ද්විකෝටික, චතුස්කෝටික හා ඉන් ඔබ්බට…
මූලික වශයෙන් අප තර්කණයේදී පදනම් කර ගන්නේ ද්විකෝටික න්‍යාය හා චතුස්කොටික න්‍යායයි. මෙයින් වඩා සරල වූ ද්විකෝටිකය ගැන අප මුලින් සලකා බලමු. A නම් ප්‍රකාශයක් සලකන්න. (මෙය “මල්ලී බත් කයි”, “සුළඟ හමයි” ආදී වශයෙන් වූ ඕනෑම ප්‍රකාශයක් විය හැක.) දැන් ද්විකෝටිකයට අනුව කරුණු 2ක් විය හැක.
1. A සත්‍ය වේ. (මෙම ප්‍රකාශය අප B ලෙස ගනිමු.)
2. A අසත්‍ය වේ. (මෙම ප්‍රකාශය අප ~B ලෙස ගනිමු.)
උදාහරණයක් ලෙස එක්කෝ මල්ලි බත් කයි නැතිනම් බත් නොකයි. එදිනෙදා අපට හමුවන සිද්ධි ඇසුරෙන් මෙය පහසුවෙන් තේරුම් ගත හැක. දැන් අප ඉහත සඳහන් කෙරුණු B හා ~B යන ප්‍රකාශ 2 මත ද්විකෝටිකය නැවත යොදමු. එවිට අපට නව ප්‍රකාශන 2 බැගින් අඩංගු වූ ගොඩවල් 2ක් ලැබේ.
B මත යෙදූ විට… ~B මත යෙදූ විට…
1. B සත්‍ය වේ. 1. ~B සත්‍ය වේ.
2. B අසත්‍ය වේ. 2. ~B අසත්‍ය වේ.
දැන් අපට මේ ප්‍රකාශන ගොඩවල් දෙකෙන්ම වරකට එක බැගින් ගෙන සංයෝජනයෙන් නව ප්‍රකාශන 4ක් ගොඩනැගිය හැක.
1. B සත්‍ය වේ; ~B අසත්‍ය වේ.
2. B අසත්‍ය වේ; ~B සත්‍ය වේ.
3. B සත්‍ය වේ; ~B සත්‍ය වේ.
4. B අසත්‍ය වේ; ~B අසත්‍ය වේ.
මෙය අප චතුස්කෝටිකය ලෙස හඳුනා ගනිමු. මෙම න්‍යාය යොදාගෙන තර්ක කිරීමේදී මල්ලීට බත් කෑම හෝ නොකෑම සිදුකිරීමට අමතරව බත් කෑම හා නොකෑම එකවිට සිදුකිරීමටත්, ඒ දෙකම එකවිට සිදුනොකිරීමටත් හැකිය! නමුත් මෙය අප එදිනෙදා අත්විඳින සාමාන්‍ය සිදුවීම් සමග එතරම් ගැලපීමක් නොපෙන්වයි. නමුත් එනිසාම චතුස්කෝටිකය ප්‍රතික්ෂේප නොවේ. සාමාන්‍ය ජීවිතයේ හමුවන වස්තු වලට වඩා වෙනස් වස්තු ගැන හදාරන ක්වොන්ටම් භෞතිකයේ මෙන්ම බුදුදහමේද මේ චතුස්කෝටිකය, ද්විකෝටිකයෙන් පැහැදිලි කල නොහැකි කරුණු අරබයා යොදා ගැනේ. (තර්කණයේදී චතුස්කෝටිකය යොදා ගත්තද බුදුදහම හා ක්වොන්ටම් භෞතිකය සම මට්ටමේ ලා සැලකිය නොහැකි බවද අවධාරණය කරමි; ඒවා වෙනස්ම ක්ෂේත්‍ර වේ.)
දැන් අපි චතුස්කෝටිකයෙන්ද නොනවතිමු. චතුස්කෝටිකය මත නැවත ද්විකෝටිකය යොදා පෙර පරිදි ගැනීමෙන් සොළොස්(16) කෝටිකයක් නිර්මාණය කරගත හැක. එමෙන්ම මෙලෙස නැවත නැවතත් ද්විකෝටිකය යෙදීමෙන් අති විශාල තර්කණ අවස්ථා (2, 4, 16, 256,...) ඇති න්‍යායන් නිර්මාණය කරගත හැක. නමුත් ඇතැම් විටෙක යමෙකුට මේවායේ ඇති අවශ්‍යතාවය හෝ සත්‍යතාවය පිළිබඳ ගැටළුවක් ඇතිවිය හැක. නමුත් අවශ්‍යතාවය කෙසේ වෙතත් සත්‍යතාවය ගැන නම් ගැටළුවක් ඇති විය නොහැක. කිමද මේ සියළු දේ මිනිසුන් වන අපගේ නිර්මාණයන්ම වන නිසාත් ද්විකෝටික, චතුස්කෝටික ආදී සියල්ල අපගේ අවශ්‍යතාවයන් අනුව ඒ ඒ අවස්ථාවන්හීදී සත්‍යය ලෙස ගන්නා නිසාත්ය. එමෙන්ම මෙවන් න්‍යායන්ගේ සෘජු අවශ්‍යතාවයන් ගැන මාහට දැනට වැටහීමක් නොමැති අතර සමහර විට මිනිසුන්ගේ දැනුම හා බුද්ධි මට්ටම වර්ධනය වූ මතු දිනෙක මෙවන් විශාල තර්කන අවස්ථා ඇති න්‍යායන් භාවිතා කිරීමට අවශ්‍යතාවයන්ද නිර්මාණය වනු ඇත. කිමද සෑම විටම අවශ්‍යතාවය අනුව දැනුම නිර්මාණය වනවා පමණක් නොව දැනුම අනුව අවශ්‍යතාවයන්ද නිර්මාණය වන හෙයිනි.
නමුත් මෙවන් න්‍යායන් නිර්මාණයෙන්ද අප නොනවතිමු. ඉහත දක්වා ඇති සියලු න්‍යායන් සලකා බැලීමේදී පෙනී යන කරුණක් නම් අප මූලිකවම හඳුනා ගන්නේ පූර්ණ වශයෙන් ප්‍රභින්න අවස්ථා දෙකක් පමණක් බවයි. අනෙක් අවස්ථාවන් සියල්ල එහි විස්තීරණයන් වේ. මෙය සමහර විට අප අනාදිමත් කාලයක සිට පුරුදු පුහුණු වී ඇති ආකාරය නිසාම වීමටත් ඉඩ ඇත. කිමද අප අතීතයේ සිටම කුඩාකල සිටම පුහුණු වන්නේ/පුහුණු කරන්නේ පූර්ණව ප්‍රභින්නව පවතින හොඳ/නරක, වම/දකුණ, සුදු/කළු ආදී වූ ද්විත්වයන් දැකීමටය. නමුත් මා හට ඇතිවූ ගැටළුව නම් ද්විත්වයන්ට අමතරව අපට පූර්ණව ප්‍රභින්නව හඳුනාගත හැකි ත්‍රිත්වයන්, චතුර්තකයන් ආදී වූ අවස්ථා නිර්මාණය කරගත නොහැකිද යන්නය. නමුත් මෙවන් ත්‍රිත්වයන්ට හා චතුර්තකයන්ට ත්‍රිකෝටිකය හා චතුස්කෝටිකය උදාහරණ නොවන්නේ ඒවා පෙර සඳහන් අයුරින් ද්විත්වයේ විස්තීරණයන් නිසාය; ත්‍රිකෝටිකය යනු චතුස්කෝටිකයේ තේරුම් ගැනීමට අපහසු සිව්වන අවස්ථාව ඉවත්කර නිර්මාණය කර තර්කණයකි. අප මේ ගැන සංවාදයක් ගොඩ නගමු; එය අපගේ මානසික සීමාවන් පුළුල් කිරීමට හේතු වනු ඇත.
දැනුමයි - බුද්ධියයි
එමෙන්ම බුද්ධිය (intelligence) යනු දැනුම නිර්මාණය කිරීමේ, දැනුම හැසිරවීමේ හා සහජ ඉව ඇතුළුව යම් යම් දැනුම කොටස් ඉක්මවා යාමේ හැකියාවයි (The ability to create and manipulate knowledge and to override fragments of knowledge including instinct). වඩා සාධාරණ විධියට සලකන්නේ නම් සහජ ඉව යනුද දැනුමකි. එය මූලික පැවැත්ම (basic survival) සඳහා වන දැනුමකි. එය ඉක්මවා යාමට හැකිය යනු යම් අවස්ථාවකදී සමහර දැනුම කොටස් (වැදගත් යැයි සැලකිය හැකි දැනුම පවා) නොසලකාහැරීමේ (Ignore) හැකියාවයි. විශාල දර්ශනයක් දෙස බලා අපට අවශ්‍ය කොටස් පමණක් වෙන්කර ගැනීමට අපට හැකියාව ඇත්තේ එබැවිනි. මෙහිදී එක්තරා පරීක්ෂණයක් සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙහිදී බළල් පැටවුන් නහවන ලද ජලයෙන්ම මීයන් කීපදෙනෙකු නහවා බළල් පැටවුන්ගෙන් නිකුත් වන ගන්ධයම මීයන්ගෙන් නිකුත්වන ආකාරයට සකස් කර ඇත. ඉන්පසු උන් බැළලිය වෙතට යැවූ විට බැළලිය මීයන්ටද තම පැටවුන්ට මෙන් සලකා ඇත. බැළලිය මීයන්ව තම පැටවුන්ගෙන් වෙනස්ව දුටුවත් ඌ මෙසේ කරන්නේ තමන්ගේ සහජ ඉව ඉක්මවා යාමට තරම් බුද්ධියක් ඌට නොමැති නිසාය. (මේ නිසා සැබෑ කෘත්‍රීම බුද්ධියකට එච්. ජී. වේල්ස් මහතාගේ කෘතියක සඳහන් වී ඇති කෘත්‍රීම බුද්ධියක් සහිත රොබෝවන් සඳහා වන මූලික නීති 3 මෙන්ම අනෙක් ඕනෑම නීතීයක්ද ඉක්මවා යාමට හැකි විය යුතුය. නොඑසේනම් එය සැබෑ කෘත්‍රීම බුද්ධියක් නොවන්නේය.) එනම් යමෙකු නිර්මාණය කරගන්නා දැනුමෙහි සාර්ථකත්වය, විශ්වසනීයත්වය මෙන්ම යම් අවස්ථාවකට අවශ්‍ය දැනුම මතකයෙන් හා සංවේදන (ඇස, කණ, නාසය ආදී) වලින් ග්‍රහණය කරගැනීම හා ඒ ඒ අවස්ථාවට උචිත විධියට එම දැනුම හැසිරවීම ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම අනුව වෙනස් වේ.
(මෙහි දක්වා ඇත්තේ දැනුම හා බුද්ධිය යන සංකල්ප පිළිබඳ මගේ පෞද්ගලික අදහස් බව සලකන්න)
අමුතු හැඩතල
Crazy intelligence?
මම
එහෙත් මම මමද නොවෙමි
නමුත් මම ඔබද නොවෙමි
එය තවම මම සොයන්නෙමි
වෑයම් කලා මා වටහා ගන්නට
මේ ලොවේ මට හිමි ස්ථානය
සිහිල් වුනා මගෙ මුළු ශරීරය
මා නොමැති බව වැටහූ නිසා මට
අමුතු ලොවක සිරවී ඇත මම
නොපෙනේ, නොඇසේ, නොදැනේ මට
දුක සතුටද අහිමිය මට
නොපවතින නිසාවත්ද ඒ මම?
මේ කවිය මම ලිව්වෙ රෑ 11.30 ට විතර සෙම වැඩිවෙලා හුස්ම ගන්න අමාරු වෙලා ඉන්න වෙලාවක, අසිහියෙන් වගේ. හැබැයි මේක නිසා මට පිස්සු කියලත් සමහර අය කිව්වා.
යාන්ත්‍රික නොවන මනස
2008 ඔක්තොබර් 29 වන දින විදුසරෙහි පලවූ මලින්ත බෝපෙආරච්චි නම් මහතකු විසින් ලියන ලද “මනස හඳුනා ගනිමු” ලිපිය සම්බන්ධවයි.
මේ සම්බන්ධව පළමුව කිව යුත්තේ ජීවය, මනස ආදී සංකල්ප භෞත-රසායනික ආකාරයකට ඌනනය කිරීමට අප උත්සාහ නොකල යුතු බවයි. එලෙස කිරීම වෙනත් ගැටළු රාශියකට මුල පිරීමක් බව ඉතිහාසය ඕනෑවටත් වඩා සාක්ෂි දරයි. මෙහිදී භෞත-රසායනික යන්න යොදා ඇත්තේ බටහිර විද්‍යාඥයින් මොළය දකින්නේ භෞත-රසායනික පද්ධතියක් ලෙසට නිසයි. (භෞත-රසායිනික ක්‍රියා සිදු වුවද ජීවී පද්ධතියක් හුදෙක්ම මේ ආකාරයට සැලකීම කෙතරම් නිවැරදිද යන්න වෙනමම කතා කල යුතු මාතෘකාවකි.)
එවිට අපට මතුවන ප්‍රධාන ගැටළුවක් තිබේ. එනම් භෞත-රසායනික පද්ධතියක් සැලකූ විට (වියුක්තව ඇති) එහි එක් අවස්ථාවකදී ස්වරූපය දන්නේ නම් වෙනත් ඕනෑම අවස්ථාවකදීද එහි ස්වරූපය දැන ගත හැකිය. එම කාර්යය එම ක්ෂේත්‍ර වල නිර්මාණය කෙරී ඇති නියම, සමීකරණ ආදියෙන් ඉටුකර ගත හැක. එවිට ජීවියකුගේ සියළුම ක්‍රියාවලි පාහේ (මනසද ඇතුළුව) පුරෝකථනය කිරීමට හැකි වනවා මෙන්ම ඒවා වෙනස් කිරීමටද ඉඩක් නොලැබේ. (හුදෙක්ම භෞත-රසායනික පද්ධතියක් නොවන ජීවියෙකුට හැර) එවිට මිනිසුන් ඇතුළු ජීවීන් හුදෙක්ම කළුගල් වැනි ව්‍යුහ බවට පත් වනවා නොවේද? එවිට අප නිර්මාණය කර ඇති සමාජ ආචාර ධර්ම, නීති-රීති ආදියෙහි ඇති ඵලය කුමක්ද? ජීවියෙකුට “සිතා-මතා” වෙනස් විය නොහැකි කල්හි මෙම ආචාර ධර්ම, නීති රීති ආදිය විහිළු බවට පත් වනවා නොවේද? එමෙන්ම එවිට නිර්මාණශීලීත්වය යනු කුමක්ද? එමෙන්ම බොපෙආරච්චි මහතා එම ලිපිය ලියන ලද්දේත්, මා මේ ලිපිය ලියන්නේත් සිතා මතා නොව යාන්ත්‍රිකවද?
අප මොහොතකට මනස හා ශරීරය (හෝ මොළය පමණක්) වෙනමම නමුත් එකිනෙක සමග අනෝන්‍ය ලෙස ක්‍රියාකරන පද්ධති 2ක් ලෙස සලකමු. (මෙයින් මොළය අපට සෘජුවම නිරීක්ෂණය කල හැකි වුවත් මනස එසේ නොවේ.) එනම් ශරීරයේ (හෝ මොළයේ) සිදුවන වෙනස්වීමක් මගින් මනසේ වෙනස්වීමක්ද, මනසේ සිදුවන වෙනස්වීමක් මගින් ශරීරයේ (හෝ මොළයේ) වෙනස්වීමක්ද සිදුවන බව සලකමු. එවිට මනස නිරීක්ෂණය කල නොහැකි කල්හි ශරීරයේ (හෝ මොළයේ) සිදුවන වෙනස්වීමක් හුදෙක්ම එහිම පමණක් සිදුවන්නක් බව පෙන්වන්නේ කෙසේද?
මෙය තේරුම්ගැනීමේ පහසුව සඳහා මෙලෙස උදාහරණයකින් දැක්විය හැක. (නමුත් සැබෑවටම මෙය මෙම උදාහරණයේ මෙන් සරල නොවන බව සිහියේ තබා ගත යුතුය.) පරිඝණකයක දෘඩාංග ශරීරය (මොළය) ලෙසද, මෘදුකාංග මනස ලෙසද සලකන්න. නමුත් ක්‍රියාත්මක වන පරිඝණකයක් පරීක්ෂා කර බැලූ විට අපට නිරීක්ෂණය කල හැකි වන්නේ එහි උපාංග හා ඒවායේ සිදුවන යාන්ත්‍රික හා විද්‍යුත් චුම්භක වෙනස් වීම් පමණි. නමුත් එමඟින් මෘදුකාංග නොමැති බවක් කියැවේද? එසේනම් මයික්‍රොසොෆ්ට් ආදී වූ මෘදුකාංග සමාගම් ආදායම් ලබන්නේ නොපවතින දෙයක් විකුණා ප්‍රොඩාවෙන්ද? එමෙන්ම එවිට මෘදුකාංග නොමැතිව පරිඝණකයකින් ඵලක් නොමැති බව පවසන්නේ කෙසේද? නමුත් මෙහිදී මෘදුකාංග යනු භෞතික වශයෙන් නොපවතින එහෙත් පවතින දෙයක් වේ. තේරුම්ගැනීමේ පහසුව සඳහා සරලව පවසන්නේ නම් මනසද එවැනි වේ. නමුත් සැබැවින්ම මනස යන්න එලෙස සරලව දැකිවිය නොහැකි අපූරු(අමුතු) සංකල්පයක් වේ.
එමෙන්ම මෙමගින් පැන නගින තවක් ගැටළුවක් නම් මනස භෞත-රසායනිකව පැහැදිලි කල හැකි නම් උපත, මරණය ආදියද එලෙස පැහැදිලි කල හැකි විය යුතු වීමයි. නමුත් එලෙස පැහැදිලි කිරීමක් තබා පැහැදිලි කරන ආකාරයක් ගැන ඉඟියක් වත් අප සතුව නැත.
එනිසා අප මනස යන්න හුදෙක්ම භෞත-රසායනික පද්ධතියකට ඌනනය නොකර මනස මනස ලෙසම දැකීමට හැකියාවක් ඇති කර ගත යුතුය. එමෙන්ම අවසාන වශයෙන් මනස, මනසේ පැවැත්ම හා එහි ක්‍රියාකාරීත්වය යනු වෙනමම සාකච්ඡා කල යුතු මාතෘකා බවත් මේ ලිපියේ අරමුණ වූයේ මනස හුදෙක් භෞත-රසායනික පද්ධතියකට ඌනනය කල නොහැකි බව පෙන්වාදීම පමණක් බවත් අවධාරණය කරමි.