උබුන්ටු සිංහලෙන්! – Ubuntu in Sinhala

Monday, February 15, 2010
මේක නම් ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ඒත් දන්නෙ නැති අයත් ඉන්න නිසා ඕං එහෙනං!

(මේ ලියන්නෙ උබුන්ටු 9.10 පද්ධතියක විධියටයි)

ලිනක්ස් මෙහෙයුම් පද්ධති අතරින් ජනප්‍රියම එකක් වන උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සිංහල භාෂාවෙන් භාවිතා කරන්න දැන් අපිට පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි.

මුලින්ම අපි පද්ධතියට සිංහල ස්ථාපනය කරගන්න ඕනෙ. ඒකට මේ සබැඳියෙන් ගිහිල්ලා කියන විධියට කරන්න : http://www.siyabas.lk/sinhala_how_to_install.html#lin

ඊළඟට උබුන්ටු වල ප්‍රධාන මෙනුවෙන් System –> Administration –> Language Support වලට යන්න.


ඔයා ඒකට යන්නෙ පළවෙනි වතාවට නම් මේකෙ භාෂා තොරතුරු යාවත්කාලීන කරන්නද කියල ඔයාගෙන් අහයි. ඒකට හා කියන්න. එතකොට අන්තර්ජාලයෙන් ඒක යාවත්කාලීන වෙයි.(මේ වැඩේට ටික වෙලාවයි යයි.) ඊට පස්සෙ පල්ලෙහා රූපෙ තියෙන සංවාද කොටුව ලැබෙයි.


මුලින්ම ඒකෙ තියෙන “Install/ Remove Languages…” බොත්තම ඔබලා එන සංවාද කොටුවෙන් “Sinhala; Sinhalese” යන්න තෝරලා ඒකට හරියක් දාලා “Apply Changes” බොත්තම ඔබන්න.


ඊට පස්සෙ “For menus and windows, use:” වලටයි “For everyone at startup and login, use:” වලටයි “Sinhala; Sinhalese” කියල තෝරන්න. පහළ රූපෙ විදියට.


ඊළඟට මේ කවුළුව වහලා logout වෙලා නැවත login වෙන්න.(login තිරයේ ඒවා වෙනස් වෙන්න නම් restart කරන්න වෙයි) දැන් ඔයාගෙ උබුන්ටු පද්ධතිය තියෙන්නෙ සිංහලෙන්!!
වැදගත්:
මේ මට්ටමට හරි උබුන්ටු සිංහල වලට පරිවර්තනය කලේ ඔබත්, මමත් වැනි උබුන්ටු පාවිච්චි කරන, සිංහල වලට ආදරේ කරන අය විසින්. ඒ වගේම උබුන්ටු වල තව ගොඩාක් දේවල් පරිවර්තනය කරන්න ඉතිරිවෙලා තියෙනවා. මෙම ලිපිය පල කරන දවස වෙන කොටත් මුළු පරිවර්තන(උබුන්ටු වල විතරක්) වලින් 10%ක් වත් ඉවර කරල නෑ!
ඉතින් අපි තව ගොඩක් දුර යන්න තියෙනවා. ඒකට පුළුවන් හැම දෙනාගෙම උදව්/ සහාය ඕනෙ කරනවා. මේක සම්පූර්ණයෙන් පරිවර්තනය කරන එක කව්රු හරි එක්කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි; මේක ගොඩ දෙනෙක්ගෙ සාමූහික වැඩක් විදියටයි වෙන්න ඕනෙ. ඒ හිංදා හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ පුළු පුළුවන් විධියට පරිවර්තනය කරන්න දායක වෙන්න කියලයි. ඒ වගේමයි මේක ගැන අනික් අය දැනුවත් කරන්නත් අමතක කරන්න එපා!

ඉතින් උබුන්ටු (හා තවත් බොහෝ නිදහස් හා විවෘත කේත මෘදුකාංග) පරිවර්තනය කරන්න කැමති අය පහළ තියෙන සබැඳි බලන්න.

උබුන්ටු පරිවර්තනය කරන්න මේ පිටුවට යන්න : Sinhalese translations: Ubuntu

උබුන්ටු සිංහල පරිවර්තන සම්බන්ධීකරණය කරන්නේ : උබුන්ටු සිංහල පරිවර්තකයෝ

සිංහල පරිවර්තන මගපෙන්වීම් (Guidelines) : පරිවර්තන මගපෙන්වීම්

තවත් දේවල් පරිවර්තනය කරන්න මේ පිටුවට යන්න : Software translations

එහෙනං හැමෝටම සුභ පරිවර්තන කියල කියන ගමන් මං නවතිනවා! ජය!!!

7 ක් වූ ප්‍රතිචාර:

KaniRockz said...

ගොඩක් ස්තූතී.. මම ubuntu වලට අලුත්.. ubuntu දා ගත්තට මම windows වලින් වැඩ කරේ.. දැන් මට උබුන්ටු වල ඉඳල සිංහලෙන් වැඩ කරන්න පුළුවන්.

Rasika Nanayakkara said...

Sorry for commenting in English.
Good Post. Keep it up. If you can write about some applications in Ubuntu.

Hail to You...

Anonymous said...

අක්‍රියව තිබුණු සිංහල පරිවර්තන සමූහය නැවත වරක් සක්‍රිය කිරීමට මහන්සිවීම ගැන ඔබට ස්තූතියි. ඇත්තටම මෙමගින් විවෘත මෘදුකාංග පමණක් නොවේ යුනිකොඩ් ප්‍රචලිත් වීමත් සිද්ධ වෙනව.

නමුත් තවමත් පාඨයන් 300,000 කට අධික ප්‍රමාණයක් ඉතිරිව තියනව. ප්‍රශ්නේ තියෙන්නේ අවශ්‍ය තරම් කට්ටිය ඉදිරිපත් නොවීමයි. ඒත් මුල් කාලේ ගූගල් සිංහලට පරිවර්තනය වෙද්දිත් තත්වය ඔහොමයි (ඒකෙත් තියෙන්නේ මේ වගේම ක්‍රමයක්) නමුත් දැන් බොහොමයක් අංශ වල 95% පමණ පරිවර්තනය වෙලා. (ගිය ජුනි මාසේ තිබුනේ 20% වගේ)

ඉතින් පුලුවන් අය ඉදිරිපත් වෙලා පරිවර්තනය කරනව නම් ඉක්මන්ටම අපට 50% වත් සපුර ගන්න පුලුවන්. මෙතන්දි මේ මෘදුකාංග භාවිතා කරපු අයගේ සහය ගොඩක් වැදගත් කියලයි මට හිතෙන්නේ. යම් තැනකට අවශ්‍ය නිවැරදිම වචනේ දෙන්න පුලුවන් ඒ වගේ කෙනෙකුට නේ. හැමොම උත්සහ කළොත් අපිට 10.04 වල සැලකිය යුතු ප්‍රමාණයක් සිංහලට හරවන්න පුලුවන් වෙයි ඒය නිකුත් වෙන්න පෙර. මම හිතන්නේ මේ කටයුත්තට ඒක හොඳ ආරම්භයක් වේවි.

(සමාවෙන්න, මුලින් දමපු කමෙන්ට් එක වැටුනේ ෆයර් ෆොක්ස් වල අවුලක් නිසා ඒල මකල දාන්න.)

ජීවන්ත said...

අදහස් දක්වපු හැමෝටම ස්තූතියි,

අකිල කියන විධියට ඇත්තටම අපිට උබුන්ටු පරිවර්තනය කරද්දි තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි කට්ටිය නැතිකම. ඒකයි මමත් කිව්වෙ මේක එක්කෙනෙකුට, දෙන්නෙකුට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක සැලකිය යුතු පිරිසකගෙ සාමූහික වැඩක් විධියටයි වෙන්න ඕනෙ. උදාහරණයක් විධියට පරිවර්තන වැඩි හරියක් ඉවර කරල තියෙන භාෂා වලට පරිවර්තකයින් 500කට වඩා (සමහර භාෂා වලට 1000ටත් වඩා) ඉන්නවා. ඒත් සිංහල වලට 50ක් වත් තාම නෑ.

ඉතින් අපිට දැන් ඕනෙ කරල තියෙන්නෙ තමන්ගෙ වෙලාවෙන්, ශ්‍රමයෙන් පොඩ්ඩක් උබුන්ටු වෙනුවෙන්, නිදහස් මෘදුකාංග වෙනුවෙන් හෝ සිංහල වෙනුවෙන් කැප කරන්න පුළුවන් මිනිස්සුන්වයි. එහෙම ගොඩක් ඉන්නවා නම් මේක කරන එක අමාරු දෙයක් නෙවෙයි.

ඉතින් හැමෝම තමන්ට පුළුවන් විධියට පොඩි පොඩි ඒවා හරි පරිවර්තනය කරලා සහයෝගයක් දෙන්න.

ඇත්තටම අපිට තව ගොඩක් දුර යන්න තියෙනවා. අපි හැමෝම එකතුවෙලා වැඩ කලොත් ඒක අමාරු දෙයක් නෙවෙයි.

හැමෝටම ජය!!!

@අකිල,
ඔන්න වැරදිලා වැටුනු කමෙන්ටය මැකුවා.

s. ජයරුවන් said...

මචං ජීවන්ත,
"උබුන්ටු සිංහල පරිවර්තකයෝ" පිටුවට මම ගියා.
එතකොටයි මේ ප්‍රශ්නය ඇති වුනේ.
"ජීවන්ත ලේකම්වසම්" කියන්නේ උඹ ම ද?
නැත්නම් වෙන ජීවන්ත කෙනෙක් ද?

S. ජයරුවන් said...

@ජීවන්ත,
තවත් ප්‍රශ්නයක් තියෙනවා.
මම අදාළ වෙබ් අඩවිවලට ගිහිං බැලුවා. ඒත් පරිගණක ක්ෂේත්‍රයේ යෙදුම් සඳහා නිදහස් මෘදුකාංග පරිවර්තකයින් දැනට තෝරාගෙන තිබෙන සිංහල පාරිභාෂික ශබ්ද මාලාව සොයාගන්න බැරි වුනා.
ඒක සොයාගන්න් පුළුවන් link එකක් දන්නවා නම් දාන්න. ලොකු උදවුවක්.

ජීවන්ත said...

@ ජයරුවන්,

ඔව් මමම තමයි.

ඇත්තටම මේකට තාමත් හරිහමං පාරිභාෂික ශබ්ද මාලාවක් නෑ, මොකද මේ ක්ෂේත්‍රයේ භාවිතා කරන බොහමෙයක් තාක්ෂණික වචන වලට තාමත් සිංහල වචන හදලා නෑ. ඒ හින්දා අපි උත්සාහ කරනවා ඒකට වචන මාලාවක් හදන්න. උදව් කරන්න කැමති නම් email එක එවන්න. ඒ වැඩේ අපි පටන් අරගෙන තාම දවස් දෙකයි.

උබුන්ටු පරිවර්තනයේදී භාවිතා කරන වචන මාලාව සඳහා: http://spreadsheets.google.com/pub?key=tIvWxmy3IgcOFIzwxiFTyLQ&single=true&gid=0&output=html

සාමාන්‍ය භාවිතයේ පවතින වචන මාලාව සඳහා : spreadsheets.google.com/pub?key=tpTJV8iGd6i4HC_jEMX-VkQ&single=true&gid=0&output=html

එතෙන්දි අපිට අනිවාර්යයෙන් අළුත් වචන හදන්නත් වෙනවා. ඒකට මේ පිටුව බලන්න : අපේ බස අපි රැකගමු! : වචන නිෂ්පාදනය

මයික්‍රොසොෆ්ට් හා ඉක්ටා එකතු වෙලා වින්ඩෝස් විස්ටා සිංහල එක හදද්දී හදපු සිංහල වචන එකතුවකුත් තියෙනවා. ඒක බාගන්න ලින්ක් එක නම් මතක නෑ. email ලිපිනය දුන්නොත් මම එවන්නම්.

ඒ වගේම ucsc එකේ භාෂා පරීක්ෂණ අංශයෙනුත් මේකට සම්පත් හොයාගන්න පුළුවන් වෙයි. http://www.ucsc.cmb.ac.lk/ltrl/

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails