අමුතු සතා (3) - භෞතිකවාදී හා විඥ්ඥානවාදී සංකල්ප අතරට මෙන්න මගෙන් තවත් එකක්!

Monday, June 29, 2009
මේ ලිපිය කියවන්න කලින් පහත ලිපි දෙක කියවලා ඉන්න. නැත්නම් සමහර විට තේරෙන්නෙ නැති වෙයි.
1) අමුතු සතා - (ඔබත් මමත් කොටස්කාරයන් වන අමුතුම අමුතු සතා)
2) අමුතු සතා (2) - සෛලයේ දේශපාලනය

දැන් ඔබ දන්නවා මගේ මේ කතාවට(තියරියට/ප්‍රවාදයට - කැමති විධියකට ගන්න) අනුව යම් සත්වයින් එකතුවකින් තවත් වෙනස්ම සත්වයෙක් නිර්මාණය වෙන්න පුළුවන් බව. දැන් මම යන්නේ මේ තියරිය ආපස්සට යොදන්නයි. එයින් අපට අමුතුම ආකාරයේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මෙම ප්‍රතිඵලය මගින් භෞතිකවාදය හා විඥ්ඥානවාදය යන ලෝකය පැහැදිලි කරන තියරි වලට සමගාමී වෙනස්ම අළුත් තියරියක් ව්‍යුත්පන්න කරගන්න පුළුවන්.

මෙතැනින් එහාට කියවන්න කලින් එක දෙයක් කියන්න ඕනෙ. මෙය සමහරවිට ඔබට විකාරයක් ලෙස දිස්වීමට පුළුවන. නමුත් ඔබේ මනස විවෘත කර බලන්න. එවිට ඔබට කුමක් හෝ දෙයක් පෙනේවි. අනික මම මේ කතා කියන්නේ නිරපේක්ෂ සත්‍යය ලෙසට නොවේ. තවත් එක් අදහසක් ලෙසට පමණි.

මෙන්න මේකයි වැඩේ! සමාජය කියන ලොකු සතා හැදිලා තියෙන්නේ මිනිස්සු කියන පොඩි සත්තුන්ගෙනි. මිනිස්සු කියන සත්තු හැදිල තියෙන්නේ සෛල කියන ඊටත් වඩා පොඩි සත්තුන්ගෙනි. දැන් හිතන්න මේ සෛල හැදිල තියෙන්නෙ ඊටත් වඩා පොඩි සත්තුන්ගෙන් කියල.(මයිටකොන්ඩ්‍රියා, සෛල න්‍යෂ්ටිය, රයිබෝසෝම වගේ දේවල්) ඊලඟට මේවා හැදිලා තියෙන්නෙත් ඊටත් වඩා පොඩි සත්තුන්ගෙන් කියල හිතන්න. මෙහෙම මේ තියරිය ආපස්සට යොදාගෙන යොදාගෙන ගියහම අපිට ලැබෙන්නේ මොකක්ද? එනම් විශ්වයේ තැනුම් ඒකක වන පරමාණුක හා උප පරමාණුක අණු යනුද ජීවීන් බවයි!

(දැන් ඉතින් ඕං තව ප්‍රශ්න වැලක් එන්න ඇති ඔබේ ඔළුවට. ඒ ඔක්කොටෙම මෙතන ඉඩ තියෙනවා. ප්‍රශ්න හිතේ තියං ඉන්නේ නැතිව මෙතන සටහන් කරන්න) දැන් අපි බලමු මෙයින් ලෝකය තේරුම් ගන්නේ කොහොමද කියලා. දැන් ඉලෙක්ට්‍රෝන වගේ දේවලුත් සත්තු හිංදා(ප්‍රජනනය වගේ දේවල් නැති වුනාට - අනික මම ජීවය දකින්නේ ස්වයං වෙනස්වීමක් සිදුකල හැකි පද්ධතියකටයි - එයින් මේ විශ්වයේ අනිවාර්යය ලක්ෂණයක් බවට අහඹුබව(randomness) පත්වෙනවා.) ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ සතුන්ට ඕන විධියටයි. (මේ කාරණය ක්වොන්ටම් යාන්ත්‍රණය ගැන යම් වැටහීමක් තියෙන අයට තේරුම් ගන්න පුළුවන් වෙයි. - ඉලෙක්ට්‍රෝන ඇතුලු සියළු පදාර්ථයන්/වස්තූන් ගේ අවකාශ-කාලය තුල හැසිරීමේ අවිනිශ්චිතතාවය ගැන සිහියට නගා ගන්න.) ඉතින් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදී වූ විවිධාකාර වූ සත්වයින් කෝටි ප්‍රකෝටි ගණනකින් සෑදී ඇති අපි යනු මේ සියලු කෝටි ප්‍රකෝටි සත්වයින්ගේ සියල්ලේ හැසිරීමේ අති සංකීර්ණ ප්‍රතිඵලයන් වේ. තව අපි ජීවීන් විධියට නොහඳුන්වන අජීවී වස්තූන් (කළුගල් වගේ දේවල්) ගැනත් ප්‍රශ්නයක් මතු වෙනවා. ඉතින් අපි මේකත් පැහැදිලි කර ගමුකෝ! දැන් අපි දන්නවානේ එකම රසායනික සූත්‍රය තියෙන සංයෝග දෙකක් ගමු. දැන් ඒ දෙකේ පරමාණු සැකැසී ඇති ආකාරය වෙනස්නම්(උදාහරණයක් ලෙසට සංයෝග වල සමාවයවික සිහියට ගන්න) ඒ සංයෝග දෙක පෙන්වන්නේ වෙනස්ම ගති ලක්ෂණ. දැන් ඉතිං මේකෙන් ඒ ප්‍රශ්නෙටත් පිළිතුර ලැබුනා කියලා හිතනවා.

දැන් අපි මේක තවදුරටත් පැහැදිලි කරගමු. සමහරුන්ට තවමත් මේක භෞතිකවාදයේම(materialism) විස්තීරණයක් ලෙස දකින්න පුළුවන්. නමුත් මේක හොඳින් පැහැදිලි කරගත යුතුයි. එනම් භෞතික වස්තූන් හා ජීවීන් යනු දෙකක් ලෙස මෙහිදී සැලකෙන බවයි. එනම් භෞතිකවාදයේදී සියල්ල පදාර්ථ වන අතර මෙම තියරියේදී (අපිට ඕනෙ නම් මේකට ජීවවාදය(lifeism) කියල කියන්නත් පුළුවන්! - මේ නම හොඳද? වෙන හොඳ නමක් මතක් වෙනවා නම් ලියල යන්න) සියල්ල ජීවීන් වේ. සමහර විට ජීවීන් හා පදාර්ථ යන දෙකෙහි වෙනස ඔබට දැකීමට අපහසු වේවි. (ඔබට සමහර විට ජීවීන් යනුත් පදාර්ථ වලින් සෑදී ඇති දේ යනුවෙන් සිතීමට පුළුවන.) නමුත් පොඩ්ඩක් ඔබේ මනස විවෘත කර ගැඹුරින් බලන්න. එවිට වෙනස පැහැදිලි වේවි. (පදාර්ථ හා ජීවීන් ගැන සංකල්ප(එනම් පදාර්ථ යනු මෙවන් ගති ලක්ෂණ ඇතිදේය, ජීවීන් යනු මෙවන් ගති ලක්ෂණ ඇති දේය යනුවෙන් ඇති දැනුම) යනුද අප විසින් වියුක්තකරණය මගින් නිපදවන ලද දේ බව මතක තබා ගන්න. එය මෙම වෙනස දැකීමට උදව්වක් වේවි.)

13 ක් වූ ප්‍රතිචාර:

chamila_dealwis said...

මම කලින් ලියපු දේම extend කරලා මෙතනට ගන්න පුලුවන්.

නොදන්නා අංශු එකතු වීමෙන් පරමාණුක අංශුත් පරමාණුක අංශු එකතු වීමෙන් පරමාණුත් ලෙස ඇදී යන මෙම දම්වැල තුල ජීවී අජීවී බව වෙන් කරන පැහැදිලි රේඛාවක් තිබෙන බවයි මගේ විශ්වාසය. කලින් තිබුන සෛල කතාවම ගනිමු. තනි තනිව ගත්තාම සෛල වලට තිබෙන කර්තව්‍යය තේරුමක් නැහැ වගේ(උදා:මොලයේ සෛල රසායන ද්‍රව්‍ය එකතු කරගෙන ඉඳලා යම් මට්ටමකට ආවාට පස්සේ අග්‍රයෙන් රසායනිකයක් පිට කරනවා. මෙය තනිව සිටින මොලයේ සෛලයක ජීව ක්‍රියා වලට කිසිම විදියකින් ප්‍රයෝජනයක් නැති දෙයක්) නමුත් මොළයේ සෛල සියල්ලම එකතු වී සෑදෙන මොළය පුදුම සහගත මෙන්ම ජීවියාගේ පැවැත්මට අත්‍යවශ්‍යම අංගයක්. ඉතින් මෙතනම උත්තරය තිබෙනවා නේද?

තනි තනිව තිබෙන සෛල එකතු වී සංකීර්ණ ජීවියෙකු සෑදීමේ ක්‍රියාවට හේතු වෙන්නේ කුමක් ද කියන එක වැදගත්. සමහර විට බුද්ධාගමෙ පැවසෙන තන්හාව කියන දේ අදාල වෙන්නේ මෙතනට වෙන්න පුලුවන්. සමහර විට නැති වෙන්නත් පුලුවන්. නමුත් තනි සෛලයක සිදු වෙන්නේ ජීවයක් පවත්වගෙන යාමකට වැඩිය යාන්ත්‍රික කටයුතු සිදුවීමක් විදියට සිතන්න පුලුවන්. සෛල එකතු වී සෑදෙන සංකීර්ණ ජීවින් ජීවයක් පවත්වාගෙන යන්න පුලුවන් හැම දෙයක්ම කරනවා.

රන්දික said...

@chamila_dealwis

මමත් කලින් ලියපු දේම extend කරලා මෙතනට ගන්න පුලුවන්.

//නමුත් තනි සෛලයක සිදු වෙන්නේ ජීවයක් පවත්වගෙන යාමකට වැඩිය යාන්ත්‍රික කටයුතු සිදුවීමක් විදියට සිතන්න පුලුවන්//

එහි නොමැති 'ජීවය', එවැනි යාන්ත්‍රික කොටස් මිලියන ගණනනක එකතුවක් වන තවත් විශාල යන්ත්‍රයක තිබේ යැයි ඔබ සිතනවාද? තනි සෛල 'යන්ත්‍ර' යැයි කියන ඔබ ඒවාගේ එකතුවට 'ජීවියා' යැයි ව්‍යවහාර කරන්නේ ඇයි?

ජීවන්ත said...

@රන්දික,
ඔබේ කාබන් යන්ත්‍ර පිළිබඳ සංකල්පයේ අනික් පැත්තක් විධියට මේක ගන්න පුළුවන්. ඔබේ මුල් ලිපියට මම කමෙන්ටයක් දැම්මා. ඒක මෙතැනත් දාන්නම්.

මනස පිළිබඳ මගේ කියැවීම මෙතනින් බලන්න. ඔබගේ මේ කතාව සම්බන්ධව සමහර විට එයිනුත් යමක් ගතහැකි වේවි. (http://trueorcrazy.blogspot.com/2009/02/blog-post_8363.html)

අනික මෙහෙම දෙයකුත් තියෙනවා. ඒක අපේ දැනුම සම්බන්ධ දෙයක්. අපි ඉගෙන ගන්නේ ස්වභාවධර්මය(දැනට අපිට දකින්න, අහන්න, දැනෙන දේ ආශ්‍රයෙන්) අධ්‍යයනය කරලා.(95% කට වැඩිය) ඉතින් අපි කරන නිර්මාණ ස්වභාවධර්මයේ අනුරූ වීමට ඇති ඉඩකඩ ගොඩක් වැඩියි නේද? උදාහරණයක් විධියට අද ඉන්න පුද්ගලයෙක්ට අපි අපට ප්‍රවාහනය දෙන යන්ත්‍රයක් හදන්න කිව්වොත් ඒ පුද්ගලයා හදන යන්ත්‍රය අද අපිට දකින්න තියෙන තාක්ෂණය ඇසුරෙන් අද දකින්න තියෙ වාහනයක ආකාරයට නිපවීමට 99% කටත් වඩා ඉඩ තියෙනවා. අනික අද වන විට සමස්ථ විද්‍යා දැනුම පද්ධතියේම පදනම බවට භෞතික විද්‍යාව පත්වෙමින් තිබෙනවා. (උදාහරණයක් විධියට රසායන විද්‍යාව යනු භෞතික විද්‍යාව මත පදනම් වූ විද්‍යාවක් - සහ භෞතික විද්‍යාව කියන්නේ මේ ස්වභාවධර්මය තේරුම් ගැනීම සඳහා වූ මිනිසාගේ දැවැන්ත උත්සාහයකි.) එතකොට අද අප නිපදවන ක්‍රියාකාරී දේවල් වලට අපි යන්ත්‍ර කියනවා. ඉතින් මට හැ‍ඟෙන විධියට ඔබ මේ කර තිබෙන්නේ අද අප භාවිතා කරන වචන ආපස්සට යෙදීමක්. ඒ කියන්නේ යම් පදනම් සංකල්පයකින් තවත් සංකල්පයක් ව්‍යුත්පන්න කල පසු ව්‍යුත්පන්න සංකල්පය මගින් පදනම් සංකල්පය පැහැදියි කිරීමට යාමක් වැනි දෙයකි. මේ ගැන මොකද හිතන්නේ? (මම කියන්න උත්සාහ කරන දේ පැහැදිලියි කියල හිතනවා)

chamila_dealwis said...

1)අප ඉගෙන ගන්නේ ස්වභාව ධර්මය අධ්‍යයනය කරලා
2)අප නිපදවන දේ ස්වභාවධර්මයේ අනුරූ

ඒ කියන්නේ අප නිපදවන දේ සඳහා භාවිතා කරන abstraction ස්වභාවධර්මයේම සංකල්ප වල abstraction වෙන්න බැරිද? දෙපැත්තටම වැඩ කරනවා එතනදි.
පදනම් සංකල්පයෙන් ව්‍යුත්පන්න සංකල්පයක් මගින්ම පදනම් සංකල්පය පැහැදිලි කරන්න බැරි ද?

ඒ අනුව රන්දික,
ඉලෙක්ට්‍රෝන පරමාණුවක ඇති ප්‍රමාණය අනුව එක් එක් පරමාණුවේ ගුණ වෙනස් වෙනවා. නමුත් තිබෙන්නේ එකම ඉලෙක්ට්‍රෝන. එතනදි තනි තනි ඉලෙක්ට්‍රෝන වල නැති ගුණාංග කිහිපයක් ඉස්මතු වෙනවා. එතකොට තනි තනිව තිබූ දේවල් එකතු වූ පසුව කලින් තිබුන ගුණාංග හැර වෙනත් ගුණාංග දක්වන්න බැහැ කියන දේ අහෝසි වෙනවා නේද?

සුස්ති ගුණේ said...

බොස්, අර ජේම්ස් ලව්ලොක් ගෙ GAIA Theory එකත් ඔය බොස් කියන කතාව වගේ එකක් නේද?? ඒකෙම extension එකක් වගෙ කතාවක් නෙ ??

ප්‍රදීප් ලසන්ත said...

කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නෙ ජීවය කියන්නෙ භෞතික වස්තූන්ගෙ එක්තරා හැසිරීමේ ආකාරයක් පමණක් කියලයි මටනම් හිතෙන්නෙ....

ඩප්පි සිරා said...

සෑර්.. සෑරුත් ඉඳලා ඉඳලා කොරන්නේ මාර ජෝක්ස් තමා. මේකනෙ සෑර් කතාව. මෙව්වා නිකං අරහෙන් මෙහෙන් වනලා හරියන්නේ නැහැ. සෑර් ගේ ඔය තියරියෙන් පුලුවංද ඩේවිඩ් ට පිලිකා හැදෙන්නත් ජෝන් ට නොහැදෙන්නත් හේතුව පැහැදිලි කරන්න, මොඩර්න් මෙඩිකල් තියරියට වඩා හොදට?? එහෙමත් නැත්නං සමහර සමාජ මරාගන්න කොට තව සමාජයක් සාමකාමිව ගැටුම් නිරාකරනය කරගන්නෙ ඇයි කියල විස්තර කරන්න?? අන්න එහෙම පුලුවං නං කියන්ඩ සෑර්.

අනික සෑර් ජීවය අර්ත දක්වල පොදු සම්මුතියකට එන්නේ නැතිව නිකං බයිල කියල වැඩක් නැහැ නේ. Erwin Schrödinger ලිව්ව් What Is Life? පොතක් ,දන්නවද සෑර්? අපි නං බජාර් එකේ ආතල් පොරවල් හින්ද ඔව්ව කියවන්න වෙලාවක් නෑ..

රන්දික said...

@chamila_dealwis

//එතකොට තනි තනිව තිබූ දේවල් එකතු වූ පසුව කලින් තිබුන ගුණාංග හැර වෙනත් ගුණාංග දක්වන්න බැහැ කියන දේ අහෝසි වෙනවා නේද?//

මෙවන් අදහසක් මා පළ කොට නැත. මා පැවසීමට උත්සාහ කොට ඇත්තේ මෙයයි. ලීවරය යනු සරල 'යන්ත්‍රයකි'. ලීවර විශාල සංඛ්‍යාවක් එකතු වූ කල වෙනමම හැකියාවන් සහිත දෙයක් බිහිවේ. නමුත් අපි එම බිහිවීම තවත් 'යන්ත්‍ර' යක් ලෙස හඳුන්වනු මිස 'X' යැයි නව ප්‍රභේදයක් සේ සලකන්නේ නැත. නමුත්

"තනි සෛලයක සිදු වෙන්නේ ජීවයක් පවත්වගෙන යාමකට වැඩිය යාන්ත්‍රික කටයුතු සිදුවීමක් විදියට සිතන්න පුලුවන්"

යනුවෙන් තනි සෛලය යාන්ත්‍රික කොටසක් සේ පිළිගන්නා ඔබ එම යාන්ත්‍රික කොටස් වල එකතුවක් සේ ඇති වස්තුවක් 'ජීවී' යැයි වෙනම ප්‍රභේදයක් සේ සළකන්නේ ඇයි?



@ ජීවන්ත,

අදහස් දැක්වීම පිලිබඳ ස්තූතියි. මා සඳහන් කොට ඇති සංකල්පය පිලිබඳ මඳක් පුළුල් රාමුවකින් බැලීම සුදුසු බව නැවත සඳහන් කරමි.

1.) // ඉතින් අපි කරන නිර්මාණ ස්වභාවධර්මයේ අනුරූ වීමට ඇති ඉඩකඩ ගොඩක් වැඩියි නේද?//

මෙය කාබන් යන්ත්‍ර නිර්මාපකයන්ටත් එක සේ බලපෑ හැකි නොවේද? ඔවුන්ගේ නිර්මාණ ඔවුන්ගේ ' ස්වභාවධර්මය' ට අනුරූප විය හැක. අනෙක් අතට ඔබගේ මෙම පිළිතුර තුල 'ස්වභාවධර්මය' නැමැති අඳුරු වචනයද යොදාගෙන ඇත. කරුණාකර 'ස්වභාවධර්මය' පහදන්න.

2.) // අද අප නිපදවන ක්‍රියාකාරී දේවල් වලට අපි යන්ත්‍ර කියනවා//

හරියටම හරි! ඔබම පවසා ඇති ආකාරයට අප නිපදවන ක්‍රියාකාරී දේට 'අපි' යන්ත්‍ර කියනවා. ක්‍රියාකාරී දේවල් , ජීවී/ අජීවී නැමැති දෙකොටසට බෙදා ඇත්තේත් අප විසින්මයි. මේ ගැන ඇන්ත්‍රෑක්ස් සහෘදයා සමඟ කල සංවාදයකදී ඔහු පැවසූ පරිදි ජීවීන්ට නැවත තම වර්ගයා බෝ කර ගැනීමේ හැකියාව ඇති අතර අජීවී වස්තූන්ට එම හැකියාව නැත. එසේ නම් නැවත තමා වැනිම රොබෝවෙකු නිපදවිය හැකි රොබෝවෙක්(වොන් නියුමානු යන්ත්‍රයක් ) ජීවියෙකි.
මා මෙහි පැවසීමට උත්සාහ කරන්නේ මෙයයි. අප නිපදවන ක්‍රියාකාරී දේ අපට යන්ත්‍ර නම් අපගේ නිර්මාපකයන්ට අප යන්ත්‍ර වේ(මේ පිලිබඳ පුළුල් පරාසයකින් සලකා බලන මෙන් ඉල්ලා සිටිමි ).

3.) ඔබගේම කලින් ලිපියක ඇති කොටසක් උපුටා දක්වමි.

//වඩා සාධාරණ විධියට සලකන්නේ නම් සහජ ඉව යනුද දැනුමකි. එය මූලික පැවැත්ම (basic survival) සඳහා වන දැනුමකි.//

මඳක් සිතා බලන්න. 'සහජ ඉව' යන්න කොහෙන් පහල වන්නක්ද? ( බිලිඳාට කිරි උරා බොන්න යැයි උගන්වන්නේ කව්ද?) . මෙය ඒ ඒ 'සත්ව' වර්ගයාගේ මොළ තුල , නිශ්පාදනයේදීම නියුරෝන කේතනය කිරීමේ අවස්ථාවක් නොවේද?

ජීවන්ත said...

{මේ comment එක කොටස් දෙකකට ලියැවේ.(දිග වැඩි නිසා) මෙය තරමක් දීර්ඝ වීම ගැන සොරි වෙන්න ඕන.}

@සුස්ති ගුණේ,
GAIA Theory එක ගැන දැනුවත් කල එක ගැන ස්තූතියි. මම ඒක ගැන කලින් දැනගෙන හිටියේ නෑ. නමුත් මගේ කතාව ඊට වඩා පොඩ්ඩක් වෙනස් වගේ. GAIA Theory එක top-down ක්‍රමයෙන් ලොව පැහැදිලි කරන අතර, මගේ කතාව ගොඩනැගෙන්නේ bottom-up ක්‍රමයටයි. නමුත් මෙහිදී ප්‍රධාන(ම) කාරණයක් වන්නේ විශ්වයේ තැනුම් ඒකකය පදාර්ථ නොව ජීවය බව පැවසීමයි. GAIA Theory එකේ එවැනි දෙයක් නෑ වගේ.

@රන්දික,
ස්වභාවධර්මය සඳහා මම මෙහෙම කියන්නම්. ඔබ ඔබේ සංවේදක (ඇස, කණ, නාසය ආදී) වලින් ග්‍රහණය කරගන්නා දේ ස්වභාවධර්මයයි. අපි මේකත් පොඩ්ඩක් පැහැදිලි කරගමු. අපි මොන යන්ත්‍රය හැදුවත් අපි හදන යන්ත්‍ර භෞතික විද්‍යා නියම අනුවයි ක්‍රියා කරන්නේ. කිසිම විටකදී එම නියම ඉක්මවා යාමක් සිදු වෙන්නේ නෑ. නමුත් භෞතික විද්‍යා නියම යනු ස්වභාවධර්මය (ඉහත අර්ථදැක්වීම ගන්න) වියුක්තකරණය කිරීමෙන් ලබා ගන්නා ප්‍රතිඵල වේ. එනම් යන්ත්‍රය කෙතරම් කෘත්‍රීම යැයි පැවසුවත් ඒවා ක්‍රියාත්මක වන්නේ ස්වභාවික නියම වලට අනුකූලවයි. එයින් මිදීමක් ඇත්තේ නෑ.

ජීවය ගැන මගේ දැක්ම මම මෙහි පවසා තිබෙනවා. එයට අනුව ජීවය යනු ස්වයං වෙනස් වීමක් සිදුකල හැකි පද්ධතියකි. එහි ප්‍රජනනය අත්‍යවශ්‍ය සාධකයක් විධියට දක්වලා නෑ. නමුත් මෙම ස්වයං වෙනස් වීම සඳහා බුද්ධිය අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් කැරපොත්තෙක්ට තරං වත් බුද්ධියක් ඇති යන්ත්‍රයකට ජීවියෙක් කියන්න මම සූදානම්. (බුද්ධියේ ලක්ෂණ සඳහා මගේ දැනුමයි-බුද්ධියයි ලිපිය බලන්න) නමුත් මෙය පහසු කාරණයක් ලෙස මම නොදකිමි. කිමද ස්වයං වෙනස්වීම් සඳහා තමන්ගේ මෘදුකාංග තමන්ටම නිපදවාගැනීමේ හැකියාවක් ඇති යන්ත්‍ර බිහි විය යුතුය. (මේ සඳහා පෙර සඳහන් කර ඇති දැනුමයි-බුද්ධියයි ලිපියේ ඇති කරුණු ගැන ගැඹුරින්(ඇයි? කොහොමද? ආදී වශයෙන්) හිතා බලන්න.)

සහජ ඉව ගැන මෙහෙම පැහැදිලි කරගමු. මගේ සීයා, මගේ තාත්තට යම් යම් දේ කියල දුන්නා; මගේ තාත්තා මට යම් යම් දේ කියල දුන්නා; මමත් මගේ ළමයින්ට(තාම නැති උනත් - මම තාම පොඩි එකානේ! හික්ස්!) යම් යම් දේ කියල දෙනවා. මෙහෙම එක් පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට දැනුම සම්ප්‍රේෂණය නොකලා නම් අළුත් පරම්පරාවට හැම දෙයක්ම මුල ඉඳලම කරන්න වෙනවා. එතකොට එම සමාජයේ කිසිම ප්‍රගමණයක් නෑ. හැමදාම එකම තැන පල් වෙනවා. එනිසා දැනුම ඉදිරි පරම්පරා සඳහා සම්ප්‍රේෂණය අත්‍යවශ්‍යයයි. පෙර පාසලේ සිට විශ්වවිද්‍යාල දක්වා ඇති ආයතන ඇත්තේ එයටයි. එමෙන්ම විශ්වවිද්‍යාල වැනි ආයතන වලට පෙර සිටම ජීවීනුත් ඒ සඳහා ක්‍රමයක් අනුගමනය කරනවා. එය සහජ ඉවයි. මෙය අපි තව දුරටත් පැහැදිලි කර ගමු. මිනිස්සු වන අපි අද ඉන්න විධියට එකපාරටම පහල උනේ නෑනේ! ඒක සෛලික ජීවීන්ගෙන් පටන්ගෙන විවිධ අවධීන් පසු කර අවුරුදු මිලියන ගණනක සිදුවූ අති සංකීර්ණ ක්‍රියාවලි ගණනක ප්‍රතිඵලයකි අද පවතින්නේ. ‍මෙම පසු කරන ලද සමහර අවධි වල අප හතර ගාතෙන් යන අවස්ථාවන්ද පවතින්නට ඇති. එම කාලයේ සම්ප්‍රේෂණය වූ සහජ ඉවෙහි අඩංගුව තිබෙන්නට ඇත්තේ හතර ගාතෙන් යාම සඳහා දැනුමයි. නමුත් අද වන විට එම දැනුම දෙපා වලින් ඇවිදීම සඳහා වන දැනුමකින් ප්‍රතිෂ්ඨාපනය වී තිබෙනවා. දැන් මේ අවධි දෙක අතර සංක්‍රාන්ති සමය ගැන හිතන්න. ඒ කාලයේ දෙපා වලින් ඇවිදීම ආයාසයකින් සිදුකරන්නට ඇති. එමෙන්ම දෙපා වලින් ඇවිදීම සඳහා වන දැනුම එක් වරම ඇති වූවක්ද නොවේ. එය ටිකින් ටික ඇති වන දැනුමකි. (එනම් මුලින් ඉදිරිපස ගාත්‍රා ඔසවන්නේ කෙසේද යන දැනුම, ඉන්පසු කොන්ද කෙලින් තබා ගන්නේ කෙසේද යන දැනුම ආදී වශයෙන්) ඉතින් සහජ ඉව යනු පෙර නිමියෙන් කේතනය කරන ලද දැනුමක් කියනවාට වඩා අනාදිමත් කාලයක සිට ඉගෙනගත් දේ ඉදිරි පරම්පරා සඳහා සම්ප්‍රේෂණය කිරීමක් ලෙස දක්වන්න පුළුවන්.(එනම් සහජ ඉව යනුද එක්තරා ආකාරයක අධ්‍යාපන ක්‍රමයකි.) එහිදී මේ ගැනත් හිතන්න. දැන් වන විට මිනිසුන්ගේ සහජ ඉව ක්‍රමයෙන් අඩු වෙමින් යනවා. උදාහරණයක් විධියට සතෙක් තමන්ට රෝගයක් වැළඳුනු පසු ඒ සඳහා ගත යුතු ඖෂධ මොනවා දැයි යම් තරමකට සහජ ඉවෙන්ම දන්නවා.(උදා:බඩේ අමාරු හැදුනු වෙලාවට බල්ලන් එක්තරා වල් පැළෑටියක් ආහාරයට ගැනීම හැමෝම දන්නා කරුණකි.) නමුත් අපගේ සහජ ඉවෙන් එම කාරණා ගිලිහී ගොස් තිබෙනවා. මෙයට හේතුව කුමක්ද? සීඝ්‍ර බුද්ධි වර්ධනයත් සමග මිනිසාගේ දැනුම නිෂ්පාදන ක්‍රියාවලිය පෙර නොවූ විරූ ලෙස අතිශය වේගවත් උනා. ඉතින් මේ සියලු දැනුම මූලික පැවැත්ම (basic survival) සඳහා අත්‍යවශ්‍ය දැනුමද නොවේ. එමෙන්ම මේ සියළු දැනුම සහජ ඉව මගින් සම්ප්‍රේෂණය කිරීම අපහසු වන විට ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලි ඇරඹෙන්නට ඇති. මෙම ඉගැන්වුම් ක්‍රියාවලි දිගටම පැවතීමෙන් මිනිසුන් සහජ ඉව නොසලකා හැරීමට පුරුදු වෙනවා. මෙම ක්‍රියාවලිය මිනිසුන්ගේ පමණක් නොව අනෙක් සතුන් තුලද අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්.

ජීවන්ත said...

continued...

දැන් මම ඔබෙන් අසන ප්‍රශ්නය යන්ත්‍රයක්(ඉතාමත් සරල යන්ත්‍රයක්වත්; උදා:ලීවරයක්) බුද්ධිමත් නිර්මාපකයෙකුගෙන්(intelligent designer) තොරව අහඹු ක්‍රියා රාශියක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය නොවිය හැකි යැයි ඔබ විශ්වාස කරනවාද? ඒ ඇයි? (intelligent design යනුවෙන් තියරියක් ඇත. විකිපීඩියාවේ හෝ ගූග්ල් search කර බලන්න) මේ සඳහා මම ලියා ඇති ලිපියක් සඳහා (http://trueorcrazy.blogspot.com/2009/04/blog-post.html) බලන්න. (මෙම ලිපිය සඳහා පදනම් වූ ලිපි සදහා අන්තර්ජාලයේ විදුසර පුවත්පතේ වෙබ් අඩවියේ 2008-ජූනි ආසන්න දිනවල "අපේ පිටුව" විශේෂාංගය යටතේ මැවීම්වාදය හා බුද්ධිමත් නිර්මාණකරණය පිළිබඳ පලවූ පාඨක ලිපි බලන්න.)

අනිත් එක මේක මම අනිවාර්යයෙන් කිව යුතුයි. ඔබේ කාබන් යන්ත්‍ර කතාව හොඳ කතාවක් ලෙස මමත් දකිනවා. නමුත් මා‍ මෙලෙස අදහස් ඝට්ටනය කරන්නේ එමගින් ඉතා හොඳ ප්‍රතිඵල(නව අදහස්, පවතින අදහස් වල අඩුපාඩු මගහැරවීම ආදිය) ලබා ගත හැකි යැයි මා සිතන නිසා මිස ඔබේ අදහස් පහත් කර දැක්වීමට නොවේ. විවෘත මනසකින් යුතුව සංයමයකින් කතා කරන්න පුළුවන් කෙනෙක් වීම ගැන සතුටුයි. මොකද ගොඩ දෙනෙක් මොනව හරි අලුත් අදහසක් දුන් විටකරන්නේ ඒ ගැන සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇඟට කඩන් පනින එකයි. සංවාත මනස් වලින් හෙබි මේ බොහෝ දෙනා සිතා සිටින්නේ දැනට ඇති(පිළිගත්) දැනුම යනු නියම සත්‍යයයි; ඒවාට විරුද්ධ/පරස්පර කතා ඔක්කොම බොරු කියලයි. නමුත් ලෝකයේ දැනුම දියුණු වන්නේ මෙලෙස නව අදහස් පැරණි මතවාද සමග ගැටීමෙන් කියල ඔවුන් දන්නේ නෑ. සාම්ප්‍රදායික චින්තනයේ සිරකාරයෝ! ඉතින් අපේ සමාජයේ ප්‍රගමණයක් නැති එක ගැන කියන්න ඕනෙ නෑනේ!

අන්තිමේට කියන්න තියෙන්නේ මේ අඩවියේ ඇති ලිපි කියවන්න කලිං මගේ මේ බ්ලොග් අඩවියේ ඉහල වම් පැත්තේ search box එකට පහලින් ඇති "අවවාදයයි! වැදගත්!" දැන්වීම කියවා ඉන්න.

ඔබ සියළු දෙනාට ජය!

ජීවන්ත said...

@රන්දික,
සහජ ඉව අපි තව මෙහෙම වැඩිදුර පැහැදිලි කර ගමු. මට මගේ දැනුම ඉදිරියට සම්ප්‍රේෂණය කරන්න ඕන නම් මම මොකද කරන්නේ? පැහැදිලිවම එය මම පොතක, බ්ලොගයක ආදී තැනක ලියා තබනවා. ඉතින් ජීවීන්ද මූලික වශයෙන් කරන්නේද මෙවැනිම දෙයකි. තමන්ගේ දැනුම ඉදිරිය සඳහා ලියල තියෙනවා. ඒ ලියන්නේ පොතක වැනි බාහිර දෙයක නොව තමන්ගෙන් ඉදිරියට පරම්පරාව බිහි කරන heredity material තුලය. මේ heredity material වල අඩංගු දැනුමෙහි ආකාරයටයි ජීවියා නිර්මාණය වන්නේ. මෙහිදී අප පැහැදිලි කරගත යුතු වැදගත් දෙයක් වන්නේ මේ දැනුම බාහිර නිර්මාපකයකු විසින් ලියන්නක් නොව තමන් විසින්ම(ජීවියා විසින්ම) ලියන එකකි. අද වන විට දක්නට ඇත්තේ මෙලෙස පරම්පරා ලක්ෂ ගණනක ජීවීන් විසින් ටික ටික ලියා වැඩි දියුණු කර ඇති ලියමන්ය. (හරියට නිකං විකිපීඩියාව එක එක පුද්ගලයා විසින් පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා මහා විශ්වකෝෂයක් බවට පත් කරනවා වගේ!) මේ ජීවීන්ගේ දැනුම සම්ප්‍රේෂණය ඉතා වැදගත් දෙයකි. මෙය හරිහැටි තේරුම් නොගත් විට බාහිර නිර්මාපකයෙකු ඈඳා ගැනීමට සිදුවේ. (මා පෙර සඳහන් කර ඇති ජීවීන්ගේ ස්වයං වෙනස්වීමේ ගුණයත් මේ සමග සසඳන්න)

ඔබගෙන් තවත් ප්‍රශ්නයක් ඇසීමට ඇත. ඔබගේ කාබන් යන්ත්‍ර පිළිබඳ තියරිය, බුද්ධිමත් නිර්මාණකරණය තියරියට(http://en.wikipedia.org/wiki/Intelligent_design) වඩා වෙනස්ද? වෙනස් නම් ඒ කුමන කරුණු වලින්ද?

@හැමෝටම(for all)
තව දෙයක් කියන්න ඕනෙ. මෙලෙස ඔබලා(මෙහි අදහස් දක්වා ඇති සියළු දෙනා) සමග සිදුකරන සංවාදයෙන්(හා මතවාද ඝට්ටනයෙන්) මේ පිළිබඳ මගේ දැනුමද බෙහෙවින් දියුණු හා ශක්තිමත් විය. එමෙන්ම මා නොදැන සිටි දේවල්ද දැන ගැනීමට ලැබුණි. ඉතින් සිදුවිය යුත්තේ මෙය නොවේද? නමුත් අද සමාජයේ(ලාංකීය) බොහෝ දෙනා සියළු දේ දන්නවා යැයි සිතා ගෙන කිසිම දෙයක් ගැන සංවාදයක් නොමැතිව එක තැන පල් වෙමින් පවතිනවා. ඉතින් මෙහි අදහස් පළ කල සැමට තුති! ඉදිරියටත් ඔබලාගේ අදහස් පල කරන්න.(with or against - කොහොම උනත් කමක් නෑ!) එය ඉතාමත් අගට කරනවා!

ජීවන්ත said...

@ප්‍රදීප් ලසන්ත,
එකම තැන හිරවෙලා ඉන්නේ නැතිව පොඩ්ඩක් විවෘතව ලෝකය දෙස බලන්න. සමහර විට මේ කිසිවක් නොවී(මම කියන එකවත්, ඔබ කියන එකවත් නොවී) වෙනමම දෙයක් ඇත්ත වෙන්නත් පුළුවන්! නමුත් අප ඒවාට විවෘත නැත්නම්(අපි එකම දෙයක් බදාගෙන ඉන්නවා නම්) අපිට කවදාවත් එතැනට යන්න බැරි වේවි!
මේකත් කියවන්න. අන්තවාදී අදහස් දක්වන N සිල්වා මහත්තයට මෙවැනිම අදහස් වලට ලියපු පිලිතුරක් (http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_11.html) හා (http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_12.html)

chamila_dealwis said...

"අනික සෑර් ජීවය අර්ත දක්වල පොදු සම්මුතියකට එන්නේ නැතිව නිකං බයිල කියල වැඩක් නැහැ නේ" - මේක ඇත්ත. අපි මුලින් ජීවියා කියන එක පිළිබද එකඟ වෙන තැනකට එන්න ඕනේ. මම හිතන්නේ එකිනෙකාගේ අර්ථ දැක්වීම් වෙනස්.

රන්දික,
මෙහෙම හිතන්න. ඉතාමත් කුඩා රොබෝ යන්ත්‍ර (බුද්ධිමත් යන්ත්‍ර හෝ ඉගෙන ගන්න යන්ත්‍ර නොවෙයි) ටිකක් තිබෙනවා. තනි තනිව කරන්න පුලුවන් වැඩ සීමිතයි. කලින් ක්‍රමලේඛනය කරලා තියෙන්නේ බොහෝම general ආකාරයකට. අපි ඒවාට කියන්නේ යන්ත්‍ර කියල නේ. එකඟයිද?
දැන් හිතන්න කවුරු හරි මනුස්සයෙක් හදනවා මේ ජාතියේ රොබෝලා ටිකක් එකතු කරලා රොබෝ කොළනියක් වගේ දෙයක්. ඔය කොළනියට පිටින් තර්ජනයක් එනකොට ආරක්ෂාවට අපි හදනවා අර general යන්ත්‍ර තව specialise කරලා. මේ කොළනියට තනිව සිතන්න, ඉගෙන ගන්න පුලුවන් වෙන විදියට තව general රොබෝ ටිකක් specialise කරනවා පණිවිඩ හුවමාරු කරන ජාලයක් විදියට. දැන් එතන අපි හැදුවා මොළයකුයි immune system එකකුයි.

ඇයි යන්ත්‍ර ටිකක් එකතු වුනාම ජීවය වැනි ගුණයක් අලුතින් ඇති වෙන්න බැරි? එම නිසා එම යන්ත්‍ර එකතුවට ජීවී යැයි කියන්න බැරි?

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails