අමුතු සතා (3) - භෞතිකවාදී හා විඥ්ඥානවාදී සංකල්ප අතරට මෙන්න මගෙන් තවත් එකක්!

Monday, June 29, 2009
මේ ලිපිය කියවන්න කලින් පහත ලිපි දෙක කියවලා ඉන්න. නැත්නම් සමහර විට තේරෙන්නෙ නැති වෙයි.
1) අමුතු සතා - (ඔබත් මමත් කොටස්කාරයන් වන අමුතුම අමුතු සතා)
2) අමුතු සතා (2) - සෛලයේ දේශපාලනය

දැන් ඔබ දන්නවා මගේ මේ කතාවට(තියරියට/ප්‍රවාදයට - කැමති විධියකට ගන්න) අනුව යම් සත්වයින් එකතුවකින් තවත් වෙනස්ම සත්වයෙක් නිර්මාණය වෙන්න පුළුවන් බව. දැන් මම යන්නේ මේ තියරිය ආපස්සට යොදන්නයි. එයින් අපට අමුතුම ආකාරයේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මෙම ප්‍රතිඵලය මගින් භෞතිකවාදය හා විඥ්ඥානවාදය යන ලෝකය පැහැදිලි කරන තියරි වලට සමගාමී වෙනස්ම අළුත් තියරියක් ව්‍යුත්පන්න කරගන්න පුළුවන්.

මෙතැනින් එහාට කියවන්න කලින් එක දෙයක් කියන්න ඕනෙ. මෙය සමහරවිට ඔබට විකාරයක් ලෙස දිස්වීමට පුළුවන. නමුත් ඔබේ මනස විවෘත කර බලන්න. එවිට ඔබට කුමක් හෝ දෙයක් පෙනේවි. අනික මම මේ කතා කියන්නේ නිරපේක්ෂ සත්‍යය ලෙසට නොවේ. තවත් එක් අදහසක් ලෙසට පමණි.

මෙන්න මේකයි වැඩේ! සමාජය කියන ලොකු සතා හැදිලා තියෙන්නේ මිනිස්සු කියන පොඩි සත්තුන්ගෙනි. මිනිස්සු කියන සත්තු හැදිල තියෙන්නේ සෛල කියන ඊටත් වඩා පොඩි සත්තුන්ගෙනි. දැන් හිතන්න මේ සෛල හැදිල තියෙන්නෙ ඊටත් වඩා පොඩි සත්තුන්ගෙන් කියල.(මයිටකොන්ඩ්‍රියා, සෛල න්‍යෂ්ටිය, රයිබෝසෝම වගේ දේවල්) ඊලඟට මේවා හැදිලා තියෙන්නෙත් ඊටත් වඩා පොඩි සත්තුන්ගෙන් කියල හිතන්න. මෙහෙම මේ තියරිය ආපස්සට යොදාගෙන යොදාගෙන ගියහම අපිට ලැබෙන්නේ මොකක්ද? එනම් විශ්වයේ තැනුම් ඒකක වන පරමාණුක හා උප පරමාණුක අණු යනුද ජීවීන් බවයි!

(දැන් ඉතින් ඕං තව ප්‍රශ්න වැලක් එන්න ඇති ඔබේ ඔළුවට. ඒ ඔක්කොටෙම මෙතන ඉඩ තියෙනවා. ප්‍රශ්න හිතේ තියං ඉන්නේ නැතිව මෙතන සටහන් කරන්න) දැන් අපි බලමු මෙයින් ලෝකය තේරුම් ගන්නේ කොහොමද කියලා. දැන් ඉලෙක්ට්‍රෝන වගේ දේවලුත් සත්තු හිංදා(ප්‍රජනනය වගේ දේවල් නැති වුනාට - අනික මම ජීවය දකින්නේ ස්වයං වෙනස්වීමක් සිදුකල හැකි පද්ධතියකටයි - එයින් මේ විශ්වයේ අනිවාර්යය ලක්ෂණයක් බවට අහඹුබව(randomness) පත්වෙනවා.) ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ සතුන්ට ඕන විධියටයි. (මේ කාරණය ක්වොන්ටම් යාන්ත්‍රණය ගැන යම් වැටහීමක් තියෙන අයට තේරුම් ගන්න පුළුවන් වෙයි. - ඉලෙක්ට්‍රෝන ඇතුලු සියළු පදාර්ථයන්/වස්තූන් ගේ අවකාශ-කාලය තුල හැසිරීමේ අවිනිශ්චිතතාවය ගැන සිහියට නගා ගන්න.) ඉතින් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදී වූ විවිධාකාර වූ සත්වයින් කෝටි ප්‍රකෝටි ගණනකින් සෑදී ඇති අපි යනු මේ සියලු කෝටි ප්‍රකෝටි සත්වයින්ගේ සියල්ලේ හැසිරීමේ අති සංකීර්ණ ප්‍රතිඵලයන් වේ. තව අපි ජීවීන් විධියට නොහඳුන්වන අජීවී වස්තූන් (කළුගල් වගේ දේවල්) ගැනත් ප්‍රශ්නයක් මතු වෙනවා. ඉතින් අපි මේකත් පැහැදිලි කර ගමුකෝ! දැන් අපි දන්නවානේ එකම රසායනික සූත්‍රය තියෙන සංයෝග දෙකක් ගමු. දැන් ඒ දෙකේ පරමාණු සැකැසී ඇති ආකාරය වෙනස්නම්(උදාහරණයක් ලෙසට සංයෝග වල සමාවයවික සිහියට ගන්න) ඒ සංයෝග දෙක පෙන්වන්නේ වෙනස්ම ගති ලක්ෂණ. දැන් ඉතිං මේකෙන් ඒ ප්‍රශ්නෙටත් පිළිතුර ලැබුනා කියලා හිතනවා.

දැන් අපි මේක තවදුරටත් පැහැදිලි කරගමු. සමහරුන්ට තවමත් මේක භෞතිකවාදයේම(materialism) විස්තීරණයක් ලෙස දකින්න පුළුවන්. නමුත් මේක හොඳින් පැහැදිලි කරගත යුතුයි. එනම් භෞතික වස්තූන් හා ජීවීන් යනු දෙකක් ලෙස මෙහිදී සැලකෙන බවයි. එනම් භෞතිකවාදයේදී සියල්ල පදාර්ථ වන අතර මෙම තියරියේදී (අපිට ඕනෙ නම් මේකට ජීවවාදය(lifeism) කියල කියන්නත් පුළුවන්! - මේ නම හොඳද? වෙන හොඳ නමක් මතක් වෙනවා නම් ලියල යන්න) සියල්ල ජීවීන් වේ. සමහර විට ජීවීන් හා පදාර්ථ යන දෙකෙහි වෙනස ඔබට දැකීමට අපහසු වේවි. (ඔබට සමහර විට ජීවීන් යනුත් පදාර්ථ වලින් සෑදී ඇති දේ යනුවෙන් සිතීමට පුළුවන.) නමුත් පොඩ්ඩක් ඔබේ මනස විවෘත කර ගැඹුරින් බලන්න. එවිට වෙනස පැහැදිලි වේවි. (පදාර්ථ හා ජීවීන් ගැන සංකල්ප(එනම් පදාර්ථ යනු මෙවන් ගති ලක්ෂණ ඇතිදේය, ජීවීන් යනු මෙවන් ගති ලක්ෂණ ඇති දේය යනුවෙන් ඇති දැනුම) යනුද අප විසින් වියුක්තකරණය මගින් නිපදවන ලද දේ බව මතක තබා ගන්න. එය මෙම වෙනස දැකීමට උදව්වක් වේවි.)

අමුතු සතා (2) - සෛලයේ දේශපාලනය

ඔන්න දැන් මම කලින් දවසක කතා කරපු අමුතු සත්තු ගැන අමුතු කතාවක් කියන්නයි යන්නේ. (මේ ලිපිය කියවන්න කලින් මෙහි කතා කරන අමුතු සත්තු කව්ද කියල දැනගන්න මෙහි පළමු කොටස වන “අමුතු සතා - (ඔබත් මමත් කොටස්කාරයන් වන අමුතුම අමුතු සතා)” ලිපිය කියවන්න.) අද මම කතා කරන්නේ දේශපාලනය ගැනයි. හැබැයි අපේ නෙවෙයි. අපි හැදිල තියෙන පුංචිම පුංචි සත්තු වන සෛල වල දේශපාලනය ගැනයි.

සමාජ සතා හැදිල තියෙන මිනිස් සත්තුන්ගේ දේශපාලනයට වඩා මිනිස්සු(සහ අනෙක් සත්තු) හැදිල තියෙන සෛල වල දේශපාලනය ගොඩක් වෙනස් නෑ. හැබැයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ සෛල වල දේශපාලන යාන්ත්‍රණයෙන් මිනිස්සුන්ගේ දේශපාලන යාන්ත්‍රණ සඳහා ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි.

සමස්තයක් විධියට ගත්තහම මේ සෛල වල දේශපාලනය සමාජවාදීයි.(මෙහි මෙය මිනිස් සමාජයේ ඇති සමාජවාදයට වඩා පුළුල් අර්ථයකින් යොදා ඇත. මෙහිදී සමාජවාදය පසුබිම් හා ව්‍යුත්පන්න සංකල්ප වලින් තොරව මූලිකම සංකල්පය පමණක් සලකා බැලන බව කරුණාවෙන් සලකන්න.) මෙහෙම කියන්න හේතු තියෙනවා. මොකද මේ සෛල ගත්තහම ඒ ඒ සෛල තම තමන්ගේ පෞද්ගලික පැවැත්මට වඩා පොදු සමාජයේ(එම සෛල වලින් නිර්මාණය වන බහුසෛලික ජීවියාගේ) පැවැත්ම උදෙසායි කටයුතු කරන්නේ. මොළයේ සෛල සදහටම ජීවත් වුවත්, රතු රුධිරාණු සෛල තමන්ගේ කාර්යය සමාජය වෙනුවෙන් ඉටුකල පසු මිය යන්නේ(දින කීපයක ආයු වළඳා) මොළයේ සෛල වගේ මටත් ගොඩක් කල් ඉන්න ඕනෙ කියල කිසිදාක නොකියමිනි.

තවද මේ සෛල කිසිදාකත් මට අරක නෑ, අරූට මට වඩා මෙව්වා තියෙනවා කියල අඬ අඬ ඉන්නේ නෑ. මොකද මෙහි සම්පත් බෙදී යාම අතිශයින් සාධාරණයි. තම කාර්යය සඳහා අධික ලෙස සම්පත් අවශ්‍ය මොළයට ඉතා අධික ශක්ති ප්‍රමාණයකුත් (ශරීරයේ මුළු ශක්ති පරිභෝජනයෙන් 20% ක් පමණ), එතරම් සම්පත් අවශ්‍ය නැති අතේ සෛල වලට සාපේක්ෂව අඩු ශක්ති ප්‍රමාණයකුත් ලබාදෙනවා. නමුත් අතේ සෛලයක් කවදාවත් මට අරූට තරම් හම්බෙන්නේ නෑ කියලා කවදාවත් කෑගහන්නෙ වත්, වැඩ වර්ජන කරන්නෙ වත් නෑ. මොකද මං ආයෙ කියන්නේ මේ සෛල වලට තම තමන්ගේ පෞද්ගලික පැවැත්මට වඩා සමාජයේ පැවැත්ම ඉහලයි. (ඒ නිසා අපිට අරවා නෑ, මෙව්වා නෑ කියල මෙහෙ ඉන්න සමාජවාදියෝ කරන වැඩ වර්ජන ගැන තවපාරක් හිතන්න වෙයි!)

ඒ වගේම මෙහි බලය හැසිරවීමත් අපූරුයි. මොළය සියල්ල පාලනය කරනවා කියල හිතන් ඉන්නවා නම් ඒක වැරදියි. මොළය කරන්නේ බලය හැසිරවීමක් පමණයි. එනම් සමාජයේ ක්‍රියාවන් නියමිත පරිදි සම්බන්ධීකරණය කිරීමක්. මොළය කරන්නෙත් සමාජය සඳහා වූ තවත් එක් රාජකාරියක්. මෙහි පාලනය කරන්නෙක් නැත. සියල්ලන් විසින් සියල්ලන් පාලනය වේ. ඒ ඒ සෛල තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටුකරයි. තමන්ගේ අයිතිවාසිකම් වලට වඩා තමන්ගේ යුතුකම් ගැන හිතයි.

ඒ වගේම මෙහි ආරක්ෂක හමුදාවන්ද ඉන්නවා. ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි. පිටින් එන ආක්‍රමණ වලට මුහුණ දෙන්න මොවුන් හොඳින් දන්නවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුල හමුදා බුද්ධි අංශ වැනි සෛල පවා තිබීම ගැන ඔබ පුදුම නොවනු ඇතැයි සිතමි.

ඒ වගේම මහා විනාශකාරී, කරදරකාරයින්ද නැතුවා නොවේ. (උදා: පිළිකා සෛල) පිළිකා සෛලයක් අරගෙන බැලුවහම මූලික වශයෙන් ධනවාදී ආක්‍රමණශීලී ස්වරූපයක් ගන්නවා. තමන් පමණක්, (සමාජයට හෙණ ගැහුණත් මොකද මං ඉන්නවානම්) යන මතයේ ඉඳ කටයුතු කරන මේ සෛල විසින් තමන් විසින් හූරාකන, අත්පත් කරගන්නා මේ සමාජය විනාශ වූ විට තමන්ද ඉබේම විනාශ වී යන බව තේරුම් ගන්නා විට පෙරහැර ගොස් අවසන්ය.

මේ සෛල සමාජගතවීමත් මිනිසා සමාජගතවීමත් සලකා බැලූ විට මිනිසා සමාජගතවන්නේ සෛල සමාජගතවීමෙන් බොහෝ කලකට පසුය. ඉතින් සෛල දේශපාලනයට සාපේක්ෂව මිනිස් දේශපාලනයේ දුර්වලතා තිබීම සාමාන්‍යයයි. නමුත් අප මේ දුර්වලතා ඉදිරියටත් පවත්වාගෙන යා යුතුද?

ආ, තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේකත් කියන්නම ඕනෙ. මේ සෛල වල දේශපාලනය මොකක් උනත් මේ ජීවියා(සෛල සමාජය) කවදා හරි මිය යනවා. ඒ වගේමයි, මිනිස් සමාජයත්, කවදා හරි මිය යනවා. එය නවත්වන්න කිසිම ජගතෙකුට බැහැ. විශ්වයේ අනිත්‍ය බව වෙනස් කරන්න බෑ. නමුත් මේ සෛල වලින් හැදෙන ජීවියා තමන් කෙදිනක හෝ මිය යනවා කියල හිත හිත උඩ බලං ඉන්නේ නෑ. කෙසේ හෝ තම ජීවිත කාලය තුල ජීවත් වෙනවා. ඉතින් මේ සමාජයත් එසේය සහ එසේ විය යුතුය.

දෙවියන්, මිනිසා හා සතුන්

Friday, June 26, 2009
දෙවියන් මිනිසාව තමන්ගේ ස්වරූපයෙන් මැව්වේ යැයි කියයි. නමුත් නූතන විද්යානත්මක සාධක අනුව මිනිසා හා සතුන් අතර ඉතා කිට්ටු නෑකමක් පවතී. එසේනම් දෙවියන් හා සතුන් අතරත් එවැනිම නෑකමක් පවතීද? එසේනම් දෙවියන් මිනිසාව මෙලොවට අධිපතිත්වයක් සහිතව නිර්මාණය කලේ ඇයි? අපගේ හැඟීම නම් මේ ප්‍රකාශ මිනිසා විසින් තමන්ගේ ජඩ වැඩ වසාගැනීමට නිර්මාණය කල ඒවා බවයි. හැකිනම් එසේ නොවන බව පෙන්වන්න.

විනාශය

දෙවියන් තමන් මැවූ ලෝකය විනාශ කිරීමට ඉඩ දෙන්නේ ඇයි? දෙවියන්ට අවශ්‍ය නම් මෙම ලෝකය අන් අයට විනාශ කිරීමට නොහැකි අයුරින් නිර්මාණය කිරීමට හැකියාව තිබියදී(දෙවියන්ට කල නොහැක්කක් නොමැත යනුවෙන් ඔවුන් පවසයි) එසේ නොකලේ ඇයි? එසේ නොමැති නම් සමහර මිනිසුන්ට තිබෙන්නාක් මෙන් තම නිර්මාණ විනාශ කර දැමීමේ මානසික රෝගයක් දෙවියන්ටත් තිබේද?

සංකීර්ණත්වය

මේ ලෝකෙ මෙච්චර දුර්වලතා ඇයි කියල ඇහුවහම, ලෝකය මැව්වේ දින කීපයකින්ය; ඒ නිසා අඩුපාඩු තිබිය හැකිය කියල කියනවා. මේ ලෝකෙ මෙච්චර සංකීර්ණව දින කීපයකින් මැව්වෙ කොහොමද කියල ඇහුවහම, ඒ දිනයක් සාමාන්‍ය දිනයකට වඩා දිගය; ඒ නිසා සංකීර්ණව මැව්වාය කියල කියනවා. නමුත් මේක හතර බීරි කතාවකි. අපිට ඇතිවන ගැටළුව නම් ඒ දින එච්චර දිග නම් අඩුපාඩු නැතුව මැව්වෙ නැත්තෙ ඇයි කියලයි.

දෙවියන්ගේ ස්වරූපය

දෙවියන් මිනිසාව තමන්ගේ ස්වරූපයෙන් මැව්වේ යැයි කියයි. නමුත් අප විශ්වය මැවීමට පෙර දෙවියන් කොහෙද හිටියෙ කියල ඇහුවහම ඔවුන් කියන්නේ කාලය හා අවකාශය ඇතිවුනේ විශ්වය මැවීමේදීයි, ඊට කලින් කාලය අවකාශය කියන සංකල්ප වලංගු නෑ කියලයි. (මෙය ඔවුන් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයෙන් ණයට ගත් ප්‍රකාශනයකි.) එසේනම් දෙවියන්ට ස්වරූපයක් තිබුනේ කෙසේද? නැති අවකාශයක ස්වරූපයක් පැවතිය හැකිද?

දෙවියන් හා යක්ෂයා

යක්ෂයා කොහෙන් පහල වූ කෙනෙක්ද? දෙවියන් විසින්ම මවන ලද්දෙක්ද? නැත්නම් වෙනමම පහළ වුනු කෙනෙක්ද? දෙවියන් විසින් මවන ලද කෙනෙක් නම් මට අහන්න තියෙන්නෙ “දෙවියන්ට පිස්සුද?” කියලයි. වෙනමම පහළ වුනු කෙනෙක් නම් මට අහන්න තියෙන්නේ “දෙවියන්ට පිටින් නිර්මාණ කිරීමට පුළුවන් තවත් අය සිටීද?” යන්නයි. ‍එහෙම නම් එයින් දෙවියන්ගේ ඒකීයත්වය ප්‍රශ්න වෙනවා නොවේද? තවද අපි අහන්නේ දෙවියන් විසින් මෙවන් කෙනෙක් පහල නොවන සේ මේ විශ්වය මැව්වේ නැත්තෙ ඇයි? දෙවියන් විසින් මේ යක්ෂයා නිසා මිනිසුන්ට දුක් විඳීමට ඉඩ දෙන්නේ මන්ද?

Judgment day?

දෙවියන් වහන්සේ විසින් තමන් වහන්සේට අවශ්‍ය ආකාරයට මේ විශ්වය මැව්වේ නම් හා මේ විශ්ව‍ය දෙවියන්ගේ අණට යටත්ව දෙවියන්ට අවශ්‍ය ආකාරයට පමණක් ක්‍රියාත්මක වන්නේ නම්, judgment day හිදී දෙවියන් විසින් judgment එක ලබා දෙන්නේ තමන් වහන්සේටම නොවේද? (එතකොට judgment day හිදී දෙවියන් විසින් මිනිසුන්ට judgment එකක් දෙන්නේ විහිළුවටද?)

Super strong passwords!

Thursday, June 25, 2009
ඔන්න තවත් වැඩක් හොයාගත්තා! දැන් ඔය පාස්වර්ඩ් ගහන කොට ඒ ඒ තැන්වලින් කියනවනේ කැපිටල්-සිම්පල් අකුරු, අංක, විවිධ සංකේත(උදා:@, %) වගේ දේවල් ගොඩාරියක් දාල අච්චාරු කරල පාස්වර්ඩ් එක ගහන්න, එතකොට පාස්වර්ඩ් එක ගොඩක් ශක්තිමත් කියල. ඔන්න මම මේ ශක්තිමත් පාස්වර්ඩ් වලට තවත් සුපිරි ශක්තියක් දෙන්න පුළුවන් විධියක් ගැන කියන්නයි යන්නේ. හැබැයි මේ වැඩේ පොඩ්ඩක් පරිස්මින් කරන්න වෙයි. වැරදුනොත් සොරි තමා!

මෙන්න මේකයි වැඩේ. පාස්වර්ඩ් එක දෙනකොට ඉංග්‍රීසි අකුරු වගේම සිංහල යුනිකෝඩ් අකුරුත් අතරන් පතර දෙන්න. එතකොට මේ වගේ පාස්වර්ඩ් ගන්න පුළුවන්.
උදා:
coළඹ@sriලංකාwa
maමජීwaන්tha%123

කොහොමද වැඩේ, මොකද හිතන්නේ? හැබැයි මෙතෙන්දි අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙයි. මොකද සමහර මෘදුකාංග යුනිකෝඩ් වලට සහය දක්වන්නේ නෑ. ඒ වගේම වින්ඩෝස් login පාස්වර්ඩ් එක විධියට නම් මෙහෙම දාන්න එපා! මොකද වින්ඩෝස් login screen එකේදි භාෂාව මාරු කරන්න දෙන්නෙ නෑ. (මම මෙහෙම කරලා එකපාරක් වැඩේ අනාගත්තා!) උබුන්ටු වල නම් අවුලක් නැතුව ඇති. ජීමේල් වගේ එකකට නම් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් පාස්වර්ඩ් හැම තැනම වැඩකරන්න නම් ඒ හැම කොම්පියුටරයක්ම සිංහල යුනිකෝඩ් සහය දක්වන්න වේවි.

ඔන්න මමත් අලුත් භාෂාවක් හොයා ගත්තා!

පහත ලියල තියෙන වාක්‍ය තේරුම් ගන්න පුළුවන්ද බලන්න.(බැරිනම් ඒකට ක්‍රමය පහළ ඇති)

1) wdhqfndajka” isxyf,ka l;dlrk Tn ieu idorfhka ms<s.kakjd’

2) iqN WoEikla fjajd! idor werhquhs’

3) iqN ikOHdjla fjajd! we;a;o? ke;akua msiaiqo? naf,d.hg Tnj idorfhka ms<s.kakjd!

මේ වාක්‍ය තේරුම් ගන්න බැරිනම් මෙන්න ඒකට ක්‍රමය. මුලින්ම word processer එකක් විවෘත කර ගන්න.(උදා: Microsoft office word, Open office writer) ඊට පස්සේ යතුරු පුවරුව සිංහල යුනිකෝඩ් වලට මාරු කරන්න. ඊට පස්සේ මේ අකුරු ටික ඒ විධියටම type කරන්න.(කැපිටල්-සිම්පල් ගැන වගේම සංකේත ගැනත් (උදා: < , ‘ “) සැලකිලිමත් වෙන්න.) දැන් කියවන්න පුළුවන්නේ!

අපිට ඕනෙ නම් මේක රහස් භාෂාවක් විධියට රහස් පණිවිඩ හුවමාරු කර ගන්න පාවිචිචි කරන්නත් පුළුවන්. කොහොමද වැඩේ! පුළුවන්නම් මෙහෙම දුන්නම මේක සිංහල යුනිකෝඩ් වලට convert කරල දෙන මෘදුකාංග හදන්නත් පුළුවන්නේ. (වැඩ දන්න කවුරු හරි ඉන්නවානම් හදන්නකෝ! මම නම් programming වැඩ දන්නේ නැතෝ.)

පොඩි උදව්වක් දෙනවද?

IT ක්ෂේත්‍රයේ කව්රුහරි කෙනෙක් මට පොඩි උදව්වක් දෙනවද?
html ටැග් එකක් කොහොමද මේ බ්ලොග් එකේ පේන්න දාන්නේ? මම අහන්නේ අර කුඩා ලකුණ හා විශාල ලකුණ අතර ලියන එකක් කොහොමද මේ බ්ලොග් පෝස්ට් එකක පේන්න දාගන්නේ? දන්න කව්රුහරි ඉන්නවා නම් කියල දෙන්න.

ලංකාව ස්වභාවිකද? කෘත්‍රීමද?

ඔන්න තවත් විකාර කතාවක්!

ලංකාවෙ තියෙන විවිධත්වය දැකල තමයි මේ අදහස මට ආවෙ. ලංකාවේ භූවිෂමතාවය, දේශගුණික විෂමතාවය, ජෛව විවිධත්වය ආදිය පුදුමාකාර විධියට විශාල විවිධත්වයක් පෙන්වනවා. වෙනත් රටවල හෝ කලාප වල මෙවැනි විවිධත්වයක් නැතුව නෙවෙයි. ඒත් ඒ ලංකාව වගේ කුඩා බිම්කඩක නෙවෙයි; තරමක් විශාල භූමි වලයි ඒ. උදාහරණයකට ලංකාවේ ‍දේශගුණ විවිධත්වය ගමු. කාන්තාර වගේ අධික ලෙස වියලි ශුෂ්ක ප්‍රදේශ(මන්නාරමේ වැනි - යුද්ධෙ ටී.වී. එකේ පෙන්නන කොට දකින්න ඇතිනේ) වල සිට සීත රටවල වගේ සීතලක් සහිත ප්‍රදේශ(නුවරඑළිය වැනි) දක්වාම දේශගුණ අන්ත දෙකම සහිත විවිධත්වයක් පවතිනවා. ඊළඟට ජෛව විවිධත්වය ගමු. ලතින් ඇමරිකාවේ ඇමසන්, ඉන්දුනීසියාවේ බෝර්නියෝ වැනි වනාන්තර වලට තරඟයක් දිය හැකි තරමේ ජෛව විවිධත්වයක් ලංකාවේ තියෙනවා. ඇමසන් හා බෝර්නියෝ වැනි වනාන්තර ලංකාව වගේ කීප ගුණයක්ම විශාලයි. නමුත් ලංකාවේ වන වැස්ම ඇත්තේද ලංකාවේ මුලු භූමියෙන් සියයට විසි-තිස් ගණනක් පමණයි. ඒ අනුව ගත්තහම මේ විවිධත්වය පුදුමාකාරයි. ලංකාවේ ඇති සම්පත් ගත් විටද එවැනිය. ලංකාවේ භූමිය ඉතා සරුසාර බව හැමෝම දන්න දෙයක්නේ.(මේ පොළොවෙ නිකං ඉන්නක් හිටෙව්වත් පැළවෙනවා කියල කියමනක් තියෙනවනේ!) ඒ වගේම ලංකාවේ ඇති සම්පත් බලන්න. මුතු මැණික් වල සිට යකඩ, ටයිටේනියම්, යුරේනියම් (න්‍යෂ්ටික බලාගාර, බෝම්බ හදන්න ගන්න ජාතිය) පවා ලංකාවෙ පොළොවෙ තියෙනවා. (අද ලංකාව මේ සම්පත් වලින් ප්‍රයෝජනයක් නොගැනීම වෙනමම කතාවක්.)

අමතර කතාවකුත් කියන්නම්. දමස්කස් කඩුව ගැන දන්නවාද? මේක ලංකාවෙ රජකෙනෙක්ගෙ(කාගෙද කියල හරියටම දන්නෙ නෑ) කඩුවක්. (මං හිතන්නේ මේක කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියල තියෙනවා.) මේ කඩුව මොන වගේද කියනවා නම් මේකෙන් ගැහුවහම අනික් කඩු කැපිල යනවලු. කඩුව කොච්චර මුවහත්ද කියනවා නම් රෙදි කෑල්ලක් කඩුව උඩට නිකං අතෑරියත් කැපිල යනවලු. ඒ වගේම මේ කඩුව කොච්චර නම්‍යශීලීද කියනවා නම් කඩුවේ තුඩ, මිටේ ගෑවෙන්න නවන්න පුළුවන්ලු. මේකට දමස්කස් කඩුව කියන්නේ මේ කඩුව හදන්න ශිල්පීන් ගෙන්නලා තියෙන්නේ සිරියාවේ දමස්කස් නුවරින් හින්දයි. ඉතින් මේ කඩුව ගැන පරීක්ෂණ පවත්වපු අය කියල තියෙන්නේ මේ කඩුවේ තියෙන මේ ගුණාංග වලට හේතුව මේක හදල තියෙන යකඩ වල තියෙන ගුණාංග හා මේ යකඩ පදම් කිරීමේදී යොදාගත් ක්‍රමශිල්ප(තාම හොයාගෙන නැති) හිංද කියලයි. මේ යකඩ තියෙන්නේ ලංකාවේ පොළොවෙ විතරයි. ලෝකෙ වෙන කොහේවත් තියෙන යකඩ වල මේ ගුණාංග නැතිලු. (සමහරු කියන්න පුළුවන් ලෝකෙ කොහේ තිබුණත් යකඩ කියන්නේ Fe මූලද්‍රව්‍යයනේ කියල. නමුත් මේ විශේෂ ගුණාංග දෙන්නේ මේ යකඩ වලට මිශ්‍ර වෙලා තියෙන අනෙකුත් ද්‍රව්‍ය(උදා:මැණික් වලදි සිලිකන් ඔක්සයිඩ වලට විවිධ ද්රේව්යම එකතුවෙලා විවිධ වර්ණ දෙනවා වගේ) හා මෙහි අණු සකස් වී ඇති ආකාරය(උදා: මිනිරන් හා දියමන්ති වල වෙනස වගේ) මගිනි.)

ඉතින් මේ අර්ථයෙන් ගත්විට ලංකාව කියන්නේ සැබෑවටම පාරාදීසයකි! ඉතින් මට හිතුනේ මෙච්චර විවිධත්වයක් තියෙන කුඩා භූමියක් කොහොමද ස්වභාවිකව අහඹු ක්‍රියාවලි මගින් හැදෙන්නේ කියල. සමහර විට ලංකාව කෘත්‍රීමව නිර්මාණය කරපු භූමියක්ද දන්නෙත් නෑ!!

ඉතින් මම මේ ගැන පොඩ්ඩක් හොයල බැලුවා. එතකොට මට දැන ගන්න ලැබුනා ලංකාව කියන්නේ කුවේරයා(දිව්‍යලෝකෙ භාණ්ඩාරික) වෙනුවෙන් විශ්මකර්ම(දිව්‍යලෝකෙ නිර්මාණ ශිල්පියා) විසින් නිර්මාණය කරපු පාරාදීසයක් කියලයි. කට්ටිය දන්නවා ඇතිනෙ විශ්මකර්ම ගැන. විශ්මකර්ම වැඩක් කලොත් ආයෙ දෙකක් නෑ. ඒක තමයි හොඳම. ඒක නිසයි මහා බ්‍රහ්මයා පවා තමන්ගේ සමහර නිර්මාණ කරන්න විශ්මකර්මට පවරන්නේ. එයත් දන්නවා තමන්ට වඩා ලොකු නිර්මාණශීලී බවක් විශ්මකර්මට තියෙනවා කියල. (විශ්මකර්ම ගැන තව දැනගන්න ඕනෙ නම් පරණ චිත්‍ර ශිල්පියෝ, විවිධ නිර්මාණ ශිල්පියෝ වගේ අයගෙන් අහල බලන්න - අපිත් අදහගන්න බැරි වැඩක් කරහම විශ්මකර්ම වැඩක් කියලත් කියනවනේ) පස්සෙ කාලෙක රාවණා විසින් කුවේරයාට පාට් එකක් දාල ලංකාව අයිති කරගෙන තියෙනවා. මේ කතා සම්පූර්ණයෙන්ම මිත්‍යා කතා කියල අහක දාන්නත් බෑ. මොකද ඉතා අතීතයේ තිබ්බ දියුණු ශිෂ්ඨාචාර වලට මොන මොන දේවල් කරන්න හැකියාව තිබ්බද කියල අපි දන්නේ නෑනෙ. උදාහරණයක් විධියට ඊජිප්තුවේ පිරමීඩ, ලංකාවෙ සීගිරිය, බැබ්ලෝනියාවෙ එල්ලෙන උයන වගේ දේවල් හැදුවෙ කොහොමද කියල තාම දන්නේ නෑනෙ. දඬු මොණරය වගේ දේවල් ඇත්තටම තිබ්බ වෙන්නත් පුළුවන්.මොකද මං අහල තියෙනවා බැබ්ලෝනියාවෙ එල්ලෙන උයන හදන්න ඔවුන්ට තාක්ෂණය දුන්නේ අහසින් පැමිණි සිංහ මිනිසුන් කියල කතාවක් තියෙනවා කියල. ආයෙ මං අහල තියෙනවා මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ආක්‍රමණය කරද්දී වටකුරු පළිහවල් අහසින් ඇවිල්ලා ඒවයින් ඔවුන්ට ඊතල විද්දා කියල ඔවුන්ගේ සටහන් වල තියෙනවා කියල. අනික ලොව ඉතා බලවත් රාජ්‍යවල් තමන් ඉදිරියේ දණගැස්සූ මහා ඇලෙක්සැන්ඩර්ට ඉන්දියාව අල්ල ගන්න බැරි උනානෙ!

ඉතින් මොකද හිතන්නේ ලංකාව ස්වභාවිකද? නැත්නම් කෘත්‍රීමද?

Virgin birth! ඔබත් උපන්නේ කන්‍යාවකට දාවද?

ඔන්න තවත් විකාර අදහසක් මගේ ඔලුවට ආවා. මේක මේ බ්ලොග් එකේ නමටත් නියමෙට ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ. හරි දැන් අමතර කතා ඇති, නියම කතාවට බහිමු.
දැන් වෛද්‍ය විද්‍යාව හරි දියුණුයි. කෘත්‍රීම සංසේචන ක්‍රම, නල දරු උපත්, ජාන තාක්ෂණය වගේ දේවල් තව දුරටත් සිහිනයක් නෙවෙයි. ඉතින් මට හිතෙන්නේ සමහරවිට ඔය Virgin birth එකකට උරුමකම් කියන අය සමහරවිට මේ විධියේ කෘත්‍රීම සංසේචන ක්‍රමයක් මගින් උපද්දවන ලද අය වෙන්න බැරිද? සමහරවිට දියුණු පිටසක්වල ජීවීන් විසින් මේක කලාත් වෙන්න පුළුවන්. අනික ඊජිත්තු ශිෂ්ඨාචාරය ගැන එහෙම සඳහන් කරන විට පිටසක්වල ජීවී සම්බන්ධතා ගැන කතා අපේ ඔලුවලට නිතැතින්ම එනවනේ! සමහරවිට දෙවියන් කිව්වේ මේ පිටසක්වලයින්ටද දන්නේ නෑ? අනික දෙවියන් මෙන් මේ අයත් අහසින් ආලෝකය සමගනේ එන්නේ. (Alien abduction කතාවල හැමවෙලාවෙම කියවෙන සුදුපැහැති දැඩි ආලෝකයත් දෙවියන් ගැන කියන විට සිහිවෙන සුදු ආලෝකයත් සිහියට නගා ගන්න.) නියමයිනේ! මිනිස්-පිටසක්වල මුහුම් ජීවීන්!(human-alien hybrids) හරියට නිකං X-Files වගේ!
මේ කතාව මගේ ඔලුවට ආව විධියත් කියන්නම්කෝ. මම මේ මිනිස්සුයි සත්තුයි අතර සම්බන්ධතාවය ගැන හිත හිත හිටයේ. එතකොට මට හිතුනා සමහරවිට සත්තුන්ට, අපිව( ඒ කියන්නේ මිනිස්සුන්ව) දෙවිවරු වගේ පේනවා ඇති කියල. අපි සත්තුන්ව අපිට ඕනෙ ලක්ෂණ තියෙන විධියට ජාන තාක්ෂණය හා කෘත්‍රීම සංසේචන ක්‍රම මගිනුත් බිහිකරනවා කියලත් මතක් වෙන කොටම මේ කතාව මගේ ඔලුවට ආවා.

අපි අපිටම උදව්වක් කර ගමුද?

Monday, June 15, 2009
දැනුම! දැනුම අත්‍යවශ්‍යය; දැනුම නැත්නම් කිසිවක් හරියට බැරිය. ලාංකීය සමාජය එක තැන පල්වීමට ලොකුම හේතුව වන්නේද නිසි දැනුමක් ජනතාව සතු නොවීමය. නමුත් එය වෙනස්කිරීමට දැන් කාලයයි. ඔව්! අපිටත් ඒ මෙහෙවරට දායක විය හැකියි. එය පටන් ගැනීමට හොඳම තැන දැනුම කිව්වහම අපිට මුලින්ම මතක් වෙන තැනින්ය: විකිපීඩියා! විකිපීඩියාව ගැන නොදන්නා අයෙක් නොමැති තරම්ය. නොදන්නා දෙයක් හමුවූ විට අපි මුලින්ම දිව යන්නේ විකිපීඩියාවටය. අපි හැමෝම දන්න පරිදි විකිපීඩියාව ඕනෑම අයෙකුට ලිපි සැපයීමෙන් වර්ධනය කල හැක.(විකිපීඩියාවට ලිවීමට ආචාර්ය, මහාචාර්ය කෙනෙක් වීමට ඕනෑ නැත.) නමුත් සිංහල විකිපීඩියාව තවමත් ඇත්තේ පහල මට්ටමකය. දැනට එහි ඇති ලිපි වලද බොහෝ අඩුපාඩු ඇත. ඉතින් මං හැමෝගෙන්ම ඉල්ලන්නේ සිංහලෙන් හිතන, සිංහලෙන් ඉගෙන ගන්න අය වෙනුවෙන් තම තමන් දන්න දේවල්(ඕනෑම දෙයක්(විද්‍යාව, කලාව, ඕපදූප කියල භේදයක් නෑ), පොඩි පොඩි දේවල් උනත් කමක් නෑ, නොවැදගත් කියල හිතෙන දේවල් උනත් කමක් නෑ, විකාර අදහස් උනත් කමක් නෑ, දැනුමට ලොකු පොඩි වැදගත් නොවැදගත් කියල භේදයක් නෑ.) සිංහල විකිපීඩියාවට ලියන්න කියලයි. (සිංහල බ්ලොග් අවකාශයේද ඉතා වැදගත් ලිපි පවතිනවා මා දැක ඇත්තෙමි. හැකිනම් මේ බ්ලොග් වලට ලියන දෑ සිංහල විකිපීඩියාවටත් සපයන්න.) තවත් හැකිනම් මෙහි දැනටමත් ඇති ලිපි සිංහලයට පරිවර්තනය කර සිංහලෙන් හිතන පතන ජනතාව(අපි) වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න. සිංහලයිනි, තමන්ට තම ජනතාවට දිය හැකි හොඳම දායාදය දෙන්න. නව ලොව දිනීමට ඔවුන්ව(අපිවම) දැනුමෙන් සන්නද්ධ කරන්න. අපේ මිනිසුන් සිටින තැනින් ඔසවා තබන්නට ඔබේ උපකාරය ලබා දෙන්න. ඔබේ රටට ඔබගේ උදව් අත්‍යවශ්‍යයයි. රටක් සංවර්ධනය කරන්නේ අධිවේගී මාර්ග, අහස උසට ගොඩනැගිලි හැදීමෙන් නොව, මිනිසුන්ගේ ඔලු හැදීමෙන්ය. ඉතින් රට ගොඩනැගීමට ඔබත් උරදෙන්න. අපි වෙනුවෙන් අපි වෙන්න. හෙට උදාවන හිරු අහසට නැංවීමට ඔබ කල මෙහෙවර ගැන දිනක ඔබට සතුටු විය හැකි වේවි. තමන් සතු දැනුම බෙදාගන්න. එය උතුම් ක්‍රියාවකි! මේ ගුරු මුෂ්ටි නොමැති, තුටු පඬුරු නොඉල්ලන සිංහලයින්ගෙන් කරන ඉල්ලීමකි.

අපට කල හැකි දේ:
# සිංහලෙන් අලුතින් ලිපි ලියා එකතු කිරීම.
# දැනට ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් පවතින ලිපි සිංහලයට පරිවර්තනය කිරීම.
# දැනට පවතින සිංහල ලිපි වැඩි දියුණු කිරීම හා ඒවායේ ඇති අඩුපාඩු හා වැරදි සකස් කිරීම.
# මේ ගැන සිංහලෙන් ලිවීමට දන්නා හැකි සෑම දෙනාම දැනුවත් කිරීම හා මගපෙන්වීම.

සිංහල විකිපීඩියාවට මෙතැනින් යන්න

වැදගත්: කරුණාකර නිවැරදි දැනුම පමණක් ලියන්න. වැරදි හෝ බොරු ලිවීමෙන් වළකින්න. අක්ෂර විණ්‍යාසය, ව්‍යාකරණ හා භාෂා භාවිතය ගැනත් සැලකිලිමත් වන්න.
Related Posts with Thumbnails