අමුතු සතා (2) - සෛලයේ දේශපාලනය

Monday, June 29, 2009
ඔන්න දැන් මම කලින් දවසක කතා කරපු අමුතු සත්තු ගැන අමුතු කතාවක් කියන්නයි යන්නේ. (මේ ලිපිය කියවන්න කලින් මෙහි කතා කරන අමුතු සත්තු කව්ද කියල දැනගන්න මෙහි පළමු කොටස වන “අමුතු සතා - (ඔබත් මමත් කොටස්කාරයන් වන අමුතුම අමුතු සතා)” ලිපිය කියවන්න.) අද මම කතා කරන්නේ දේශපාලනය ගැනයි. හැබැයි අපේ නෙවෙයි. අපි හැදිල තියෙන පුංචිම පුංචි සත්තු වන සෛල වල දේශපාලනය ගැනයි.

සමාජ සතා හැදිල තියෙන මිනිස් සත්තුන්ගේ දේශපාලනයට වඩා මිනිස්සු(සහ අනෙක් සත්තු) හැදිල තියෙන සෛල වල දේශපාලනය ගොඩක් වෙනස් නෑ. හැබැයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ සෛල වල දේශපාලන යාන්ත්‍රණයෙන් මිනිස්සුන්ගේ දේශපාලන යාන්ත්‍රණ සඳහා ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි.

සමස්තයක් විධියට ගත්තහම මේ සෛල වල දේශපාලනය සමාජවාදීයි.(මෙහි මෙය මිනිස් සමාජයේ ඇති සමාජවාදයට වඩා පුළුල් අර්ථයකින් යොදා ඇත. මෙහිදී සමාජවාදය පසුබිම් හා ව්‍යුත්පන්න සංකල්ප වලින් තොරව මූලිකම සංකල්පය පමණක් සලකා බැලන බව කරුණාවෙන් සලකන්න.) මෙහෙම කියන්න හේතු තියෙනවා. මොකද මේ සෛල ගත්තහම ඒ ඒ සෛල තම තමන්ගේ පෞද්ගලික පැවැත්මට වඩා පොදු සමාජයේ(එම සෛල වලින් නිර්මාණය වන බහුසෛලික ජීවියාගේ) පැවැත්ම උදෙසායි කටයුතු කරන්නේ. මොළයේ සෛල සදහටම ජීවත් වුවත්, රතු රුධිරාණු සෛල තමන්ගේ කාර්යය සමාජය වෙනුවෙන් ඉටුකල පසු මිය යන්නේ(දින කීපයක ආයු වළඳා) මොළයේ සෛල වගේ මටත් ගොඩක් කල් ඉන්න ඕනෙ කියල කිසිදාක නොකියමිනි.

තවද මේ සෛල කිසිදාකත් මට අරක නෑ, අරූට මට වඩා මෙව්වා තියෙනවා කියල අඬ අඬ ඉන්නේ නෑ. මොකද මෙහි සම්පත් බෙදී යාම අතිශයින් සාධාරණයි. තම කාර්යය සඳහා අධික ලෙස සම්පත් අවශ්‍ය මොළයට ඉතා අධික ශක්ති ප්‍රමාණයකුත් (ශරීරයේ මුළු ශක්ති පරිභෝජනයෙන් 20% ක් පමණ), එතරම් සම්පත් අවශ්‍ය නැති අතේ සෛල වලට සාපේක්ෂව අඩු ශක්ති ප්‍රමාණයකුත් ලබාදෙනවා. නමුත් අතේ සෛලයක් කවදාවත් මට අරූට තරම් හම්බෙන්නේ නෑ කියලා කවදාවත් කෑගහන්නෙ වත්, වැඩ වර්ජන කරන්නෙ වත් නෑ. මොකද මං ආයෙ කියන්නේ මේ සෛල වලට තම තමන්ගේ පෞද්ගලික පැවැත්මට වඩා සමාජයේ පැවැත්ම ඉහලයි. (ඒ නිසා අපිට අරවා නෑ, මෙව්වා නෑ කියල මෙහෙ ඉන්න සමාජවාදියෝ කරන වැඩ වර්ජන ගැන තවපාරක් හිතන්න වෙයි!)

ඒ වගේම මෙහි බලය හැසිරවීමත් අපූරුයි. මොළය සියල්ල පාලනය කරනවා කියල හිතන් ඉන්නවා නම් ඒක වැරදියි. මොළය කරන්නේ බලය හැසිරවීමක් පමණයි. එනම් සමාජයේ ක්‍රියාවන් නියමිත පරිදි සම්බන්ධීකරණය කිරීමක්. මොළය කරන්නෙත් සමාජය සඳහා වූ තවත් එක් රාජකාරියක්. මෙහි පාලනය කරන්නෙක් නැත. සියල්ලන් විසින් සියල්ලන් පාලනය වේ. ඒ ඒ සෛල තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටුකරයි. තමන්ගේ අයිතිවාසිකම් වලට වඩා තමන්ගේ යුතුකම් ගැන හිතයි.

ඒ වගේම මෙහි ආරක්ෂක හමුදාවන්ද ඉන්නවා. ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි. පිටින් එන ආක්‍රමණ වලට මුහුණ දෙන්න මොවුන් හොඳින් දන්නවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුල හමුදා බුද්ධි අංශ වැනි සෛල පවා තිබීම ගැන ඔබ පුදුම නොවනු ඇතැයි සිතමි.

ඒ වගේම මහා විනාශකාරී, කරදරකාරයින්ද නැතුවා නොවේ. (උදා: පිළිකා සෛල) පිළිකා සෛලයක් අරගෙන බැලුවහම මූලික වශයෙන් ධනවාදී ආක්‍රමණශීලී ස්වරූපයක් ගන්නවා. තමන් පමණක්, (සමාජයට හෙණ ගැහුණත් මොකද මං ඉන්නවානම්) යන මතයේ ඉඳ කටයුතු කරන මේ සෛල විසින් තමන් විසින් හූරාකන, අත්පත් කරගන්නා මේ සමාජය විනාශ වූ විට තමන්ද ඉබේම විනාශ වී යන බව තේරුම් ගන්නා විට පෙරහැර ගොස් අවසන්ය.

මේ සෛල සමාජගතවීමත් මිනිසා සමාජගතවීමත් සලකා බැලූ විට මිනිසා සමාජගතවන්නේ සෛල සමාජගතවීමෙන් බොහෝ කලකට පසුය. ඉතින් සෛල දේශපාලනයට සාපේක්ෂව මිනිස් දේශපාලනයේ දුර්වලතා තිබීම සාමාන්‍යයයි. නමුත් අප මේ දුර්වලතා ඉදිරියටත් පවත්වාගෙන යා යුතුද?

ආ, තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේකත් කියන්නම ඕනෙ. මේ සෛල වල දේශපාලනය මොකක් උනත් මේ ජීවියා(සෛල සමාජය) කවදා හරි මිය යනවා. ඒ වගේමයි, මිනිස් සමාජයත්, කවදා හරි මිය යනවා. එය නවත්වන්න කිසිම ජගතෙකුට බැහැ. විශ්වයේ අනිත්‍ය බව වෙනස් කරන්න බෑ. නමුත් මේ සෛල වලින් හැදෙන ජීවියා තමන් කෙදිනක හෝ මිය යනවා කියල හිත හිත උඩ බලං ඉන්නේ නෑ. කෙසේ හෝ තම ජීවිත කාලය තුල ජීවත් වෙනවා. ඉතින් මේ සමාජයත් එසේය සහ එසේ විය යුතුය.

6 ක් වූ ප්‍රතිචාර:

chamila_dealwis said...

පුදුමයි. මමත් මේ විකාර අදහසම මේ දවස් වල හිත හිතා හිටියේ.

සාමාන්‍යයෙන් ස්වභාවධර්මයේ සම්බන්ධතා ඇති වෙන්නේ දෙපැත්තටම වාසි වෙන විදියට. නමුත් සෛල එකතු වෙලා බහුසෛලික ජීවියෙක් සෑදීමෙන් තිබෙන ප්‍රයෝජන ගැන වෙනම හිතන්න ඕනේ.

බහුසෛලික වීමෙන් ඒකසෛලික වීමේදී වඩා එක් එක් අංශ වලින් වාසි ඇති. නමුත් මට හිතා ගන්නම බැරි දේ සුදු රුධිරාණු වැනි සෛල වල කර්තව්‍යයයි. ඒවා තියෙන්නෙම අනිත් සෛල සඳහා දිවි දෙන්න. ඒ හැර එයින එම තනි සෛලයට ඇති වෙන වාසියක් නැහැ. නමුත් සුදු රුධිරාණු වැනි සෛල නොතිබුනානම් සියලුම සෛල වල පැවැත්මට තර්ජන එල්ල වෙන්න පුලුවන්. ඒ විදියට බලද්දි ඇත්තටම ජීවය පවතින්නේ තනි තනි සෛල වල නෙවෙයි කියලා හිතන්න පුලුවන්. ඒක සෛලික ජීවින් ස්වභාවධර්මයේ building blocks පමණයි. එහි ඇති ජීවයක් නැහැ. යාන්ත්‍රික කොටස් පමණයි.

හිතනවනම් දවස් ගනන් හිතන්න දෙයක්.

රන්දික said...

//ඒක සෛලික ජීවින් ස්වභාවධර්මයේ building blocks පමණයි. එහි ඇති ජීවයක් නැහැ. යාන්ත්‍රික කොටස් පමණයි//

ඉතා අලංකාරයි! එහි නොමැති 'ජීවය', එවැනි යාන්ත්‍රික කොටස් මිලියන ගණනනක එකතුවක් වන තවත් විශාල යන්ත්‍රයක තිබේ යැයි ඔබ සිතනවාද?

ජීවන්ත said...

@රන්දික,
ඔබේ කාබන් යන්ත්‍ර පිළිබඳ සංකල්පයේ අනික් පැත්තක් විධියට මේක ගන්න පුළුවන්. ඔබේ මුල් ලිපියට මම කමෙන්ටයක් දැම්මා. ඒක මෙතැනත් දාන්නම්.

මනස පිළිබඳ මගේ කියැවීම මෙතනින් බලන්න. ඔබගේ මේ කතාව සම්බන්ධව සමහර විට එයිනුත් යමක් ගතහැකි වේවි. (http://trueorcrazy.blogspot.com/2009/02/blog-post_8363.html)

අනික මෙහෙම දෙයකුත් තියෙනවා. ඒක අපේ දැනුම සම්බන්ධ දෙයක්. අපි ඉගෙන ගන්නේ ස්වභාවධර්මය(දැනට අපිට දකින්න, අහන්න, දැනෙන දේ ආශ්‍රයෙන්) අධ්‍යයනය කරලා.(95% කට වැඩිය) ඉතින් අපි කරන නිර්මාණ ස්වභාවධර්මයේ අනුරූ වීමට ඇති ඉඩකඩ ගොඩක් වැඩියි නේද? උදාහරණයක් විධියට අද ඉන්න පුද්ගලයෙක්ට අපි අපට ප්‍රවාහනය දෙන යන්ත්‍රයක් හදන්න කිව්වොත් ඒ පුද්ගලයා හදන යන්ත්‍රය අද අපිට දකින්න තියෙන තාක්ෂණය ඇසුරෙන් අද දකින්න තියෙ වාහනයක ආකාරයට නිපවීමට 99% කටත් වඩා ඉඩ තියෙනවා. අනික අද වන විට සමස්ථ විද්‍යා දැනුම පද්ධතියේම පදනම බවට භෞතික විද්‍යාව පත්වෙමින් තිබෙනවා. (උදාහරණයක් විධියට රසායන විද්‍යාව යනු භෞතික විද්‍යාව මත පදනම් වූ විද්‍යාවක් - සහ භෞතික විද්‍යාව කියන්නේ මේ ස්වභාවධර්මය තේරුම් ගැනීම සඳහා වූ මිනිසාගේ දැවැන්ත උත්සාහයකි.) එතකොට අද අප නිපදවන ක්‍රියාකාරී දේවල් වලට අපි යන්ත්‍ර කියනවා. ඉතින් මට හැ‍ඟෙන විධියට ඔබ මේ කර තිබෙන්නේ අද අප භාවිතා කරන වචන ආපස්සට යෙදීමක්. ඒ කියන්නේ යම් පදනම් සංකල්පයකින් තවත් සංකල්පයක් ව්‍යුත්පන්න කල පසු ව්‍යුත්පන්න සංකල්පය මගින් පදනම් සංකල්පය පැහැදියි කිරීමට යාමක් වැනි දෙයකි. මේ ගැන මොකද හිතන්නේ? (මම කියන්න උත්සාහ කරන දේ පැහැදිලියි කියල හිතනවා)

ප්‍රදීප් ලසන්ත said...

ඔයා කියනවනෙ සෛල සමාජය තුල වැඩවර්ජන නැහැ කියල. ඒව තියනව.. බොහෝ දුරට සාර්තක වෙනව.. සාර්තක වෙනව කියන්නෙ මේ තියන නරක සමාජය විනාශ කරල දාල, වෙනත් ක්‍රමයකට මාරු වෙනව.. වැඩවර්ජන උද්ගෝෂන කරන්නෙ, තමන්ගෙ පෞද්ගලික ලාබ ප්‍රයෝජන බලාගන නෙවෙයි.. මුලු මහත් අසාදාරන සමාජයෙම විනාශය බලාපොරොත්තුවෙන්..

ජීවන්ත said...

@චමිල,
//ඒක සෛලික ජීවින් ස්වභාවධර්මයේ building blocks පමණයි. එහි ඇති ජීවයක් නැහැ. යාන්ත්‍රික කොටස් පමණයි.//

නෑ, නෑ, ඔවුනුත් ජීවීන් තමයි. (මෙහි පළමු හා තෙවන ලිපි කියවන්න. විශේෂයෙන් තුන්වෙනි එක!)

@ප්‍රදීප් ලසන්ත,
//වැඩවර්ජන උද්ගෝෂන කරන්නෙ, තමන්ගෙ පෞද්ගලික ලාබ ප්‍රයෝජන බලාගන නෙවෙයි.. මුලු මහත් අසාදාරන සමාජයෙම විනාශය බලාපොරොත්තුවෙන්//

මුළු සමාජයම විනාශ වෙලා යනවානම් වැඩක් ඇත්තේ නෑනේ! හරියට නිකං මේ ලෝකය අසාධාරණයි කියල බෝම්බ ගහල මුළු ලෝකෙම(තමනුයි අනෙක් සියළුම මිනිස්සුත් එක්ක) විනාශ කරල දානවා වගේ වැඩක්නේ! මීට වඩා ඵලදායී වෙන්න ඕනෙ නේද?

Anonymous said...

poddak samajawadaya gena adyanaya kaaranna

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails