අතරමං වෙච්චි කූඹියෙකුට මොනවා හිතෙනවා ඇත්ද?

Tuesday, September 21, 2010
මට මේ කතාව හිතුනේ බස් එකේ යනකොට මගෙ අත දිගේ ගිය කූඹියෙක් දැකලයි. ඇත්තටම කියනවා නම් පොඩි හුලං පාරක් පිඹලා ඌව අතෙන් අයින් කලාට පස්සෙයි.

ගොඩක් වෙලාවට හැමෝම වගේ කරන දෙයක් තමයි ඒක. ඒ කියන්නේ කූඹියෙක් හරි ඒ වගේ වෙන පොඩි සතෙක් අපේ ඇඟේ හරි ඇඳුමෙ හරි ඉන්නවා දැක්කොත් වහාම ඌව ගසලා අයින් කරන එක. ඒත් ඊට පස්සෙ ඌට වෙන්නෙ මොකක්ද කියලා අපිට නිකමටවත් හිතෙන්නේ නෑනේ!

කූඹි කියන්නෙ සමාජමය සත්තු; ඒ කියන්නේ තනි තනිව නැතුව සමාජයක් විධියට ජීවත් වෙන සත්තු. ඉතිං එහෙම සතෙක් තමන්ගෙ රැලෙන් වෙන් වෙලා තනි වුනාම ඌට මොන වගේ ඇතිද? අපිට එහෙම උනාම දැනෙන්නෙ මොන වගේද?

අපි ගසල දැම්ම කූඹියා සමහරවිට අපේ ඇඟට නගින්න ඇත්තෙ ගෙදරදි වෙන්න පුළුවන්; එහෙම නැත්නම් කඩේකදිවෙන්න පුළුවන්; එහෙමත් නැත්නම් බස් එකකදි වෙන්න පුළුවන්. ඒත් අපි ඌව ගසලා දාන්නෙ වෙනමම තැනක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. ඌට සමහරවිට ඒක වෙනමම ලෝකයක් වෙන්න පුළුවන්. ඒත් ඉතිං අපිට ඇත්තටම මේ වගේ දේවල් වලට කරන්න දෙයක් ඇත්තෙම නෑ. අපි කොහොමත් දන්නෙ නෑනෙ ඌ අපේ ඇඟට නැග්ගෙ කොහෙන්ද කියලා.

ඉතිං මම කියන්න උත්සාහ කලේ මේ ජීවිතය කොච්චර කුරිරුද කියලා. අපි කොච්චර උත්සාහ කලත් හැම වෙලේම, හැම තැනම කව්රු හරි මොකක් හරි හේතුවකට දුක් විඳිනවා. අපිට ඒකට කරන්න දෙයක් ඇත්තෙම නැති තරම්. අපි සමහරවිට එක්කෙනෙක් සතුටු කරනකොට තව කෙනෙක් ඒකෙන් දුක් විඳිනවා. සමහර විට අපි නොහිතන අපි නොදන්නා මේ වගේ පොඩි පොඩි දේවල් වලින් පවා කව්රු හරි දුක් විඳනවා. ඉතිං ජීවිතය ඇත්තටම කුරිරුයි නේද?

අපි විතරද පරිණාමය වෙන්නේ?

Saturday, September 4, 2010
අපි, පොදුවෙ ගත්තහම සත්තු පරිණාමය වෙනවා. ඒ කියන්නේ කාලානුරූපීව, පරිසරයට අනුව, කරන ක්‍රියා වලට අනුව වෙනස් වෙනවා.(භෞතිකව වගේම මානසිකවත්) සමහර වෙලාවට ඒක හොඳ පැත්තට සමහර වෙලාවට නරක පැත්තට වෙනවා (constructively හෝ destructively).

ඒත් බැරිවෙලාවත් අපිට අමතරව මේ විශ්වයත් පරිණාමය වෙනවානම්? ඒ කියන්නෙ අපි "ඒවා එහෙම තමයි" කියල හිතං ඉන්න දේවල් ඇත්තටම එහෙමම තියෙන්නෙ නැතුව වෙනස් වෙනවනම්? මේ විශ්වයේ එතකොට "නියත"(constants) කියල දේවල් නැතිවේවි. (තේරෙන විධියට කියනවා නම් මේ මුලු විශ්වයම අනිත්‍යයයි කියන එකයි මේ කියන්නෙ.)

එතකොට ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, ක්වාක් වගේ උප පරමාණුක අංශු වලින් පටං ගත්තහම ග්‍රහලෝක, තරු, මන්දාකිණි වගේ ලොකු පද්ධති දක්වාම ඒවායේ ස්වරූපය, ගති ලක්ෂණ හා හැසිරීම් වගේ දේවල් කවදාවත් නියත නොවේවි. ප්‍රෝටෝන දෙකක් ගත්තහම කවදාවත් ඒ දෙක එක වගේ නොවේවි.(සමහර විට අපේ උපකරණ වල සංවේදී සීමාවෙන් එහා වීමටත් පුළුවන්)

මේක ලියනකොට තමයි මතක් වුනේ, මේ වගේ ඒත් ඊට වඩා වෙනස් කතාවක් තියෙන ලිපි 3ක් මම ඉස්සර ලියල තියෙනවා කියලා. මෙන්න ඒවා,
1) අමුතු සතා - (ඔබත් මමත් කොටස්කාරයන් වන අමුතුම අමුතු සතා)
2) අමුතු සතා (2) - සෛලයේ දේශපාලනය
3) අමුතු සතා (3) - භෞතිකවාදී හා විඥ්ඥානවාදී සංකල්ප අතරට මෙන්න මගෙන් තවත් එකක්!

ප.ලි.
1.) කව්රු කොහොම කිව්වත් මේ වෙනකොට භෞතික විද්‍යාව(විශේෂයෙන් සෛද්ධාන්තික භෞතික විද්‍යාව: ඒ කියන්නේ theoretical physics) හිරවෙලා ඉන්නෙ.
මෑතක කරපු පරීක්ෂණ අනුව ප්‍රෝටෝනයේ ප්‍රමාණයත් ඉස්සර හිතං හිටියට වඩා වෙනස්ලු. එතකොට මේ අලුත් අගයත් එක්ක භෞතික විද්‍යාවේ මූලික නියත ගොඩකුත් වෙනස් කරන්න වෙනවලු.
ඊට අමතරව ඔය නියුට්‍රිනෝ වගේ ඒවා ගැන කරපු පරීක්ෂණ අලට අනුව standard model එකත් වෙනස් කරන්න වෙනවලු.(සමහර විට ඒක ගොඩගන්න බැරි තරමටම බිඳවැටෙන්නත් බැරි නෑ)

ඒ හින්දා දැන් පරණ කතා අමතක කරලා අලුත් විධියකට හිතන්නට අවශ්‍යයයි. ඇරිස්ටෝටල්ලගෙන් නිව්ටන්ට මාරු වුනා වගේ, ඊට පස්සෙ නිව්ටන්ලගෙන් අයින්ස්ටයින්ට මාරු වුනා වගේ දැන් තව දේවල් වලට මාරු වෙන්න කාලෙ හරියාගෙනයි එන්නෙ!

2.) අනිත්‍යයි කියන සංකල්පය බහුතරයක් බෞද්ධයන්ට දිරව ගන්න පුලුවන් වුනාට, බහුතරයක් බටහිර විද්‍යාඥයින්ටත් ඒ වගේම විද්‍යාව ඔලුව උඩ තියං ඉන්න අපේ බහුතරයක් සුපිරි ප්‍රාඥයින්ටත් හරියට දිරවගන්න බෑ.(ඒ ඇයි කියල පස්සෙ හිතල බලන්න) මේ ලිපිය මේ විදියට ලියන්න හේතු වුනේ ඒ හින්දයි.
Related Posts with Thumbnails