අතරමං වෙච්චි කූඹියෙකුට මොනවා හිතෙනවා ඇත්ද?

Tuesday, September 21, 2010
මට මේ කතාව හිතුනේ බස් එකේ යනකොට මගෙ අත දිගේ ගිය කූඹියෙක් දැකලයි. ඇත්තටම කියනවා නම් පොඩි හුලං පාරක් පිඹලා ඌව අතෙන් අයින් කලාට පස්සෙයි.

ගොඩක් වෙලාවට හැමෝම වගේ කරන දෙයක් තමයි ඒක. ඒ කියන්නේ කූඹියෙක් හරි ඒ වගේ වෙන පොඩි සතෙක් අපේ ඇඟේ හරි ඇඳුමෙ හරි ඉන්නවා දැක්කොත් වහාම ඌව ගසලා අයින් කරන එක. ඒත් ඊට පස්සෙ ඌට වෙන්නෙ මොකක්ද කියලා අපිට නිකමටවත් හිතෙන්නේ නෑනේ!

කූඹි කියන්නෙ සමාජමය සත්තු; ඒ කියන්නේ තනි තනිව නැතුව සමාජයක් විධියට ජීවත් වෙන සත්තු. ඉතිං එහෙම සතෙක් තමන්ගෙ රැලෙන් වෙන් වෙලා තනි වුනාම ඌට මොන වගේ ඇතිද? අපිට එහෙම උනාම දැනෙන්නෙ මොන වගේද?

අපි ගසල දැම්ම කූඹියා සමහරවිට අපේ ඇඟට නගින්න ඇත්තෙ ගෙදරදි වෙන්න පුළුවන්; එහෙම නැත්නම් කඩේකදිවෙන්න පුළුවන්; එහෙමත් නැත්නම් බස් එකකදි වෙන්න පුළුවන්. ඒත් අපි ඌව ගසලා දාන්නෙ වෙනමම තැනක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. ඌට සමහරවිට ඒක වෙනමම ලෝකයක් වෙන්න පුළුවන්. ඒත් ඉතිං අපිට ඇත්තටම මේ වගේ දේවල් වලට කරන්න දෙයක් ඇත්තෙම නෑ. අපි කොහොමත් දන්නෙ නෑනෙ ඌ අපේ ඇඟට නැග්ගෙ කොහෙන්ද කියලා.

ඉතිං මම කියන්න උත්සාහ කලේ මේ ජීවිතය කොච්චර කුරිරුද කියලා. අපි කොච්චර උත්සාහ කලත් හැම වෙලේම, හැම තැනම කව්රු හරි මොකක් හරි හේතුවකට දුක් විඳිනවා. අපිට ඒකට කරන්න දෙයක් ඇත්තෙම නැති තරම්. අපි සමහරවිට එක්කෙනෙක් සතුටු කරනකොට තව කෙනෙක් ඒකෙන් දුක් විඳිනවා. සමහර විට අපි නොහිතන අපි නොදන්නා මේ වගේ පොඩි පොඩි දේවල් වලින් පවා කව්රු හරි දුක් විඳනවා. ඉතිං ජීවිතය ඇත්තටම කුරිරුයි නේද?

අපි විතරද පරිණාමය වෙන්නේ?

Saturday, September 4, 2010
අපි, පොදුවෙ ගත්තහම සත්තු පරිණාමය වෙනවා. ඒ කියන්නේ කාලානුරූපීව, පරිසරයට අනුව, කරන ක්‍රියා වලට අනුව වෙනස් වෙනවා.(භෞතිකව වගේම මානසිකවත්) සමහර වෙලාවට ඒක හොඳ පැත්තට සමහර වෙලාවට නරක පැත්තට වෙනවා (constructively හෝ destructively).

ඒත් බැරිවෙලාවත් අපිට අමතරව මේ විශ්වයත් පරිණාමය වෙනවානම්? ඒ කියන්නෙ අපි "ඒවා එහෙම තමයි" කියල හිතං ඉන්න දේවල් ඇත්තටම එහෙමම තියෙන්නෙ නැතුව වෙනස් වෙනවනම්? මේ විශ්වයේ එතකොට "නියත"(constants) කියල දේවල් නැතිවේවි. (තේරෙන විධියට කියනවා නම් මේ මුලු විශ්වයම අනිත්‍යයයි කියන එකයි මේ කියන්නෙ.)

එතකොට ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, ක්වාක් වගේ උප පරමාණුක අංශු වලින් පටං ගත්තහම ග්‍රහලෝක, තරු, මන්දාකිණි වගේ ලොකු පද්ධති දක්වාම ඒවායේ ස්වරූපය, ගති ලක්ෂණ හා හැසිරීම් වගේ දේවල් කවදාවත් නියත නොවේවි. ප්‍රෝටෝන දෙකක් ගත්තහම කවදාවත් ඒ දෙක එක වගේ නොවේවි.(සමහර විට අපේ උපකරණ වල සංවේදී සීමාවෙන් එහා වීමටත් පුළුවන්)

මේක ලියනකොට තමයි මතක් වුනේ, මේ වගේ ඒත් ඊට වඩා වෙනස් කතාවක් තියෙන ලිපි 3ක් මම ඉස්සර ලියල තියෙනවා කියලා. මෙන්න ඒවා,
1) අමුතු සතා - (ඔබත් මමත් කොටස්කාරයන් වන අමුතුම අමුතු සතා)
2) අමුතු සතා (2) - සෛලයේ දේශපාලනය
3) අමුතු සතා (3) - භෞතිකවාදී හා විඥ්ඥානවාදී සංකල්ප අතරට මෙන්න මගෙන් තවත් එකක්!

ප.ලි.
1.) කව්රු කොහොම කිව්වත් මේ වෙනකොට භෞතික විද්‍යාව(විශේෂයෙන් සෛද්ධාන්තික භෞතික විද්‍යාව: ඒ කියන්නේ theoretical physics) හිරවෙලා ඉන්නෙ.
මෑතක කරපු පරීක්ෂණ අනුව ප්‍රෝටෝනයේ ප්‍රමාණයත් ඉස්සර හිතං හිටියට වඩා වෙනස්ලු. එතකොට මේ අලුත් අගයත් එක්ක භෞතික විද්‍යාවේ මූලික නියත ගොඩකුත් වෙනස් කරන්න වෙනවලු.
ඊට අමතරව ඔය නියුට්‍රිනෝ වගේ ඒවා ගැන කරපු පරීක්ෂණ අලට අනුව standard model එකත් වෙනස් කරන්න වෙනවලු.(සමහර විට ඒක ගොඩගන්න බැරි තරමටම බිඳවැටෙන්නත් බැරි නෑ)

ඒ හින්දා දැන් පරණ කතා අමතක කරලා අලුත් විධියකට හිතන්නට අවශ්‍යයයි. ඇරිස්ටෝටල්ලගෙන් නිව්ටන්ට මාරු වුනා වගේ, ඊට පස්සෙ නිව්ටන්ලගෙන් අයින්ස්ටයින්ට මාරු වුනා වගේ දැන් තව දේවල් වලට මාරු වෙන්න කාලෙ හරියාගෙනයි එන්නෙ!

2.) අනිත්‍යයි කියන සංකල්පය බහුතරයක් බෞද්ධයන්ට දිරව ගන්න පුලුවන් වුනාට, බහුතරයක් බටහිර විද්‍යාඥයින්ටත් ඒ වගේම විද්‍යාව ඔලුව උඩ තියං ඉන්න අපේ බහුතරයක් සුපිරි ප්‍රාඥයින්ටත් හරියට දිරවගන්න බෑ.(ඒ ඇයි කියල පස්සෙ හිතල බලන්න) මේ ලිපිය මේ විදියට ලියන්න හේතු වුනේ ඒ හින්දයි.

Don't tell me, You'll spoil my dinner!

Tuesday, August 3, 2010
මෙය බොහෝ දෙනාගේ පළමු ප්‍රතිචාරයයි. බොහෝ විට කටින් නොකීවත් කීමට සිතට නැගෙනා පළමු සිතිවිල්ල එයයි.

තම තමන් සාන්තුවරු යැයි තමන්ටම ඒත්තු ගන්වාගෙන සිටින නමුත් තමන්ගේ සුඛ වින්දනය සඳහා අනෙකුන් විඳිනා දුක් නොදකින, නොදැනෙන මිනිසුන් සිටිනා ලෝකයකි මෙය. පොඩි අප්පිරියාවක් වත් ඇතිවුව හොත් තමන් ගිජු ලෙස ගිල දමනා රස මසවුලු තවදුරටත් එලෙසම කෑමට නොහැකි වෙතැයි බියෙන්, ඒ ආහාරයන්ගේ රසයට ඇති මහත්වූ ලෝභයකින්, ඒ වෙනුවෙන් අනෙකකු විඳින අනේක දුක් වේදනාවන් දැකීම ප්‍රතික්ශේප කිරීමටයි මේ ප්‍රතිචාරය.

ඉල්ලුමට අනුව සැපයුම න්‍යාය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන නිසා පාරිභෝගික ඔබ සියලු දෙනාම මෙම සැපයුමට වගකිව යුතුය. අපි කලේ නැත කියා 'ෂේප්' වීමට ඔබට නොහැක. ඔබේ අවශ්‍යතාවය, ඔබේ ඉල්ලීම නිසයි මේ සැපයුම පවතින්නේ. ඔබේ ඉල්ලීම නැති වූ කල්හි සැපයුම ද නැතිව යයි. නමුත් ඔබ ඉල්ලන තාක් කල් සැපයුම අඛණ්ඩවම ලැබෙනු ඇත.

එනිසා වෙනසක් කල හැක්කේ ඔබටයි. අදම එය කරන්න. තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් අහිංසකයින් සිය ගණනින් මරා දැමීමට හවුල් නොවන්න. තීරණය ඔබට බාරයි.



රජා මැරීම vs. සියදිවි නසා ගැනීම

Friday, July 30, 2010
අපේ මිනිස්සු දැන් රජා මරනවා තියා ඒ ගැන හිතන්නත් සෑහෙන්න බය උනාට ස්ව කැමැත්තෙන්ම, සකල ලෝ වැසි ආශිර්වාදය මැද්දේ හුරේ දමමින් යස අගේට සියදිවි නසා ගන්නවා.

මම මේ කියන්නේ මොකක් ගැනද කියලා හැමෝටම තේරෙනවා ඇතිනේ! තේරුනේ නැති කට්ටිය ඉන්නවා නම් රජා මරනවා කියන්නේ ඉංග්‍රීසි භාෂාව වැරදියට පාවිච්චි කරනවට; ඒ කියන්නේ ඉංග්‍රීසි මරනවට. සියදිවි හානි කරගන්නවා කියන්නේ අපේ සැබෑ අනන්‍යතාවය වන අපේ මව්බස සිංහල විනාශ කර ගැනීමටයි.

මේ සිංහල බ්ලොග් අවකාශයේත් ඉංග්‍රීසි උගන්වන බ්ලොග් තියෙනවා. ඒත් සිංහල උගන්වන එකක් වත් තියෙනවද? දැන් වෙන කොට අපි කන්න පාං පිටි ටික එනකං පිටරට දිහාවට කටවල් ඇරගෙන බලං ඉන්නවාට අමතරව අපේ ඔලු වලට දැනුම එනකනුත් පිටරට දිහාවට ඔලමොට්ටලයො වගේ බලං ඉන්නවා නොවේද?

ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න නම් ඉංග්‍රීසි අත්‍යාවශ්‍යයයි වගේ ගොං තර්ක දාන්න එපා! ජපානෙ ලෝකෙ දිනුවෙ ඉංග්‍රීසියෙන්ද? ප්‍රංශෙ දියුණු උනේ ඉංග්‍රීසියෙන්ද? චීනෙ බලවත් උනේ ඉංග්‍රීසියෙන්ද?

ඒ මොනවා උනත් අපිට ලොකෙත් එක්ක සම්බන්ධ වෙන්න ඕනෙ උනාම අපි හරක් රැල වගේ ඉංග්‍රීසි මත්තෙම නැහුනට සුද්දන්ට ලෝකෙ අල්ලන්න ඕනෙ උනාම උන් කලේ ලෝකෙ හැමෝටම ඉංග්‍රීසි උගන්නපු එකයි. ඒත් අපි එක්කෙනෙකුට හරි එක පිටරැටියෙක්ට වත් සිංහල අකුරක්වත් කියල දෙන්න උවමනාවක් තියෙනවද?

හිතලා බලන්න. ප්‍රශ්නෙ තියෙන්න අපිට සම්පත් නැති එකේවත්, අපේ රට පුංචි දූපතක් වීමෙවත්, අපිට ඉංග්‍රීසි බැරි එකේවත් නෙවෙයි. අපේ දේ ගැන අපිට හරිහමං ආකල්පයක් නැති එකෙයි.

වෙලාවක්, උවමනාවක් තියෙනවා නම් මේවත් කියවලා බලන්න:
අවධානය පිණිසයි!!! අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස - සිංහල!
යන්නෙ කොහෙද? මල්ලෙ පොල්!



`

ඉබ්බෙක් උඩින් ගිය කතාවේ ඉතුරු ටික...

Wednesday, July 28, 2010
කොක්කු දෙන්නෙක්ගේ පිහිටෙන් ඉබ්බෙක් උඩින් ගිහිල්ලා පංඩිත කමට කෑ ගහන්න ගිහිල්ලා බිමට වැටුන කතාව හැමෝම දන්නවා ඇතිනේ. මේ කියන්න යන්නේ ඒකෙ ඉතුරු කතා ටික. සමහරු නම් මේවා දන්නවත් ඇති. මාත් මේවා ඇහුවේ කාලෙකට ඉස්සර.

මුල් කතාව දන්නෙ නැති අය ඉන්නවා නම් මෙන්න ඒක:
ඔන්න දැනට සෑහෙක කාලෙකට ඉස්සර ලස්සන රටක තිබිබ ලස්සන පුංචි විලක බොහොම තේජාන්විත ඉබ්බෙක් හිටියලු. ඉතින් මේ ඉබ්බත් ඒ විලේ හිටපු අනික් මාළුත් බොහොම සතුටින් තමයි හිටියේ. කොක්කු එහෙම හිටියත් උනුත් බොහොම සමගිව සමාදානයෙන් හිටියලු. ඔහොම ටික කාලයක් යනකොට මේ පලාතට බොහොම දරුණු නියඟයක් ඇවිල්ලා මේ විලේ වතුර ඔක්කොම වගේ හිඳිලා හැමෝම බොහොම කරදරයට පත් උනාලු. ඉතින් මේ විපත දැකලා බලවත් කම්පාවට පත් වෙච්චි මේ විලේ සාමාන්‍ය පාරිභෝගිකයෝ වෙච්චි කොක්කු දෙන්නෙක් මේ ඉබ්බව වෙත පලාතක තියෙන වතුර තියෙන විලකට අරං යන්න ඉදිරිපත් උනා. (මාළුන්ට මොනවා උනාද කියල නම් අහන්න එපා) ඉබ්බෙක්ව උඩිං අරං යන එක C-130 Hercules එකක් අවශ්‍ය වෙන වැඩක් උනත් අති දක්ෂ ගුවන් නියමුවන් වන මේ කොක්කු මේකට ක්‍රමයක් හොයා ගත්තා. කෝටුවක්ඉබ්බගෙ කටට දීල කොක්කු දෙන්නා දෙපැත්තෙන් තමන්ගෙ හොටවල් වලින් අල්ලගෙන යන එක තමයි ක්‍රමේ. ඉතින් දැන් මේ ක්‍රමේට ඉබ්බා උඩිං යන කොට පිට්ටනියක සෙල්ලං කර කර හිටපු කොල්ලො රංචුවක් මේක දැකලා ඉබ්බට විහිළු කරන්න පටං ගත්තා. මේකට අමාබානක ළ පැනපු ඉබ්බා එකපාරටම "අඩෝ! @#?%$ #*&" ආදී වශයෙන් මේ කොල්ලන්ට අමතන්න ගත්තා විතරයි කොටුව අතෑරිලා බිමට වැටිලා ඌ මළා.

දෙවෙනි කතාව:
ඔන්න සෑහෙක කාලෙකට පස්සෙ අර ඉබ්බගෙ මුණුබුරාගෙ කාලෙ ආයෙත් නියඟයක් ආවා. අර කලිං කොක්කු දෙන්නගෙත් මුණුබුරෝ ඉතිං මේ ඉබ්බට උදව් කරන්න ඉදිරිපත් උනාලු. ඉතිං මේ ඉබ්බට කතා කියල දෙන්න සීයෙක් හිටියෙ නැති උනාට අර කොක්කු දෙන්නට උන්ගෙ සීයල ඔක්කොම කතා කියල දීලයි තිබුනෙ. ඉතිං උන් මේ ඉබ්බට කිව්වලු අර උඹගෙ සීය උඩිං යන කොට කොල්ලො කෑ ගහනකොට බනින්න ගිහිල්ලා වැටුනා, ඒ හින්දා උං මොනවා කිව්වත් උඹ ඒකට බනින්න යන්න එපා කියලා. ඉතිං මේ ඉබ්බත් මේකට එකඟ වෙලා දැන් කට්ටිය පරණ ක්‍රමේටම උඩිං යනවලු. ඔන්න දැන් අර පිට්ටනිය උඩිං යනකොට එතන හිටපු කොල්ලො මේ ඉබ්බට විහිළු කරන්න පටං ගත්තලු. මේකට අම්බානක මළ පැනල හිටියත් කොක්කු දීපු උපදේසෙ මතක් වෙලා ඉබ්බ කට වහගෙන හිටියා. ඒත් ඉතිං ඔය කොල්ලො ටික පහුවෙනකොටම එකපාරටම ඉබ්බ "හූ..හූ.. අපිනං රැවටෙයි ඕවට!" කියල කිව්වලු.

තුන්වෙනි කතාව:
ඔන්න තවත් කාලෙකට පස්සෙ අර දෙවෙනි ඉබ්බගෙත් මුණුබුරාගෙ කාලෙ ආයෙත් නියඟයක් ආවලු. ඉතිං පුරුදු විධියටම ඒ කාලෙ හිටපු කොක්කු දෙන්නා මුගෙ උදව්වට ආවා. මුගෙ සීයගෙ කතාවයි, සීයගෙ සීයගෙ කතාවයි දෙකම කියල කිව්වලු කොල්ලන්ට මුකුත්ම කියන්න එපා කියලා. ඉතිං මේ ඉබ්බත් මේකට එකඟ වෙලා දැන් කට්ටිය උඩිං යනවලු. පිට්ටනියට උඩිං යනකොට කොල්ලො කෑ ගැහුවත් මේ ඉබ්බා කට හෙල්ලුවේ වත් නෑ. ඊට පස්සෙ මේ කොල්ලො ඉන්න හරිය පහුවෙලා ගොඩක් දුර ගියාට පස්සෙ ඉබ්බා "තැන්කියු මචං උපදේසට, මං බයේ හිටියෙ මොනවහරි කියවෙයි කියලා" කිව්වලු.

හතර වෙනි කතාව:
ඔන්න දැන් තුන්වෙනි ඉබ්බගෙත් මුණුබුරාගෙ කාලෙත් පරණ විධියටම නියඟයක් ආවා. ඉතිං ඒ කාලෙ හිටපු කොක් මුණුබුරොත් මේ ඉබ්බට පරණ කතා ඔක්කොම කියල දීල, උඩිං යන කොට කතා කිරීමේ අවදානම ගැන සෑහෙන ලොකු දේශනාවක් එහෙම දීල කට්ටිය උඩිං යන්න පිටත් උනා. දැන් කොල්ලො ඉන්න හරිය පහුවෙලාත් ගොඩක් දුර ගිහිල්ලත් මේ ඉබ්බා වචනයක් වත් කිව්වෙ නැහැල්ලු. ඉතිං මේ ගැන මේ කොක්කුන්ටත් පුදුමයි. ටික වෙලාවකින් එක කොකෙක් "මේ ඉබ්බනං අනිත් එවුං වගේ නෙවෙයි, සෑහෙන්න බුද්ධිමත් නේද මචං?" කියල අනිත් කොකාට කිව්ව විතරයි කොක්කුන්ට කෝටුව අතෑරිලා ඉබ්බා බිමට වැටෙන්න ගත්තා. කොක්කු දෙන්නත් ඉතිං සෑහෙන වැඩ කෑල්ලක් එහෙම දාල ආන්ත ප්‍රවේගයට ආසන්න වේගෙකින් පහලට වැටෙමින් හිටපු ඉබ්බගෙ කටේ තිබ්බ කෝටුවෙ දෙපැත්තෙන් කොහොමහරි අල්ල ගත්තා. දැන් ඉබ්බටත් සෑහෙන්න සතුටුයි මේකට. එකපාරටම ඌ "අනූ නමයෙන් නේද මචං බේරුනේ, මං හිතුවෙ වැටෙයිම කියලයි" කියල කිව්වලු.

The Matrix හා මාළු කතාව

Monday, July 26, 2010
හැමෝම The Matrix  කියන අති දැවැන්ත action, sci-fi චිත්‍රපටිය බලල ඇති කියල හිතනවා. මේ කියන්න යන්නෙ නම් ඒ චිත්‍රපටිය ගැන නෙවෙයි. ඒක බලල මට හිතිච්ච අතුරු කතාවක් ගැන.

මිනිස්සුන්ව බැටරි විධියට පාවිච්චි කරන යන්ත්‍ර හා ඉතිරි වෙලා ඉන්න මිනිස්සු අතර යුද්ධයක් තියෙනවානේ. ඒකෙදි අපිට නිරායාසයෙන්ම හිතෙන්නේ මේ යන්ත්‍ර විනාශ කරලා මිනිස් වර්ගයාට නිදහසේ ජීවත් විය හැකි ලෝකයක් නිර්මාණය කල යුතුයි කියලනේ. ඒත් අපි එතෙන්දි බලන්නේ මිනිහෙක්ගෙ කෝණයෙන්. ඒ වෙනුවට වෙනසකටත් එක්ක යන්ත්‍ර වල කෝණයෙන් මේක දිහා බලන්න.

ඇත්තටම කියනවා නම් ඔවුන් අපිට වඩා වෙනස් නෑ. ඔවුන් කරන්නේත් මිනිස්සු කරන දේමයි. ඒ කියන්නේ තමන්ගෙ පැවැත්ම තහවුරු කර ගැනීම. හැමෝටම වැදගත්ම දේ තමන්ගේ පැවැත්ම නොවේද? පෘථිවිය විනාශ වෙලා, සූර්යයා වැහිලා තමන්ගේ පැවැත්ම සඳහා වෙනත් බලශක්තියක් සොයා ගත නොහැකි වූ කල්හි ඔවුන් මිනිසුන්ව තමන්ට බලශක්තිය සපයන බැටරි විධියට පාවිච්චි කරනවා.

මේක බලල යන්ත්‍රත් එක්ක අපිට තරහා යන්නෙ මේකට මිනිස්සුන්ව බැටරි විධියට පාවිච්චි කරන හින්දනේ. පොඩ්ඩක් හිතලා බලන්න මිනිස්සු වෙනුවට මෙතන මාළුන්ව බැටරි විධියට පාවිච්චි කරා නම් අපිට මෙච්චර ගායක් තියෙයිද?

තව පොඩ්ඩක් හිතන්න මේ යන්ත්‍ර වලට බුද්ධිය තියෙනවා. බුද්ධිය තියෙන ඕනෑම කෙනෙක් තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වන විට ඉතාමත් දරුණු වීම ස්වභාවිකයි. ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කරන්න නීතියෙනුත් අවසර තියෙනවනේ!!!

ඒ වගේම හිතන්න යම් දවසක මිනිසුන්ගේ සියළුම බලශක්ති ප්‍රභව නැති වී මිනිසුන් වඳවීමේ තර්ජනයට මුහුන පෑවා කියල. එතකොට මිනිස්සු හොයාගන්නවා මාළුන්ගෙන් මේ විධියට බලශක්තිය නිපදවන්න පුලුවන් කියල. එදාට මේ යන්ත්‍ර මිනිස්සුන්ට කරන දේට විරුද්ධව නැගී සිටි කීදෙනෙක් මේ මාළුන් වෙනුවෙන් නැගී සිටීවිද? අනෙකකු නොව ඔබ නැගී සිටිනවාද? අනෙකාට ඇඟිල්ල දික් නොකොට තමන් තුලින් යථාර්තය දකින්න. ආත්මාර්ථකාමීන් පිරුනු ලෝකයක වෙනසක් කරන්න උත්සාහ කරන්න. මේ ලෝකය වඩා ලස්සන තැනක් කරන්න එතකොට හැකිවේවි.

ප.ලි.
The Matrix, The Matrix - Reloaded හා The Matrix - Revolution යන නමින් කතා 3 කින් යුතු Matrix කතා මාලාව ගොඩ දෙනෙක් බලල ඇති උනාට The Animatrix ගොඩ දෙනෙක් බලල නැතුව ඇති. The Matrix එක හා බැඳුනු මිනිසුන්ගේ හා යන්ත්‍ර වල අතුරු කතා කීපයක් එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. අමුතුම රසවින්දනයක් හා වෙනස් විධියටක හිතන්නත් එය සමහර විට උදව් වේවි.

අවධානය පිණිසයි!!! අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස - සිංහල! (වඳවී යන භාෂා සම්බන්ධ යුනෙස්කෝ වාර්තාවක් ඇසුරෙන්)

Thursday, June 10, 2010
සිංහල ලස්සනයි; සිංහල සරලයි; සිංහල සංකීර්ණයි; සිංහල අමාරුයි; සිංහල පහසුයි; සිංහල දියුණුයි; මේ ආදී වූ විවිධාකාර කියුම් ඇති සිංහල දැන් අභාවයට යාමට පටන් ගෙන ඇත. මෙය දිගටම පැවතිය හොත් ලෝකයේ වඳ වෙමින් යන භාෂා ලැයිස්තුවට සිංහලද ඇතුලත් වීමට වැඩි කලක් ගත නොවනු ඇත. (තවමත් ලංකාවෙන් මෙයට ඇතුලත් වී ඇත්තේ වැදි බස පමණි.) නමුත් එක් දෙයක් හොඳින් මතක තබා ගන්න. ඉංග්‍රීසි නොදත් ඉංග්‍රීසීන් නැති උනාට(ඉන්නවානම් කියන්න) සිංහල නොදත් සිංහලයින් අපි අතර කොතෙකුත් ඉන්නවා!!

මේ ගැන සාකච්ඡා කිරීමට ප්‍රථම යුනෙස්කෝව විසින් භාෂාවක ඇති ජීවගුණය හා තර්ජනයට ලක්වීමේ හැකියාව (vitality and endangerment) හඳුනාගැනීමට යොදාගෙන ඇති නිර්නායක 9 සලකා බලමු.

1. පරම්පරා අතර භාෂාවේ සම්ප්‍රේෂණය (Intergenerational language transmission)
2. භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව (Absolute number of speakers)
3. මුළු ජනගහනය තුල භාවිතා කරන්නන්ගේ අනුපාතය (Proportion of speakers within the total population)
4. භාෂාව භාවිතා කරන ක්ෂේත්‍රයන්හි වෙනස්වීම (Shifts in domains of language use)
5. නව ක්ෂේත්‍ර හා මාධ්‍ය වෙත දක්වන ප්‍රතිචාරය (Response to new domains and media)
6. භාෂාව ඉගෙනුමට හා සාක්ෂරතාවයට ඇති ප්‍රභව (Materials for language education and literacy)
7. නිල තත්වය හා භාවිතයද ඇතුළුව භාෂාව සම්බන්ධව ඇති රාජ්‍ය හා ආයතනික ආකල්ප හා ප්‍රතිපත්ති (Governmental and institutional language attitudes and policies, including official status and use)
8. තම භාෂාව පිළිබඳ සමාජයේ ආකල්ප (Community member’s attitudes towards their own language)
9. ප්‍රලේඛනයන්හි වර්ග හා ගුණාත්මකබව (Type and quality of documentation)

දැන් අපි මේ එක් එක් කරුණ සිංහල භාෂාව විෂයෙහි සලකා බලමු. (සිංහල ප්‍රජාව තුල ඉංග්‍රීසි භාෂාව සමග සංසංදනාත්මක ලෙස) මෙහි නිර්නායක සඳහා යොදා ඇති අගයන්/ලකුණු සඳහා ලිපියේ අග ඇති යුනෙස්කෝ වාර්තාව බලන්න. (ඉංග්‍රීසි සඳහා ලෝක ප්‍රජාව තුල මෙම නිර්නායක සියල්ලටම ඉහලම ලකුණු ඇති බව සැලකිය හැක.)

1. මෙය නම් පැහැදිලිවම ඉතා සීඝ්‍රයෙන් අඩු වෙනවා. අද සිංහල සමාජයේ දෙමව්පියන්ට තම දරුවාට සිංහල කියාදීමට උවමනාවක් ඇත්තේම නැහැ. උවමනාව ඇත්තේ ඉංග්‍රීසි ඉගැන්වීමට පමණි යන්න අතිශයෝක්තියක් නොවේ. ඉහල පැළැන්තිය තුල සිංහල ඉදිරියට සම්ප්‍රේෂණය ඉතාම පහළ මට්ටමකයි පවතින්නේ. මෙහි නව පරම්පරාවලින් සිංහල දන්නේ අතලොසක් පමණි. මධ්‍යම පාන්තිකයින් හා ග්‍රාමීය ප්‍රජාව තුල මෙය තවමත් සාමාන්‍ය ප්‍රමාණයෙන් පැවතුනත් එය සීඝ්‍රයෙන් අඩු වීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙයට හේතු වන කාරණා සම්බන්ධව පහත කරුණු වලදී සාකාච්ඡා කරමු.
සිංහල (5-) තත්වයේ සිට 4 දක්වා යමින් තිබෙනවා යැයි පැවසීමට පුළුවන.

2. තවමත් සිංහල භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා පවතිනවා. යුනෙස්කෝව විසින් ප්‍රකාශිත වඳවීමේ භාෂා ලැයිස්තුවට සිංහල ඇතුලත් නොවීමට ප්‍රධාන හේතුව මෙයයි. නමුත් මෙම අගය අඩුවීමේ ලක්ෂණ දැන් දැන් මතුවෙමින් පවතිනවා. (බොහෝ දුරට අළුත් පරම්පරා සිංහල භාවිතයෙන් ඈත් වීමත් සමග) නමුත් ලංකාව තුල ඉංග්‍රීසි භාවිතා කරන ප්‍රමාණය වේගයෙන් ඉහල යමින් පවතිනවා.

3. මෙයත් දැනට ඉහල මට්ටමක පවතිනවා. නමුත් මෙම අගයත් අඩුවීමේ ලක්ෂණ දැන් මතුවෙමින් පවතිනවා. මෙම අනුපාතය තුල ඉංග්‍රීසි සැලකිය යුතු ලෙස ඉදිරියට ඒමේ ප්‍රවනතාවයක් පවතිනවා.
සිංහල 4 තත්වයේ සිට 3 දක්වා පහල බසින බව දැකීමට පුළුවන.

4. සිංහල භාෂාව භාවිතා වන ක්ෂේත්‍ර අද වන විට පෙර නොවූ විරූ ලෙස හීන වෙමින් පවතිනවා. මෙහිදී ප්‍රධානම වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයයි. කිමද එය අනෙක් ක්ෂේත්‍ර සියල්ලටම පාහේ බලපාන බැවිනි. මෙහි ඉතා කණගාටුදායක ලෙස සිංහල මාධ්‍ය අධ්‍යාපනය සීඝ්‍රයෙන් පහල බසිමින් තිබෙනවා. එයිනුත් ඉතා වැදගත් වන විද්‍යා හා තාක්ෂණ අංශ ප්‍රධානයි. අද උසස් අධ්‍යාපන අංශයේ(විශ්වවිද්‍යාල ඇතුළුව) විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙන් “ලබා නොදේ” යන්න වැරදි නොවේ. එමෙන්ම ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන අංශයන්හීද සිංහල මාධ්‍ය අධ්‍යාපනය සීඝ්‍රයෙන් දියාරු වෙමින්(කරමින්?) පවතිනවා. නමුත් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ශක්තිමත්ව අතිවිශාල අනුග්‍රහයක් ඇතිව ඉතා පුළුල්ව පැතිරෙනවා.(පතුරනවා?) රාජ්‍ය අංශයේ ආයතන තුල සිංහල භාවිතය නොසැලී පැවතුනත්(රාජ්‍ය භාෂාවක් නිසා) රාජ්‍ය අංශ තුල දැන් දැන් තොරතුරු තාක්ෂණ භාවිතයන් නිසා සිංහල, ඉංග්‍රීසියෙන් ප්‍රතිෂ්ඨාපනය වෙමින් පවතිනවා. ඊළඟ වැදගත් ක්ෂේත්‍රය වන්නේ පෞද්ගලික අංශය හා ව්‍යාපාරික ප්‍රජාවයි. පෞද්ගලික අංශය හා ව්‍යාපාරික ප්‍රජාව තුල සිංහල භාවිතය ඉතා පහළ බව කීමට අටුවා ටීකා අවශ්‍ය නැතැයි සිතමි. සිංහලෙන් සම්මුඛ සාකච්ඡා(interviews) පවත්වනවාද?(අඩුම තරමේ එකක්වත්?) ආයතන තුල ලිපි ආදිය සිංහලෙන් තිබෙනවාද? ආයතන තුල රැස්වීම් හා සම්මන්ත්‍රණ වල සිංහලෙන් කතා කරනවාද?(සිංහලයින් පමණක් සිටින අවස්ථාවලදී හෝ) මේ අනුව බලන විට සිංහල භාවිතය නිවෙස් තුලට පමණක් සීමා වීමේ ප්‍රවණතාවයක් පවතිනවා. නමුත් එය එයිනුත් එහාට යමින් මළ බසක් බවට පත් නොවතැයි වගකීමක් දිය නොහැක.
සිංහල 4 තත්වයේ සිට 3 හෝ සමහරවිට 2 දක්වා යමින් සිටින බව දැකිය හැක.

5. සිංහල දුර්වලම වන්නේ මේ කාරණයේදීය. මානව දැනුම හා ක්‍රියාකාරකම් ගොන්නට දිනපතා නව සොයාගැනීම් හා නව ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් එකතු වේ. අන්තර්ජාලය හා තොරතුරු තාක්ෂණය මෙයින් එක් ක්ෂේත්‍රයක් පමණි.(විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය තුල පමණක් තොරතුරු තාක්ෂණයට අමතරව අති විශාල නව ක්ෂේත්‍ර ගණනාවක් ඇත.) යම් භාෂාවක් මේ අළුත් ක්ෂේත්‍ර තුලට විහිදී නොයයි නම් එම භාෂාව සමාජය තුල කොන්වීමට ලක්වේ. නව වචන නිෂ්පාදනය මෙහිදී අති වැදගත්ය. වර්තමානයේ සිංහල භාෂාවේ නව වචන නිෂ්පාදනයක් සිදු නොවන තරම්ය. වචන දෙක තුනක් නිපදවුවත් ඒ වචන සමාජගතවීමක් සිදුනොවන තරම්ය. (නව වචන නිෂ්පාදනය ගැන පසු ලිපියකින් සවිස්තරාත්මකව කතා කරමු.) එමෙන්ම ජනමාධ්‍ය තුල සිංහල භාවිතය සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතිනවා. (ගුණාත්මක හා ප්‍රමාණාත්මක යන දෙඅංශයෙන්ම) නමුත් ඉංග්‍රීසි භාවිතය වේගයෙන් ඉහල යනවා.
මෙහි සිංහල ඇත්තේ 2 හෝ 1 වැනි පහළ මට්ටමක බව කීම අතිශයෝක්තියක් නොවනු ඇත.

6. දුක්ඛදායකම කරුණ වන්නේ සිංහල හා සිංහලෙන් ඉගෙනුමට තවමත් ඇත්තේ අතලොසක් වූ පැරණි පොතපත පමණක් වීමය. සිංහල හා සිංහලෙන් ඉගෙනුමට නව පොතපත හා විද්‍යුත් මාධ්‍ය හා අන්තර්ජාලය තුල ඉගෙනුම් සම්පත්(education material) නොමැති තරම්ය. උදාහරණයක් ලෙස අද සිංහලෙන් පොත්(සිංහල ඉගෙනුම, විද්‍යාව, සාහිත්‍යය ආදී විවිධ ක්ෂේත්‍ර වල) පල වන්නේ කෙතරම් අඩුවෙන්ද? එයිනුත් දෙකයි පණහේ බොලඳ කතා ටික ඉවත් කල විට ඉතිරි වන්නේ කුමක්ද? එමෙන්ම සිංහල ඉගැන්වීමට තවමත් භාවිතා කරන්නේ පැරණි ක්‍රමය. සංසංදනාත්මක ලෙස ඉංග්‍රීසි හා ඉංග්‍රීසියෙන් ඉගෙනුමට අතිවිශාල ඉගෙනුම් සම්පත් ප්‍රමාණයක් ඇතිවා මෙන්ම නව සම්පත් දිනපතා එකතු වේ. එමෙන්ම වඩා සාර්ථක ලෙස ඉංග්‍රීසි ඉගෙනුමට හා ඉගැන්වීමට භාවිතා කරන ක්‍රම ශිල්ප හා උපක්‍රම දිනෙන් දිනම අළුත් වෙමින් හා ශක්තිමත් වෙමින් පවතී. උදාහරණයක් ලෙසට “රජකඩුව, English class for me, Sesame Street” වැනි වැඩසටහන් දැක්විය හැක. නමුත් සිංහල සඳහා මෙවැනි දේ කවදා නිර්මාණය වේවිද?
මේ අනුව සිංහල 4 හෝ 3 මට්ටමේ සිට 3 හෝ 2 දක්වා යමින් පවතිනවා යැයි පැවසීමට හැකිය.

7. තවමත් සිංහල ලංකාවේ රාජ්‍ය භාෂාවකි. නමුත් මෙම තත්වය නැති කර දැමීමට බොහෝ දෙනා කැසකවන බව අද නොරහසකි. රාජ්‍ය භාෂාවක් වුවද එය නමට පමණක් සීමා වීමේ ප්‍රවණතාවක්ද අද දක්නට ඇත. එමෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති තුල ඉංග්‍රීසි භාෂාව භුක්ති විඳින ඉහල වරප්‍රසාද සිංහලයට අද නැතිවී ගොසිනි. හොඳම උදාහරණයක් වන්නේ රාජ්‍ය ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වසරක් පවා ප්‍රකාශයට පත් කරමින් ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා පුහුණු ගුරුවරුන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රවර්ධනය කර ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා අති විශාල අවකාශයක් නිර්මාණය කරන අතරම සිංහල කොන්වන තත්වයකට පත්කිරීමයි. (සිංහල භාෂාව නිසා වාර්ගික ගැටුම් ඇතිවිනිය යන කතාවද මෙම සිංහලයට යනඑන මං නැති කර දැමීමේ ක්‍රියාවලියේම කොටසක් වීමට බොහෝ ඉඩ කඩ ඇත.) එමෙන්ම මෙය ලියන මා උසස් අධ්‍යාපනය ලබන්නේ විද්‍යා අංශයෙනි. මාහට සිංහල ඉගෙන ගැනීමට ලැබුනේ සාමාන්‍ය පෙළ දක්වා පමණි. නමුත් සාමාන්‍ය පෙ‍ළින් ඔබ්බට උසස් පෙළදීත් විශ්වවිද්‍යාලය තුලදීත් ඉංග්‍රීසි විශයයක් විධියට(ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට අමතරව) ඉගෙන ගැනීමට සිදුවිය. මෙය සිංහල රටේ සිංහලයාට සිදුවන දෛවයේ සරදමක්ද? පෞද්ගලික අංශය තුල සිංහල සඳහා කිසිදු පිළිගැනීමක් නොමැති බව කීම අතිශයෝක්තියක් නොවේ. එය පෞද්ගලික අංශයේ ආයතනයකට ගිය විට හොඳින් දැකගත හැකිය.
මේ අනුව සිංහල 4 මට්ටමේ සිට 3 හෝ 2 දක්වා යමින් සිටින බව දැකිය හැක.

8. මෙය සිංහල භාෂාවේ සීඝ්‍ර දුගතිය පෙන්වන තවත් වැදගත් සාධකයකි. අද සමාජයේ සිංහල කෙරෙහි ඇති ආකල්පය ඉතා දුර්වල බව නොකිවමනාය. සිංහල ප්‍රජාවේ ඉහල සමාජය තුල බොහෝ දෙනා දැන් සිංහල භාවිතය ලැජාජාවට කාරණාවක් ලෙස සැලකීම හොඳින්ම දැකිය හැක. මෙය පහළ සමාජ ක්ෂේත්‍ර තුලටද සීඝ්‍රයෙන් පැතිරෙන(පතුරන?) බවත් දැකිය හැක. සිංහල යනු කටුගෙට යැවිය යුතු බසක් ලෙස සාමාන්‍ය සමාජයේ ආකල්පය වෙනස් වෙමින්(කරමින්?) පවතී. “සිංහල දැන ගැනීමෙන් ඇති වැඩක් නෑ. නමුත් ඉංග්‍රීසි නැතුවම බෑ” යන අදහස අද බොහෝ දෙනා තුල රෝපණය වී ඇත. අද දෙමව්පියන්ගෙන් කීයෙන් කීදෙනෙක් තමන්ගේ දරුවාට සිංහල කියා දිය යුතු යැයි සිතන්නේද? ඒ වෙනුවට ජනමාධ්‍ය ඔස්සේ, පාසල් ඔස්සේ වියතුන්, ගුරුවරුන්, ප්‍රවීනයන් සමාජයට දෙන පණිවිඩය නම් “හැකිතාක් නිවසේදීත් ඉංග්‍රීසි භාවිතා කරන්න. එය අනාගත ආයෝජනයක් වේවි” යන්නයි. මේ අවනඩුව අපි කාට කියන්නද?
මේ අනුව සිංහල ඉතාමත් කණගාටුදායක ලෙස 2 හෝ 1 මට්ටමේ සිට 0 දක්වා යමින් සිටින බව දැක්විය හැක.

9. සිංහල සඳහා තවමත් පැරණි විශිෂ්ඨ පොතපත පවතිනවා. නමුත් මේවා ආරක්ෂා කර ගැනීමේ හෝ ප්‍රවර්ධනය කිරීමේ උවමනාවක් කිසිවෙකුටත් නොමැති තරම්ය. එමෙන්ම වෙනස්වන භාෂාවත් සමග මේවා යාවත්කාලීන නොවන තරම්ය.(අද භාවිතා වන සිංහල අදින් වසට සියයකට පෙර භාවිතා වූ සිංහලට වඩා වෙනස් බව පැහැදිලි කල යුතු නැතැයි සිතමි.) ඒ අනුව බලන කල අද ඇත්තේ පැරණි සිංහලයක් ඉගෙනීමට ඇති සම්පත්ය. මෙයත් බරපතල ප්‍රශ්නයකි. එමෙන්ම සිංහල විෂයෙහි භාෂාත්මක ප්‍රවීනයින්ගේ(linguists) හිඟයක් මෙන්ම භාෂාත්මක පර්යේෂණ(linguistic research) හි නියඟයක්ද පවතී. මෙයද සුළුවෙන් තැකිය නොහැකි තත්වයකි.
මේ අනුව සිංහල 4 මට්ටමේ සිට 3 දක්වා යන බව පැවසිය හැක.



දැන් ඔබ සමහරවිට ඉංග්‍රීසි සම්බන්ධව තවමත් මෙවැනි ආකල්පයක් දරනවා විය හැක. “ඉංග්‍රීසි කියන්නේ අන්තර්ජාතික භාෂාවයි. එනිසා සිංහල වඳවීමට එය බල නොපායි. ඉංග්‍රීසි අන්තර්ජාතික භාෂාව නිසා ලෝකයේ ජීවත්වීමට සිංහල කෙසේවෙතත් ඉංග්‍රීසි දැනගත යුතුමය.”
ඔබ තවමත් සිටින්නේ මෙතැන නම් මම මෙලෙස අසන්නම්. “සිංහල හෝ ජපන් බස හෝ චීන බස අන්තර්ජාතික භාෂාව නොවී ඉංග්‍රීසි අන්තර්ජාතික භාෂාව වූයේ ඇයි? එසේත් නැත්නම් එය අන්තර්ජාතික භාෂාව වීමටම බිහි විනිද? එසේත් නැත්නම් දෙවියන් විසින් මෙය අන්තර්ජාතික භාෂාව ලෙස භාවිතා කිරීමට පවසන ලද්දේද?”
මෙයට පිළිතුර ඉතාම පැහැදිලියි. ඉංග්‍රීසි අන්තර්ජාතික භාෂාව ලෙස ඉබේ පත් නොවිණි. එසේත් නැතිනම් ලෝක ජනගහනය විසින් එය සන්නිවේදනයට ඉතා සුදුසු, ලෝක භාෂාවක් වශයෙන් පිළිගත්තේද නැත. එය වසර සිය ගණනක අධිරාජ්‍යයන් විසින් අවි හා මුදල් බලයෙන් ලෝක ප්‍රජාව මත බලෙන් පටවන ලද්දකි. අදටද එය බටහිර මාධ්‍ය හා සියළුම ක්ෂේත්‍ර වල බටහිර විශේෂඥයින්(specialists) මගින් බලෙන් ලෝක ප්‍රජාව මතට පටවයි. මෙය ඉතා පැහැදිලිව පෙනෙන දෙයකි.

ඉංග්‍රීසි හා සිංහල ගැන සමාජයේ ඉතා වැරදි මත රාශියක්ම ඇත. (ඒ සියල්ල මෙහි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවේ) එයින් වැදගත්ම වැරදි මතයක් වන්නේ “රටක/ පුද්ගලයෙකුගේ මනා සංවර්ධනයට ඉංග්‍රීසි යනු අත්‍යාවශ්‍යයම සාධකයක්” යන්නය. මෙහි අසත්‍යතාවය පෙන්වීමට හොඳම උදාහරණය වන්නේ මුලු ලෝකයටම සංවර්ධනය පිළිබඳ ලෝක සංකේතයක් (a global icon) ලෙස සලකන ජපානයයි. ජපානයට දියුණු වීමට ඉංග්‍රීසි කිසිලෙසත් අත්‍යාවශ්‍ය සාධකයක් වී නැත. ඔවුන් ලෝකය තුල ඔවුන්ගේ අනන්‍යතාවය තවමත් රැකගෙන සිටිති. එසේ නම් අපගේ වැනි රටවල ඇති මේ ඉංග්‍රීසි උන්මාදය කුමක්ද? මෙයට මූලිකම හේතුව යටත්විජිත මානසිකත්වයේ අළු තවමත් මෙරට (හා තවත් මෙරට වැනි රටවල් ගණනාවක) මිනිසුන්ගේ හිත් පතුලේ තැන්පත් වී තිබීමයි. විශ්වවිද්‍යාල ප්‍රජාව තුලද මෙය හොඳින් දක්නට ලැබේ. විශ්වවිද්‍යාල ප්‍රජාව තුල ඇත්තේ බාහිර සමාජයේ පැතිරෙමින්(පතුරමින්?) යන “පහල පංතියේ(low class)ඇමරිකන් ලිබරල් මානසිකත්වයක්” නොව “ඉහල පංතියේ(high class)බ්‍රිතාන්‍ය මානසිකත්වයක්” බව හොඳින් දෘෂ්‍යමාන කරුණකි. (හොඳ අවධානයකින් යුතුව වටපිට බැලුවොත් එය දැකීම අපහසු නොවනු ඇත.) අපි නිදහස් ජාතියක් කියල මහ ලොකුවට ලෝකෙට කිව්වට අපි මානසිකව වහල් ජාතියක්. ඒ වගේම මේ මානසික වහල් බව ඇඟෙන් පිළිකාවක් ඉවත් කරනවා වගේ ඉක්මනට හා බොහොම පරිස්සමෙන් ඉවත් කල යුතුමය. එමෙන්ම ජපානය මෙන් දියුණුවේ හිණිපෙත්තටම යාමට අපට නොහැකි වී ඇත්තේ ඉංග්‍රීසි නොදන්නා නිසා නොව, කිසි දේකට උවමනාවක් නැති කම නිසයි. අපි හැමෝම බලාගෙන ඉන්නේ කව්රුහරි හැම දෙයක්ම කරලා අපේ කකුල් දෙක ළඟට ගෙනත් දෙනකං. ඉංග්‍රීසි දැනගෙන හිටියත් නැතත් මේ කම්මැලිකමෙන් (උවමනාවක් නැතිකමෙන්) මිදෙනකං අපිට ගොඩ ඒමක් නෑ! එනිසා ගැටළුවල සැබෑ මූල හේතුවලට ප්‍රතිකාර නොකර, නැති ප්‍රශ්න, ප්‍රශ්න කරගෙන දඟලන එකෙන් දැන්වත් මිදෙමු!

මෙතැනදී මට එක් කතාවක් සිහිවේ. Dan Brown (Da Vinci Code හි කතුවරයා) විසින් රචිත ප්‍රබන්ධයක් වන Angels and Demons කෘතියේ කතා නායකයා යුරෝපයේ CERN ආයතනයට(න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වූ යුරෝපීය සංවිධානය) යනවා. එහිදී එහි සේවය කරන විවිධ ජාතීන්ට අයත් විද්‍යාඥයින් දැක ඔහු එම ආයතන ප්‍රධානියාගෙන් මේ විවිධ ජාතීන්ට අයත් සියළු දෙනා එකිනෙකා සමග සන්නිවේදනය කරන්නේ කොහොමද කියලා අසනවා. එවිට ඔහුට ලැබෙන පිලිතුර: “විද්‍යාවේ භාෂාව ඉංග්‍රීසියයි. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.” එවිට කතා නායකයාට සිතෙන්නේ “මම හිතං හිටියේ විද්‍යාවේ භාෂාව ගණිතය කියලයි.” මේ සරල සිද්ධිය තුලින් දෘශ්‍යමාන කාරණය ඔබට පෙනෙනවාද?
විද්‍යාව හා තාක්ෂණය භාෂා බැම්මෙන් මිදිය යුතුය; එසේ නොමැතිව යම් භාෂාවක් පැතිරවීමට විද්‍යාව අවියක් ලෙස භාවිතා කරයි නම් එය අමන ක්‍රියාවකි.

***වැදගත්: සිංහල රැකගැනීමටනම් ඉංග්‍රීසි හෙලාදැකිය යුතු බවක් හෝ ප්‍රතික්ෂේප කල යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ. ඉංග්‍රීසි සම්බන්ධ කරුණු දක්වා ඇත්තේ සිංහල ප්‍රවර්ධනය කල හැකි ක්‍රම සඳහා උදාහරණ, අදහස් ආදිය ලබා ගැනීමට පමණි.

මින් මතු කියවීමට පෙර මෙම ප්‍රශ්නය ඔබෙන් අසන්න. “සිංහල ප්‍රවර්ධනය සඳහා මම කර ඇත්තේ මොනවාද? සිංහල පහත හෙලීමට මගෙන් සිදුවී ඇති වැරදි මොනවාද? මෙම ලිපිය කියවීමෙන් පසු මම මෙය අමතක කර දමා නැවතත් පරණ විධියටම ඉන්නවාද? නැත්නම් මම මේ සඳහා ක්‍රියාත්මක වෙනවාද?” (දැන්ම ක්‍රියාත්මක වන්න; ඔබේ සුළු ප්‍රමාදය සදහටම ප්‍රමාදයක් විය හැක.)

ඉතින් දැන් අපිට මේ සඳහා කල හැක්කේ කුමක්ද? මූලිකම කාරණය නම් ඒ ගැන දැනුවත් වීම(being aware) හා අනෙක් හැකි සෑම දෙනාම දැනුවත් කිරීමයි.(දැනුවත් වීමෙන් නවතින්න එපා! බොහෝ දෙනා දැනුවත් වීමෙන් නවතිනවා. ඔබ එසේ නොවන්න.) එමෙන්ම තවත් කල හැකි දේ බොහෝය. එය වෙනමම ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සඳහා ඔබට අදහස් ඇත්නම් එය මෙහි සඳහන් කරන්න. එය අපගේ මව්බස රැකගැනීමට උදව්වක් වේවි.



ලිපිය අවසාන කිරීම සඳහා පහත යුනෙස්කෝ වාර්තාවේ සඳහන් ප්‍රකාශ කීපයක් සඳහන් කිරීමට කැමැත්තෙමි.

“I dream in Chamicuro, but I cannot tell my dreams to anyone, because no one else speaks Chamicuro. It’s lonely being the last one.”
(Natalia Sangama, a Chamicuro grandmother, 1999)

“I speak my favourite language because that’s who I am. We teach our children our favourite language, because we want them to know who they are.”
(Christine Johnson, Tohono O’odham elder, American Indian Language Development Institute, June 2002)

“If you don't breathe, there is no air. If you don't walk, there is no earth. If you don't speak, there is no world.”
(Paraphrased by Akira Yamamoto from a Navajo elder’s words, PBS-TV Millennium Series, Tribal Wisdom and the Modern World, hosted by David Maybury-Lewis, aired on 24 May,1992)



ආශ්‍රිත ලිපි :-
මේ පිළිබඳ යුනෙස්කෝ වාර්තාවක්(pdf)
මේ වාර්තාවම වෙනත් ආකාරයකට
යන්නෙ කොහෙද? මල්ලෙ පොල්!
සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියක්
Daily News පුවත්පතේ පළවූ ලිපියක්
හතර වෙනි තට්ටුවෙන්:
ජාතිද්‍රෝහින්, ඇඟිල්ල හා මම
සිංහල භාෂාව,ලංකා ඉතිහාසය හා මම
තාක්ෂණය , සිංහල ව්‍යාකරණ හා මම

අමතර කරුණු :-
සිංහල භාෂාව ගැන දැන දැනගැනීමට: Sinhalese language
භාෂාත්මක අධිරාජ්‍යවාදය ගැන දැන ගැනීමට: Linguistic imperialism


මේ ලිපිය මම දැනට අවුරුද්දකට විතර කලින් ලියපු එකක්. වැදගත් කියල හිතුන හින්දා ආයෙ පල කලා.

මම හැමෝම . . .

මට ඇත්තටම මේක කොහොම කියන්නද කියල හිතාගන්න බෑ. ඒත් ඒක තමයි කතාව. මේක මට දැන් හිතෙන දේ විතරක් නෙවෙයි; මේක මට දැන් දැනෙනවා. හැබැයි වරදවා වටහා ගන්න එපා හැමෝම මම නෙවෙයි, ඒත් මම හැමෝම෴

සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

Wednesday, April 14, 2010
කලු කපුටා සුදු වන තුරු,
  මෝල්ගහේ දළු ලන තුරු, 
     එකසිය විස්සට දෙසිය විස්සක්
        ආයුබෝ වේවා ෴

හැමෝටම ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සෞභාග්‍යමත් නව වසරක් වේවා!

බුදුදහම කෙටියෙන්...(2)

Saturday, April 3, 2010
පෙර ලිපියට එකතු කිරීමක්...

ධර්මය ඔරුවක් නම්,
එය ඇත්තේ එතෙර වීමට මිස,
කරතබා ගෙන යාමට නොවේ.

              - බුදුරජාණන් වහන්සේ -

බුදුදහම කෙටියෙන්...

Friday, April 2, 2010
යථාර්තය,
විශ්වාසයෙන් අදහන්නට නොව,
අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නටයි.

Earthlings : මිනිස්කමේ නාමයෙන්... (මෙලොව වසන සෑම මිනිසෙකුම අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටියකි)

Sunday, March 21, 2010
If I could make everyone in the world see one film, I'd make them see Earthlings.
   —Peter Singer

මේ පෘථිවි තලය මත වසන සියළුම පෘථිවිවාසීන් අතුරින් උසස්ම තත්වයක සිටින සත්වයා මිනිසායි. මිනිසා අනෙක් සතුන් අභිබවා උසස් වන්නේ ඔහු සතු ධනයවත්, බලයවත්, ඔහු සතු ආයුධ නිසා වත් හෝ අන් කවරක් නිසාවත් නොව ඔහු සතු මිනිස්කම නිසාය; මිනිසකු, තිරිසනෙකුගෙන් වෙනස් වන්නේ මේ උතුම් මිනිස්කම නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ.

ඒත්.... මිනිසුන් යැයි කියාගන්නා අප තුල ඒ උතුම් මිනිස්කම සැබැවින්ම ඇත්දැයි නැවත හැරී බැලීමට දැන් කාලය එළඹ ඇත. යුක්තිය, සාධාරණත්වය, අයිතිවාසිකම් හෝ සමානාත්මතාවය ගැන අපි කෙතරම් හයියෙන් කෑ ගැසුවත්, ඒ ගුණාංග කිසිවක් අප තුලවත් සැබැවින්ම ඇත්දැයි ඇත්තෙන්ම සැක සහිතය.

මේ පොළාව මත වසන එකම පෘථිවිවාසියා මිනිසා නොවේ; අපත් සමග මේ පොළාවේ තවත් අපගේ සහෝදර පෘථිවිවාසීන් මිලියන-බිලියන ගණනක් වාසය කරයි. එමෙන්ම මිනිසා යනු මේ පොළොවේ අයිතිකාරයාද නොවේ; සැබැවින්ම අප මේ පොළාව මත වසන තවත් එක් සත්ව කොට්ඨාසයක් පමණි.

නමුත් තමන්ගේ අසිරිමත් බුද්ධි මහිමයේ බලයෙනුත්, එයින් නිර්මාණය කරගත් මහා ව්‍යසනකාරී බලවත් අවිආයුධ වල බලයෙනුත් ඔද වැඩී සිටින මිනිසා ඔහු සතු ඒ අසීමිත බලයෙන් අනෙක් සහෝදර පෘථිවිවාසීන්ව ඉතාමත් අධම ලෙස පාගාගෙන සිටියි. ඔහු තම සහෝදරයින්ට සලකන්නේ තමන් වෙනුවෙන්, තමන්ගේ පරිභෝජනයට ඇති හුදු භාණ්ඩ ලෙසයි. ඉතාමත් කුහක, ආත්මාර්ථකාමී ලෙස තමන්ගේ හුදු සුඛවින්දනය සඳහා තමන් සමග මෙලොව වසන අනෙක් සහෝදර පෘථිවිවාසීන්ගේ ජීවිත, හැඟීම් සමග නින්දිත ලෙස සෙල්ලම් කරන්නේ මිනිසායි. ශිෂ්ටත්වය, සභ්‍යත්වය වැනි අලංකාර වචන වලින් අප වසාගන්නට උත්සාහ කරනා ගඳගහන සත්‍යය එයයි.

මේ ඇඟිල්ල දික් වන්නේ වෙන කිසිවකුට නොව ඔබටත්, මටත්ය. ඔව්! මමත් එයට වගකිව යුතුය; ඔබත් එයට වගකිව යුතුය! අපට කීමට නිදහසට හේතු තවත් ඉතිරිව නැත.

Earthlings - උසස් යැයි කියාගන්නා මිනිසාගේ මේ නින්දිත ක්‍රියාවන් දෙස විවෘත මනසකින් බැලීමට අපව යොමුකරන චිත්‍රපටියකි.
Earthlings - අප තුල සඟවාගෙන සිටින ඒ උතුම්වූ මිනිස්කම නැවත පිටතට ගැනීමට අපව යොමු කරවන චිත්‍රපටියකි.
Earthlings - Pets, Food, Clothing, Entertainment හා Science යන කාණ්ඩ යටතේ මිනිසුන් යැයි කියාගන්නන් විසින් තිරිසනුන් යැයි හංවඩු ගසන ලද්දන්ට සිදු කරන තිරිසන් ක්‍රියාවන් ගැන ඇස් ඇරවන චිත්‍රපටියකි.

එනිසා අනිවාර්යයෙන්ම Earthlings බලන්න; ආත්මාර්ථකාමී නොවන්න; ඔබේ මිනිස්කම අරුත් ගන්වන්න; මෙලොව ඇති ඒ උතුම් වූ ජීවයට හිමි නිසි ගෞරවය ලබා දෙන්න; නියම මිනිසෙක් වන්න; මේ පණිවිඩය අනෙක් අයටත් දෙන්න.

Trailer එකක් බලන්න


Unrated Earthlings Trailer from NATIONEARTH on Vimeo.
The following trailer contains graphic footage of animal abuse. Viewer discretion is advised.


තවත් Trailer එකක් බලන්න: http://www.youtube.com/watch?v=X8zC2fEJXNc

Earthling නිල වෙබ් අඩවිය: http://www.earthlings.com

ටොරන්ට් (Special Extended Edition) (මේ දෙකේම තියෙන්නේ එකමයි; කැමති එකක් ගන්න):
1. https://kat.cr/earthlings-2006-special-extended-edition-dvdrip-eng-12-l-t5676730.html

2. https://thepiratebay.mn/torrent/5346640/Earthlings_%5B2006%5D_%5BSpecial_Extended_Edition%5D_DvDrip_%5BEng%5D___12_l

විකිපීඩියා පිටුව: http://en.wikipedia.org/wiki/Earthlings_%28documentary%29

Facebook: http://www.facebook.com/pages/Earthlings/50186143870

Twitter: http://twitter.com/EarthlingsMovie

ටී - රෙක්ස් සහලක්ෂණය (T-Rex Syndrome) ඔබටත් තිබෙනවාද?

Saturday, February 20, 2010
ජුරාසික් පාක් බලල තියෙනවා නම් ටී-රෙක්ස් කියන්නෙ මොකාද කියල දන්නවානේ! ඌ තමයි මම හිතන විධියට වැඩියෙන්ම ජනප්‍රියම ඩයිනසෝරයා.

ඔය පල්ලෙහායින් ඉන්නෙ පොර තමයි.

 

හැබැයි ඉතින් මේ කියන්න යන්නෙ ඌ ගැනනම් නෙවෙයි. ඌ සම්බන්ධ මිනිස්සුන්ගෙ දෙයක් ගැනයි!

සමහරුන්ට මේක හොඳ විහිලුවක්!(මටත් මේක හොඳට හිනායන විහිලුවක්)
සමහරුන්ට මේක කරදරයක්(විශේෂයෙන් කාන්තා පාර්ෂවයට)

එහෙනම් තවදුරටත් මේක පටලන්නෙ නැතුව බලමුකෝ!

මුලින්ම ඔය ටී-රෙක්ස්ගෙ අත් දෙක දිහා බලන්න. ඒවගෙ උරහිස ලඟින් ඇඟට ඇලිල වගේනෙ තියෙන්නෙ. මූට ඉතින් ඔය අත් දෙකෙන් කරන්නෙ වැලමිට ගාව ඉඳං තියෙන ටික වනන එක විතරයි!

දැන් ටිකක් මතක් කරලා බලන්න බහුතරයක් කාන්තා පාර්ෂවයේ අය තමන්ගෙ අත් තියාගන්න විධිය, ඊට වඩා ලොකු වෙනසක් තියෙනවාද? ("අනේ, එපා මෙයා!" කියල පොඩි තට්ටුවක් දාන කොට එහෙම ඒ අත් වැඩකරන විධිය මේකට උදාහරණයක්) පල්ලෙහා රූපෙත් බලන්නකෝ! (කැත උනාට ගනන් ගන්න එපා, මමනෙ ඇන්දෙ!)

 
දැන් තේරෙනවා නේද මොකක්ද මේ ටී-රෙක්ස් සහලක්ෂණය කියන්නෙ කියල!

අපේ ගෑනු උදවියටනම් මේකට සංස්කෘතික කාරණා එහෙමත් බලපාල තියෙනවා, මොනවා උනත් මේක එක එක ප්‍රමාණ වලින් ඒ හැමෝටම වගේ තියෙනවා!

තව ටිකක් හිනා වෙන්න ඕනෙ නං පල්ලෙහා තියෙන වීඩියෝ එකත් බලන්නකෝ!


කට්ටිය මේක සිරාවට ගන්න එපා හො‍‍ඳේ!

සිංහයා + කොටියා = ???

Friday, February 19, 2010
lion + tiger = liger උනාට,

සිංහයා + කොටියා = මොකාද? ලයිගර්ද?

ඊට වඩා හොඳ නැත්ද,

සිංහයා + කොටියා = "සිංටියා" කිව්වොත්?

මොකද හිතන්නෙ? ඔය ඉන්නෙ පල්ලෙහායින් සිංටියෙක්!


සිංටියො ගැන වැඩි විස්තර: http://en.wikipedia.org/wiki/Liger

උබුන්ටු සිංහලෙන්! – Ubuntu in Sinhala

Monday, February 15, 2010
මේක නම් ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ඒත් දන්නෙ නැති අයත් ඉන්න නිසා ඕං එහෙනං!

(මේ ලියන්නෙ උබුන්ටු 9.10 පද්ධතියක විධියටයි)

ලිනක්ස් මෙහෙයුම් පද්ධති අතරින් ජනප්‍රියම එකක් වන උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සිංහල භාෂාවෙන් භාවිතා කරන්න දැන් අපිට පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි.

මුලින්ම අපි පද්ධතියට සිංහල ස්ථාපනය කරගන්න ඕනෙ. ඒකට මේ සබැඳියෙන් ගිහිල්ලා කියන විධියට කරන්න : http://www.siyabas.lk/sinhala_how_to_install.html#lin

ඊළඟට උබුන්ටු වල ප්‍රධාන මෙනුවෙන් System –> Administration –> Language Support වලට යන්න.


ඔයා ඒකට යන්නෙ පළවෙනි වතාවට නම් මේකෙ භාෂා තොරතුරු යාවත්කාලීන කරන්නද කියල ඔයාගෙන් අහයි. ඒකට හා කියන්න. එතකොට අන්තර්ජාලයෙන් ඒක යාවත්කාලීන වෙයි.(මේ වැඩේට ටික වෙලාවයි යයි.) ඊට පස්සෙ පල්ලෙහා රූපෙ තියෙන සංවාද කොටුව ලැබෙයි.


මුලින්ම ඒකෙ තියෙන “Install/ Remove Languages…” බොත්තම ඔබලා එන සංවාද කොටුවෙන් “Sinhala; Sinhalese” යන්න තෝරලා ඒකට හරියක් දාලා “Apply Changes” බොත්තම ඔබන්න.


ඊට පස්සෙ “For menus and windows, use:” වලටයි “For everyone at startup and login, use:” වලටයි “Sinhala; Sinhalese” කියල තෝරන්න. පහළ රූපෙ විදියට.


ඊළඟට මේ කවුළුව වහලා logout වෙලා නැවත login වෙන්න.(login තිරයේ ඒවා වෙනස් වෙන්න නම් restart කරන්න වෙයි) දැන් ඔයාගෙ උබුන්ටු පද්ධතිය තියෙන්නෙ සිංහලෙන්!!
වැදගත්:
මේ මට්ටමට හරි උබුන්ටු සිංහල වලට පරිවර්තනය කලේ ඔබත්, මමත් වැනි උබුන්ටු පාවිච්චි කරන, සිංහල වලට ආදරේ කරන අය විසින්. ඒ වගේම උබුන්ටු වල තව ගොඩාක් දේවල් පරිවර්තනය කරන්න ඉතිරිවෙලා තියෙනවා. මෙම ලිපිය පල කරන දවස වෙන කොටත් මුළු පරිවර්තන(උබුන්ටු වල විතරක්) වලින් 10%ක් වත් ඉවර කරල නෑ!
ඉතින් අපි තව ගොඩක් දුර යන්න තියෙනවා. ඒකට පුළුවන් හැම දෙනාගෙම උදව්/ සහාය ඕනෙ කරනවා. මේක සම්පූර්ණයෙන් පරිවර්තනය කරන එක කව්රු හරි එක්කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි; මේක ගොඩ දෙනෙක්ගෙ සාමූහික වැඩක් විදියටයි වෙන්න ඕනෙ. ඒ හිංදා හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ පුළු පුළුවන් විධියට පරිවර්තනය කරන්න දායක වෙන්න කියලයි. ඒ වගේමයි මේක ගැන අනික් අය දැනුවත් කරන්නත් අමතක කරන්න එපා!

ඉතින් උබුන්ටු (හා තවත් බොහෝ නිදහස් හා විවෘත කේත මෘදුකාංග) පරිවර්තනය කරන්න කැමති අය පහළ තියෙන සබැඳි බලන්න.

උබුන්ටු පරිවර්තනය කරන්න මේ පිටුවට යන්න : Sinhalese translations: Ubuntu

උබුන්ටු සිංහල පරිවර්තන සම්බන්ධීකරණය කරන්නේ : උබුන්ටු සිංහල පරිවර්තකයෝ

සිංහල පරිවර්තන මගපෙන්වීම් (Guidelines) : පරිවර්තන මගපෙන්වීම්

තවත් දේවල් පරිවර්තනය කරන්න මේ පිටුවට යන්න : Software translations

එහෙනං හැමෝටම සුභ පරිවර්තන කියල කියන ගමන් මං නවතිනවා! ජය!!!
Related Posts with Thumbnails