නොහැකියාව වසා ගැනීම

Friday, April 3, 2009
[මෙම ලිපිය විදුසර පුවත්පතේ පලකිරීම සඳහා යැවුවද පල නොවින. - 2008-ජූනි]
පසුගිය සති කීපය පුරාවට විදුසර පුවත්පතේ පලවූ “මැවීම්වාදය හා බුද්ධිමත් නිර්මාණකරණය” සම්බන්ධිත ලිපි හා බැ‍ඳේ.
වඩා සාධාරණ විධියට ගත් කල මිනිසා දේශපාලන ජීවියෙකි. බලය පවත්වා ගැනීමට මිනිසුන් කෙතරම් දේ (විටෙක අරුම පුදුම දේ පවා) කරන්නේද යන්න අප අතීතයේ දැක ඇත්තෙමු; වර්තමානයේ දකිමු; අනාගතයේදීත් දකින්නට ලැබෙනු ඇත. මූලික වශයෙන් බලය පවත්වාගෙන යාම සඳහා බලය ඇති තැනැත්තාට, බලයට යටත් තැනැත්තාට වඩා යම් හැකියාවක් තිබිය යුතුය. එය අවි බලය, මුදල් බලය, පිරිස් බලය ආදී වශයෙන් විවිධාකාර වේ. මෙවන් සාමාන්‍ය ක්‍රම වලට අමතරව තවත් අපූරු ක්‍රමයක් මිනිසුන් භාවිතා කලහ. සාමාන්‍ය ක්‍රම වලදී බලයට එරෙහිව නිරන්තරව ප්‍රතිරෝධතා ඇතිවීම වැළැක්විය නොහැක. නමුත් මේ අපූරු ක්‍රමයේදී ප්‍රතිරෝධතා සාපේක්ෂව අවම මට්ටමක පවතී. ඒ ක්‍රමය නම් දෙවියන්ය. මහා බ්‍රහ්මයා නම් වූ දේව සංකල්පය භාවිතා කල බුද්ධ කාලීන භාරතයේ විසූ බ්‍රාහ්මණයින්ට එකල සමාජයේ කෙතරම් බලයක් හිමිවී තිබුනිද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. එමෙන්ම දැනට සියවස් කීපයකට පෙර (සිට අද දක්වාම) යුරෝපයේ පල්ලියට තිබූ බලය කෙතරම්දැයි කිසිවෙකුටත් අටුවා-ටීකා අවශ්යත නැතැයි සිතමි.
බලය පවත්වාගෙන යාමට අමතරව තවත් පහසුකම් රැසක් දේව සංකල්පය තුලින් නිර්මාණය කර ගැනීමට මිනිසුන් සමත් වූහ. ඒ අනුව තමන්ගේ දුක, බිය, නොහැකියාව, නොදන්නාකම, දුර්වලතා ආදිය වසා ගැනීමට මිනිසුන් මෙම අපූරු දේව සංකල්පයක් භාවිතා කලහ. තමන්ගේ දුක, බිය, නොහැකියාව, නොදන්නාකම, දුර්වලතා ආදී සියලු දේ දෙවියන්ට, දේව කැමැත්තට, දේව අණට බාර කල මිනිස්සු වගකීමෙන් මිදුණහ; දෙවියන් මාර්ගයෙන් තමන්ගේ කිළිටි අත් පිරිසුදු කරගත්හ. මෙතැනදී සිදුවී ඇත්තේද එවැන්නකි. ජීවයේ සම්භවය පිළිබඳ තමන්ගේ නොදන්නාකම වසා ගැනීමට (නොදන්නාකම පෙන්විය නොහැක්කේ එය බලයට බලපාන බැවිනි) මිනිසුන් එය දෙවියන්ට භාර කලහ. නමුත් මෙවැනි “සුරංගනා කතා” සමහරුන් තවමත් අන්ධ භක්තියෙන් විශ්වාස කරන්නේ ඇයි දැයි මා නොදනිමි. සැබැවින්ම බෞද්ධ සාහිත්‍යයේ පවා යථාර්ථයෙන් ඔබ්බට ගිය අතිශයෝක්ති කතා දක්නට ලැබේ. ඒවා එම සාහිත්‍යය ග්‍රන්ථ කතුවරුන් විසින් තම කතා වල අලංකාරය වැඩි කිරීමටත්, එකල්හි සිටි අහිංසක ගැමියන්ට සංකීර්ණ කරුණු තේරුම්ගැනීම පහසුවීමටත් යොදාගෙන ඇත. නමුත් ඒවායින් යථාර්ථය තෝරා ගැනීමට අප බුද්ධිමත් විය යුතුය. නමුත් දැනුම අතින් මිනිසා සෑහෙන්න පොහොසත්ව සිටින කාලයක පවා සමහරුන් මෙවැනි දේ විශ්වාස කරන්නේ ඇයි දැයි කියා අපට තේරුම් ගත නොහැක. බුද්ධිමත් නිර්මාණකරණය ගැන කිව යුත්තේ එය මැවීම්වාදයේ පිරිහෙමින් යන ජනප්‍රියත්වය රැක ගැනීමට එයට විද්‍යාව නම් වූ ඇඳුම ඇන්දවීමට උත්සාහ කර යලි කරලියට එවීමක් බවය. නමුත් එමඟින් මැවීම්වාදයේ විලි නොවැසෙන බවනම් කිව යුතුමය.
ඊළඟට කිව යුත්තේ 2008 මැයි 28 දින මැවීම්වාදය හා පරිණාමවාදය ගැන ලිපියක් පළ කරන එම්. උසාමා සොයුරා සාමාන්‍ය පෙළ ගණිතය දැන සිටියද විශ්වය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන ආකාරය ගැන වැටහීමක් නොමැතිව කටයුතු කර ඇති බවයි. ඔහු මෙහිදී සැලකිය යුතු වැරදි කීපයක් සිදුකර ඇත. පලමුවැන්න ජීවය සම්භවය වූ අවධියේදී පැවති සෛල අද පවතින සෛල තරම්ම සංකීර්ණත්වයකින් යුක්ත යැයි සැලකීමයි. ඔහු තබා කිසිදු විද්‍යාඥයෙක් ජීවය සම්භවය වූ අවධියේ පැවති සෛලයක් නිරීක්ෂණය කර ඇතැයි අපි නොසිතමු. වඩා සාධාරණ ආකාරයට අප නම් විශ්වාස කරන්නේ එකල්හි පැවති ජීවය අද පවතින ජීවයට වඩා අවම තරමින් දස දහස් ගුණයක්වත් සරල විය යුතු බවය. එමෙන්ම එකල්හි තිබූ සැබෑ පරිසර තත්වය කිසිදු මනුෂ්‍යයෙක් දැක නොමැත. අපට ඇත්තේ දැනට ඉතිරිව ඇති සාක්ෂි අතලොසකින් නිර්මාණය කරගත් උපකල්පන පමණි. එමනිසා ජීවය ඇතිවීමට දායක වූ එකල්හි තිබූ විවිධ ඇමයිනෝ අම්ල හා ඒවායේ d හා l ප්‍රකාශ සමාවයවික ඇතුළු අනෙක් කාරකයන්ගේ ප්‍රමාණාත්මක පැවැත්ම ගැන උසාමා සොයුරා එතරම් විශ්වාසයකින් පවසන්නේ කෙසේදැයි අපට ගැටළුවක් ඇතිවේ.
ඔහු සිදු කර ඇති දෙවැනි වැරැද්ද නම් ස්වභාවික ලෝකයේ සිදුවීම් අතිශයින් රේඛීය ආකාරයකට සිදුවන බව උපකල්පනය කිරීමයි. මෙය ඔහු යොදාගෙන ඇති පරිඝණකයේ උදාහරණයෙන්ම පහදා දීමට කැමැත්තෙමි. විද්‍යුතය ගැන වත් නොදන්නා ගල් යුගයේ ජීවත්වූ පුද්ගලයකුට (ඔහුට අසීමිතව ආයුෂ ඇතැයි උපකල්පනය කරමු) තමන්ගේ ගල් යුගයේ ආයුධ මඟින් පරිඝණකයක් තනන ලෙස උපදෙස් දුනහොත් ඔහුට ඒ සඳහා කොපමණ කලක් ගතවේද? එය අද පවතින ආකාරයටම නිපදවීමේ සම්භාවිතාවය කොපමණ වේද? නමුත් උසාමා සොයුරා කාලය හා සම්භාවිතාව ගණනය කර ඇති ආකාරය සමඟ සැසඳීමට නම් ගල් යුගයේ මිනිසාට තවත් කොන්දේසියක් ඉදිරිපත් කල යුතුය. ඒ ඔහු එක් උපාංගයක් නිපදවා (උදා: ට්‍රාන්සිස්ටරයක්) නැවත වරක් එම උපාංගයම නිපදවීමට අවශ්‍ය වූ විට පෙර එය නිපදවූ ක්‍රමය අමතක කර එය නැවත මුල සිටම කල යුතු බවය. එවිට පරිඝණකය නිපදවීමට ඔහුට ගතවන කාලය කී ගුණයකින් වැඩිවේද? එමෙන්ම එවිට පෙරකී සම්භාවිතාව කොපමණ ප්‍රමාණයකින් වෙනස්වේද?
නමුත් සැබෑ ලෝකයේ එලෙස සිදුනොවේ. උදාහරණයක් ලෙස විද්‍යුත් කෝෂය නිපදවීමේ සිට ට්‍රාන්සිස්ටරය නිපදවීමටත් ට්‍රාන්සිස්ටරය නිපදවීමේ සිට සුපිරි පරිඝණක (teraflops මට්ටමේ) නිපදවීමටත් ගතවී ඇති කාලයන් සංසන්දනය කරමු. මුල් අවස්ථාව සඳහා වසර සියයකට අධික කාලයකුත් දෙවැනි අවස්ථාව සඳහා වසර 30-40 ක් පමණ සාපේක්ෂව කෙටි කාලයකුත් ගතවී ඇත. නමුත් සංකීර්ණත්ව වෙනස අතින් සැලකූ විට පළමු අවස්ථාවේ සංකීර්ණත්ව වෙනසට වඩා දෙවන අවස්ථාවේ සංකීර්ණත්ව වෙනස අතිශයින් වැඩිය. (උසාමා සොයුරා කාලය ගණනය කල ආකාරයටනම් දෙවන අවස්ථාව සඳහා අවම වශයෙන් වසර 1000ක් වත් ගතවිය යුතුය.) සැබෑ ලෝකයේ මෙලෙස සිදුවන්නේ පෙර නිර්මාණය කල දැනුම, පසු අවස්ථාවන් වලදී යොදාගන්නා නිසාය. මෙය ජීවයේ අනිවාර්යය ලක්ෂණයක් බව උසාමා සොයුරා අමතක කර ඇත. එමනිසා යම් සෛලයකට යමක් (උදා: ප්‍රෝටීනයක්) නිපදවීමට හැකිවූ පසු ඊළඟ පරපුරේ සෛලයකට එයම නිපදවීමට පළමු සෛලය තරම්ම වෙහෙසක් හෝ කාලයක් අවශ්‍ය නොවේ. ස්වභාවයේ විවිධත්වය වෙනස්වීම සාමාන්‍ය පෙළ දැනුම අනුව “සරලව” (ස්වභාවයේ සිදුවීම් මෙම උදාහරණයේ තරම් සරලව සිදුනොවන බව සලකන්න) වටහා ගැනීමට පියවරෙන් පියවර දෙගුණ වෙමින් යන ශ්‍රේණියක් (2,4,8,16,...වැනි) සිහියට නගා ගන්න. මේ නිසා ඔහු ගණනය කර ඇති සම්භාවිතා අගයන් හා කාලයන් අතිශයෝක්ති අගයන්ම වන්නේය. මේ අනුව අද පවතින ජීවය ඇතිවීමට පෘථිවියේ වයස ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන බව අපට හැ‍ඟේ.

1 ක් වූ ප්‍රතිචාර:

Palitha said...

කියවන්න ටිකක් පහුවුනත් හොද ලිපියක්. ලංකාවේ විද්‍යාව ඉගෙනගෙන ඒකේ ජොබ් කරන අය විද්‍යාව විශ්වාස කරන් නැහැ. ඒ අතරේ ඔබේ විද්‍යාත්මක දැනුම ‍දේශපාලනය දක්වා ගෙන යෑම් සැබැවින්ම පැසැසිය යුතුයි. නමුත සීමිත දේශපාලනික උනන්දුවක් ඇති පිරිසකට වඩා විද්‍යාව ගැන වැඩි උන්න්දුවක් ඇති විදුසරෙ මේක ගියානම් ගොඩාක් හොදයි. කො‍හොම වුනත් බ්ලොග් කියන්නෙත් වඩා සීග්‍රයෙන් ව්‍යාප්ත වන මාධ්‍යක්. Best of luck Jeewantha

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails