යාන්ත්‍රික නොවන මනස

Monday, February 23, 2009
මෙම ලිපිය 2008-නොවැම්බර් 19 දින විදුසර පුවත්පතේ පලවිය]

2008 ඔක්තොබර් 29 වන දින විදුසරෙහි පලවූ මලින්ත බෝපෙආරච්චි නම් මහතකු විසින් ලියන ලද “මනස හඳුනා ගනිමු” ලිපිය සම්බන්ධවයි.

මේ සම්බන්ධව පළමුව කිව යුත්තේ ජීවය, මනස ආදී සංකල්ප භෞත-රසායනික ආකාරයකට ඌනනය කිරීමට අප උත්සාහ නොකල යුතු බවයි. එලෙස කිරීම වෙනත් ගැ‍ටළු රාශියකට මුල පිරීමක් බව ඉතිහාසය ඕනෑවටත් වඩා සාක්ෂි දරයි. මෙහිදී භෞත-රසායනික යන්න යොදා ඇත්තේ බටහිර විද්‍යාඥයින් මොළය දකින්නේ භෞත-රසායනික පද්ධතියක් ලෙසට නිසයි. (භෞත-රසායිනික ක්‍රියා සිදු වුවද ජීවී පද්ධතියක් හුදෙක්ම මේ ආකාරයට සැලකීම කෙතරම් නිවැරදිද යන්න වෙනමම කතා කල යුතු මාතෘකාවකි.)

එවිට අපට මතුවන ප්‍රධාන ගැටළුවක් තිබේ. එනම් භෞත-රසායනික පද්ධතියක් සැලකූ විට (වියුක්තව ඇති) එහි එක් අවස්ථාවකදී ස්වරූපය දන්නේ නම් වෙනත් ඕනෑම අවස්ථාවකදීද එහි ස්වරූපය දැන ගත හැකිය. එම කාර්යය එම ක්ෂේත්‍ර වල නිර්මාණය කෙරී ඇති නියම, සමීකරණ ආදියෙන් ඉටුකර ගත හැක. එවිට ජීවියකුගේ සියළුම ක්‍රියාවලි පාහේ (මනසද ඇතුළුව) පුරෝකථනය කිරීමට හැකි වනවා මෙන්ම ඒවා වෙනස් කිරීමටද ඉඩක් නොලැබේ. (හුදෙක්ම භෞත-රසායනික පද්ධතියක් නොවන ජීවියෙකුට හැර) එවිට මිනිසුන් ඇතුළු ජීවීන් හුදෙක්ම කළුගල් වැනි ව්‍යුහ බවට පත් වනවා නොවේද? එවිට අප නිර්මාණය කර ඇති සමාජ ආචාර ධර්ම, නීති-රීති ආදියෙහි ඇති ඵලය කුමක්ද? ජීවියෙකුට “සිතා-මතා” වෙනස් විය නොහැකි කල්හි මෙම ආචාර ධර්ම, නීති රීති ආදිය විහිළු බවට පත් වනවා නොවේද? එමෙන්ම එවිට නිර්මාණශීලීත්වය යනු කුමක්ද? එමෙන්ම බොපෙආරච්චි මහතා එම ලිපිය ලියන ලද්දේත්, මා මේ ලිපිය ලියන්නේත් සිතා මතා නොව යාන්ත්‍රිකවද?

අප මොහොතකට මනස හා ශරීරය (හෝ මොළය පමණක්) වෙනමම නමුත් එකිනෙක සමග අනෝන්‍ය ලෙස ක්‍රියාකරන පද්ධති 2ක් ලෙස සලකමු. (මෙයින් මොළය අපට සෘජුවම නිරීක්ෂණය කල හැකි වුවත් මනස එසේ නොවේ.) එනම් ශරීරයේ (හෝ මොළයේ) සිදුවන වෙනස්වීමක් මගින් මනසේ වෙනස්වීමක්ද, මනසේ සිදුවන වෙනස්වීමක් මගින් ශරීරයේ (හෝ මොළයේ) වෙනස්වීමක්ද සිදුවන බව සලකමු. එවිට මනස නිරීක්ෂණය කල නොහැකි කල්හි ශරීරයේ (හෝ මොළයේ) සිදුවන වෙනස්වීමක් හුදෙක්ම එහිම පමණක් සිදුවන්නක් බව පෙන්වන්නේ කෙසේද?

මෙය තේරුම්ගැනීමේ පහසුව සඳහා මෙලෙස උදාහරණයකින් දැක්විය හැක. (නමුත් සැබෑවටම මෙය මෙම උදාහරණයේ මෙන් සරල නොවන බව සිහියේ තබා ගත යුතුය.) පරිඝණකයක දෘඩාංග ශරීරය (මොළය) ලෙසද, මෘදුකාංග මනස ලෙසද සලකන්න. නමුත් ක්‍රියාත්මක වන පරිඝණකයක් පරීක්ෂා කර බැලූ විට අපට නිරීක්ෂණය කල හැකි වන්නේ එහි උපාංග හා ඒවායේ සිදුවන යාන්ත්‍රික හා විද්‍යුත් චුම්භක වෙනස් වීම් පමණි. නමුත් එමඟින් මෘදුකාංග නොමැති බවක් කියැවේද? එසේනම් මයික්‍රොසොෆ්ට් ආදී වූ මෘදුකාංග සමාගම් ආදායම් ලබන්නේ නොපවතින දෙයක් විකුණා ප්‍රොඩාවෙන්ද? එමෙන්ම එවිට මෘදුකාංග නොමැතිව පරිඝණකයකින් ඵලක් නොමැති බව පවසන්නේ කෙසේද? නමුත් මෙහිදී මෘදුකාංග යනු භෞතික වශයෙන් නොපවතින එහෙත් පවතින දෙයක් වේ. තේරුම්ගැනීමේ පහසුව සඳහා සරලව පවසන්නේ නම් මනසද එවැනි වේ. නමුත් සැබැවින්ම මනස යන්න එලෙස සරලව දැකිවිය නොහැකි අපූරු(අමුතු) සංකල්පයක් වේ.

එමෙන්ම මෙමගින් පැන නගින තවක් ගැටළුවක් නම් මනස භෞත-රසායනිකව පැහැදිලි කල හැකි නම් උපත, මරණය ආදියද එලෙස පැහැදිලි කල හැකි විය යුතු වීමයි. නමුත් එලෙස පැහැදිලි කිරීමක් තබා පැහැදිලි කරන ආකාරයක් ගැන ඉඟියක් වත් අප සතුව නැත.

එනිසා අප මනස යන්න හුදෙක්ම භෞත-රසායනික පද්ධතියකට ඌනනය නොකර මනස මනස ලෙසම දැකීමට හැකියාවක් ඇති කර ගත යුතුය. එමෙන්ම අවසාන වශයෙන් මනස, මනසේ පැවැත්ම හා එහි ක්‍රියාකාරීත්වය යනු වෙනමම සාකච්ඡා කල යුතු මාතෘකා බවත් මේ ලිපියේ අරමුණ වූයේ මනස හුදෙක් භෞත-රසායනික පද්ධතියකට ඌනනය කල නොහැකි බව පෙන්වාදීම පමණක් බවත් අවධාරණය කරමි.

7 ක් වූ ප්‍රතිචාර:

කේෂාන් සංජය said...

මමත් හිතන්නෙ ඔබ හරි කියල.බටහිරට ගැති ද්‍රව්‍යවදි,භෞතිකවදි චින්තනයකට අපිව හුරුවෙච්ච නිසා සින්හල බෞද්ධ චින්තනයක් ඇති කරන්න ටිකක් අමාරුයි.මොකද ඒක අපේ අධ්‍යපන ක්‍රමයත් එක්ක අපිට ලැබුනු දෙයක් නෙ.ඉතින් ඔය බටහිර දැනුමට කඩේ යන උදවිය ඔය විදියට මනස, පුනබ්බවය, නිවන වගේ ස්Oකල්ප(වචනෙ හරිද මන්ද්?) භෞතිකවදීව ඒ දැනුමට ඌනනය කරන්න යනව.මොනව කරන්නද????

එළ... එළ... දිගටම ලියන්න.කියවන්න ආසයි.

සරත් ගුණතුංග said...

මනස යනු අමුතුම සංකල්පයකි. එය විග්‍රහ කිරීමවත්, හරියට තේරුම් ගැනීමවත් අසීරුය. ඒ වෙන කිසිවක් නිසා නොව, මනස තුලට බැස එහි තතු දන්නවුන් ඉතා උතුම් පුද්ගලයන් වීමය. ඔවුන් මනස පිලිබඳ විග්‍රහයකට නො එලඹෙති. මනෝ විද්‍යාඥ්යන්ට telepathy, out of body experience, clairvoyance, clairaudience, re-birth ආදී දේවල් විස්තර කරන්න බැහැ. ඒනිසා ඒ ගොල්ල කියන්නෙ එහෙම දේවල් නැහැ කියල. ඒ එක්කම ඇමෙරිකාවේ තවත් මනෝ රටාවක් බිහි වෙලා තියෙනව. ඒ සංකල්පයට අනුව, පුනරුත්පත්තිය පිලිගන්නව. බටහිරට පරගැති අධ්‍යාපනයක් ලබාගත් අපි නියම තත්වය ගැන දන්නව. වැඩි කලක් යන්න ඉස්සර වෙලා සත්‍යය පැහැදිලි වෙයි කියලයි මම නම් හිතන්නෙ.

මකබාස් said...

"චිත්තං ඒක චරං -- අස්සරීරං ගුහා සයං"

ඔන්න ඔහොමයි බුදු බනේ තියෙන්නෙ.
ක්ෂනයකින් චලනය වන සිරුරකින් තොර අඳුරු ගුහාවක වාසය කරන අපුර්ව සත්වයෙක් වගේ.

H said...

මේක දැනට ඇත්ත. ඒ වගේම අපට ඉතිහාසය තුල මනස පිළිබඳ සාර්ථක භෞතික විග්‍රහයක් හොයාගන්න බෑ තමයි. ඒ වුණාට අනාගතයට බෑ කියල කවුද කියන්නේ. අපි සියළු දෙනා යන්ත්‍ර. කාබන් පදනම් වුන අතිශය සංකීර්ණ යන්ත්‍ර. ඒ සංකීර්ණ බව ඇති වෙලා තියෙන්නෙ තවමත් ඒව හොයාගෙන නැති නිසා මිස හොයාගන්න බැරි නිසා නෙවෙයි. නිකමට හිතන්න 9 පන්තියෙ ඉද්දි 11 පන්තියෙ ගණන් පොතේ ගණන් හදන්න බෑනේ. නමුත් 11 පන්තියට ඇවිත් ඉගෙනගත්තම පුළුවන්. වරක් මගේ වෛද්‍ය මිතුරෙක් පුදුමයෙන් කිව්වා ශරීරයේ තියෙන නොයෙක් පද්ධති ඉබේ ඇති වුණා කියල හිතනකොටත් පුදුමයි කියල. නමුත් එහෙම බිහිවෙලා තියෙනව. තවම ඒ ගැන හදාරනව.

මට නම් හොඳටම විශ්වාසයි මොළය, මනස, ශරීරය ඔය හැමදේම ගැන භෞතික විග්‍රහයක් ඉදිරියෙදි ‍සොයාගනියි කියල. මම එහෙම කියන්නෙ මම අධිරාජ්‍යවාදී බටහිර ගැත්තෙක් නිසා නෙවෙයි. (ඒක පරණ විහිළුවක් සහ අද ලංකාවෙ අධිරාජ්‍ය ගැත්‍තෙක් නොවන්නෙක් නෑ එම අර්ථයෙන්..) ඒක විය හැකි යථාර්ථයක් නිසා.

;)

ජීවන්ත said...

H කියන්නේ සෑහෙන භෞතිකවාදී අදහස් තියෙන කෙනෙක් වගේ. මම මේක ලිව්වෙ භෞතිකවාදීවත්, විඥ්ඥානවාදීවත් අදහසකින් නෙවෙයි. මෙක ලිව්වෙ විවෘත පදනමකින්. ඒ හින්ද Hගෙ කතාවට මට එකඟ වෙන්න බෑ.

Ramachandra said...

මේ විෂය ගැන ප්රවීනයෙක් නොවුනත් මමත් H ගේ අදහසට සමාන අදහසක් දරන්නෙ.යමක් තේරුම් ගන්න මේ මොහොතේ නොහැකි වීමෙන් එය කවදාවත්ම තේරුම් ගත නොහැක්කක් ලෙස විග්රහ කිරීම සාවද්‍යයි.තේරුම් ගන්න අමාරු දේවල්වලට ගුප්ත අර්ථකතන දෙන එක ඉස්සර ඉදලම සිදුවුන දෙයක්.
වසර සිය ගනනකට පෙර වැස්ස ඇතිවීම,අකුනු ගැසීම වගේ දේවලුත් තේරුම් කෙරුවෙ අපට තේරුම් ගත නොහැකි දේව බලයකින් සිදු වන දේවල් විදිහට.නමුත් අද ඒවා පිලිගත හැකි භෞතික පදනමක් තුල විග්රහ කෙරෙනවා.
මනස කියල අපි විග්රහ කරන්න පුරුදු වෙලා තියෙන දේ මොලය කියන ඉන්ද්රියත් සමග බද්ධ වී තිබෙන බවයි මගේ අදහස.හිතන්නෙ "හිත" කියන වෙනම අවයවයකින් නොවෙයි.එය මස්තිෂ්කය හා සම්බන්ධ ක්රියාවලියක්.විඥානය යනු ද්රව්‍ය නෙමෙයි.නමුත් ද්රව්‍ය පරිනාමයේ උසස්ම ආකාරයක්,ද්රව්‍ය පරිනාමයේ අවසන් ප්රකාශනයක් ලෙසිනුයි විඥානය බිහි වෙන්නෙ.දැනට ඒ ගැන හොදම විග්රහය සම්පාදනය කර ගැනීමට මිනිසා අසමත් වුනත් එය ගූඪත්වයට නැගීම අවිද්යාත්මක හා අතාර්කික දෙයක් ලෙසයි මම දකින්නෙ.

ජීවන්ත said...

@රාමචන්ද්‍ර,
මෙහි උත්සාහය මනස ගූඪත්වයට නැංවීම හෝ ගුප්ත දෙයක් ලෙස දැක්වීම නොවෙයි. මනස භෞතිකවාදය ඉක්මවාගිය සංකල්පයක් ලෙස දැක්වීමයි මෙහි අරමුණ. ඔබ මෙවන් දෙයක් මනස ගූඪත්වයට නැගීමක් ලෙස දකින්නේ භෞතිකවාදය පරම සත්‍යයයි ඇති විශ්වාස කිරීමයි. එයින් මිදී භෞතිකවාදයට හසු නොවන දෑ ඇති බව දැකීම තුලින් මනස මනස ලෙසම දැකීමට ඔබට හැකිවේවි. මනස ගුප්ත දෙයක් ලෙස අපද නොදකිමු. එය දැකිය හැකි, හඳුනාගත හැකි, වෙනස් කල හැකි, එහි ඇතිවන රෝගවලට ප්‍රතිකාර කල හැකි දෙයකි. නමුත් එය භෞතික නොවේ. එසේ වීමට අවශ්‍යමද නැත. ජය!

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails