති. එමනිසා හොඳ-නරක තේරීමේදී විවිධත්වයක් ඇතිවිය හැක. එවිට සමාජයේ සදාචාරාත්මක හා සමාජයීය ගැටළු ඇතිවිය හැක. එය වැලැක්වීමට සමාජයීය හා චර්යාත්මක කරුණු යම් පමණක හෝ රාමු වලින් කොටු කර තැබිය යුතුය. මේ කෙසේ වුවත් සමහර විටෙක මා මේ පවසන චින්තන රටාවට මුළු මිනිස් සමාජයම අනුගත වීම හිතළුවක් පමණක්ම වීමටද පුළුවන. කිමද සෑම පුද්ගලයෙකුගේම චින්තනයට තමාගේ පෞද්ගලික විශ්වාසයන් මඟින් නිර්මාණය වූ රාමු පවතින බැවිනි.
මෙම චින්තන රටාවන්හි (සංස්කෘතීන්ගේ) වූ අවුල නිසා ඇතිවී ඇති එක් ගැටළුවක් දැක්වීමට මා මෙහිදී කැමෙත්තෙමි. සමහරුන් ආගම් මඟින් සංස්කෘතීන් වී ඇති බවද, තවත් සමහරුන් සංස්කෘතීන් මඟින් ආගම් නිර්මාණය වී ඇති බවද කියමින් තර්ක කරති. සැබැවින්ම ආගම් මඟින් සංස්කෘතීන් වලට බලපෑම් ඇතිකරන අතරම, සංස්කෘතීන් මඟින්ද ආගම් වලට බලපෑම් ඇතිකරයි. නමුත් ඔවුන් මෙවන් නිෂ්ඵල කරුණු ගැන වාද කරන්නේ ඇයි දැයි මම නොදනිමි. මා සිතන විධියට ඒ පෞද්ගලික අභිමානය (personal glory) සඳහාය. මා සිතන ආකාරයට මෙවන් නිෂ්ඵල කරුණු ගැන වාද කිරීම නවතා ඒ කාලය හා ශ්‍රමය ඵලදායී දෙයක් කරා යොමු කල යුතුය. සැබැවින්ම ඉහත ගැටළුව කිකිළි හා බිත්තරය වැනි ගැටළුවකි. මෙහි සැබෑ ගැටළුව ඇත්තේ ගැටළුවේ නොව ගැටළුව දෙස බලන චින්තනයේය. එනම් මෙයට වාද කරන්නන් එය විසඳීමට උත්සාහ කරන්නේ රේඛීය චින්තනයක් තුල සිටය. නමුත් එමඟින් එයට සාර්ථක විසඳුමක් නොලැබෙන බව පැහැදිලිය. නමුත් මෙය බෞද්ධ දර්ශනය පවා පදනම් වී ඇති චක්‍රීය චින්තනයක් තුලින් පහසුවෙන් විසඳිය හැක. නමුත් මා මෙමඟින් රේඛීය චින්තනය ප්‍රතික්ෂේප නොකරමි. මා පැවසීමට උත්සාහ කරන්නේ සියළුම කරුණු සඳහා එකම චින්තන රටාවකින් පිළිතුරු සෙවිය නොහැකි බවයි. සමහර කරුණු රේඛීය චින්තනයට නොගැලපෙන අතර සමහර කරුණු චක්‍රීය චින්තනයට නොගැලපේ. අනෙක් චින්තන රටාවන් සඳහාද එසේමය.
නමුත් මා පෙර සඳහන් කරන ලද නිදහස් සංස්කෘතිය තුල එවන් ගැටළු පැණ නොනඟී. කිමද එහිදී චින්තන ක්‍රම හෝ දැනුම ප්‍රතික්ෂේප නොවන බැවිනි. (සැබැවින්ම පවසන්නේ නම් මෙහිදී සිදුවිය යුත්තේ යැයි මා අදහස් කරන්නේ දැනට ඇති සංස්කෘතීන් අතහැර දමා වෙනත්ම සංස්කෘතියක් නිර්මාණය කලයුතු යැයි කියා නොවේ. මා අදහස් කරන්නේ අප ඕනෑම සංස්කෘතියක් (චින්තන රටාවක්) සඳහා විවෘතව සිටිය යුතු බවය.) නමුත් මෙහිදී චින්තන රටාවන් හෝ දැනුම ප්‍රතික්ෂේප නොවන නිසා විටෙක සත්‍යය කුමක් දැයි ගැටළුවක් ඇතිවිය හැක. කෙසේ නමුත් සැබැවින්ම සත්‍යය යන්න ඒ ඒ චින්තන රටාවන්ට (සංස්කෘතීන්ට) සාපේක්ෂ වේ. පරම (නිරපේක්ෂ) සත්‍යය යනුවෙන් දෙයක් පවතීද යන්න මා නොදනිමි. එහෙත් එය ඇතැයි හෝ නැතැයි කියා මා නොකියමි. එමෙන්ම පරම සත්‍යයක් පැවතුනද එය වටහා ගැනීමට තරම් අප අත්විඳින බුද්ධිය (මෙහිදී අප යනුවෙන් හඳුන්වන්නේ සාමාත්‍ය මනුෂ්‍යයන් ගැනය. සාමාන්‍යත්වය ඉක්මවා ගිය බුදුරදුන් වැනි සුවිශේෂීන් ගැන මෙමඟින් අදහස් නොකෙරේ.) තවමත් ප්‍රමාණවත් නොවන බව මගේ හැඟීමයි. එමෙන්ම පරම සත්‍යය පවතින්නේ නම් හා අප එය දන්නේ නම් වාද විවාද, මතවාද, න්‍යායන්, නීති, දැනුම හා චින්තන රටාවන් නිර්මාණය අවශ්‍ය නොවේ. කිමද ඒ සියලු දේ පරම සත්‍යයෙන් ආවරණය වන බැවිනි. එමෙන්ම එවිට තමා පවසන දේ පරම සත්‍යය යැයි කියා ගන්නා මිනිසුන් ලොවින් තුරන් වී යනු ඇත.
මෙලෙස බලන කල්හි මිනිස් සමාජය තවමත් එවැන්නකින් බොහෝ ඈත සිටින බව මට හැ‍ඟේ. එමනිසා දැන් අප කල යුත්තේ පවතින දේ ගැන වාද විවාද කරමින් අනෙකා නොව තමන් නිවැරදි බව පෙන්වීමට උත්සාහ කිරීම නොව රාමු වලින් කොටු නොවුනු, අර්ථ දැක්වීම් හා නිර්වචන වලට සීමා නොවුනු චින්තනයක් නිර්මාණය කර ගැනීම තුලින්, විශ්වය ඇති සැටියෙන් දැකීමට හුරු වීමත්, එතුලින් වඩා සාර්ථක මිනිස් සමාජයක් නිර්මාණය කර ගැනීමත්ය.

නිරපේක්ෂ ෆෝටෝන?

Tuesday, March 10, 2009
මෙම ලිපිය ලියන්නේ 2008 ඔක්තෝබර් 22 දින විදුසර පුවත්පතේ පලවූ ඉංජිනේරු කපිල පීරිස් මහතාගේ “නිරපේක්ෂ අවස්ථිතික රාමුව සොයමු” ලිපිය සම්බන්ධවයි. තරමක් ප්‍රමාද වී මෙය ලිවීම ගැන මා කණගාටු වන නමුත් ඒ ලිපියේ වූ ගැටළුවේ ඇති සිත්ඇදගන්නා බව නිසාම ප්‍රමාද වී හෝ මෙය ලිවීමට සිත්විය.
අපි මුලින්ම එහි වූ ගැටළුව සලකා බලමු. ගැටළුව වූයේ පොළොව හා සබැඳි විද්‍යාගාරයක ඇති ඝර්ෂණය රහිත ගයිරස්කෝපයක දිශානතිය වෙනස්වීම මඟින් අපගේ විද්‍යාගාරයේ දිශානතිය, නිරපේක්ෂ අවස්ථිති රාමුවකට සාපේක්ෂව වෙනස් වන ආකාරය ලැබේද යන්නයි.
මෙයට මා සෘජු පිළිතුරක් ඉදිරිපත් නොකරමි. ඒ වෙනුවට මා එක් ක්‍රමයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. නිදහස් අවකාශයේ, එකිනෙකාට සාපේක්ෂව එකිනෙකා අතර දුර කාලයට අනුව නියත නොවන සේ චලිත වන(එනම් එකම අතට සමාන්තරව ගමන් නොකරන) ෆෝටෝන දෙකක් සලකන්න. දැන් අප එක් ෆෝටෝනයකට සාපේක්ෂව අනෙක් ෆෝටෝනයේ ගමන් මග ලකුණු කරමු. දැන් මේ ලකුණු කරන ලද වක්‍රයේ(සාධාරණ වශයෙන්) තෝරාගත් අභිමත ලක්ෂයයක් හරහා වක්‍රයට සපර්ෂකයක් අඳිමු. දැන් මේ රේඛාව ගැන අපට කිව හැක්කේ කුමක්ද?
අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයට අනුව නිදහස් අවකාශයේ චලිත වන ෆෝටෝනයක ප්‍රවේගය නිරීක්ෂකයාගෙන් ස්වායක්ත වේ. වෙනත් වචන වලින් කියන්නේ නම් එයට ඇත්තේ “නිරපේක්ෂ” ප්‍රවේගයකි. එනම් එය අවස්ථිති රාමුවකි. දැන් මේ අවස්ථිති රාමුවට සාපේක්ෂව චලිත වන එවැනිම තවත් අවස්ථිති රාමුවක ගමන් මග ගත්විට එහි, අප මේ සොයන “අද්භූත” නිරපේක්ෂ අවස්ථිති රාමුවට සාපේක්ෂව දිශාව වෙනස් නොකරන බව ගත හැක.
දැන් අපට ඉහත සඳහන් කරන ලද රේඛාව සමග ගයිරස්කෝපයේ අක්ෂය සාදන දිශානතිය වෙනස් වන්නේද නොවන්නේද යන්න බැලිය හැක. එමගින් නිරපේක්ෂ අවස්ථිති රාමු ගැන අදහසක් ලබා ගැනීමට අපට හැකිවනු ඇත.
(මාගේ අදහසෙහි නිවැරදිතාවය ගැන මට එතරම් විශ්වාසයක් නෑ. මේ ගැන වැඩිපුර දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් බලල කියල දෙන්න.)
නමුත් මෙය මහත් ගැටළුවකි. මෙමගින් අතිශයින් සාපේක්ෂ යැයි කියන අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ පවා නිරපේක්ෂත්වයක් සැඟවී ඇති බවක් කියැවේද? නැත්නම් එමගින් අපට වෙනත් යමක් පෙන්නුම් කරන්නේද? එමෙන්ම මා ඉදිරිපත් කරන මේ ක්‍රමයේද ප්‍රායෝගික බව ඉතා අඩුය. එනිසා අප මේ ගැන සංවාදයක් ගොඩනගමු. එය අපගේ මනසට ව්‍යායාමයක් මෙන්ම අපගේ අවබෝධයේ සීමා පුළුල් කිරීමටද හේතු වනු ඇත.

පෘථිවි බුද්ධිමතාගේ අමුතු වැඩ! - කැළෑ නීතිය හා දේශපාලනය?

Sunday, March 8, 2009
මුලින්ම කියන්න ඕනෙ මං මේ කියන්න යන්නේ අද කාලෙ ඉන්න දේශපාලඥයෝ ගැන නම් නෙවෙයි. මම කතාකරන්නෙ දේශපාලනය කියන විෂය ගැනයි. දේශපාලනය කියන්නේ මොකක්ද? මේකට තියෙන නිර්වචන නම් මම දන්නෙ නෑ. මම නම් හිතන්නේ දේශපාලනය කියන්නේ මානව සමාජ විද්‍යාවක්; මිනිසාගෙ අධිකාරිමය එනම් පාලනය කිරීමේ හැකියාව, පාලනය කිරීමේ ආශාව ගැන තියෙන සමාජ විද්‍යාවක්. හැබැයි මේ විෂයට දාල තියෙන නමට නම් මම කැමති නෑ. මොකද දේශපාලනය කිව්වහම එකපාරටම හිතෙන්නෙ රටක්, දේශයක් පාලනය කිරීම ගැන විෂයක් කියලනෙ. මං මෙහෙම කිව්වට ඉතිං ඉස්කෝලවල, විශ්වවිද්‍යාලවල ඔය හැම තැනම දේශපාලනය කියල උගන්වන්නෙ රටවල්, නගර, ගම් ආදිය පාලනය කිරීම ගැන තමයි. ඒ නමුත් මම දේශපාලනය කියල හඳුන්වන්නේ ඊට වෙනස් දෙයක්. මේ ගැන මීට කලින් පර්යේෂණ කරල තියෙනවද කියල මම දන්නෙ නෑ. මම කියන සංකල්පයට දේශපාලනය කියල නම දාන්න ඕනෙ කියල මම කියන්නෙ නෑ. මම මේකට දේශපාලනය කියල යොදාගත්තෙ ඒක දැනටමත් බලය පිළිබඳ හදාරන විෂයක් හින්දයි.
ඒ වගේම මම පක්ෂ දේශපාලනයට කැමතිත් නෑ. මොකද ඒකෙන් ඉස්මතු වෙන්නෙ පක්ෂ වල මතය මිසක් ජනතාවගෙ මතය නෙවෙයි. මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. හිතන්න, මිනිස්සුන්ට අවශ්‍යම, ලංකාවෙ නිෂ්පාදනය නොකරන භාණ්ඩයක් ගැන. එක පක්ෂයක් කියනවා අපි උසස්ම තත්වයේ ඒවා යුරෝපයෙන් ගෙන්නනවා කියල. අනිත් පක්ෂය කියනවා අපි අඩු මිලට චීනෙන් ගෙන්නනවා කියල. ඒ කරලා ඡන්දෙදි, ජනතාව තමන් වැඩියෙන් කැමති විසඳුම දෙන පක්ෂයට ඡන්දය දෙනවා. එතකොට ඒ දිනන පක්ෂය තමන් කී දෙය කරනවා. ඒ නමුත් මිනිසුන් ඇත්තටම ඉල්ලන්නෙ ඒක කොහෙන්වත් ගෙන්නලා දෙන්න නෙවෙයි. ඒක තමන්ටම හදාගන්න අවශ්‍ය තාක්ෂණය දෙන්න කියලයි. නමුත් මෙතෙන්දි වෙන්නෙ ජනතාවට අවශ්‍ය දෙය නෙවෙයි, පක්ෂ වලට ඕන දෙයයි. ඒකෙන් පේනවානෙ මේකෙදි ජනතාවගෙ මතයට ප්‍රමුඛත්වයක් ලැබුනත්, ඒක සැබෑම ජනතා මතය නොවන බව. හරියට බහුවරණ ප්‍රශ්නෙක හරිම උත්තරේ නොමැති විට ඒකට ආසන්නම උත්තරේ ලකුණු කරනවා වගේ.
හරි, දැන් ආයෙත් ප්‍රධාන මාතෘකාවටම එමු. මිනිස්සු කියන්නෙ මහා අමුතු සත්තු ජාතියක්. සත්වයාගෙ පරම ආශාව පංචස්කන්ධය පිනවීම වුනාට මිනිස්සු තුලින් ඒක යටපත් කරගෙන වෙනත් ද්විතීයික ආශාවක් තමයි දෘෂ්‍යමාන වෙන්නෙ. (ඒ කියන්නෙ පළමු මූලික ආශාව ඉටුකරගැනීම සඳහා නිර්මාණය වූ ද්විතීයික ආශාවක්. ඒ වුනාට මිනිහෙක් දිහා බැලුවහම මූලික ආශාව යටපත් කරගෙන දෘෂ්‍යමාන වෙන්නේ මේ ද්විතීයික ආශාව.) ඒක තමයි පාලනය කිරීමෙ ආශාව. තමාව පාලනය කිරීම (ඇත්තටම කියනවා නම් අපිට අපේ ජීවිත පාලනය කරන්න ලැබෙන්නේ බොහොම පොඩි අවස්ථාවක්. ඒ නිසාම අපි හැමෝම කැමතියි අපේ ජීවිත අපිට ඕනෑ විධියට පාලනය කර ගන්න), යම් යම් උපකරණ පාලනය කිරීම (වාහන, යන්ත්රන සූත්‍ර වැනි), තවත් පුද්ගලයෙක් පාලනය කිරීම, ගමක් පාලනය කිරීම, රටක් පාලනය කිරීම, ලෝකෙ පාලනය කිරීම වගේ එක් එක් පුද්ගලයා තුල මේ ආශාව විවිධ ආකාරයෙන් පවතිනවා. ක්‍රීඩා හා පරිඝණක ක්‍රීඩා නිර්මාණය වී ඇත්තේත් මේ පාලනය කිරීමේ ආශාව වඩා සදාචාරාත්මක ආකාරයකට ඉටුකර ගැනීමටයි. ක්‍රීඩාවක සිදුවන්නේත් දුර්වලයා පරාජය කර දක්ෂයා ජය ගැනීමයි, වෙනත් විධියකට කියනවා නම් කැළෑ නීතියයි. (නමුත් සමහර පරිඝණක ක්‍රීඩා නම් කිසිසේත්ම සදාචාරාත්මක නොවන බව කිව යුතුමය.) හරියටම බැලුවෙත් නිදහස කියන්නෙත් එහිම කොටසක්. මොකද නිදහස කියන්නෙ තමාව පාලනය කිරීමෙ හැකියාව, නිදහසට ඇති ආශාව කියන්නෙ තමාව පාලනය කිරීමේ ආශාව. ඒ වගේම අපි හැමෝම ලොකු-කුඩා, උගත්-නූගත්, ගැහැණු-පිරිමි, කළු-සුදු භේදයක් නැතිව අපි වටා තියෙන සමාජය, පරිසරය, වටපිටාව අපිට ඕනෙ විධියට පාලනය වෙනවට කැමතියිනෙ. ගෙදරදී, පාසලේදී, කාර්යාලයේදී, මගතොටේදී අපි එක එක විධියට අපි අවට පරිසරය අපිට අවශ්‍ය ආකාරයට පාලනය කරගන්න විවිධ ආකාරයෙන් ක්‍රියා කරනවා. ඒවා අපි කැමති විධියට පාලනය කරගන්නවද නැතිද කියල තීරණය වෙන්නෙ ඒ ඒ පුද්ගලයාගෙ ඒකට තියෙන දක්ෂතාවය මතයි. ඒ වගේම කෙනෙක් තව කෙනෙක්ව තමන් දරණ මතයට නම්මා ගැනීම, මිනිසුන් අතර විවිධ දේ සඳහා වූ තරඟකාරී බව, තමන්ට පාලනය කර ගත නොහැකි වූ දේ වෙනුවෙන් දුක් වීම හෝ ඒ සම්බන්ධව ද්වේෂයෙන් කටයුතු කිරීම ආදී වූ පාලනය සම්බන්ධ වූ මිනිසුන්ගේ සියළු ආශාවන්, චරිත ලක්ෂණ, හැකියාවන් ආදිය දේශපාලනය කියන විෂයය යටතට ලා සැලකිය යුතු බව මගේ හැඟීමයි. මම දේශපාලනය කියල හඳුන්වන්නේ සත්වයාගේ පාලනයට තිබෙන ආශාව, පාලනයට තිබෙන හැකියාව හා ඒ සඳහා යොදා ගන්නා ක්‍රම ශිල්ප ගැන හදාරන විෂයකටයි. (මේ බලය පිළිබඳ විෂයෙහි නම දේශපාලනය විය යුතුම යැයි මම නොකියමි. ඒ සඳහා වෙනත් සුදුසු නමක් ද යොදා ගත හැක.)
දුර්වලයා යටපත් කර ශක්තිවන්තයා නැගී සිටීම කැළෑ නීතියයි. මිනිසා ශිෂ්ඨාචාරගත වීමේදී කැළෑ නීතිය අතහැරි බව කීම විහිළුවකි. වෙනස් වී ඇත්තේ ශක්තිවන්තයා අර්ථ දක්වන නිර්නායක පමණි. කැළෑවේදී ඒවා කාය ශක්තිය, රෞද්‍ර බව, නිර්භීතකම ආදිය වේ. නූතන මිනිස් සමාජයේ ඒවා මුදල්, පිරිස්, ආයුධ බලය හා දැනුම-බුද්ධිය වේ. නමුත් ඕනෑම කාලයක් හා අවස්ථාවක් සඳහා දැනුම හා බුද්ධිය උපරිම ශක්තිය වන්නේය. කිමද අනෙක් ශක්ති වර්ග නිර්මාණය කර ගැනීමේ හැකියාව එමගින් ලැබෙන බැවිනි. (එනම් මුදල් උපයා ගැනීම, පිරිස් බලය එක්රැස් කර ගැනීම හා ආයුධ නිපදවා ගැනීම ආදිය ඊට අදාල දැනුම හා බුද්ධිය උපයෝගී කරගෙන ඉටු කරගත හැක.) මේ කෙසේ වෙතත් සත්වයා තුලින් පාලනය කිරීමේ ආශාව නැතිවන තෙක් (එනම් සත්වයා සසරින් එතෙර වන තෙක්) කැළෑ නීතියෙන් සත්වයා වෙන් කල නොහැක.
එහෙම බැලුවහම දේශපාලනය කියන එක මිනිසුන් ගෙන් වෙන් කරන්න බෑ. ඒ කියන්නෙ අපි සියලුදෙනා තුලම යම් විධියක හෝ දේශපාලකයෙක් ඉන්නවා කියන එකයි. කව්රුහරි එහෙම නෑ කියනවානම් එයා රහත් වෙලා ඉන්න ඕනෙ. මම මේ කියන දේශපාලනය මීට වඩා පුළුල් විධියට සමාජ හා මානසික විද්‍යාවනුත් උපයෝගී කරගෙන අධ්‍යයනය කල යුතුයි යන්න මගේ හැඟීමයි. දේශපාලනය ගැන සිදුකරන මෙවන් අධ්‍යයනයකදී විශාල පද්ධති වල (උදා : නගර, රටවල්, ලෝකය) මෙන්ම කුඩා පද්ධති වලද (උදා : පවුලක සමාජිකයින් අතර, මිතුරන් පිරිසක් අතර, ක්‍රීඩා තරඟයක, කාර්යාලයක සේවකයින් අතර, මහමගදී, වෙළඳ සැලකදී) සිදුවන දේශපාලන ක්‍රියාවන් (උදා : බලය නිර්මාණය කර ගැනීම, බලය පවත්වාගෙන යාම, බලය වැඩි කර ගැනීම, උපක්‍රමිකව බලය අඩු කිරීම, බලය පැවරීම), එහිදී පුද්ගලයින් භෞතිකව හා මානසිකව දක්වන ප්‍රතිචාර, ඒවායේ සාර්ථක/ අසාර්ථක භාවය ආදී මෙකී නොකී බලයට සම්බන්ධ සියළුම අංග අධ්‍යයනය කිරීමෙන් දේශපාලනය පිළිබඳ වඩා සාර්ථක දැනුමක් නිර්මාණය කිරීමට හැකි වනු ඇත. එවිට එම දැනුමෙන් මිනිස් සමාජයේ පවතින විශාල දුර්වලතා හොයා ගන්නත්, ඒවාට පිළිතුරු හොයා ගැනීමෙන් වඩා යහපත් මිනිස් සමාජයක් නිර්මාණය කිරීමටත් හැකිවනු ඇත.

අපි මේ කරන දේ හරිද?

Saturday, March 7, 2009
අපි මේ කරන දේ හරිද? අපිට අයිති නැති දේවල් නීති දාලා පාලනය කරන එන හරිද? මිනිස් සමාජය පාලනය කරන්න නීති දාන එක වෙනම දෙයක්. මොකද, අපි කරන්න ඕන මොනවද - අපි නොකරන්න ඕන මොනවද, මේක අපේ රට - ඕක ඔයාගෙ රට, මේක මගේ වත්ත - ඕක ඔයාගෙ වත්ත කියලා නීති දාගෙන තියෙන්නේ මිනිස් සමාජයේ නිරන්තර යහපැවැත්ම සඳහා අපිමනේ.
ඒ වුනාට අහිංසක සත්තු අපිට ඕන විධියට පාලනය කරන එක වැරදියි. මොකද අපිට ඔවුන්ව අයිති නෑ. පොඩ්ඩක් හිතන්න, අපිට වඩා දහස් ගුණයක් විතර බුද්ධිමත් (අපියි සත්තුයි අතර බුද්ධි පරතරය වගේ) පිටසක්වලයො ඇවිල්ල අපිව පාලනය කලොත් මොන වගේ වෙයිද? හරියට අපි සත්තුන්ට කරනව වගේ. අපිව නිකං ප්‍රාථමික ජීවීන් වගේ සලකන, ඔවුන්ගේ සත්තු වත්තවල් වල කූඩු වල අපිව දාල - ඔවුන්ගේ පොඩිඑවුන්ට ඇවිත් බලලා හිනාවෙන්න, අපේ මස් අරගෙන අමුත්තෙකුට රසවත් කෑමක් හදල දෙන, ඔවුන්ගේ ඇඳුම්, සපත්තු හදන්න අපිව හම ගහන, අපේ දතුයි නියපොතුයි කලු කඩවල (black market) විකුණන, දරුණු මෘගයොත් එක්ක අපිව සටන් කරන්න දාල විනෝදවෙන, ඔවුන්ට බෙහෙත් හදන්න කරන පරීක්ෂණ වලදි අපේ ජීවිත පූජා කරන්න, ඔවුන්ගෙ චාරිත්‍ර වලට අපෙ දරුවන්ව මරන්න, අපි ඉන්න කොන්ක්‍රීට් වනාන්තර වටේට දැල් ගහල - අපිට එලියට යන්න බැරි වෙන්න, එහෙමත් නැත්නම් කෝටු කෑල්ලක් විසි කරහම ඒක අරගෙන එන ඔවුන්ගෙ සුරතලෙක් වෙන්න ඔබ කැමතිද? එහෙමත් නැතිනම් අපි සත්තුන්ට කරන දේවල් නිවැරදියි කියල ඔබ හිතනවද?
මෙහෙම කියනකොට සමහරු කියන්න පුළුවන් අපි සත්තුන්ට ආදරේ නිසා තමයි සුරතලුන් විධියට ඇති කරන්නේ කියලා. නමුත් පොඩ්ඩක් හිතන්න, ඔවුන්ගේ ස්වභාවික පරිසරයෙන් වෙන් කරලා අපි ඔවුන්ට කරන්නේ කෙතරම් අසාධාරණයක්ද කියලා. හිතන්න, ඔය ගෙදරක සැපට ඇති කරන බල්ලෙක්ව උගේ ස්වභාවික පරිසරය වන කැළෑවකට ගිහින් දැම්මොත් මොනවා වෙයිද? ඌ තමන්ගේ කෑම සොයාගන්න දන්නේ නෑ, කැළෑවේදී තමා ජීවත් විය යුත්තේ කෙසේද, උවදුරු වලින් ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න ඌ දන්නේ නෑ. එනම් ඌට ස්වාධීනව ජීවත් විය නොහැකියි. කිමද ඌ මිනිස් සමාජය මත යැපෙන්නෙක් බවට අප විසින් පත්කර ඇති බැවිනි. මෙමගින් අපි ඔවුන්ගේ ස්වභාවික ජෛවීය පරිණාමයටත් ඍජුවම දැඩිලෙස බලපෑම් කරනවා. ඉතින් මෙය නිවැරදිද?
ආත්මාර්ථකාමී වෙන්න එපා! නිවැරදි දේ වෙනුවෙන් නැගී හිටින්න. ලෝකෙ පෝසත්ම මිනිහ වෙනවට වඩා ලෝකෙ හැමෝම එක්ක සාමයෙන් සමගියෙන් එක පවුලක් විධියට ජීවත්වෙන එක වඩා සතුටුදායකයි කියල හැමවෙලේම මතක තියා ගන්න.

ඉහලට යන විට සීතල ඇයි?

Friday, March 6, 2009
මේක ලොකු මාතෘකාවක් නොවුනත් අපි ලොකු දේවල් ගැන හිත හිත පොඩි පොඩි කරුණු අමතක කරන නිසයි මේක ලියුවේ. ඉහලට යන විට සීතල ඇයි? මා එය කීපදෙනෙකුගෙන්ම ඇසූවිට ඔවුන් පැවසූයේ ඒ වාතය‍ට සූර්යයා ගෙන් එන අධි සංබ්‍යාත කිරණ උරා ගැනීමට නොහැකි නිසාත් වාතය රත් වෙන්නේ සූර්යයා ගෙන් එන කිරණ පොළොව උරා ගැනීමෙන් පසු පිටකරන අඩු සංඛ්‍යාත කිරණ උරා ගැනීම නිසාත් කියාය. එය හරි, නමුත් එය මෙ‍ම ප්‍රශ්නයට උත්තරය නොවේ. මට තේරෙන ආකාරයට, ඇයි භූමිය ඇත්තේ මුහුදු මට්ටමේ පමණද? ඉහල තැන් වල කඳු, සානු වගේ පොළොව නැත්ද? ඒ තැන් සීතල නැත්ද? කියලා අපිට තර්ක කරන්න පුළුවන්නේ. මම නම් හිතන්නේ මේකට හේතු කීපයක්ම බලපානවා.
අ.) ඉහලට යන විට ගුරුත්වය අඩුවේ. එම නිසා වාතයේ ඝණත්වය අඩුවේ. එම නිසා ඒකක වාත පරිමාවක රඳවා ගත හැකි තාප ප්‍රමාණය අඩුවේ. එම නිසා ඉහලට යන විට සිසිල් වේ.
ආ.) තාපය වැඩිපුර රඳවා ගතහැකි දූවිලි, කාබන් ඩයොක්සයිඩ් වැනි අංශු සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩිය. ඒ නිසා ඒවා වැඩිපුර පෙළඹෙන්නේ පහලට යන්නයි. ඒ නිසා ඉහල තැන් වල ඒ අංශු වල සාන්ද්‍රණය පහල තැන් වලට වඩා අඩුය. එම නිසා ඉහල තැන් වල සීතල පවත්වාගෙන යැමට එයත් උදව් වේ.
ඇ.) සාමාන්‍යයෙන් ඉහල ප්‍රදේශ වල පහල ප්‍රදේශ වලට වඩා තුඩු සහිත තැන් (කඳු මුදුන් වැනි) වැඩිය. සාමාන්‍යයෙන් අප දන්නා ආකාරයට තුඩු සහිත පෘෂ්ඨ වලින් පැතලි පෘෂ්ඨ වලට වඩා කිරණ විහිදීමට ලක්වේ. එම නිසා ඉහල තැන් වලදී තාප කිරණ වැඩිපුර විහිදීමට (scatter) ලක්වේ. එම නිසා ඒ තැන් වලට ඉහලින් තියෙන වාතයට ලැබෙන්නේ අඩු තාපයක්.
මෙම හේතු සම්පූර්ණයෙන්ම නිවැරදිද කියලා මම දන්නේ නෑ. නමුත් සෑහෙන දුරට නිවැරදියි කියලා හිතනවා.

සංගීත කලාව

Thursday, March 5, 2009
වර්තමානයේ පවතින සංගීතයට, සංගීතය නොව “නිර්මාණාත්මක ශබ්ද කලාව” යනුවෙන් හැඳින්වීමට කැමැත්තෙමි. (මා සංගීත විශාරදයෙකු නොවෙමි. නමුත් සංගීත ලෝලියෙකි. අතීතයේ වූ සංගීතය ගැන මා කතා නොකරන්නේ ඒ ගැන මගේ දැනුම අල්ප නිසාය.) කිමද වර්තමාන නිර්මාණ වල සංගීතයට අමතරව සංගීතය යනුවෙන් නොහඳුන්වන විවිධාකාර වූ ශබ්ද ඒ ඒ නිර්මාණ වලට උචිත වන අයුරින් (නිර්මාණාත්මක ලෙස) යොදා ගැනීම නිසාය. හැබැයි මේවා හරි අවබෝධයෙන් යුතුව කල යුතු වැඩ. නැත්නම් තියෙන සංගීතයත් නැතිවෙයි.

ප්‍රස්ථා පිරුලේ දැනුම

Sunday, March 1, 2009
අපිට ඉතාමත් ආඩම්බර විය හැකි සංස්කෘතියක්, දැනුම් පද්ධතියක් තියෙනවා. අපේ පැරැන්නන් (සාමාන්‍ය ගැමියන් පවා) ඉතාමත් විද්වත් පිරිසක් කියල කියන්න පුළුවන්. (මේ කතාව පැරැන්නන්ට විතරක් වලංගු වීම පිළිබඳ පොඩි දුකක් තියෙනවා. දැන් ගොඩක් ඉන්නෙ මිනිස්සු නෙවෙයි යන්ත්‍ර(.) අපිට ඇතිවෙන හැම ප්‍රශ්නෙකටම (සමාජයීය විතරක් නෙවේ විද්‍යාත්මක ඒවටත්) වගේ පිළිතුරු ප්‍රස්ථා පිරුළු, උපදේශ කාව්‍ය වගේ දේවල තියෙනවා. උදාහරණෙකට මම එකක් කියන්නම්. “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය” කියන ප්‍රස්ථා පිරුලේ, මහාචාර්ය නලීන් ද සිල්වා මහත්තයාගේ “නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය” ප්‍රවාදය වගේ කතාවක් හැංගිලා තියෙනවා. “දැනුම එකිනෙකාට සාපේක්ෂ වීම” ඒ ප්‍රස්ථා පිරුලෙන් හොඳින් කියවෙනවා. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුත්තේ ඇයි කියල විමසා බලමු. කියන්නා කියන්නේ කියන්නාගේ දැනුමට සාපේක්ෂවය. ඒ වුනාට අසන්නා අසන්නේ අසන්නාගේ දැනුමට සාපේක්ෂවය. ඒ නිසා සිහිබුද්ධියෙන් ඇසුවෙ නැත්නම් අසන්නා තේරුම් ගන්නේ වෙනමම දෙයකි. මේ කතාව අපේ පැරැන්නන් දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම මේ පිරුලෙන් ශිෂ්‍ය කේන්ද්‍ර අධ්‍යාපනයේ වැදගත්කමත් හොඳින් විද්‍යාමාන වෙනවා. මේ වගේ අපි සුළුවෙන් තකන අපේ දැනුම තුල අප නොදකින සෑහෙන ගැඹුරක් තියෙනවා. දුර්වලකම ඇත්තේ අපේ පාරම්පරික දැනුමේවත්, අපේ සංස්කෘතියේවත් නොවේ; බටහිර අධ්‍යාපනය මතම යැපෙන අපේ දෙයෙහි අගය නොදකින අප තුලය. (ප.ලි. මට දැන් ටික කාලෙකට කලින් ක්වොන්ටම් විද්‍යාත්මක ගතියක් තියෙන වැකියක් හම්බඋනා. මට දැන් ඒක මතක නෑ. මතක් උනාම කියන්නම්; කියන්නම් නොවේ ලියන්නම්.)
Related Posts with Thumbnails