නම:Marx, ලක්ෂණ:

Sunday, May 17, 2009
පහත ලක්ෂණ ඔබටත් තිබෙනවාදැයි බලන්න.

1. මාක්ස් යනු ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා යැයි විශ්වාස කිරීම. (සමහරුන්ට නම් එය මාක්ස්ව අදහන තරමටම ප්‍රබලයි.)
2. බටහිර විද්‍යාව යනු පරම දැනුම පද්ධතියක් යැයි විශ්වාස කිරීම. (දැනට බටහිර විද්‍යාවේ යම් යම් අඩුපාඩු තිබුනත් ඉදිරි කාලයකදී ඒවා සියල්ල විස‍ඳේ යැයි විශ්වාස කරයි. - බටහිර විද්‍යාවට ඇත්තේ නියම පදනමක් කියල හිතං ඉන්නවා.)
3. උග්‍ර භෞතිකවාදීන් වීම. (මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වයෙන් හටගන්නක් බව මාක්ස් කිව්ව හින්දද දන්නෑ!)
4. සමාජවාදය යනු සමාජය සඳහා පරම (ideal) ක්‍රමය ලෙස විශ්වාස කිරීම. (සමාජවාදයට වඩා හොඳ ක්‍රමයක් කොහොමටවත් නැති බව සිතා සිටියි. - අනාගතයේදී වත් ඇති නොවෙයි කියලත් හිතනවද දන්නෑ!)
5. තමා සාමාන්‍ය සමාජයට වඩා අඩියක්වත් ඉදිරියෙන් ඉන්න බව සිතා සිටියි.
6. සාමාන්‍ය සමාජය දෙස අනුකම්පාසහගත ලෙස බැලීම.
7. බොහෝ දේවල්, (විටෙක සියල්ල) දේශපාලන හා ආර්ථික ක්‍රියාවලි වල ප්‍රතිඵල ලෙස සිතා සිටියි.
8. ඉන්ද්‍රිය සංවේදනයෙන් ලැබෙන දැනුම යනු පරම සත්‍යය යැයි සිතා සිටියි.
9. මොවුන්ට ආගම් යනු ගොන්පාට්ය. ආගමකට සුලු හෝ ගෞරවයක් දක්වන්නේ නම් ඒ සමාජයෙන් ඇති බලපෑම නිසා මිස එම ආගමේ කරුණු පිළිබඳ පැහැදීමකින් නොවේ.
10.ඉතා දැඩි ලෙස ඉහත දේවල් විශ්වාස කිරීම. (මේවා හරියට නිරපේක්ෂ සත්‍යය ලෙසට විශ්වාස කරයි. - මේ අදහස් කිසිවිටෙකත් කිසිම හේතුවක් නිසා වත් වෙනස් නොකරයි.)

මේ ලක්ෂණ ඔබටත් තිබේනම් ඔබේ නමත් මාක්ස් විය හැක! (මීට අමතරව තවත් ලක්ෂණ ඔබ දන්නේ නම් කරුණාකර සටහන් කරන්න.)

15 ක් වූ ප්‍රතිචාර:

NuwanC said...

# දේශපාලනයක් නැති බව පැවසුවාට (තමන් කැමති හා තමන්ට ගතමනාව ගෙවන ) දෙශපාලකයින් කිහිප පලක් හොර රහසේ ඇසුරු කිරිම.

# තමන් ගේ මතය හරියැයි කිමට ඔලුවෙන හරි හිටගැනිම, නැතිනම් පෙරළුනු පිට හොදයි කීම.

# ශිෂ්ඨ සම්පන්න විදියට කතාවට බැස්සට මොකද තමන්ට අවාසියක් නම් පත අසභ්‍ය වචන දෙසා බැම.

Palitha said...

ඔබ‍ගේ මීට පෙර තිබූ සටහන් කියවා තිබෙන නිසා මීට මගේ අදහස්ද පළ කරමි.සමහරුවන්ට මෙය ආතල් එකකි. නිකමුන් අතර සමරෙක් වීමකි. ඔබ එසේ නොවේ යැයි විශ්වාස කරමි

සැබැවින්ම බටහිර විද්‍යාව ඉගෙන ගන්න ඔබ එය විශ්වාස කිරීමට සැකකිරීමට සිදුවීම සැබැවින්ම අවාසනායන්ත තත්ත්වයකි. ඔබ විසින් ඉහත සදහන් කරන ලද කරුනු අතරින් සෘජුවම සමාජවාදය සදහා ඉලක්කගත නොවන කරුණු (භෞතිකවාදය, ආර්ථික කාරණා) බො‍හෝමයක් මාක්ස්ට පමණක් නොව ලිබරල් දාර්ශනිකයින්ටද අදාළය.මෙය මඩ සටහනක්ද එසේ නොමැතිව සාකච්ජාවකට අදාළ තැනක්ද බවට පත්කර ගතයුත්‍තේ ඔබ විසින්මය. ඔබ මෙය මාක්ස්ට පමණක් ලඝු කරන්නේ නම් එය හදුනාගැනීමට හොදම ක්‍රමය ලෙස මා අසා ඇත්තේ රාජිතගේ "ආපසු හැරෙන්න බෑ" නාට්‍යයේ ඇසුණු වැකියකිනි
"ටිකක් ඇස්දෙක පියාගන්න..... දැන් ටිකක් හිතලා බලන්න, මේ පවතින ක්‍රමය වැරදියි, මේකේ අසාධාරණකම් ගොඩාක් තියෙනවා,ඒක නිසා මේක වෙනස් කරන්න ඕන කියලා හිතෙනවා නම් අන්න ලෙඩේ හැදිලා"
(මෙහි දෙබස හරියටම නිවැරදි නැත. අර්ථය එන පරිදි ලිව්වෙමි.)

රන්දික said...

දැනුම යනු මිනිසා විසින් 'පදනමක්' සහිතව ගොඩ නඟන ලද ‘සංකල්ප’ බව මගේ හැඟීමයි. ‘නූතන විද්‍යාව’ හරහා ලබා ගත් දැනුම යනු සිදුවීම් පැහැදිලි කිරීම හා පෙරයීම් කිරීම පදනම කොට ගෙන ගොඩ නගන ලද සංකල්පයි. නමුත් සියළු සංකල්ප ගොඩ නැගිය යුත්තේ මෙම පදනම යටතේ පමණක් බව සිතීම ඉතා බොලඳ ක්‍රියාවක් ලෙස මා දකිමි.
දෙවියන්, පරලොව, ජ්‍යොතිෂ්‍යය, බ්‍රහ්ම ලෝක, නිර්වාණය ආදී සංකල්පයන්හි
පදනම මීට ඉඳුරාම වෙනස්ය. මේ සියල්ල චිත්ත සමාධිය පදනම් කරගත් සංකල්ප හෙවත් චිත්ත සමාධිය හරහා ලබා ගත් දැනුම ලෙස සැලකිය හැක. ඉතින් මෙවන් සංකල්ප පිලිබඳ තක්සේරුව අපගේ “විද්‍යා රාමුව” නැමැති තුලාවෙන් කිරාබැලීම මහා විහිළුවකි.

ජීවන්ත said...

මෙය මඩ ගැසීමක් නොවේ. මෙය මා මාක්ස්වාදීන්ගේ දුටු ලක්ෂණ වියුක්තකරණය (abstract) කිරීමකි. මෙවැනි ලක්ෂණ අන් අයගේ නොමැති යැයි මා නොකියමි. උදාහරණයක් ලෙස ලිබරල්වාදීන්ගේ මීට වඩා ගොඩක් රසබර ලක්ෂණ තියෙනවා. (වෙලාවක් ලැබුනොත් ඒවාත් ඉදිරිපත් කරන්නම්.)
බටහිර විද්‍යාව මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකරමි.(එහිද අපට ගැනීමට යමක් ඇත - නමුත් ඒ සියල්ලම නොවේ) නමුත් බටහිර විද්‍යාඥයින් කියන පරිදි එය පරම දැනුමක් නොවේ.(මෙය මාගේ මතයයි.) හැම දැනුමක්ම බටහිර විද්‍යාවට අනුව විද්‍යාත්මකදැයි බැලීමට යාම ලොකු විහිළුවක්!
මා බටහිර විද්‍යාව ඉගෙනගන්නා නිසාම මා එය ඉති සිතින් විශ්වාස කල යුතු යැයි මා නොසිතමි.

Palitha said...

දැනට ලෝකයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට අදාල මූලිකත්වය ගනු ලැබුවේ බටහිර නිසා ඔවුන්ගෙන් නිපදවුණු දැනුමෙන් ලොව මැනීමට අපට බලකර ඇත. එහිදී බටහිර දැනුම යන සංකල්පයට මම එකග වෙමි. සැබැවින්ම ආසියාතික සමාජයේ ගොඩනැගුනු දැනුම මේ අනුව මගහැරීමක් සිදුව ඇති නමුත් මේ වන විට ඉන්දියානු හා චීන සම්ප්‍රදායික දැනුම සමාජගත වෙමින් පවති. එය කොතෙක් පරිනාමය වී පෝෂණය වී ඇතිද යන්න සැකසහිතය. කෙසේ වුවද විද්‍යාවක් අපට අවශ්‍ය වන්නේ සියළු දෙනාගේම පිළිගැනීම ලබාගැනීමට පහසුවීම සදහාය.(එක් කරුණක් පමණි)එතැනදී මිත්‍ය මත හා සම්ප්‍රදායික චින්තනයන් යම් කිසි මැනබැලීමක් අවශ්‍ය වන්නේ එකි අවිද්‍යාත්මක සම්ප්‍රදායන් ගොඩනැගී ඇත්තේ ප්‍රබලයා විසින් දුබලයා රදවා ගැනීමට බව ඔබ විසින් "Water" චිත්‍රපටය බැලුවානම් යම් දුරකට වැටහෙනු ඇත.විශේෂයෙන් ලාංකික සමාජය තුළ වන කුලය, ‍ජොතිෂ්‍ය,භූතආත්ම, කර්මය, වැනි සමාජයේ කිදා බැස ඇති මිත්‍යාවන්(විද්‍යාත්මකව ඔප්පු කොට නැති) පසුපස ඇති සැගවුණු දේශපාලනය නිසාවෙන් විද්‍යාව වැනි යම්කිසි මැනබැලීමක අවශ්‍යතාව මතුවේ. ඒ සමස්ත ලෝකයේ දායකත්වය මත වඩාත් පෝෂනය වී ඇති විද්‍යාව හදාරන අතරතුර ඒ තුළින් අපගේ සංකල්පයන් හා ගොඩනැගීම් යම්කිසි හැදෑරීමක අවශ්‍යතාව ඉස්මතු කරමු.

ජීවන්ත said...

@පාලිත,
ඔබේ වෙනත් ලිපි කියවා ඇති නිසා ලියමි. ඔබගේ පෙර අදහස් වලින් ඔබ නිදහස් චින්තනය අගය කල පුද්ගලයෙක් යැයි සිතුවෙමි. නමුත් මෙහි ඇති කරුණු වලින් මට පෙනෙන්නේ (මෙය මට පෙනෙන විධිය පමණක් දැයි මා නොදනිමි) ඔබ අනෙක් කරුණු වලට කෙසේ වෙතත් බටහිර විද්‍යාවට නම් යම් තරමක් හෝ හිස නමන බවයි.
"විශේෂයෙන් ලාංකික සමාජය තුළ වන කුලය, ‍ජොතිෂ්‍ය,භූතආත්ම, කර්මය, වැනි සමාජයේ කිදා බැස ඇති මිත්‍යාවන්(විද්‍යාත්මකව ඔප්පු කොට නැති) පසුපස ඇති සැගවුණු දේශපාලනය නිසාවෙන් විද්‍යාව වැනි යම්කිසි මැනබැලීමක අවශ්‍යතාව මතුවේ."බටහිර විද්‍යාවට අනුව පැහැදිලි කර නොමැති දැනුම (එනම් බටහිර විද්‍යා මොඩලයකට එබ්බවීමට නොහැකි වූ දැනුම) අසත්‍ය, මිත්‍යා මත වන්නේ කෙසේ දැයි මට නොතේරේ.
ඉන්දියානු හා චීන සම්ප්‍රදායන් ගැන කියන ඔබ ඒවා "අවිද්‍යාත්මක සම්ප්‍රදායන් ගොඩනැගී ඇත්තේ ප්‍රබලයා විසින් දුබලයා රදවා ගැනීමට" ලෙස දක්වන අතරම බටහිර සම්ප්‍රදායන් ගැන එසේ සඳහන් කිරීමක් නොකරන අතරම "බටහිර දැනුම යන සංකල්පයට මම එකග වෙමි" යන්න පවසන්නේ ඇයි දැයි මට නොතේරේ.
බටහිර නොවන බොහෝ දේ "ප්‍රබලයා විසින් දුබලයා රදවා ගැනීමට නිපදවූ අවිද්‍යාත්මක සම්ප්‍රදායන්" වන්නේ හා බටහිර දැනුම (විශේෂයෙන්ම විද්‍යාත්මක යැයි කියන දැනුම) "ප්‍රබලයා විසින් දුබලයා රදවා ගැනීමට නිපදවූ අවිද්‍යාත්මක සම්ප්‍රදායක්" නොවන්නේ කෙසේ දැයි මට නොතේරේ.
මේවා පහදා දෙන්න.

Palitha said...

සැබැවින්ම යම් දැනුම් පද්ධතියක් ලංකාව තුලින් ගොඩනැගේ නම් එය මම හිස්මුදුනින් පිළිගනිමි. මන්ද ලාංකික සංස්කෘතියක පාරිසරික තත්ත්වයක හැදුනු අපට ඒ තරම් සමීප විය හැකි දෙයක් නොමැති නිසාය. සැබැවින්ම ලංකාව තුල එවැනි ගොඩනැගිමක් සිදුවුනා නම් වහල්කම, පංතිඅරගලය වැනි වචන බිහිනොවන්නටද ඉඩතිබුනි. නමුත් අවාසනාවකට එය එසේ නොමැත.නමුත් විද්‍යාවක් ගත් කළ එය තැනින් තැනට වෙනස් නොවේ.(විද්‍යාවේ නියමයන් මට වඩා ඔබ දන්නවා ඇති) ඒ නිසා එය පිළිගැනීමට කිසියම් හේතුවක් ඇත.

සැබැවින්ම දැනුම යන සාධකයම ගොඩනැගී ඇත්තේ දුබලයා රිදවීමටය. එය බටහිරදී වඩාත් කුරි‍රුය. නමුත් මේ අතරතුර කාල්මාක්ස් විසින් සමස්ත විද්‍යාව තුලින් දුබලයා, පීඩිතයාට වාසි සහගත වන පැතිකඩ පෙන්වා දුන්නේය. මේ නිසා බටහිර විද්‍යාවට යම්අකාරයක පෙළඔවීමක් සිදුව ඇත. ඔබ පවසන අකාරයට බටහිර දැනුමේ ඇති හිස් කුහර ගැන මමද අසා ඇත. මගේ අවසානය ඇත්තේ බටහිර දැනුම නොව එම දැනුම යොදාගෙන කොතෙක් ලෝකය සාධාරණ සමානාත්මතාවයෙන් යුතු තැනක් කරන‍්නේ කෙසේද යන්නයි.
මෙහිදි පෙරදිග දැනුම තුල ඉහත මාක්ස් සිදුකලාක් මෙන් ප්‍රශ්න කිරීමක් සිදුව නැත. මට දැනෙන ලෙසට නම් එතරම් ප්‍රතිවිරෝධයක් ආසියාව තුළ සිදුව නැත. එහෙත් බටහිර හා සිදුවන ගනුදෙනුව තුලදී දැඩි ප්‍රතිවිරෝධයක් දැක ගත හැක.(යටත්විජිත,නූතන ‍යටත්විජිත)ඒ සදහා අප මුහුන දිය යුතුව ඇත.
මට අනුව විද්‍යව තනිගැනීමක් නැත. එය මිනිස් සුවසෙත සදහා යෙදිය යතුය.

ජීවන්ත said...

ආ, තව එකක් කියන්න අමතක උනා.
# මොවුන් සිතා සිටින්නේ සෑම විටම "අධිපතිවාදී ලොකු මාළුවා" අහිංසක පොඩි එකාව කන්න බලං ඉන්නවා කියලයි. අර "අහිංසක පොඩි මාළුවා" නිකං ඉන්න ලොකු මාළුවාට කිසිම විටෙක කොනිත්ත කොනිත්ත වධ නොදෙයි කියලත් හිතනවා.
මේ ලිපියත් කියවන්න.
http://trueorcrazy.blogspot.com/2009/04/blog-post_29.html

ජීවන්ත said...

"දැනුම යන සාධකයම ගොඩනැගී ඇත්තේ දුබලයා රිදවීමටය" යන්න මා හට පිළිගැනීමට නොහැක. මා මේ ප්‍රකාශය දකින්නේ සියළු දේ දේශපාලන දෘෂ්ටි කෝණයකින් දැකීමේ ප්‍රතිඵලයක් ලෙසය. මේ සඳහා මාගේ මතය වන්නේ දැනුම නිර්මාණය වන්නේ "මම කව්ද? මම කොහෙද ඉන්නෙ? මම මොකක්ද කරන්න ඕනෙ? ඇයි මම?" ආදී වූ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නත් "මාගේ" පැවැත්ම සඳහා මා යමක් කල යුතු නිසාත්ය. (ඒ සඳහා "මට" දැනුම අවශ්‍යයයි.)
("අපේ" නොවන "මගේ" පැවැත්ම ගැන ඉදිරියේදී ලියන්නම්)
"විද්‍යාවක් ගත් කළ එය තැනින් තැනට වෙනස් නොවේ." යන්න මගේ මතය අනුව වැරදි මතයකි. (මේ වෙනස් නොවන ගුණය ගැන මට වෙනම කියවීමක් ඇත.) අයින්ස්ටයින් කී පරිදි "god does'nt play dice" යන්න අද වන විට වෙනස් වී අහඹුබව (randomness) යන්නට වැඩි තැනැක් අද බටහිර විද්‍යාවේද ක්වොන්ටම් භෞතිකය තුලින් ලැබෙමින් පවතී. නමුත් ක්වොන්ටම් භෞතිකයටද, බටහිර විද්‍යාවේ පදනමෙහි වූ අඩුපාඩු නිසා හිරවීමට සිදුවී ඇත. (ශ්රූඩිංගර්ගේ පූසාගේ ගැටළුවේ මෙය දැකිය හැක.) නමුත් ඔවුන් ඒ පදනමේ දෝෂයන් ඉවත් කරනවා වෙනුවට වෙන වෙන දේ කරයි. (මෙහි "කබරගොයා තලගොයා කිරීම" ඕනෑ තරම් සිදුවේ.) මාගේ මතයට අනුව පදනම වෙනස් නොකරන්නේ එයින් ඔවුන්ගේ සිහින රාජ්‍යයන් බිඳ වැටෙන බැවිනි. බටහිර විද්‍යාව කෙසේ කීවද තවම භාවිතා කරන්නේ ස්ථිතික පදනමකි. ලෝකයේ ගතික බව ඔවුන්ට තවමත් ආගන්තුකය! - ඔවුන් තවමත් ගතිකය දකින්නේ ස්ථිතිකයේ විස්තීරණයක් ලෙසිනි. ගතික ලෝකය ස්ථිතික දෙවියන්ට අරහං හින්දද දන්නේ නෑ!!

Palitha said...

මාක්ස්වාදයෙන් ඔබට හොදම ආතල් එක ගැනීම සදහා උ‍ඩින් පල්ලෙන් කෑගසා පලක් නැත. ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබද මට එතරම් දැනුමක් නැතත් සමාජවාදී ශිෂ්‍ය සංගමය "ක්වෙන්ටම් ‍භෞතිකයේ දයලෙක්තිකය" නමින් කෘතියක් ප්‍රකාශයට පත්කොට ඇත.
සැබැවින්ම මාක්ස්වාදය බටහිර විද්‍යාවට ලඝුකිරීම සැබැවින්ම සුදුසු නොවේ.වර්තමානය වන විට බටහිරට පමණක් සීමාවූ දැනුමක් සොයාගත නොහැක.දැක ගත හැක්කේ ගෝලීය ලෙස ගොඩනැගෙන දැනුම් පද්ධතියකි. දැනුම ගොඩනැගී ඇත්තේ දුබලයා රිදවීමට යනු සැබැවින්ම නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ වන්නකි. මගේ අදහස එයට යම්බලපෑමක් කරනු ලැබුවේ විද්‍යාව විසින් බවයි. විශේෂයෙන් බටහිර විද්‍යාවේ ගොඩනැගීමට ‍එරෙහිව අධිපතිවාදී පල්ලිය හා රාජ්‍ය විසින් සිදුකරන ලද බලපෑම් ඔබ නොදන්නවා විය හැක. සැබැවින්ම ඔබ විසින් ගැටළුව මගහරිමින් ශ්‍රී ලාංකික මිත්‍යාවන් පිලිබද ඔබගේ අදහස් දැක්වීම් කිසිවක් සිදුකර නොමැත.ඔබ විසින් ඉගෙනගත් දෑ ඔබවිසින්ම අභියෝගයට ලක්කර ඇත.(එය ඔබගේ දේශකවරුන්ගෙන් ප්‍රශ්න කළ යුත්තකි)මට අනුව ලංකාවේ යැයි සම්මත දැනුම භාවිතාකළ දොළුකන්දේ චීවරධාරියා, කතරගම දේවාලය ඇතුළු සියළු දේවාල, ස්වර්ණමහල් ආයතනයට රත්තරං සපයන‍ දේවගැතිවරයා යනු හොරතක්කඩින් පිරිසකි. ඔබවිසින් ලාංකාවේ යටපත් කරඇති දැනුම පිළිබද අදහසක් දෙන්නේ නම් මැනවි. "# මොවුන් සිතා සිටින්නේ සෑම විටම
"අධිපතිවාදී ලොකු මාළුවා" අහිංසක පොඩි එකාව කන්න බලං ඉන්නවා කියලයි" වැනි කාරනා ඔබගේ වින්දනය උදෙසා තබාගන්න.අවශ්‍යනම් එසේ පවසන්නේ කුමනහේතුවකටද කියා දැනගැනීමට ඔබේ විශ්ව විද්‍යාලයේම ඕනෑතරම් පිරිස් ඇත.

ජීවන්ත said...

මා මාක්ස්වාදය බටහිර විද්‍යාවට ලඝු නොකරමි. මෙම අදහස් දැක්වීමේදී උක්ත ලිපියේ ඇති අනෙක් කරුණු යටපත් කරමින් විද්‍යාව වැදගත් මාතෘකාවක් වූයේ ඇයි දැයි ඔබම සිතා බලන්න.(මෙම මුල් ලිපියේ බටහිර විද්‍යාව ගැන සඳහන් කර ඇත්තේ එක් කරුණකදී පමණි.)

මමද පෞද්ගලිකව ලිබරල්වාදයට වඩා සමාජවාදයට කැමැත්තෙමි. නමුත් මම එය ස්ථිතික දෙයක් ලෙස වැලඳ නොගනිමි. මා හට ඒ අදහස ගතිකය.
දැනුම යනු මා දැනට ලිපි කීපයක සඳහන් කර ඇති පරිදි ප්‍රබලයා හෝ දුබලයා යන භේදයෙන් තොරවම අප නියමාකාර නිදහසකින් හිරකර ඇති දෙයකි. (නමුත් මේ දැනුම නැතිවූ කල අපගේ අනන්‍යතාවයන්ද නැති වී යයි - මේ ක්‍රියාවලිය මා තවමත් හරිහැටි තේරුම් කර ගෙන නොමැත. මේ මා දැනට සිටින මතය වේ. නමුත් මෙයද මා ලබාගන්නේ ගතිකවය.)

බලන්න:
http://trueorcrazy.blogspot.com/2009/05/blog-post_17.html
සහ
http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_23.html

දැනුම නිර්මාණය කරන්නේ මිනිසුන්ය. ඒ ඒ පුද්ගලයා දැනුම නිර්මාණය කිරීමේදී තම තමන්ගේ අවශ්‍යතා වලට ප්‍රමුකත්වයක් දීම අපට වැලැක්විය නොහැකියි. නමුත් මෙය පමණ ඉක්මවා කිරීමෙන් ඔබ සඳහන් කර ඇති ආකාරයේ "ලංකාවේ යැයි සම්මත දැනුම භාවිතාකළ දොළුකන්දේ චීවරධාරියා, කතරගම දේවාලය ඇතුළු සියළු දේවාල, ස්වර්ණමහල් ආයතනයට රත්තරං සපයන‍ දේවගැතිවරයා" ආදී පිරිස් ඇතිවේ.

විද්‍යාව ගැන තවදුරටත් කතා කරන්නේ නම් දැනට විද්‍යාව යනුවෙන් නොහඳුන්වන දැනුම් පද්ධතීන් ගැනත් කතා කිරීමට සිදුවේ. මෙහිදී විද්‍යාව යනු කුමක් දැයි දැනගැනීම වටී. දැනට බොහෝ දෙනා පිළිගත් මතය අනුව විද්‍යාව යනු ස්වභාවයේ අප නිරීක්ෂණය කරන දෑ(අපගේ සංවේදන ආධාරයෙන්) හැදෑරීම තුලින් ස්වභාවධර්මය(විශ්වය) ක්‍රියාත්මක වන ආකාරය ගැන නිරීක්ෂණ සමග සංගත වන ක්‍රමාණුකූල දැනුම පද්ධතියකි. මේ අනුව බලන කල දේවධර්මයද යම් ආකාරයක විද්‍යාවකි.(අප එය පිළිගැනීම හෝ නොපිලිගැනීම වෙනමම කතාවකි.) දෙවියන් පිළිබඳ සංකල්පය තුලින් ස්වභාවධර්මය(විශ්වය) ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව හොඳින් සංගතව පැහැදිලි කර දෙයි. නමුත් එය අප පිළිනොගනිමු. ඒ වෙනුවට අප වෙනත් පදනමකින් විද්‍යාව යනුවෙන් දැනුම පද්ධතියක් නිර්මාණය කර ගතිමු. නමුත් විද්‍යාවද ආරම්භ වන්නේ පැහැදිලි නොකරන ස්වසිද්ධි(axioms) වලිනි. උදාහරණයක් විධියට විද්‍යාවේ බහුලව(වැඩිපුරම කීවත් වැරදි නැත) භාවිතා කරන "ශක්ති සංස්ථිතිය" යනු හරිහැටි "ඔප්පු" නොකරන ලද සංකල්පයකි. (මෙහි "ඔප්පු" යන වචනය වැදගත්ය. යමක් ඔප්පු කිරීම යනු කුමක්දැයි සිතා බලන්න. එය ඔබට භාර කරමි.)

බටහිර පල්ලියට එරෙහිව ඇති වූ විද්‍යාවේ ප්‍රබෝධය මා දකින්නේ මෙසේය. බටහිර මූලිකවම පැතිරී තිබුනේ දේවවාදී ආගම්ය. එහිද අනිවාර්යයෙන්ම දෙවියන්ගේ හා දේව නියෝජිතයන්ගේ අධිපතිවාදයක් ඇත. නමුත් මිනිසුන් කිසිවෙකුත් තමා පාලනය කරනවාට අකමැතිය. විද්‍යාව වැනි දැනුම පද්ධතියක් ශක්තිමත්ව පෙරට ගෙන ඒමේ මූලිකම අභිප්‍රාය වී ඇත්තේ එය බව මගේ හැඟීමයි. (නමුත් විද්‍යාවේ අරමුණ වන්නේ එය පමණක් නොවේ. මිනිසාගේ සුඛවිහරණය සඳහා තාක්ෂණය නිර්මාණය කිරීමත් එහි එක් මූලික අරමුණක්.) නමුත් පෙරදිග බෞද්ධ දර්ශනයේ එවැනි දෙවියන්ගේ හෝ දේව නියෝජිතයින්ගේ අධිපතිවාදයක් නොමැත. එනිසා මෙහිදී අධිපතිවාදයකින් තොරව ස්වභාවය පැහැදිලි කරන දැනුම පද්ධතියක් පැවතියදී එවැනි වෙනත් විද්‍යාවක් (බටහිර විද්‍යාව වැනි) සඳහා අවශ්‍යතාවයක් මතු වී නැත. (නමුත් බලිතොවිල් ආදී දේ මෙන්ම අපල දුරු කර සැප සම්පත් ඉල්ලමින් බෝධි පූජා පැවැත්වීමත් බුදුසමයෙහි ප්‍රතික්ෂේප කරයි. - කෙසේවෙතත් බෞද්ධයින් යැයි කියා ගන්නා මිනිසුන් ඒවා භාවිතා කරයි.)

කෙසේ නමුත් අද වන විට සීඝ්‍ර දියුණුවක් ලබා ඇති බටහිරයින් අද ඔවුන්ගේ විද්‍යාව යම් ආකාරයක අධිපතිවාදී ආකාරයකට බෙදා හරියි. ("සත්‍ය" වීමට නම් බටහිර විද්‍යාවට අනුව විද්‍යාත්මක විය යුතුය වැනි අදහස් සමාජගත කිරීම මගින්) මා නිදහස් චින්තනයට ගරු කරන්නෙක්මි. එනිසා මා මෙයට විරුද්ධ වෙමි. මා විරුද්ධ බටහිර විද්‍යාවටයි යනුවෙන් මෙය වරදවා වටහා නොගන්න. මා විරුද්ධ බටහිර විද්‍යාව හා එයම පමණක් සත්‍යයයි යන්නටයි.(ස්වභාවධර්මය(විශ්වය) සම්බන්ධ මාගේ කියවීම(දැනුම) මා ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්)

මෙවැනිම අන්තවාදී(බටහිර විද්‍යාවේ අනෙක් අන්තය අදහන) අදහසක් දරණ නලීන්ද සිල්වා මහතාට මේ සම්බන්ධයෙන් නිදහස් චින්තනය ගැන මා ලියා ඇති මේ ලිපි කියවන්න.
http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_11.html
සහ
http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_12.html

"අධිපති මාළුවා"ගැන කතාව ඔබේ අදහස් දැක්වීමට කී එකක් නොව මුල් ලිපිය සඳහා එකතු කල එකකි.

Ramachandra said...

මේ සටහන පසුවෙලා දැක්කෙ.ඒ නිසයි ප්‍රතිචාරය තරමක් ප්‍රමාද වුනේ.
ඔබ දක්වා තිබෙන 1,8 වැරදියි.ඒ නිසා 10ත් වලංගු වෙන්නෙ නැහැ.
පාලිත දක්වා තිබෙන විදිහට බටහිර රටවල තමයි නිෂ්පාදන බලවේග පලවෙනියටම ගොඩක් දියුනු වුනේ.ඒ හින්ද ලෝකය තේරුම් ගැනීමට අවශ්‍ය නූතන විද්‍යා දැනුමේ මුල් අඩි තිබුනෙ බටහිරින්.හැබැයි ඒකත් සංශුද්ධ අවරදිග දැනුමක් නෙමෙයි.ඊජිප්තුවේ,චීනයේ දැනුම් ප්‍රවාහයන් ඒකට උපස්ථම්භක උනා.ඉතින් බටහිර පෙරදිග කියල දැනුම නිරපේක්ෂව බෙදන්න යන එක පදනමින්ම සංදිග්ධයි.
අනිත් අතට "ශුක්‍රානුවක් හා ඩිම්බයක් සංසේචනය වෙලා කලලයක් හැදෙනවා"මිනිස් දරුවෙක්ගේ උපත ගැන ඔය අදහස ඉස්සෙල්ලාම සූත්‍රගත වුනේ බටහිරින්.(ඔබට අනුව ඒක "බටහිර"දැනුමක්)මට නම් එහි සම්භවයේ වැදගත්කමක් නැති අතර වැදගත් වෙන්නෙ ඉන් කියැවෙන දේ සමග එකග වෙන්න පුලුවන්ද නැද්ද කියන එක විතරයි.ඒක අද බටහිරට විතරක් නෙමෙයි අපිටත් අදාල දැනුමක්.මොකද මෙහෙත් කලල හැදෙන්නෙ එහෙම වන නිසා.
අනික අද දැනුම වෙනදාටත් වඩා ගෝලීය ස්වභාවයක් ගන්න පටන් ගෙන තියනවා.ජපානයේ චීනයේ ඉන්දියාවේ නිෂ්පාදන බලවේග දියුනුවත් එක්ක එම රටවලිනුත් සංකල්ප දැනුම හැදෙනවා.ඉතින් අපේ පාරම්පරික දැනුමත් අදට ගැලපෙන විදිහට සකස් කරගෙන ජීවිතය පහසු කරගැනීමට යෙදවීමට බැරිකමක් නැහැ.එහෙම මුහුවීමත් එක්ක ඒ පාරම්පරික දැනුමත් ගෝලීය/මානව දැනුමේ එක කොටසක් වේවි(හරියට අද චීන කටු චිකිත්සාව අපේ ප්‍රතිකාර ක්‍රමයක් බවට පත්කරගෙන තියනවා වගේ)
ඒ හින්ද බටහිර/පෙරදිග ලෙස දෘඩ වර්ගිකරනයකට යන එක විලාසිතාමය වැඩක්.පරිගනකය ඇතුලුව අනිත් බොහෝ දේ (ඒවයෙ ජාතකය කුමක් වුනත්)අපේ ජීවිත පහසු කරල තියනවා.

Ramachandra said...

අනිත් කරුනු ගැන කෙටියෙන් කියනවා නම්-
3.මාක්ස්වාදයේ දර්ශනය දයලෙක්තික භෙෘතිකවාදය.ඒක තරමක් හැදැරීමක් කරන්න ඕන විෂයක්.ලෝකය කියන්නෙ මනසේ නිර්මානයක් නෙමේ ද්‍රව්‍ය පරිනාමයේ ඉහලම අවදිය ලෙස මනස බිහිවුනා කියන එක ඒකෙ අදහසක්.ඒක ගැන වැඩිදුර පුලුවන්නම් කියවන්න.භෙෘතිකවාදය කියන වචනය ගැන ඔබට තිබෙන්නෙ අහේතුක ෆෝබියාවක්
4-සමාජවාදය "පරම"ක්‍රමය කෙසේවුනත් මෙතෙක් බිහිවූ සමාජ ක්‍රම වලට වඩා යහපත් හා සාධාරන එකක් ලෙස මාක්ස්වාදය විශ්වාස කරනවා.("මාක්ස්වාදය"යන්නෙහි නිවැරදි නම විද්‍යාත්මක සමාජවාදය යන්නයි)
5-මාක්ස්වාදියෙක් යනු විප්ලවවාදියෙක්.සමාජය වැඩකරන ආකාරය ගැන හැදෑරිමක් තියන එහි නියමයන් ගැන අවබෝධයක් තියන,සමාජය වඩා යහපත් නැතක් කරන්න වෙහෙසෙන කෙනෙක්.එවැන්නෙක් "සිතා සිටියත්/නැතත්"එහෙම හැදැරීමක් නැති අයට වඩා ඉන්නෙ ඉදිරියෙන් තමයි.
6-සැබෑ මාක්ස්වාදයා මානව හිතවාදියෙක්.ඔහු/ඇය සමාජයට/මිනිස්කමට ආදරය කරනවා.සානුකම්පිත බව යනු ඒ ආදරය සමග ගැටගැහුන දෙයක්.ඒකෙ "නරකක්"ඔබ දකිනවාද?
7-සියලු දේ ආර්ථික හෝ දේශපාලනික යැයි කෙහෙත්ම මාක්ස්වාදය කියන්නෙ නැහැ.ස්වභාවික සංසිද්ධි එහෙම ඒවා නෙමේ.නමුත් සමාජයීය සංසිද්ධින් අතිශය දේශපාලනිකයි.ඒවා ආර්ථිකයත් එක්ක බද්ධ වෙනවා.දේශපාලනික/ආර්ථික බලපෑමෙන් තොර සමාජීය සංසිද්ධියක් පෙන්නන්න පුලුවන් නම් අගෙයි.
8-දැනුම ඉන්ද්‍රිය සංවේදනය හා තාර්කික බුද්ධිය දයලෙක්තික විදිහට ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගෙන්නක්
9-ආගම ගැන මාක්ස්වාදී අදහස ගොඩක් පුලුල්.ආගම් ඇතිවීමට පැවතීමට හේතු ඒ තුල ගැඹුරින් කතාකෙරෙනවා.ආගම ගොංපාට් එකකටත් වඩා මායාකාරී උත්තේජකයක්.ඒකෙන් මත්වුනාම මහාචාර්යවරුන් වුනත් ගොංකතා කියන ආකාරය නලින්ද සිල්වා මහත්තයා බුදු පිලිම වලින් කිරන පිටවීම ගැන කරල තිබුන විග්‍රහයෙන් පැහැදිලි වෙනවා.
අවසන් වශයෙන් 1-මාක්ස් ලෝකයේ ශ්‍රේෂ්ටතම බුද්ධිමතා වගේ ආගම් වල තියන වර්ගයේ උත්කර්ෂයට නැගීමක් මාක්ස්වාදය තුල නැහැ.මාක්ස් යනු බුද්ධිමත් මිනිසෙක්.ධනවාදී සමාජය වැඩකරන හැටි,සමාජයක් පොදුවේ වැඩකරන ආකාරය ගැන අතිශය තීරනාතමක සංකල්ප හා න්‍යායන් ප්‍රමානයක් ඔහු විසින් ගොනු කරනු ලැබුවා.ඩාවින් ජීව විද්‍යා ක්ෂේත්‍රයේදී බුද්ධිමතෙක් වන්නෙ යම් සේද අයින්ස්ටයින් භෙෘතික විද්‍යවේදී බුද්ධිමතෙක් වන්නේ යම් සේද මාක්ස් සමාජ විග්‍රහය සම්බන්ධයෙන් දැවැන්ත එකතු කිරීමක් කල විදග්ධයෙක්.ඒ ගෙෘරවය හැර ඔහුට වදින්න මල් පුදන්න මාක්ස්වාදින් කටයුතු කරන්නෙ නැහැ.ඒවා ආගම් වල පවතින ගොංපාට් පමනයි.

ජීවන්ත said...

මම මේ ලිපියෙ කියල තියෙන කරුණු පටලවගෙන ඉන්න හැඩයි. මේවා පටලවගන්න එපා.
1. මේ ලිපියෙ කතා කරන්නේ මාක්ස්වාදය ගැන නෙවෙයි; මාක්ස්වාදීන් ගැනයි.
2. මට මාක්ස්වාදය හෝ මාක්ස්වාදීන් ගොන්පාට් කිරීමේ හෝ ඉහලින් ඔසවා තැබීමේ අවශ්‍යතාවයක් නැත; එමෙන්ම මෙයින් මාක්ස්වාදීන්ගේ හොඳ හෝ නරක කීමේ අවශ්‍යතාවයක්ද නැත. මේ ලිපියේ ඇත්තේ බහුතර මාක්ස්වාදීන්ගේ මා දුටු ලක්ෂණ වියුක්තකරණය (abstract) කිරීමක් පමණි.(චර්යාත්මක විමර්ශණයක්)

මේ අදහස මා පෙරත් කියා තිබිණි. එනිසා මේවා පුන පුනා කීමේ අවශ්‍යතාවයක් නැතැයි සිතමි.
එනිසා ඉහත මා දක්වා ඇති කරුණු 2 අනුව මුල් ලිපියේ කරුණු ගැන,

1-කාල් මාක්ස් ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා ලෙස පිළිගැනීම ගැන මා නැවතත් කරුනු දැක්විය යුතු නැතැයි සිතමි. එය මෙහි ඇති කරුණු දැක්වීම් තුලින් දෘශ්‍යමාන වේ. (එහෙම නැත්නම් මාක්ස්වාදීන්ට මාක්ස්වාදීන් යැයි නොකියන්න වේවි!)

2-"ඒක අද බටහිරට විතරක් නෙමෙයි අපිටත් අදාල දැනුමක්.මොකද මෙහෙත් කලල හැදෙන්නෙ එහෙම වන නිසා." - මෙවැනි ප්‍රකාශ මගින් අනෙක් දැනුම පද්ධති වලට සාපේක්ෂව බටහිර විද්‍යාව කෙතරම් දුරට විශ්වාස කරන්නේද යන්න ගැන වැඩිදුර කරුණු දැක්වීමක් අවශ්‍ය වන්නේ නැතැයි සිතමි.

3-"ලෝකය කියන්නෙ මනසේ නිර්මානයක් නෙමේ ද්‍රව්‍ය පරිනාමයේ ඉහලම අවදිය ලෙස මනස බිහිවුනා කියන එක ඒකෙ අදහසක්." - භෞතිකවාදීන් බව පෙන්වීමට තවදුරටත් කරුණු දැක්විය යුතු නැතැයි සිතමි.

4-"සමාජවාදය "පරම"ක්‍රමය කෙසේවුනත් මෙතෙක් බිහිවූ සමාජ ක්‍රම වලට වඩා යහපත් හා සාධාරන එකක් ලෙස මාක්ස්වාදය විශ්වාස කරනවා." - සමාජවාදය හොඳ ක්‍රමයක් බවට මට ප්‍රශ්නයක් නැත. ("මමද පෞද්ගලිකව ලිබරල්වාදයට වඩා සමාජවාදයට කැමැත්තෙමි. නමුත් මම එය ස්ථිතික දෙයක් ලෙස වැලඳ නොගනිමි. මා හට ඒ අදහස ගතිකය.") - නමුත් බොහෝ මාක්ස්වාදීන් එය අවශෝෂණය කරන්නේ පරම(නිරපේක්ෂ) ලෙසටය.

5 හා 6 කරුණු වලට ඔබ දැක්වූ හේතු මා ඉදිරිපත් කල ලක්ෂණ වලට උදව්වක්.

7-මේ සම්බන්ධව ඉතාමත් සුළු උදාහරණයක් දක්වන්නම්.
"බසයක හෝ දුම්රියක ගමන් කරන විට හිඳගෙන සිටින පුද්ගලයෙක් සිටගෙන සිටින පුද්ගලයෙක්ගෙන් ගමන් මල්ල ඉල්ලා ගැනීම" - සෑමවිටම මෙය සිදුකරන්නේ තමන්ටත් මෙවැනි දෙයක් බලාපොරොත්තුවෙන්ම නොවේ. සෑම සමාජයීය සම්බන්ධතාවයක්ම දේශපාලනික හෝ/හා ආර්ථිකමය ආකාරයකට දැකීම තුල "පරාර්ථය ඇතිවන්නේ ආත්මාර්ථය තුලිනි" යන අදහස සැඟවී ඇති බව මගේ හැඟීමයි. නමුත් එසේ නොවන අනන්තවත් දෑ සමාජය දෙස කණ්නාඩි ගලවා බැලීමෙන් දැකිය හැකි වේ.(කණ්නාඩිය තුලින් දකින්නේ කණ්නාඩියෙන් පෙරී එන දෑ පමණි)
(මෙය බලන්න: http://trueorcrazy.blogspot.com/2009/02/believe-to-see.html)

8-මේ සම්බන්ධව මාගේ හැදෑරීම ප්‍රමාණවත් ‍නොමැති බව මා පිළිගනිමි. මේ ගැන තවදුරටත් හැදෑරීමෙන් පසුව ඉදිරිපත් කරන්නම්.

9-"ආගම ගොංපාට් එකකටත් වඩා මායාකාරී උත්තේජකයක්." - මා කියූ අදහස තවදුරටත් වර්ධනය (amplify) කර තිබෙන හැඩයි.

10-ඉහත කරුණු නිරපේක්ෂව වැලඳ ගැනීම ගැන තවදුරටත් කරුණු දැක්විය යුතු නැත.

OVITIGALA said...

වාස්තවික යථාර්තය මිනිස් මොළය තුලින් පරාවර්තනය නොවීමේ අසරණකම මොනවගේද? දන්න අය කියන්නකෝ....

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails