රජා මැරීම vs. සියදිවි නසා ගැනීම

Friday, July 30, 2010
අපේ මිනිස්සු දැන් රජා මරනවා තියා ඒ ගැන හිතන්නත් සෑහෙන්න බය උනාට ස්ව කැමැත්තෙන්ම, සකල ලෝ වැසි ආශිර්වාදය මැද්දේ හුරේ දමමින් යස අගේට සියදිවි නසා ගන්නවා.

මම මේ කියන්නේ මොකක් ගැනද කියලා හැමෝටම තේරෙනවා ඇතිනේ! තේරුනේ නැති කට්ටිය ඉන්නවා නම් රජා මරනවා කියන්නේ ඉංග්‍රීසි භාෂාව වැරදියට පාවිච්චි කරනවට; ඒ කියන්නේ ඉංග්‍රීසි මරනවට. සියදිවි හානි කරගන්නවා කියන්නේ අපේ සැබෑ අනන්‍යතාවය වන අපේ මව්බස සිංහල විනාශ කර ගැනීමටයි.

මේ සිංහල බ්ලොග් අවකාශයේත් ඉංග්‍රීසි උගන්වන බ්ලොග් තියෙනවා. ඒත් සිංහල උගන්වන එකක් වත් තියෙනවද? දැන් වෙන කොට අපි කන්න පාං පිටි ටික එනකං පිටරට දිහාවට කටවල් ඇරගෙන බලං ඉන්නවාට අමතරව අපේ ඔලු වලට දැනුම එනකනුත් පිටරට දිහාවට ඔලමොට්ටලයො වගේ බලං ඉන්නවා නොවේද?

ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න නම් ඉංග්‍රීසි අත්‍යාවශ්‍යයයි වගේ ගොං තර්ක දාන්න එපා! ජපානෙ ලෝකෙ දිනුවෙ ඉංග්‍රීසියෙන්ද? ප්‍රංශෙ දියුණු උනේ ඉංග්‍රීසියෙන්ද? චීනෙ බලවත් උනේ ඉංග්‍රීසියෙන්ද?

ඒ මොනවා උනත් අපිට ලොකෙත් එක්ක සම්බන්ධ වෙන්න ඕනෙ උනාම අපි හරක් රැල වගේ ඉංග්‍රීසි මත්තෙම නැහුනට සුද්දන්ට ලෝකෙ අල්ලන්න ඕනෙ උනාම උන් කලේ ලෝකෙ හැමෝටම ඉංග්‍රීසි උගන්නපු එකයි. ඒත් අපි එක්කෙනෙකුට හරි එක පිටරැටියෙක්ට වත් සිංහල අකුරක්වත් කියල දෙන්න උවමනාවක් තියෙනවද?

හිතලා බලන්න. ප්‍රශ්නෙ තියෙන්න අපිට සම්පත් නැති එකේවත්, අපේ රට පුංචි දූපතක් වීමෙවත්, අපිට ඉංග්‍රීසි බැරි එකේවත් නෙවෙයි. අපේ දේ ගැන අපිට හරිහමං ආකල්පයක් නැති එකෙයි.

වෙලාවක්, උවමනාවක් තියෙනවා නම් මේවත් කියවලා බලන්න:
අවධානය පිණිසයි!!! අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස - සිංහල!
යන්නෙ කොහෙද? මල්ලෙ පොල්!



`

ඉබ්බෙක් උඩින් ගිය කතාවේ ඉතුරු ටික...

Wednesday, July 28, 2010
කොක්කු දෙන්නෙක්ගේ පිහිටෙන් ඉබ්බෙක් උඩින් ගිහිල්ලා පංඩිත කමට කෑ ගහන්න ගිහිල්ලා බිමට වැටුන කතාව හැමෝම දන්නවා ඇතිනේ. මේ කියන්න යන්නේ ඒකෙ ඉතුරු කතා ටික. සමහරු නම් මේවා දන්නවත් ඇති. මාත් මේවා ඇහුවේ කාලෙකට ඉස්සර.

මුල් කතාව දන්නෙ නැති අය ඉන්නවා නම් මෙන්න ඒක:
ඔන්න දැනට සෑහෙක කාලෙකට ඉස්සර ලස්සන රටක තිබිබ ලස්සන පුංචි විලක බොහොම තේජාන්විත ඉබ්බෙක් හිටියලු. ඉතින් මේ ඉබ්බත් ඒ විලේ හිටපු අනික් මාළුත් බොහොම සතුටින් තමයි හිටියේ. කොක්කු එහෙම හිටියත් උනුත් බොහොම සමගිව සමාදානයෙන් හිටියලු. ඔහොම ටික කාලයක් යනකොට මේ පලාතට බොහොම දරුණු නියඟයක් ඇවිල්ලා මේ විලේ වතුර ඔක්කොම වගේ හිඳිලා හැමෝම බොහොම කරදරයට පත් උනාලු. ඉතින් මේ විපත දැකලා බලවත් කම්පාවට පත් වෙච්චි මේ විලේ සාමාන්‍ය පාරිභෝගිකයෝ වෙච්චි කොක්කු දෙන්නෙක් මේ ඉබ්බව වෙත පලාතක තියෙන වතුර තියෙන විලකට අරං යන්න ඉදිරිපත් උනා. (මාළුන්ට මොනවා උනාද කියල නම් අහන්න එපා) ඉබ්බෙක්ව උඩිං අරං යන එක C-130 Hercules එකක් අවශ්‍ය වෙන වැඩක් උනත් අති දක්ෂ ගුවන් නියමුවන් වන මේ කොක්කු මේකට ක්‍රමයක් හොයා ගත්තා. කෝටුවක්ඉබ්බගෙ කටට දීල කොක්කු දෙන්නා දෙපැත්තෙන් තමන්ගෙ හොටවල් වලින් අල්ලගෙන යන එක තමයි ක්‍රමේ. ඉතින් දැන් මේ ක්‍රමේට ඉබ්බා උඩිං යන කොට පිට්ටනියක සෙල්ලං කර කර හිටපු කොල්ලො රංචුවක් මේක දැකලා ඉබ්බට විහිළු කරන්න පටං ගත්තා. මේකට අමාබානක ළ පැනපු ඉබ්බා එකපාරටම "අඩෝ! @#?%$ #*&" ආදී වශයෙන් මේ කොල්ලන්ට අමතන්න ගත්තා විතරයි කොටුව අතෑරිලා බිමට වැටිලා ඌ මළා.

දෙවෙනි කතාව:
ඔන්න සෑහෙක කාලෙකට පස්සෙ අර ඉබ්බගෙ මුණුබුරාගෙ කාලෙ ආයෙත් නියඟයක් ආවා. අර කලිං කොක්කු දෙන්නගෙත් මුණුබුරෝ ඉතිං මේ ඉබ්බට උදව් කරන්න ඉදිරිපත් උනාලු. ඉතිං මේ ඉබ්බට කතා කියල දෙන්න සීයෙක් හිටියෙ නැති උනාට අර කොක්කු දෙන්නට උන්ගෙ සීයල ඔක්කොම කතා කියල දීලයි තිබුනෙ. ඉතිං උන් මේ ඉබ්බට කිව්වලු අර උඹගෙ සීය උඩිං යන කොට කොල්ලො කෑ ගහනකොට බනින්න ගිහිල්ලා වැටුනා, ඒ හින්දා උං මොනවා කිව්වත් උඹ ඒකට බනින්න යන්න එපා කියලා. ඉතිං මේ ඉබ්බත් මේකට එකඟ වෙලා දැන් කට්ටිය පරණ ක්‍රමේටම උඩිං යනවලු. ඔන්න දැන් අර පිට්ටනිය උඩිං යනකොට එතන හිටපු කොල්ලො මේ ඉබ්බට විහිළු කරන්න පටං ගත්තලු. මේකට අම්බානක මළ පැනල හිටියත් කොක්කු දීපු උපදේසෙ මතක් වෙලා ඉබ්බ කට වහගෙන හිටියා. ඒත් ඉතිං ඔය කොල්ලො ටික පහුවෙනකොටම එකපාරටම ඉබ්බ "හූ..හූ.. අපිනං රැවටෙයි ඕවට!" කියල කිව්වලු.

තුන්වෙනි කතාව:
ඔන්න තවත් කාලෙකට පස්සෙ අර දෙවෙනි ඉබ්බගෙත් මුණුබුරාගෙ කාලෙ ආයෙත් නියඟයක් ආවලු. ඉතිං පුරුදු විධියටම ඒ කාලෙ හිටපු කොක්කු දෙන්නා මුගෙ උදව්වට ආවා. මුගෙ සීයගෙ කතාවයි, සීයගෙ සීයගෙ කතාවයි දෙකම කියල කිව්වලු කොල්ලන්ට මුකුත්ම කියන්න එපා කියලා. ඉතිං මේ ඉබ්බත් මේකට එකඟ වෙලා දැන් කට්ටිය උඩිං යනවලු. පිට්ටනියට උඩිං යනකොට කොල්ලො කෑ ගැහුවත් මේ ඉබ්බා කට හෙල්ලුවේ වත් නෑ. ඊට පස්සෙ මේ කොල්ලො ඉන්න හරිය පහුවෙලා ගොඩක් දුර ගියාට පස්සෙ ඉබ්බා "තැන්කියු මචං උපදේසට, මං බයේ හිටියෙ මොනවහරි කියවෙයි කියලා" කිව්වලු.

හතර වෙනි කතාව:
ඔන්න දැන් තුන්වෙනි ඉබ්බගෙත් මුණුබුරාගෙ කාලෙත් පරණ විධියටම නියඟයක් ආවා. ඉතිං ඒ කාලෙ හිටපු කොක් මුණුබුරොත් මේ ඉබ්බට පරණ කතා ඔක්කොම කියල දීල, උඩිං යන කොට කතා කිරීමේ අවදානම ගැන සෑහෙන ලොකු දේශනාවක් එහෙම දීල කට්ටිය උඩිං යන්න පිටත් උනා. දැන් කොල්ලො ඉන්න හරිය පහුවෙලාත් ගොඩක් දුර ගිහිල්ලත් මේ ඉබ්බා වචනයක් වත් කිව්වෙ නැහැල්ලු. ඉතිං මේ ගැන මේ කොක්කුන්ටත් පුදුමයි. ටික වෙලාවකින් එක කොකෙක් "මේ ඉබ්බනං අනිත් එවුං වගේ නෙවෙයි, සෑහෙන්න බුද්ධිමත් නේද මචං?" කියල අනිත් කොකාට කිව්ව විතරයි කොක්කුන්ට කෝටුව අතෑරිලා ඉබ්බා බිමට වැටෙන්න ගත්තා. කොක්කු දෙන්නත් ඉතිං සෑහෙන වැඩ කෑල්ලක් එහෙම දාල ආන්ත ප්‍රවේගයට ආසන්න වේගෙකින් පහලට වැටෙමින් හිටපු ඉබ්බගෙ කටේ තිබ්බ කෝටුවෙ දෙපැත්තෙන් කොහොමහරි අල්ල ගත්තා. දැන් ඉබ්බටත් සෑහෙන්න සතුටුයි මේකට. එකපාරටම ඌ "අනූ නමයෙන් නේද මචං බේරුනේ, මං හිතුවෙ වැටෙයිම කියලයි" කියල කිව්වලු.

The Matrix හා මාළු කතාව

Monday, July 26, 2010
හැමෝම The Matrix  කියන අති දැවැන්ත action, sci-fi චිත්‍රපටිය බලල ඇති කියල හිතනවා. මේ කියන්න යන්නෙ නම් ඒ චිත්‍රපටිය ගැන නෙවෙයි. ඒක බලල මට හිතිච්ච අතුරු කතාවක් ගැන.

මිනිස්සුන්ව බැටරි විධියට පාවිච්චි කරන යන්ත්‍ර හා ඉතිරි වෙලා ඉන්න මිනිස්සු අතර යුද්ධයක් තියෙනවානේ. ඒකෙදි අපිට නිරායාසයෙන්ම හිතෙන්නේ මේ යන්ත්‍ර විනාශ කරලා මිනිස් වර්ගයාට නිදහසේ ජීවත් විය හැකි ලෝකයක් නිර්මාණය කල යුතුයි කියලනේ. ඒත් අපි එතෙන්දි බලන්නේ මිනිහෙක්ගෙ කෝණයෙන්. ඒ වෙනුවට වෙනසකටත් එක්ක යන්ත්‍ර වල කෝණයෙන් මේක දිහා බලන්න.

ඇත්තටම කියනවා නම් ඔවුන් අපිට වඩා වෙනස් නෑ. ඔවුන් කරන්නේත් මිනිස්සු කරන දේමයි. ඒ කියන්නේ තමන්ගෙ පැවැත්ම තහවුරු කර ගැනීම. හැමෝටම වැදගත්ම දේ තමන්ගේ පැවැත්ම නොවේද? පෘථිවිය විනාශ වෙලා, සූර්යයා වැහිලා තමන්ගේ පැවැත්ම සඳහා වෙනත් බලශක්තියක් සොයා ගත නොහැකි වූ කල්හි ඔවුන් මිනිසුන්ව තමන්ට බලශක්තිය සපයන බැටරි විධියට පාවිච්චි කරනවා.

මේක බලල යන්ත්‍රත් එක්ක අපිට තරහා යන්නෙ මේකට මිනිස්සුන්ව බැටරි විධියට පාවිච්චි කරන හින්දනේ. පොඩ්ඩක් හිතලා බලන්න මිනිස්සු වෙනුවට මෙතන මාළුන්ව බැටරි විධියට පාවිච්චි කරා නම් අපිට මෙච්චර ගායක් තියෙයිද?

තව පොඩ්ඩක් හිතන්න මේ යන්ත්‍ර වලට බුද්ධිය තියෙනවා. බුද්ධිය තියෙන ඕනෑම කෙනෙක් තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වන විට ඉතාමත් දරුණු වීම ස්වභාවිකයි. ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කරන්න නීතියෙනුත් අවසර තියෙනවනේ!!!

ඒ වගේම හිතන්න යම් දවසක මිනිසුන්ගේ සියළුම බලශක්ති ප්‍රභව නැති වී මිනිසුන් වඳවීමේ තර්ජනයට මුහුන පෑවා කියල. එතකොට මිනිස්සු හොයාගන්නවා මාළුන්ගෙන් මේ විධියට බලශක්තිය නිපදවන්න පුලුවන් කියල. එදාට මේ යන්ත්‍ර මිනිස්සුන්ට කරන දේට විරුද්ධව නැගී සිටි කීදෙනෙක් මේ මාළුන් වෙනුවෙන් නැගී සිටීවිද? අනෙකකු නොව ඔබ නැගී සිටිනවාද? අනෙකාට ඇඟිල්ල දික් නොකොට තමන් තුලින් යථාර්තය දකින්න. ආත්මාර්ථකාමීන් පිරුනු ලෝකයක වෙනසක් කරන්න උත්සාහ කරන්න. මේ ලෝකය වඩා ලස්සන තැනක් කරන්න එතකොට හැකිවේවි.

ප.ලි.
The Matrix, The Matrix - Reloaded හා The Matrix - Revolution යන නමින් කතා 3 කින් යුතු Matrix කතා මාලාව ගොඩ දෙනෙක් බලල ඇති උනාට The Animatrix ගොඩ දෙනෙක් බලල නැතුව ඇති. The Matrix එක හා බැඳුනු මිනිසුන්ගේ හා යන්ත්‍ර වල අතුරු කතා කීපයක් එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. අමුතුම රසවින්දනයක් හා වෙනස් විධියටක හිතන්නත් එය සමහර විට උදව් වේවි.
Related Posts with Thumbnails