ඉබ්බෙක් උඩින් ගිය කතාවේ ඉතුරු ටික...

Wednesday, July 28, 2010
කොක්කු දෙන්නෙක්ගේ පිහිටෙන් ඉබ්බෙක් උඩින් ගිහිල්ලා පංඩිත කමට කෑ ගහන්න ගිහිල්ලා බිමට වැටුන කතාව හැමෝම දන්නවා ඇතිනේ. මේ කියන්න යන්නේ ඒකෙ ඉතුරු කතා ටික. සමහරු නම් මේවා දන්නවත් ඇති. මාත් මේවා ඇහුවේ කාලෙකට ඉස්සර.

මුල් කතාව දන්නෙ නැති අය ඉන්නවා නම් මෙන්න ඒක:
ඔන්න දැනට සෑහෙක කාලෙකට ඉස්සර ලස්සන රටක තිබිබ ලස්සන පුංචි විලක බොහොම තේජාන්විත ඉබ්බෙක් හිටියලු. ඉතින් මේ ඉබ්බත් ඒ විලේ හිටපු අනික් මාළුත් බොහොම සතුටින් තමයි හිටියේ. කොක්කු එහෙම හිටියත් උනුත් බොහොම සමගිව සමාදානයෙන් හිටියලු. ඔහොම ටික කාලයක් යනකොට මේ පලාතට බොහොම දරුණු නියඟයක් ඇවිල්ලා මේ විලේ වතුර ඔක්කොම වගේ හිඳිලා හැමෝම බොහොම කරදරයට පත් උනාලු. ඉතින් මේ විපත දැකලා බලවත් කම්පාවට පත් වෙච්චි මේ විලේ සාමාන්‍ය පාරිභෝගිකයෝ වෙච්චි කොක්කු දෙන්නෙක් මේ ඉබ්බව වෙත පලාතක තියෙන වතුර තියෙන විලකට අරං යන්න ඉදිරිපත් උනා. (මාළුන්ට මොනවා උනාද කියල නම් අහන්න එපා) ඉබ්බෙක්ව උඩිං අරං යන එක C-130 Hercules එකක් අවශ්‍ය වෙන වැඩක් උනත් අති දක්ෂ ගුවන් නියමුවන් වන මේ කොක්කු මේකට ක්‍රමයක් හොයා ගත්තා. කෝටුවක්ඉබ්බගෙ කටට දීල කොක්කු දෙන්නා දෙපැත්තෙන් තමන්ගෙ හොටවල් වලින් අල්ලගෙන යන එක තමයි ක්‍රමේ. ඉතින් දැන් මේ ක්‍රමේට ඉබ්බා උඩිං යන කොට පිට්ටනියක සෙල්ලං කර කර හිටපු කොල්ලො රංචුවක් මේක දැකලා ඉබ්බට විහිළු කරන්න පටං ගත්තා. මේකට අමාබානක ළ පැනපු ඉබ්බා එකපාරටම "අඩෝ! @#?%$ #*&" ආදී වශයෙන් මේ කොල්ලන්ට අමතන්න ගත්තා විතරයි කොටුව අතෑරිලා බිමට වැටිලා ඌ මළා.

දෙවෙනි කතාව:
ඔන්න සෑහෙක කාලෙකට පස්සෙ අර ඉබ්බගෙ මුණුබුරාගෙ කාලෙ ආයෙත් නියඟයක් ආවා. අර කලිං කොක්කු දෙන්නගෙත් මුණුබුරෝ ඉතිං මේ ඉබ්බට උදව් කරන්න ඉදිරිපත් උනාලු. ඉතිං මේ ඉබ්බට කතා කියල දෙන්න සීයෙක් හිටියෙ නැති උනාට අර කොක්කු දෙන්නට උන්ගෙ සීයල ඔක්කොම කතා කියල දීලයි තිබුනෙ. ඉතිං උන් මේ ඉබ්බට කිව්වලු අර උඹගෙ සීය උඩිං යන කොට කොල්ලො කෑ ගහනකොට බනින්න ගිහිල්ලා වැටුනා, ඒ හින්දා උං මොනවා කිව්වත් උඹ ඒකට බනින්න යන්න එපා කියලා. ඉතිං මේ ඉබ්බත් මේකට එකඟ වෙලා දැන් කට්ටිය පරණ ක්‍රමේටම උඩිං යනවලු. ඔන්න දැන් අර පිට්ටනිය උඩිං යනකොට එතන හිටපු කොල්ලො මේ ඉබ්බට විහිළු කරන්න පටං ගත්තලු. මේකට අම්බානක මළ පැනල හිටියත් කොක්කු දීපු උපදේසෙ මතක් වෙලා ඉබ්බ කට වහගෙන හිටියා. ඒත් ඉතිං ඔය කොල්ලො ටික පහුවෙනකොටම එකපාරටම ඉබ්බ "හූ..හූ.. අපිනං රැවටෙයි ඕවට!" කියල කිව්වලු.

තුන්වෙනි කතාව:
ඔන්න තවත් කාලෙකට පස්සෙ අර දෙවෙනි ඉබ්බගෙත් මුණුබුරාගෙ කාලෙ ආයෙත් නියඟයක් ආවලු. ඉතිං පුරුදු විධියටම ඒ කාලෙ හිටපු කොක්කු දෙන්නා මුගෙ උදව්වට ආවා. මුගෙ සීයගෙ කතාවයි, සීයගෙ සීයගෙ කතාවයි දෙකම කියල කිව්වලු කොල්ලන්ට මුකුත්ම කියන්න එපා කියලා. ඉතිං මේ ඉබ්බත් මේකට එකඟ වෙලා දැන් කට්ටිය උඩිං යනවලු. පිට්ටනියට උඩිං යනකොට කොල්ලො කෑ ගැහුවත් මේ ඉබ්බා කට හෙල්ලුවේ වත් නෑ. ඊට පස්සෙ මේ කොල්ලො ඉන්න හරිය පහුවෙලා ගොඩක් දුර ගියාට පස්සෙ ඉබ්බා "තැන්කියු මචං උපදේසට, මං බයේ හිටියෙ මොනවහරි කියවෙයි කියලා" කිව්වලු.

හතර වෙනි කතාව:
ඔන්න දැන් තුන්වෙනි ඉබ්බගෙත් මුණුබුරාගෙ කාලෙත් පරණ විධියටම නියඟයක් ආවා. ඉතිං ඒ කාලෙ හිටපු කොක් මුණුබුරොත් මේ ඉබ්බට පරණ කතා ඔක්කොම කියල දීල, උඩිං යන කොට කතා කිරීමේ අවදානම ගැන සෑහෙන ලොකු දේශනාවක් එහෙම දීල කට්ටිය උඩිං යන්න පිටත් උනා. දැන් කොල්ලො ඉන්න හරිය පහුවෙලාත් ගොඩක් දුර ගිහිල්ලත් මේ ඉබ්බා වචනයක් වත් කිව්වෙ නැහැල්ලු. ඉතිං මේ ගැන මේ කොක්කුන්ටත් පුදුමයි. ටික වෙලාවකින් එක කොකෙක් "මේ ඉබ්බනං අනිත් එවුං වගේ නෙවෙයි, සෑහෙන්න බුද්ධිමත් නේද මචං?" කියල අනිත් කොකාට කිව්ව විතරයි කොක්කුන්ට කෝටුව අතෑරිලා ඉබ්බා බිමට වැටෙන්න ගත්තා. කොක්කු දෙන්නත් ඉතිං සෑහෙන වැඩ කෑල්ලක් එහෙම දාල ආන්ත ප්‍රවේගයට ආසන්න වේගෙකින් පහලට වැටෙමින් හිටපු ඉබ්බගෙ කටේ තිබ්බ කෝටුවෙ දෙපැත්තෙන් කොහොමහරි අල්ල ගත්තා. දැන් ඉබ්බටත් සෑහෙන්න සතුටුයි මේකට. එකපාරටම ඌ "අනූ නමයෙන් නේද මචං බේරුනේ, මං හිතුවෙ වැටෙයිම කියලයි" කියල කිව්වලු.

8 ක් වූ ප්‍රතිචාර:

C0de BlUe said...

:P

දුමී said...

නෑ නෑ, අන්තිම ඉබ්බ කිව්වෙ "තැන්ක් යූ මචං" කියල.

මොනව උනත් එල ඉබි කතා ටික.

පිස්සා පලාමල්ල said...

:D :D :D

Anonymous said...

අන්තිම ඉබ්බ වඳ ඉබ්බෙක් වෙන්න ඇති. ඌට මුණුබුරන් ඉදල නැත්තේ ඒකයි

ජීවන්ත said...

@හසී, හිඟන්නා, පලාමල්ල
:D

@දුමී
වෙන් ඇති මචං. මටත් මතක විධියට ලියුවෙ. චූටි කාලෙ අහපු කතානෙ!

@ඇනෝ,
සිරාවටම! එල ;D

Unknown said...

නියම ඉබි කතාව. අපේ ඉබ්බත් මේව බලනවද දන්නෙ නෑ.

Anonymous said...

කොක්කුන්ට තිබුනෙ පිට්ටෙනිය මගඇරල යන්න නෙ. :)

ජීවන්ත said...

@ගැමුණු,
මේක අර කාටූන් වල තියෙන විධියෙ කොහෙන් ගියත් හම්බෙන ජාතියෙ එකක් වෙන්න ඇති :)

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails