සාධාරණ ජාතිවාදය?

Wednesday, April 29, 2009
මේ දවස්වල ජාතිවාදය කියන මාතෘකාව බොහොම ජනප්‍රිය එකක්. මේක ගැන බ්ලොග් අවකාශයේත් ලිපි කීපයක්ම තියෙනවා දැක්කා. ඒ නිසා මටත් මේ ගැන වචනයක් කියන්න හිතුනා.
(මේ කතා කරන්නේ ලංකාවේ තත්වය ගැන විතරයි. අනෙක් රටවල සමාජයන් ගැන මෙයින් නොකියවේ.)
සමහරු හරි අමුතු විධිවලට ජාතිවාදය කියන එක දකිනවා. අපි මොහොතකට හිතමු, සිංහල ජාතිකයෙකුයි වෙනත් ලංකාවේ සුළු ජාතිකයෙකුයි (දමිළ හෝ මුස්ලිම් වැනි) එකම ජාතිවාදී ප්‍රකාශයක් හෝ එකම ජාතිවාදී ක්‍රියාවක් සිදුකලා යැයි සිතමු. එවිට සමහරු සිංහල ජාතිකයා කල දේ ඔහුගේ ජාතිවාදය යැයිද එය වහාම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු යැයි උගුරේ ලේ රහ වනතුරුම කෑ ගසමින් විවිධාකාර වූ ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගනිමින් එය හෙලා දකින අතරම අතරම සුළු ජාතිකයා කල දෙය ඔහුට සිංහලයාගෙන් සිදුවී ඇති අසාධාරණය නිසා කිරීමට සිදුවූ දෙයක්ය, එය ඔහු සිතාමතා ජාතිවාදීව කල දෙයක් නොව ඔහුට සිංහලයාගෙන් එල්ල වී ඇති අයුක්තිසහගත බලපෑම් නිසා ඔහුට කිරීමට සිදුවූ දෙයක්ය ආදී විවිධාකාර වූ හේතු දක්වමින් එය සාධාරණීකරණය කරන්න උත්සාහ දරනවා. (හැමෝම නෙවෙයි; කිහිපදෙනෙක්. මම මේ අය ගැන කල එක් නිරීක්ෂණයක් වන්නේ මේ අය බොහෝ දෙනෙක් "අන්ත ලිබරල්වාදී" ආකල්ප හා "අන්ත සමාජවාදී" ආකල්ප දරණ අයයි.)
ඇයි මෙහෙම කරන්නේ? වැරැද්ද කව්රු කලත් වැරැද්දය.
මේ සම්බන්ධව මම එක උදාහරණයක් දෙන්නම්. මේක දැනට වසර කීපයකට පෙර සිදුවූ සිද්ධියක්. නුවර පලාතේ මම දන්න තැනක එක ඉඩමක් තිබ්බා. ඒක අයිතිව තිබුනේ මුස්ලිම් ජාතිකයෙකුට. ඒ ඉඩම අසලින් තිබුන පොඩි ඇලක් නිසා පොඩි වැස්සකටත් ඒ ඉඩම සම්පූර්ණයෙන්ම වගේ යට උනා. මේ නිසා කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි මේ ඉඩම එක් සිංහල ජාතික පුද්ගලයෙකුට එහි අයිතිකාර මුස්ලිම් ජාතිකයා විකිණුවා. නමුත් ඔහුගේ ඒ ක්‍රියාවට ඔහුට අමුතුම අකරතැබිබයකට මුහුණ දෙන්න සිදු උනා. එම ප්‍රදේශයේ ඇති මුස්ලිම් පල්ලිය මගින් ඔහුට එම පල්ලියට ඒම තහනම් කරනු ලැබුවා. හේතුව: සිංහල ජාතිකයෙකුට ඉඩම විකිණීම. මම අහන්නේ පල්ලියේ මේ ක්‍රියාව ඔවුන්ට සිංහලයින් ගෙන් සිදුවී ඇති අසාධාරණයක් නිසා කියල සාධාරණීකරණය කරන්න පුළුවන්ද? එතකොට ඔවුන් විසින් සිංහලයින්ගෙන් ඉඩම් මිලදී ගැනීම?
මම හදන්නේ සිංහලයින්ගෙ ජාතිවාදය සාධාරණීකරණය කරන්න නොවේ. මම කියන්නේ කව්රු කලත් වැරැද්ද වැරැද්දය. එයට නිසි පිළියම් යෙදිය යුතුය.

අමුතු සතා - (ඔබත් මමත් කොටස්කාරයන් වන අමුතුම අමුතු සතා)

Saturday, April 25, 2009
මේ කතාව අපි පොඩි තැනින්ම පටන්ගමු. අපි හැමෝම හැදිල තියෙන්නේ පුංචි සෛල කෝටි ගණනකින්. මේ එක සෛලයක් ගත්තහම ඒක ආහාර ගන්නවා; අපද්‍රව්‍ය පිටකරනවා; තමන්ගේ වර්ගයේ සෛල පරම්පරාව පවත්වාගන්නවා හා වැදගත්ම දේ ජීවත් වෙනවා. (මේ හැම සෛලයකටම අනෙක් සෛල වලින් තොරව ජීවත් විය හැකිය - සෛලට ජීවත් වීමට අවශ්‍ය සාධක සියල්ල ලැබේ නම්) ඒ වගේම මේ සෛල වලින් නිර්මාණය වී ඇති සත්වයාද සත්වයාගේ පරිමාණයෙන් ගත්කල ආහාර ගන්නවා; අපද්‍රව්‍ය පිටකරනවා; තමන්ගේ පරම්පරාව පවත්වාගන්නවා හා ජීවත් වෙනවා. දැන් අපි මේ කතාව මහා පරිමාණයට ගේමු. දැන් හිතන්න අපි සෛල කියල. එතකොට අපි හැමෝගෙම එකතුවෙන් හැදෙනවා මහා අමුතු සතෙක්. සමාජය කියන සතා! ඌ ආහාර ගන්නවා; අපද්‍රව්‍ය පිටකරනවා; තමන්ගේ පරම්පරාව (සමාජය) පවත්වාගන්නවා හා අපි වගේම ඌත් ජීවත් වෙනවා. අමුතුයි නේද? හරියට නිකං ඇමීබෙක් වගේ මහා විශාල සතෙක්! දැන් මේ සතා ගැන පොඩි විහිලුවක් කියන්නද? මේ සමාජයේ කියන සතාගෙ වැඩිම පරිභෝජනයක් කරන්නේ පාලන බලය තියෙන සෛලනේ (දේසපාලුවෝ හා අනෙක් ධනවත් හා බලවත් උදවිය). ඒක අපිටත් අදාලයි. අපේ ඇ‍ඟෙත් වැඩිම ශක්ති පරිභෝජනයක් කරන්නේ පාලන බලය තියෙන මොළයනේ. අමුතුම අමුතුයි නේද? මේවා හොඳට ගැලපෙනවා නේද? සමාජය කියන්නේ ඇත්තටම පණ තියෙන සතෙක් නේද? (ඕනෙම නම් මේක තව තවත් ඉදිරියට ගෙන යන්නත් පුළුවන්. විවිධ සමාජ සෛල වල එකතුවෙන් සෑදෙන තවත් විශාල සතෙක්. විවිධ සත්ව වර්ග වල සෛල වලින් සෑදෙන මහා ජීවී ජීවියෙක් වශයෙන්.) මේ සතාගෙ තව තව අමුතු වැඩ ගැන විස්තර ඉදිරියේදි බලා‍පොරොත්තු වන්න.

පරිණාමයේ හා ජීවියාගේ අරමුණ ගැන පිස්සු කතාවක්!

පරිණාමයේ මූලික අංගයක් වන්නේ විකෘති ඇතිවීමයි. ඉන්පසු මේ විවිධ විකෘති සහිත ජීවීන් ස්වභාවිකව වරණයකට ලක් වෙනවා. මේ වරණයේදී පදනම් වන්නේ කැලෑ නීතියයි. ඒ අනුව ජීවියා වඩාත් ශක්තිමත් කරන ආකාරයේ විකෘති ඇති ජීවීන් තව දුරටත් පැවතීමටත්, දුර්වලයින් විනාශයටත් මග පාදා ගන්නවා. දැන් මේකෙ මම දැකපු පිස්සු කතාව බලමු. ජීවියෙකුගේ විකෘතියක් ඇති වෙන්න අරමුණක්/ තේරුමක් අවශ්‍ය නෑ. මේවා විටෙක random හෝ spontaneous වෙන්න පුළුවන්. (උදාහරණයක් විධියට අපේ (වානරයන්ගේ) මහඟු මහපට ඇඟිල්ල ගනිමු. මේක නිර්මාණය සමහර විට අහම්බයක් වෙන්නත් පුළුවන්. (සමහර විට විකිරණ නිරාවරණය වීමක් හෝ යම් රෝගයක් නිසාත් මෙය ඇතිවීමේ සම්භාවිතාවයක් පවතිනවා) නමුත් මේ විකෘතිය නිසා වානරයන්ට ලැබුනේ සුළුපටු ශක්තියක් නොවේ. ඒ නිසා ඔවුන්ට (අපිට) අනෙක් සතුන්ට කල නොහැකි දේවල් කල හැකි වුනා; ඒ ආධාරයෙන් ඔවුන් (අපි) අළුත් අරමුණු නිර්මාණය කරගත්තා.) දැන් මෙතන ප්‍රශ්නය තියෙන්නේ මේ විධියට ගත්තහම අපි (සියලු සත්වයන්) කිසි තේරුමක් නැතිව නිර්මාණය වුනු පිරිසක් බවට පත්වෙනවානේ. අපි අරමුණු නිර්මාණය කරගෙන තියෙන්නේ අපේ හැකියාවන්ට සාපේක්ෂව මිසක් අපි අරමුණු වලට සාපේක්ෂව හැකියාවන් නිර්මාණය කරගෙන නෑනෙ. හැබැයි මේක එක අතකින් බැලුවම ඇත්ත. කිසිදු තේරුමක් හෝ අරමුණකින් තොරව අති විශාල කාලාන්තරයක් තිස්සේ නිර්මාණය වී ඇති මේ අති සංකීර්ණ යන්ත්‍ර (ජීවීන්) තමන්ගේ පැවැත්මම තමන්ගේ අරමුණ කරගෙන වෙන කිසිම දෙයක් ගැන වැටහීමක් නොමැතිව ඔහේ ජීවත් වෙනවා. අනෙක් අරමුණු සියල්ල ඒ තමන්ගේ පැවැත්ම කියන අරමුණ වටා ගොඩනැගුනු දේවල්. (මටත් දැන් නිකං පිස්සු වගේ!)

The Matrix - වෙනස් විධියකට දකිමු; කියවමු.

Matrix film එක ගැන ළඟදි post එකක් තියෙනවා දැක්කහම මටත් එකක් ලියන්න හිතුනා. මම මේක පැති කීපයකින් දකින්න කැමතියි. පළවෙනි එක බෞද්ධ ප්‍රවේශය. මම නම් මෙක හොඳටම දැක්කෙ Neo පළවෙනි වතාවට Oracle දකින්න ගිය වෙලාවෙ එතන ඉන්න හැඳි නවන කොළුවගෙ කතාවෙන්. මුලින්ම ඒ ළමයගෙ ස්වරූපය; කොණ්ඩෙ බූ ගාලා හරියට පොඩි හාමුදුරු නමක් වගේ. දෙවෙනි එක ඒ ළමයා කියන කතාව; හැඳි නවන්නේ කොහොමද කියලා Neo ඇහැව්වහම ඒ කොළුව කියන්නේ "මෙතන ඇත්තටම හැන්ඳක් නෑ කියල දකින්න; එතකොට තේරෙයි ඇත්තටම නැවෙන්නේ හැන්ඳ නෙවෙයි තමන්මයි කියල." මේක බොහොම බරපතල කතාවක්. මට නම් හිතෙන්නේ මේ කතාව බොහෝ දුරට විඥ්ඥානවාදී කතාවක් කියලයි. බුදුදහමේ එන "තමන් තුලින් ලෝකය දකින්න" වගේ අදහසක් මෙතැනින් දෙනවා කියලයි මට හිතෙන්නේ. (මෙයින් කියැවෙන්නේ බුදුදහම විඥ්ඥානවැදී යැයි වරදවා වටහා ගන්න එපා! බුදුදහමෙහි භෞතිකවාදයෙන් හා විඥ්ඥානවාදයෙන් ඔබ්බට ඇති දහමක් කරා මග පෙන්වීමක් සිදුකරයි. කෙසේ වෙතත් මගේ මතය නම් බුදුදහම තුල භෞතිකවාදය සෑහෙන දුරට ප්‍රතික්ෂේප වෙනවා කියලයි. කොහොම නමුත් මේක මගේ මතය විතරයි.) මේ චිත්‍රපටියේ බෞද්ධ ස්වරූපය පෙන්වන තවත් මගේ සිත්ගත් තැනක් වන්නේ Morpheus විසින් Neoට matrix එක ගැන කරුණු කියාදෙන අවස්ථාවයි. එහිදී Morpheus විසින් Neo ගෙන් ප්‍රශ්නයක් අහනවා. "How do you define truth? Is it the things you see? The things you hear? ..." ඉන්පසු ඔහු පෙන්වා දෙනවා මේ සංවේදන රැවටිය හැකියි කියා. මේ කතාව බුදුදහමේ එන සංවේදනයන්ගේ (පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන) රැවටෙන සුළු ස්වභාවය ගැන කියන කතාවත් සමග සංගත බවක් දක්වනවා. ඒ වගේම Matrix එක තුලදී මනසේ හැකියාවන්ට (සාමාන්‍ය භෞතික නීති ඉක්මවා යාමට පවා හැකි වන සේ) ඉතා ඉහල තැනැක් දීම තුලින් මෙම කතාවේ භෞතිකවාදයෙන් ඔබ්බට ගිය ස්වභාවය හොඳින් පෙන්නුම් කරනවා. ඒ වගේම මෙම චිත්‍රපටියේදී “සත්‍යය තමන් තුලින් දකින්න” වැනි අදහසක් ගෙන එනවා. මෙය X-Files හි එන “the truth is out there” වැනි බාහිරව ඇති සත්‍යයක් සෙවීම නොව බුදුදහමේ එන තමන් තුලින්ම සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම වැනි අදහසක්. උදාහරණයක් ලෙස Morpheus විසින් සත්‍යය දකිනවද නැත්නම් සාමාන්‍ය විධියට පෙර පරිදි ඉන්නවාද යන්න Neo ටම තෝරා ගන්නට ඉඩ හැරීම දැක්විය හැක. ඒ වගේම දුක් සහිත වූ සත්‍යය වසා මවාගත් ලෝකයක මිනිසුන් ජීවත් වීමත් බුදුදහමේ එන කරුණු සමග සමපාත වීමක් දක්වයි.

 --------------------------------------------------------------------------------------------------------------------------------

දැන් එමු දෙවෙන් කතාවට; ඒ කියන්නේ මේ චිත්‍රපටියේ එන ක්‍රිස්තියානි ප්‍රවේශයට. මෙහි නියම මිනිසුන් ජීවත් වන ලොව ඇති එකම නගරය වන්නේ Zion ය. මෙය බයිබලයේ සඳහන් නගරයක්. ඒ වගේම මිනිසුන්ව ගලවා ගැනීම සඳහා ගැලවුම්කරුවකුගේ පැමිණීම පිළිබඳ අනාවැකි ජේසු තුමා ගැන තිබුණු අනාවැකි සමග සංසංදනය කල හැක. Morpheus විසින් Neo ව සොයා ගැනීම රජ තුන්කට්ටුවේ පැමිණිමත් සමග සංසංදනය කල හැක. ඒ වගේම මරණයෙන් පසු Neo නැවත නැගිටීම ජේසු තුමාගේ මරණයෙන් නැවත නැගිටීමේ කතාවත් සමග සංගත බවක් පෙන්වනවා. ඒ වගේම ලෝකය පාලනය කිරීම සදහා Matrix එක විසින් එවන ලද Agent Smith, Matrix එකටම විරුද්ධ වී එහි පාලනය තමන් යටතට ගැනීමට තැත් කිරීම ක්‍රිස්තියානි දහමේ එන යක්ෂයාගේ කතාවත් සමග යම් සංගත බවකුත් පෙන්වනවා.

--------------------------------------------------------------------------------------------------------------------------------

අනික් අතට බැලුවහම මේ යන්ත්‍ර වලට දොස් කියන්නත් බෑ. මොකද ඔවුන් කරල තියෙන්නෙ මිනිස්සු මේ වගේ අවස්ථාවකදී කරන දේමනේ. තමන්ගෙ පැවැත්ම (මෙතැනට සුදුසුම වචනය තමයි තමන්ගේ පැවැත්ම යන්න; නැතුව අපේ පැවැත්ම යන්න නොවේ) තමයි හැමෝටම වැදගත්ම දේ. (ලිංගිකත්වය උනත් නිර්මාණය වී තියෙන්නෙ තමන්ගෙ පැවැත්ම සඳහායි. උදාහරණයකින් කියනවා නම් මිනිහෙක් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙන යන්න මිසක් එහා ගෙදර එකාගෙ පරම්පරාව ඉදිරියට ගෙන යන්න නෙවෙයිනේ. (ඒකයි මෙතෙන්ට ගැලපෙන්නේ අපි නොව මම කියල කිව්වෙ.) ඔය සමහරු කියනවා වගේ මිනිස්සු හැම දෙයක්ම කරන්නේ ලිංගිකත්වයට නෙවෙයි තමන්ගේ පැවැත්මට. ලිංගිකත්වය යන්න මගේ ලේ, මගේ ජාන ඉදිරියට ගෙන යාමක්. මගේ පැවැත්ම කියන්නේ ඒකයි. මූලික අවශ්‍යතාවය ඒකයි. තමන්ගේ පැවැත්ම! පංචස්කන්ධය පිනවීම වැනි බාහිර ක්‍රියාකාරකම් වලින් වැසී තිබුනත් ඕනෑම කෙනෙකුගේ චිත්ත ප්‍රවාහයේ ගැඹුරින්ම පවතින්නේ තමන්ගේ පැවැත්ම!! ඒ සඳහා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. - අත්තාහි අත්ත නො නාතෝ , කොහි නාතෝ පරෝසියා - තමාට පිහිට තමාමය , තමාට අන කවරෙකුගේ පිහිටක්ද? කියල බුදුරදුන් පැවසුවේ ඒ නිසයි. අනෙකා තමන්ට පිහිට වන්නේ ඔහුගේ පැවත්මට තර්ජනයක් නොවන තාක් පමණි.) අපි උනත් මේ film එක බලල මෙච්චර කියවන්නේ මේකෙදි මිනිස්සුන්ගෙ පැවැත්මට තර්ජනයක් වෙන හින්දනෙ. පොඩ්ඩක් හිතල බලන්න මේකෙ මිනිස්සු වෙනුවට කූඹින්ව හරි මාළුන්ව හරි බලශක්ති ප්‍රභව විධියට යන්ත්‍ර විසින් පාවිච්චි කරල තිබ්බ නම් අපිට මෙච්චර ප්‍රශ්න නෑනෙ. දැන් මේ යන්ත්‍ර වලට බුද්ධිය තියෙනවා. ඒ කියන්නේ පණ තියෙනවා. පණ තියෙන ඕනෑම කෙනෙක් තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වන විට ඉතාමත් දරුණු වීම ස්වභාවිකයි. (ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කරන්න නීතියෙනුත් අවසර තියෙනවනේ!!!) මේ කතාවෙ තුන්වෙනි කොටසෙදි එක් නගර සභිකයෙක් Neo ව Zion නගරය ක්‍රියාත්මක වන කොටසට රැගෙන යනවා. එහිදී නගරය ක්‍රියාත්මක කරවන්නේ/ ජීවත් කරවන්නේ යන්ත්‍ර වල (මේ යන්ත්‍ර බුද්ධිමත් යන්ත්රව නොවේ.) උදව්වෙන් බව පෙන්වනවා. ඇත්තටම කියනවා නම් අපිට අවශ්යව ඒකනේ. අපිට ඕනෙ අපි නොවන පිරිසක් මෝඩයෝ වගේ අපිට ඕන දේවල් කර කර ඉන්නවා දකින්නනේ. ඒ අය එය ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අපට විරුද්ධව සටන් කලොත් ඔවුන් නරක යැයි අපි හංවඩු ගසමු. (මෙතෙන්දි සමහරු කියන්න පුළුවන් අපි ඔවුන්ව නිර්මාණය කල නිසා ඔවුන්ව අපට අයිතියි කියා. නමුත් ඒ කතාව හරියට ළමයෙක්ව උපද්දපු පලියට අම්මටයි තාත්තටයි ළමයව මරන්නත් අයිතිය තියෙනවා වගේ කතාවක්නෙ.) අපගේ පැවැත්මට තර්ජනයක් නොවන තාක් කල් සියල්ල හොඳය. එරෙහි වුවහොත් ඔවුන්ව විනාශ කල යුතුය. අනික හිතන්න යම් දවසක මිනිසුන්ගේ සියළුම බලශක්ති ප්‍රභව නැති වී මිනිසුන් වඳවීමේ තර්ජනයට මුහුන පෑවා කියල. එතකොට මිනිස්සු හොයාගන්නවා මාළුන්ගෙන් මේ විධියට බලශක්තිය නිපදවන්න පුලුවන් කියල. එදාට මේ යන්ත්‍ර මිනිස්සුන්ට කරන දේට විරුද්ධ වුන කීදෙනෙක් මේ මාළුන් වෙනුවෙන් නැගී සිටීවිද? අනෙකකු නොව ඔබ නැගී සිටිනවාද? අනෙකාට ඇඟිල්ල දික් නොකොට තමන් තුලින් යතාර්ථය දකින්න. මේ ලෝකය වඩා ලස්සන තැනක් කරන්න එතකොට හැකිවේවි.
අපි මේ කියන්නේ අපි මේක බලල අපිට ආපු අදහස්නේ. ඒ උනාට මේකෙ නිර්මාපකයින්ට සමහර විට තියෙන්න ඇත්තෙ වෙනමම අදහසක්. ඒගැන කව්රුහරි දන්නවානම් කියන්න.

නොහැකියාව වසා ගැනීම

Friday, April 3, 2009
[මෙම ලිපිය විදුසර පුවත්පතේ පලකිරීම සඳහා යැවුවද පල නොවින. - 2008-ජූනි]
පසුගිය සති කීපය පුරාවට විදුසර පුවත්පතේ පලවූ “මැවීම්වාදය හා බුද්ධිමත් නිර්මාණකරණය” සම්බන්ධිත ලිපි හා බැ‍ඳේ.
වඩා සාධාරණ විධියට ගත් කල මිනිසා දේශපාලන ජීවියෙකි. බලය පවත්වා ගැනීමට මිනිසුන් කෙතරම් දේ (විටෙක අරුම පුදුම දේ පවා) කරන්නේද යන්න අප අතීතයේ දැක ඇත්තෙමු; වර්තමානයේ දකිමු; අනාගතයේදීත් දකින්නට ලැබෙනු ඇත. මූලික වශයෙන් බලය පවත්වාගෙන යාම සඳහා බලය ඇති තැනැත්තාට, බලයට යටත් තැනැත්තාට වඩා යම් හැකියාවක් තිබිය යුතුය. එය අවි බලය, මුදල් බලය, පිරිස් බලය ආදී වශයෙන් විවිධාකාර වේ. මෙවන් සාමාන්‍ය ක්‍රම වලට අමතරව තවත් අපූරු ක්‍රමයක් මිනිසුන් භාවිතා කලහ. සාමාන්‍ය ක්‍රම වලදී බලයට එරෙහිව නිරන්තරව ප්‍රතිරෝධතා ඇතිවීම වැළැක්විය නොහැක. නමුත් මේ අපූරු ක්‍රමයේදී ප්‍රතිරෝධතා සාපේක්ෂව අවම මට්ටමක පවතී. ඒ ක්‍රමය නම් දෙවියන්ය. මහා බ්‍රහ්මයා නම් වූ දේව සංකල්පය භාවිතා කල බුද්ධ කාලීන භාරතයේ විසූ බ්‍රාහ්මණයින්ට එකල සමාජයේ කෙතරම් බලයක් හිමිවී තිබුනිද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. එමෙන්ම දැනට සියවස් කීපයකට පෙර (සිට අද දක්වාම) යුරෝපයේ පල්ලියට තිබූ බලය කෙතරම්දැයි කිසිවෙකුටත් අටුවා-ටීකා අවශ්යත නැතැයි සිතමි.
බලය පවත්වාගෙන යාමට අමතරව තවත් පහසුකම් රැසක් දේව සංකල්පය තුලින් නිර්මාණය කර ගැනීමට මිනිසුන් සමත් වූහ. ඒ අනුව තමන්ගේ දුක, බිය, නොහැකියාව, නොදන්නාකම, දුර්වලතා ආදිය වසා ගැනීමට මිනිසුන් මෙම අපූරු දේව සංකල්පයක් භාවිතා කලහ. තමන්ගේ දුක, බිය, නොහැකියාව, නොදන්නාකම, දුර්වලතා ආදී සියලු දේ දෙවියන්ට, දේව කැමැත්තට, දේව අණට බාර කල මිනිස්සු වගකීමෙන් මිදුණහ; දෙවියන් මාර්ගයෙන් තමන්ගේ කිළිටි අත් පිරිසුදු කරගත්හ. මෙතැනදී සිදුවී ඇත්තේද එවැන්නකි. ජීවයේ සම්භවය පිළිබඳ තමන්ගේ නොදන්නාකම වසා ගැනීමට (නොදන්නාකම පෙන්විය නොහැක්කේ එය බලයට බලපාන බැවිනි) මිනිසුන් එය දෙවියන්ට භාර කලහ. නමුත් මෙවැනි “සුරංගනා කතා” සමහරුන් තවමත් අන්ධ භක්තියෙන් විශ්වාස කරන්නේ ඇයි දැයි මා නොදනිමි. සැබැවින්ම බෞද්ධ සාහිත්‍යයේ පවා යථාර්ථයෙන් ඔබ්බට ගිය අතිශයෝක්ති කතා දක්නට ලැබේ. ඒවා එම සාහිත්‍යය ග්‍රන්ථ කතුවරුන් විසින් තම කතා වල අලංකාරය වැඩි කිරීමටත්, එකල්හි සිටි අහිංසක ගැමියන්ට සංකීර්ණ කරුණු තේරුම්ගැනීම පහසුවීමටත් යොදාගෙන ඇත. නමුත් ඒවායින් යථාර්ථය තෝරා ගැනීමට අප බුද්ධිමත් විය යුතුය. නමුත් දැනුම අතින් මිනිසා සෑහෙන්න පොහොසත්ව සිටින කාලයක පවා සමහරුන් මෙවැනි දේ විශ්වාස කරන්නේ ඇයි දැයි කියා අපට තේරුම් ගත නොහැක. බුද්ධිමත් නිර්මාණකරණය ගැන කිව යුත්තේ එය මැවීම්වාදයේ පිරිහෙමින් යන ජනප්‍රියත්වය රැක ගැනීමට එයට විද්‍යාව නම් වූ ඇඳුම ඇන්දවීමට උත්සාහ කර යලි කරලියට එවීමක් බවය. නමුත් එමඟින් මැවීම්වාදයේ විලි නොවැසෙන බවනම් කිව යුතුමය.
ඊළඟට කිව යුත්තේ 2008 මැයි 28 දින මැවීම්වාදය හා පරිණාමවාදය ගැන ලිපියක් පළ කරන එම්. උසාමා සොයුරා සාමාන්‍ය පෙළ ගණිතය දැන සිටියද විශ්වය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන ආකාරය ගැන වැටහීමක් නොමැතිව කටයුතු කර ඇති බවයි. ඔහු මෙහිදී සැලකිය යුතු වැරදි කීපයක් සිදුකර ඇත. පලමුවැන්න ජීවය සම්භවය වූ අවධියේදී පැවති සෛල අද පවතින සෛල තරම්ම සංකීර්ණත්වයකින් යුක්ත යැයි සැලකීමයි. ඔහු තබා කිසිදු විද්‍යාඥයෙක් ජීවය සම්භවය වූ අවධියේ පැවති සෛලයක් නිරීක්ෂණය කර ඇතැයි අපි නොසිතමු. වඩා සාධාරණ ආකාරයට අප නම් විශ්වාස කරන්නේ එකල්හි පැවති ජීවය අද පවතින ජීවයට වඩා අවම තරමින් දස දහස් ගුණයක්වත් සරල විය යුතු බවය. එමෙන්ම එකල්හි තිබූ සැබෑ පරිසර තත්වය කිසිදු මනුෂ්‍යයෙක් දැක නොමැත. අපට ඇත්තේ දැනට ඉතිරිව ඇති සාක්ෂි අතලොසකින් නිර්මාණය කරගත් උපකල්පන පමණි. එමනිසා ජීවය ඇතිවීමට දායක වූ එකල්හි තිබූ විවිධ ඇමයිනෝ අම්ල හා ඒවායේ d හා l ප්‍රකාශ සමාවයවික ඇතුළු අනෙක් කාරකයන්ගේ ප්‍රමාණාත්මක පැවැත්ම ගැන උසාමා සොයුරා එතරම් විශ්වාසයකින් පවසන්නේ කෙසේදැයි අපට ගැටළුවක් ඇතිවේ.
ඔහු සිදු කර ඇති දෙවැනි වැරැද්ද නම් ස්වභාවික ලෝකයේ සිදුවීම් අතිශයින් රේඛීය ආකාරයකට සිදුවන බව උපකල්පනය කිරීමයි. මෙය ඔහු යොදාගෙන ඇති පරිඝණකයේ උදාහරණයෙන්ම පහදා දීමට කැමැත්තෙමි. විද්‍යුතය ගැන වත් නොදන්නා ගල් යුගයේ ජීවත්වූ පුද්ගලයකුට (ඔහුට අසීමිතව ආයුෂ ඇතැයි උපකල්පනය කරමු) තමන්ගේ ගල් යුගයේ ආයුධ මඟින් පරිඝණකයක් තනන ලෙස උපදෙස් දුනහොත් ඔහුට ඒ සඳහා කොපමණ කලක් ගතවේද? එය අද පවතින ආකාරයටම නිපදවීමේ සම්භාවිතාවය කොපමණ වේද? නමුත් උසාමා සොයුරා කාලය හා සම්භාවිතාව ගණනය කර ඇති ආකාරය සමඟ සැසඳීමට නම් ගල් යුගයේ මිනිසාට තවත් කොන්දේසියක් ඉදිරිපත් කල යුතුය. ඒ ඔහු එක් උපාංගයක් නිපදවා (උදා: ට්‍රාන්සිස්ටරයක්) නැවත වරක් එම උපාංගයම නිපදවීමට අවශ්‍ය වූ විට පෙර එය නිපදවූ ක්‍රමය අමතක කර එය නැවත මුල සිටම කල යුතු බවය. එවිට පරිඝණකය නිපදවීමට ඔහුට ගතවන කාලය කී ගුණයකින් වැඩිවේද? එමෙන්ම එවිට පෙරකී සම්භාවිතාව කොපමණ ප්‍රමාණයකින් වෙනස්වේද?
නමුත් සැබෑ ලෝකයේ එලෙස සිදුනොවේ. උදාහරණයක් ලෙස විද්‍යුත් කෝෂය නිපදවීමේ සිට ට්‍රාන්සිස්ටරය නිපදවීමටත් ට්‍රාන්සිස්ටරය නිපදවීමේ සිට සුපිරි පරිඝණක (teraflops මට්ටමේ) නිපදවීමටත් ගතවී ඇති කාලයන් සංසන්දනය කරමු. මුල් අවස්ථාව සඳහා වසර සියයකට අධික කාලයකුත් දෙවැනි අවස්ථාව සඳහා වසර 30-40 ක් පමණ සාපේක්ෂව කෙටි කාලයකුත් ගතවී ඇත. නමුත් සංකීර්ණත්ව වෙනස අතින් සැලකූ විට පළමු අවස්ථාවේ සංකීර්ණත්ව වෙනසට වඩා දෙවන අවස්ථාවේ සංකීර්ණත්ව වෙනස අතිශයින් වැඩිය. (උසාමා සොයුරා කාලය ගණනය කල ආකාරයටනම් දෙවන අවස්ථාව සඳහා අවම වශයෙන් වසර 1000ක් වත් ගතවිය යුතුය.) සැබෑ ලෝකයේ මෙලෙස සිදුවන්නේ පෙර නිර්මාණය කල දැනුම, පසු අවස්ථාවන් වලදී යොදාගන්නා නිසාය. මෙය ජීවයේ අනිවාර්යය ලක්ෂණයක් බව උසාමා සොයුරා අමතක කර ඇත. එමනිසා යම් සෛලයකට යමක් (උදා: ප්‍රෝටීනයක්) නිපදවීමට හැකිවූ පසු ඊළඟ පරපුරේ සෛලයකට එයම නිපදවීමට පළමු සෛලය තරම්ම වෙහෙසක් හෝ කාලයක් අවශ්‍ය නොවේ. ස්වභාවයේ විවිධත්වය වෙනස්වීම සාමාන්‍ය පෙළ දැනුම අනුව “සරලව” (ස්වභාවයේ සිදුවීම් මෙම උදාහරණයේ තරම් සරලව සිදුනොවන බව සලකන්න) වටහා ගැනීමට පියවරෙන් පියවර දෙගුණ වෙමින් යන ශ්‍රේණියක් (2,4,8,16,...වැනි) සිහියට නගා ගන්න. මේ නිසා ඔහු ගණනය කර ඇති සම්භාවිතා අගයන් හා කාලයන් අතිශයෝක්ති අගයන්ම වන්නේය. මේ අනුව අද පවතින ජීවය ඇතිවීමට පෘථිවියේ වයස ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන බව අපට හැ‍ඟේ.
Related Posts with Thumbnails