අපි විතරද පරිණාමය වෙන්නේ?

Saturday, September 4, 2010
අපි, පොදුවෙ ගත්තහම සත්තු පරිණාමය වෙනවා. ඒ කියන්නේ කාලානුරූපීව, පරිසරයට අනුව, කරන ක්‍රියා වලට අනුව වෙනස් වෙනවා.(භෞතිකව වගේම මානසිකවත්) සමහර වෙලාවට ඒක හොඳ පැත්තට සමහර වෙලාවට නරක පැත්තට වෙනවා (constructively හෝ destructively).

ඒත් බැරිවෙලාවත් අපිට අමතරව මේ විශ්වයත් පරිණාමය වෙනවානම්? ඒ කියන්නෙ අපි "ඒවා එහෙම තමයි" කියල හිතං ඉන්න දේවල් ඇත්තටම එහෙමම තියෙන්නෙ නැතුව වෙනස් වෙනවනම්? මේ විශ්වයේ එතකොට "නියත"(constants) කියල දේවල් නැතිවේවි. (තේරෙන විධියට කියනවා නම් මේ මුලු විශ්වයම අනිත්‍යයයි කියන එකයි මේ කියන්නෙ.)

එතකොට ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, ක්වාක් වගේ උප පරමාණුක අංශු වලින් පටං ගත්තහම ග්‍රහලෝක, තරු, මන්දාකිණි වගේ ලොකු පද්ධති දක්වාම ඒවායේ ස්වරූපය, ගති ලක්ෂණ හා හැසිරීම් වගේ දේවල් කවදාවත් නියත නොවේවි. ප්‍රෝටෝන දෙකක් ගත්තහම කවදාවත් ඒ දෙක එක වගේ නොවේවි.(සමහර විට අපේ උපකරණ වල සංවේදී සීමාවෙන් එහා වීමටත් පුළුවන්)

මේක ලියනකොට තමයි මතක් වුනේ, මේ වගේ ඒත් ඊට වඩා වෙනස් කතාවක් තියෙන ලිපි 3ක් මම ඉස්සර ලියල තියෙනවා කියලා. මෙන්න ඒවා,
1) අමුතු සතා - (ඔබත් මමත් කොටස්කාරයන් වන අමුතුම අමුතු සතා)
2) අමුතු සතා (2) - සෛලයේ දේශපාලනය
3) අමුතු සතා (3) - භෞතිකවාදී හා විඥ්ඥානවාදී සංකල්ප අතරට මෙන්න මගෙන් තවත් එකක්!

ප.ලි.
1.) කව්රු කොහොම කිව්වත් මේ වෙනකොට භෞතික විද්‍යාව(විශේෂයෙන් සෛද්ධාන්තික භෞතික විද්‍යාව: ඒ කියන්නේ theoretical physics) හිරවෙලා ඉන්නෙ.
මෑතක කරපු පරීක්ෂණ අනුව ප්‍රෝටෝනයේ ප්‍රමාණයත් ඉස්සර හිතං හිටියට වඩා වෙනස්ලු. එතකොට මේ අලුත් අගයත් එක්ක භෞතික විද්‍යාවේ මූලික නියත ගොඩකුත් වෙනස් කරන්න වෙනවලු.
ඊට අමතරව ඔය නියුට්‍රිනෝ වගේ ඒවා ගැන කරපු පරීක්ෂණ අලට අනුව standard model එකත් වෙනස් කරන්න වෙනවලු.(සමහර විට ඒක ගොඩගන්න බැරි තරමටම බිඳවැටෙන්නත් බැරි නෑ)

ඒ හින්දා දැන් පරණ කතා අමතක කරලා අලුත් විධියකට හිතන්නට අවශ්‍යයයි. ඇරිස්ටෝටල්ලගෙන් නිව්ටන්ට මාරු වුනා වගේ, ඊට පස්සෙ නිව්ටන්ලගෙන් අයින්ස්ටයින්ට මාරු වුනා වගේ දැන් තව දේවල් වලට මාරු වෙන්න කාලෙ හරියාගෙනයි එන්නෙ!

2.) අනිත්‍යයි කියන සංකල්පය බහුතරයක් බෞද්ධයන්ට දිරව ගන්න පුලුවන් වුනාට, බහුතරයක් බටහිර විද්‍යාඥයින්ටත් ඒ වගේම විද්‍යාව ඔලුව උඩ තියං ඉන්න අපේ බහුතරයක් සුපිරි ප්‍රාඥයින්ටත් හරියට දිරවගන්න බෑ.(ඒ ඇයි කියල පස්සෙ හිතල බලන්න) මේ ලිපිය මේ විදියට ලියන්න හේතු වුනේ ඒ හින්දයි.

9 ක් වූ ප්‍රතිචාර:

ප්‍රාර්ථනා said...

තව ලියන්න.කියවන්න ආසා හිතෙන pageඑකක්.

Hero said...
This comment has been removed by a blog administrator.
Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...

//ඒත් බැරිවෙලාවත් අපිට අමතරව මේ විශ්වයත් පරිණාමය වෙනවානම්//
ඒ කියන්නේ විශ්වයත් අනෙකුත් විශ්වයත් හා සංසර්ගයේ යෙදිලා ගහලා ස්බාවික වාරනයක් වෙනවානම් කියලාද?

//කව්රු කොහොම කිව්වත් මේ වෙනකොට භෞතික විද්‍යාව(විශේෂයෙන් සෛද්ධාන්තික භෞතික විද්‍යාව: ඒ කියන්නේ theoretical physics) හිරවෙලා ඉන්නෙ.//
කොහෙද හිරවෙලා ඉන්නේ?

//අනිත්‍යයි කියන සංකල්පය බහුතරයක් බෞද්ධයන්ට දිරව ගන්න පුලුවන් වුනාට//
බෞද්‍යන්ට අනිත්‍ය වැටහෙන බවත්, අනෙක් උදවියට එසේ නොවෙන බවටත් ඇති සාදක ඇත්ද? නැත්නම් මේ උපකල්පනයක්ද?

ජීවන්ත said...

සමහරුන්ට රිදිලා වගේ. කරන්න දෙයක් නෑ. මම මේකෙ කාටවත් මඩගහලත් නෑ. අනික මම කිසිම වෙලාවක මම කියන දේ පරම සත්‍යය කියල කිව්වෙත් නෑ. මම කියල තියෙන්නෙ මට තේරෙන විධියට වෙන්න පුළුවන් තවත් එක possibility එකක් විතරයි. ඒ වගේ දෙයකටවත් විවෘතව සවන්දෙන්න බෑ කියන්නෙ ඉතිං ඒ අය මොනවගේ අන්තවාදියොද කියල හිතාගන්න පුළුවන්.

ප්‍රතිචාර මකන්නේ නැති ප්‍රතිපත්තියක හිටියත් කුණුහරුප දාන නිසා සමහර ඒවා මකන්න වෙනවා.

ජීවන්ත said...

@කොලූ,
1. ඒ විධියෙ පරිණාමයක් නෙවෙයි; කාලානුරූපීව සිදුවන හුදෙක් වෙනස් වීමක් යන්නයි අදහස් කලේ.

2. grand unified theory එකේ ඉදං quantum double slit, dark matter/dark energy, standard model වගේ ඒවත් දහාක් විතර තියෙන නොවිසඳුනු paradoxes හා තවත් මෙකී නොකී දේවලුත් ගොඩක් තියෙනවා.

3. හුදෙක්ම උපකල්පනයක් නොවේ; ඇහෙන දකින දේවල් අනුව කරපු educated guess එකක්. බහුතරයක් බෞද්ධයන්ට තේරෙනවා කියපු එකනම් අත්වැරැද්දක්. ගොඩ දෙනෙක්ට තේරෙන්නෙ නැති බව තමයි ඇත්ත. අපිට උනත් හරියටම තේරුම් ගන්න අමාරු බවත් මම පිළිගන්නවා. ඒත් ගොඩ දෙනෙක්ට අපිට තරම්වත් නොතේරෙන බව තේරෙනවා. බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ අනිත්‍ය යන්න ස්ථිතිකයන්ගේ වෙනස්වීමක් ලෙසටයි. නමුත් අනිත්‍ය සංකල්පය තුල ස්ථිතිකයන්ගේ වෙනස් වීමක් තබා ස්ථිතික කිසිවක් ඇත්තේත් නෑ. ඒවා මායාවක් පමණයි. (දෘෂ්‍ය මායා වගේ)

Anonymous said...

1. පරිනාමයක් වීම සදහා, කාරනා ගනනාවක් සහබාගී විය යුතු නිසා, වෙනස්වීම යන වචනය උදෙසා පරිනාමය යන වචනය යොදා ගැනීම,ඇවිදීම යන වචනය වෙනුවාට නැටීම යන වචනය යොදා ගැනීම වාගේම, එතරම් හොද නැති බව මාගේ අදහසයී.

2. ඇත්ත. ඒ විද්‍යාවේ සාමාන්‍ය සබාවයයී. ඒක හිර වීමක් නොවෙයී. අයීසෙක් ඇසිමොව් මේ කාරනය ගැන ලියූ අගනා ලියමනක් තියෙනවා. http://www.youtube.com/watch?v=2tcOi9a3-B0

3. //නමුත් අනිත්‍ය සංකල්පය තුල ස්ථිතිකයන්ගේ වෙනස් වීමක් තබා ස්ථිතික කිසිවක් ඇත්තේත් නෑ. ඒවා මායාවක් පමණයි. (දෘෂ්‍ය මායා වගේ)//
ඔප්පු නොකරන ලද සංකල්පයක් පමණයී. අනිත්‍යවත්, මැවීමවත්, කතා කරන නාගයාවත්, වෙනත් කිසිම සංකල්පයක්වත් ආගමක පදනම වූ පලියට විද්‍යාත්මකව පිලිගත හැකී සත්‍යන් වන්නේ නැහැ.

ජීවන්ත said...

@කොලු,
මෙහෙමයි,
මුලින්ම පරිණාමය කියන වචනය යොදා ගෙන තියෙන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි වෙන විධියට. උදාහරණයක් විධියට "computers have evolved from the age from vacuum tubes to the age of microprocessors" කියල කියනකොට ඒකෙන් පරිඝණක එකිනෙකා සමග සංසර්ගයේ යෙදිලා, ස්වභාවික වරණයට ලක්වෙලා අද තියෙන පරිඝණක හැදුනා කියලා කියවෙන්නෙ නෑනේ. විද්‍යාත්මක ලෝකයේ උනත් පරිණාමය කියන වචනය ඩාවින්ගෙ පරිණාමයට අමතරව වෙනත් තේරුම් වලින් භාවිතා වෙනවා.

ඊළඟට මම මේ ලිපියෙන් විද්‍යාවේ අවසානය උදා වී ඇති බවක් අදහස් කලේ නෑ. මම අදහස් කලේ හුදෙක්ම හිරවීමක් ඇති වීම ගැන පමණයි. මේ වගේ දේවල් අතීතයෙත් වෙලා තියෙනවා; අනාගතයේදීත් සිදුවේවි. මම යෝජනා කලේ අපි ඒක එහෙම නෑ කියලා බොරුවට රඟපාන්නෙ නැතිව අලුත් අදහස්, මතවාද වලට විවෘතව සිටිය යුතු බවයි. අනිත් එක විද්‍යාව කියන්නෙ දැනුම පද්ධතියක්. විද්‍යාව(බටහිර) කියන්නෙ මේ ලෝකය නෙවෙයි. මේ ලෝකය ගැන interpretation එකක් විතරයි. ඉතින් ඒ වගේ එකක දුර්වලතා තිබීම සාධාරණයි. ඒත් අපි දුර්වලතා දැක දැක අහක බලා ගෙන ඉන්නවා නම් ඒක මෝඩකමක්. විද්‍යාවෙ පදනමේම දෝෂ තියෙනවා නම් පදනම වෙනස් කල යුතුයි. උදාහරණයක් විධියට හිතන්න විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමයේ දෝෂයක් තියෙනවා කියලා. ඒත් ඒක පෙන්නන්න හෝ තේරුම්ගන්න විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමයම යොදා ගන්න ඕනෙ කියල එකක් නෑනේ. ඒත් එහෙම පෙන්නන එකක් විද්‍යාත්මක නෑ කියල පිළිගන්න බෑ කියනවා නම් එතන තියෙන්නෙ දැනුමට වහල් වීමක් මිස වෙන මොකක්වත් නෙවෙයි. අපි දැනුම පාවිච්චි කලාට අපි ඒකෙ වහල්ලු නොවීමට පරිස්සම් වෙන්න වෙනවා. අනිත් එක අපි මතක තියා ගන්න ඕනෙ අද විද්‍යාත්මක සත්‍යය වන දේ හෙට හණමිටි අදහසක් වීමට ඕනෑ තරම් ඉඩකඩ තියෙන බව.

අපි දන්න දෙයක් තමා විද්‍යාව කියන්නේ දැනුම පද්ධතියක් (බොහෝ දුරට වියුක්ත=abstract). ඒ වගේම අපි දන්න දෙයක් තමයි පර්යේෂණ වලින් වියුක්ත පද්ධතියක සංගත බව (=consistency) වැඩි කලාට ඔප්පු(=prove) කරන්න බැරි බව. ඒ වගේම අපි දන්න දෙයක් තමයි සෑම දැනුම පද්ධතියකටම වගේ යම් අධිකාරිමය බලයක් පවතින බව. උදාහරණයකට දැනට සෑහෙක කාලෙකට කලින් ඒ බලය තිබුනේ දේව ධර්මය ආශ්‍රිත දැනුමට. ඒ කාලෙ මිනිස්සුන්ට යමක් පිළිගන්න නම් ඒක දේව ධර්මටය අනුව සත්‍ය විය යුතුව තිබුනා. දේව ධර්මයට පිටින් ඇති දැනුමක් ගැන බොහෝ දෙනාට හිතා ගැනීමටත් හැකියාවක් තිබුනේ නෑ.
ඊට අනුරූපීව අද ඒ තැන හිමි වෙලා තියෙන්නේ විද්‍යාව කියන දැනුම පද්ධතියට. අද කාලෙ මිනිස්සුන්ට යමක් පිළිගන්න නම් ඒක විද්‍යාවට අනුව සත්‍ය විය යුතුයි. අද විද්‍යාවට පිටින් තියෙන දැනුමක් ගැන බොහෝ දෙනාට හිතා ගැනීමටත් හැකියාවක් නෑ. අඩුම ගානෙ බොහෝ දෙනාට විද්‍යාව කියන්නෙ තවත් එක් දැනුම පද්ධතියක් විතරයි කියලවත් තේරෙන්නෙ නෑ. බහුතරයක් දෙනා දැනුමේ වහල්ලු බවට ඉබේම පත්වෙලා. කාණගාටුදායකම කාරණය බොහෝ දෙනාට මේ කියන්නෙ මොකක්ද කියල වත් නොතේරෙන එක.
සරල උදාහරණයක් විධියට අපි දන්නවා ආයුර්වේදයේ "විද්‍යාවෙන් ඔප්පු නොකරන" ලද සංකල්ප රාශියක් භාවිතා වෙන බව. නමුත් අපි අමතක කරනවා බටහිර mainstream වෛද්‍ය විද්‍යාවට වසර දහස්ගණනකට කලින් ඉඳලම ආයුර්වේදයෙන් මිනිස්සු සුවපත් කල බව. ඒ වගේම බටහිර වෛද්‍ය විද්‍යාවේ අද කියන දේ හෙට වෙනස් කරන පරිසරයක පවා ආයුර්වේදය වසර දහස්ගණනක් පුරා අවම වෙනස්කිරීම් සහිතව තවමත් ක්‍රියාකාරීව පවතිනවා. ඒත් අපි "ස්ථාවර පදනමක් තියෙන ආයුර්වේදයට වඩා නිතර වෙනස් වෙන පදනමක් තියෙන වෛද්‍ය විද්‍යාව පිළිගැනීම" කියන කාරණයට මේ දැනුමේ තියෙන අධිකාරී බලය බලපාන්නේ නෑ කියල කියන්න පුලුවන්ද? ඉතින් යම් දැනුමක් භාවිතා කරන්නට එය විද්‍යාත්මක විය යුතුම නෑ කියලා තේරෙන්න ඇති කියල හිතනවා.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails