ඕනෑ කර තිබේ!

Wednesday, May 20, 2009
නිදහස් චින්තනය. අද ඉන්න යාන්ත්‍රික මිනිස්සුන්ට නැතිම දෙයක් තමයි මේ. යාන්ත්‍රික විතරක් නෙවෙයි, යාන්ත්‍රික නොවන අය තුලත් මේක හොයාගන්න ටිකක් අමාරුයි. මම මේ නිදහස් චින්තනය කියල කිව්වෙ නිදහස් රටක, නිදහස් මිනිහෙක් විදියට තමන්ට ඕන දේවල් තමන්ට ඕන විදියට හිතන එක ගැන නෙවෙයි. ඒකත් නිදහස් චින්තනයක් තමයි, හැබැයි මම කතා කරන්නෙ ඊට ටිකක් වෙනස් දෙයක් ගැන. මම මේ කියන්නෙ අපි හිතන දේවල් යම්කිසි විෂය රාමුවකට කොටු කරල හිතන්නෙ නැතිව වඩාත් පෘථුල විදියට, වඩාත් විශ්වීය විදියට හැකිතරම් සීමා රහිතව හිතන එක ගැනයි. බහුතරයක් මිනිසුන්ගේ තිබෙන ප්‍රධාන අඩුපාඩුවක් තමයි ඉතා ඉක්මනින්ම අර්ථ දැක්වීම් (සම්මතයන්) වලට කොටුවීම. (එනම් අර්ථ දැක්වීම් විශ්වාස කිරීම) අර්ථ දැක්වීම් වලින් වටවුනු මනසක නිර්මාණය වන දැනුම එම අර්ථ දැක්වීම් වල සීමා වලින් කොටුවේ. උදාහරණයක් විධියට අයින්ස්ටයින් තමන්ගේ චින්තනය නිව්ටන්ගේ රාමුවල කොටුකරගෙන තිබුනා නම් ඔහු කිසිදිනෙක සාපේක්ෂතාවදයක් නිර්මාණය නොකරනු ඇත.
වඩාත් සරල විදියට කියනවනම් අපි සාමාන්‍යයෙන් කියන්නෙ සාම්ප්‍රදායික භෞතික විද්‍යාවට අනුව මෙහෙමයි, ක්වොන්ටම් යාන්ත්‍රණයට අනුව එහෙමයි, බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙහෙමයි, මාක්ස්වාදයට අනුව මෙහෙමයි, පෙරදිග සංගීතයට අනුව එහෙමයි, ආර්ථික විද්‍යාවට අනුව මෙහෙමයි කියලනෙ. ඒ නමුත් අපි එහෙම කියනකොට අපි දන්නෙම නැතුව අපේ චින්තනය ඒ ඒ රාමු වලට කොටු වෙනවා. එතකොට එතන නිදහස් චින්තනයක් නෑ. සරලව කියනවනම් එතකොට වෙන්නෙ නිදහස් චින්තනයක් තිබුන මිනිස්සුන්ගෙ මනසෙන් නිර්මාණය කරපු දැනුම පද්ධතියක අපේ සිතුවිලි හිර වෙන එකයි. හැබැයි එක දෙයක් මතක තියා ගන්න, අපි ඉන්න මේ ලෝකය මේ තත්වෙට ගෙනල්ල තියෙන්නෙ ඒ නිදහස් චින්තනය තිබිච්ච මිනිස්සු. ඒ වගේමයි මං අර කලින් උදාහරණෙදි කියපු ඔක්කොම සිද්ධාන්ත නිර්මාණය උනෙත් නිදහස් චින්තකයන් තුලයි. මොකද ඒ අය අනෙක් අය නොදැකපු දෙයක් මේ විශ්වයේ දැක්කා. ඒ අය රාමුවෙන් එපිටට හිතපු හින්දයි ඒ අය අලුත් දැනුමක් නිර්මාණය කලේ. ඒ අයගෙ චින්තනය රාමුවකට කොටු වෙලා තිබ්බ නම් ඔවුන් කවදාවත් අලුත් දෙයක් හොයා ගන්නෙ නෑ. ඒ හින්දා අපේ රටට දැන් ඕන කරල තියෙන්නෙත් ඒ විදියට රාමුවෙන් එපිටට හිතන්න පුළුවන් අයයි.
ඒ වගේමයි නිදහස් චින්තනය කියන එකට විෂය ක්ෂේත්‍රයක් නෑ. විද්‍යාව, කලා, වාණිජ කියල වෙන්වෙන් නෑ. මොකද එහෙම විෂය ක්ෂේත්‍රය විධියට වෙන් කලොත් නැවතත් එතන නිදහස් චින්තනයක් නැතිවෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් ගැන හිතද්දී මම විද්‍යාත්මකව හිතනවා හෝ මම කලාත්මකව හිතනවා ආදී වශයෙන් අපි අපේ චින්තනයට සීමා පනවන්නේ නැතිව නිදහස්ව සිතිය යුතු බවයි. එමගින් පූර්ණ විද්‍යාත්මකත් නොවන, පූර්ණ කලාත්මකත් නොවන නමුත් ඒ සියලු ගති ලක්ෂණ ඇති වඩා පරිපූර්ණ, වඩා සාර්ථක නිර්මාණ කිරීමට හැකිවේ.
මම හිතන්නෙ අපේ රට ගොඩගන්න නම් රාජ්‍ය මට්ටමින් නිදහස් චින්තකයන් ප්‍රවර්ධනය කරන්න ඕනෙ කියලයි. (හැබැයි මෙතුවක් කාලෙකට අපේ රටේ ප්‍රවර්ධනය වුනේ ව්‍යාපාරිකයන් විතරයි.) හැබැයි මේක කියනවට වඩා අමාරුයි. මොකද ඔය බුද්ධිමත්තු කියල පෙනී හිටින ගොඩ දෙනෙක් බුද්ධිමත්තු නෙවෙයි. උගත්තු විතරයි. (උගත්කමයි, බුද්ධිමත්කමයි කියන්නෙ එකක් නොව දෙකකි.(මෙය කියවන්න - දැනුමයි - බුද්ධියයි) උගතෙක් යනු දැනුමෙන් (knowledge) පිරිපුන් පුද්ගලයෙක් වන අතර බුද්ධිමතෙක් යනු බුද්ධියෙන් (intelligence) පිරිපුන් පුද්ගලයෙක් වේ.) ඒ වගේම නිදහස් චින්තකයෙක් වෙන්න අවශ්‍ය බුද්ධිය මිස උගත්කම නෙවෙයි. බස් රියදුරෙකුත් බුද්ධිමතෙක් වෙන්න පුළුවන් උගත් නැතුවට, ඒ වගේම මහා ඇදුරු කෙනෙකුත් උගතෙක් විතරක් වෙන්න පුළුවන් බුද්ධියෙන් අඩු. (මෙහෙම කිව්වට කව්රුත් වරදවා වටහා ගන්න එපා.) හැබැයි බුද්ධියට අමතරව උගත්කමත් තියෙනව නම් ඒක ලොකු හයියක්.

6 ක් වූ ප්‍රතිචාර:

Anonymous said...

රාමුවකින් තොර චින්තනයක් නැත. මන්ද රාමුවකට පිටින්ද රාමු පවතින බැවිනි.ඒ බාහිර රාමුව ගැන දැන නොසිටිනා තාක් රාමුවෙන් පිට සිටී යැයි සතුටු විය හැක.

අනිත් කාරණය වන්නේ නොගැලවිය හැකි ලෙස රාමුවල මිනිසුන් සිරවී සිටීමයි. දෘෂ්‍ය උදාහරණ ලෙස දේශපාලන සහ ආගමික රාමු ගත හැක.

ජීවන්ත said...

රාමු තියෙන නිසා තමයි "හැකිතරම් සීමා රහිතව හිතන එක" ගැන කතා කලේ. අපේ රාමුව අපි හැකි තරම් පුළුල් කර ගන්න උත්සාස කරන්න ඕනෙ. නැතුව එතනින් එහාටත් රාමු තියෙනවා කියල හිත හිත බකං නිලං ඉන්නෙ නැතිව! මෙහෙම හිතන කං කවදාවත් ඉදිරියට යාමට නොලැබෙනු ඇත.(දැනට අපේ අයට වෙලා තියෙන දේ!)
-"අයින්ස්ටයින් තමන්ගේ චින්තනය නිව්ටන්ගේ රාමුවල කොටුකරගෙන තිබුනා නම් ඔහු කිසිදිනෙක සාපේක්ෂතාවදයක් නිර්මාණය නොකරනු ඇත"-ාද

Palitha said...

ජීවන්ත, ඔබ මේ දකින සංස්කෘතික මිනිසා කියන්නෙම ‍ඓතිහාසික් ගොඩනැගීමක්. එහිදී මුලින්ම‍ රෝද හොයාගත්තට පස්සේ එය මත ගොඩනැගීමෙන් තමා වාහනය බිහිවෙන්නේ. එහෙම නැතුව ස්වභාවික ප්‍රාථමික මිනිසා හැරුණු කොට වෙන කිසිවෙක් මිනිසාගේ ‍ඓතිහාසික ගොඩනැගීම් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වෙලා තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබේ ඇදුම, භාෂාව, ආගම වැනි දෑ සිට ඔබේ ඇවිදීම, ඔබ ආදරය කරන ආකාරය, ලිංගිකව හැසිරීම දක්වා සියළු දේ සාමාජීය ඓතිහාසික ගොඩනැගීමක පවතින්නක්.(වෙනස බලාගැනීමට වදුරෙකු හා මිනිසෙකු ආහාර ගන්නා ආකාරය විමසන්න.) ‍මෙකී ගොඩනැගීම වෙනුවෙන් යම් නිර්මාණාත්මක යමක් එකතු කලොත් එකී ගොඩනැගීම තවත් පලල් වනවා.මෙකී සමාජීයව ගොඩනැගීම තමා මිනිසා තිරිසනන්ගෙන් වෙනස් වන ප්‍රධානතම සාධකය.කෙසේ වුවත් මට හිතාගන්නට බැරි ඔබ විසින් ඔයාකාරයේ නිදහස් චින්තනයක් තුළ බලාපොරොත්තුවන අරමුන කුමක්ද යන්නයි.අයින්ස්ටයින් පවා තමන්ට පෙර සොයාගෙන තිබූ විද්‍යාව මත රැදෙමින් තමයි තමන්ගේ නව සොයා ගැනීම ඉදිරිපත් කළේ.

Anonymous said...

ජීවන්ත - මා පැවසූයේ රාමු පවතින බව මිස ඒවා බිඳ හෙලිය යුතු නැති බව නොවේ. නමුත් එම බිඳීමේ කෙලවරක් නැත. ඒවා බි‍ඳෙන්නේ අවශ්‍ය සාධක සියල්ල පරිපූර්ණ වීමෙනි. ඇතැම් විට නිදහස් චින්තකයෙක් සිටියද ඔහුගේ වටපිටාව තුල නිදහස් වීමට ඔහුට හැකියාවක් නැත. එබැවින් නිදහස් චින්තනය යැයි පවසන යෙදුමේ අර්ථයම සීමා සහිතය. ඔබ කියනා සීමා රහිත බව මිනිසුන්ට දැනෙන්නේ කෙලෙසින්ද? එය දැනටමත් අසීමිතව මිනිසුන් තුල පවතින්නකි. එය පුළුල් කරගන්නවාද යන්න නම් ගැටළුවකි. මන්ද වත්මන් මිනිසා සිතිය යුතු දෑ පවා ඔවුන්ගේ සිතට කාවද්දන බැවිණි. නිදහස් චින්තනයේ නියම ඵල ලබන්නවුන් ඇතැම් විට අයින්ස්ටයින් මෙන් ලෝක පූජිත වේ. නැත්නම් තමන්ගේ වැඩක් බලාගෙන නිදහස් චින්තනයේ තෘප්තිය ලබමින් සුවෙන් ජීවත් වේ.

Anonymous said...

නිදහස් චින්තකයා ගසකින් අත්තක් බෙදෙන්නාක් මෙන් නව ප්‍රවාහයක් බිහි කරයි. නමුත් ඔහු බිහි වී ඇත්තේ එකම ගසකිනි. එසේම ඇතැම් විට නිදහස් චින්තකයෙකු නව බිජුවකින් ගසක් හටගන්නා ලෙස නව ප්‍රවාහයක් බිහි කලත් එයද එකම ගසක පැලයක් පමණි. කෙසේ වුවද නිදහස් චින්තනයේ සුව ලබමින් යන ගමනේ කෙලවරදී නිදහස් චින්තනයක් නොමැති බව නම් වටහාගැනේ.

ජීවන්ත said...

@පාලිත සහ Anonymous,
අදහස් දැක්වීමට තුති.

@පාලිත,
අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ හා නිව්ටන්ගේ නියම අතර පදනමේ වෙනස්කම් පවතිනවා. එක් උදාහරණයක් විධියට නිව්ටන්ට අනුව වස්තූන් පවතින්නේ අවකාශය හා කාලය තුල වන අතරම අයින්ස්ටයින්ට අනුව අවකාශ-කාලය ඇතිවන්නේ වස්තූන් මඟින්. මෙහි නිව්ටන්ගේ අවකාශය හා කාලයද අයින්ස්ටයින්ගේ අවකාශ-කාලයට වඩා වෙනස් බවත් කිව යුතුය. තවද ක්වොන්ටම් භෞතිකය මීටත් වඩා වෙනස්. (එහිදී යොදාගන්නා න්‍යායන් (logic) හි පවා!)

නිදහස් චින්තනයකින් බලාපොරොත්තු වන්නේ එක තැන පල් නොවී ඉඳ ඉදිරියට යාමටයි.

@Anonymous,
මේ Anonymous සේරම එක් කෙනෙක්ද?
ඔබේ අදහස් දැක්වීම අගනේය. "මම" නැමති සංකල්පය තුල "පරිපූර්ණ" නිදහසක් නොමැති බව මාද පිළිගනිමි. (http://trueorcrazy.blogspot.com/2009/05/blog-post_17.html - කියවන්න)


නමුත් අප දැන් සිටින තැන අප නොනැවතී ඉදිරියට යා යුතුය. ඒ සඳහා පවත්නා රාමුවෙන් එපිටට (එහි රාමුවක් පැවතියද නොපැවතියද) අප යා යුතුය.
මෙහිදී අප කරන වැරැද්දක් වන්නේ කව්රු හෝ පැමිණ අප එතැනට රැගෙන යන තෙක් බලා ඉඳීමයි. නමුත් සියළු දෙනාම මෙලෙස සිතුවහොත් කුමක් සිදුවේද?
අනිත් එක මාගේ දැනුම ස්ථිරයි; එය කිසිදා වෙනස් නොවේ යනුවෙන් සිතන තාක් කල් එයින් ඉදිරියට යාමට අපට නොහැක. (http://trueorcrazy.blogspot.com/2009/02/believe-to-see.html කියවන්න) මේ ලිපියේ අරමුණ වුනේ එසේ නොසිතන නිදහස් මනස් ප්‍රවර්ධනයයි.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails