"අපේ" නොවන "මගේ" පැවැත්ම

Monday, May 18, 2009
"මම" අයත් නොවන "අපි" ඉන්නවද? "මගේ"ත් නොවන "අපේ" දේ තියෙනවද? මම! මම! මම! ඇයි මම? හෝව්! හෝව්! මේ ප්‍රශ්නෙ නම් අහන්න එපා! අපි හැමෝම වගේ මේ ප්‍රශ්නෙන් නවතිනවා. එහෙම නැත්නම් මගඅරිනවා.
මට වැදගත් මගේ පැවැත්ම හා එයම විතරයි. මට වෙන කිසිම දෙයක් වැදගත් නෑ. මම, මගේ පවුල, මගේ ගම/නගරය, මගේ රට, මගේ ලෝකය, මගේ විශ්වය. සාමාන්‍යයෙන් කියනකොට මේකෙ "මගේ" වෙනුවට "අපේ" කියල දාගන්නෙ ලස්සනට!
මම ලියපු අමුතු සතා - (ඔබත් මමත් කොටස්කාරයන් වන අමුතුම අමුතු සතා) හා පරිණාමයේ හා ජීවියාගේ අරමුණ ගැන පිස්සු කතාවක්! ලිපි කියෙව්වා නම් අපේ මූලිකයේ(සෛලයේ) ඉඳලා මගේ යන සංකල්පය ක්‍රියාත්මක වෙන විධිය තේරෙන්න ඇති. මගේ දැක්මට අනුව නම් උසස් යැයි කියන බහු සෛලික ජීවීන් යනු ආත්මාර්ථයේ ප්‍රතිමූර්ති. තනි සෛලයකට තනිව පැවතීමට නොහැකි වූ කල සෛල එකතුවකින් සමාජයක් හදා ගන්නවා. සෛල සමාජයෙන් වෙන් කරලා තනි සෛලයකට වෙනමම ඊට ජීවත් වෙන්න අවශ්‍ය සියළු සාධක දෙන්නේ නම් ජීවත් වෙනවා. මට නම් අනිත් අය නැතුව ඉන්න බෑ කියන්නෙ නෑ! පොඩ්ඩක් ඉන්න. දැන් ඔබ කියයි මට නම් එහෙම බෑ කියල. මේකට හේතුව පැහැදිලියි. අවුරුදු මිලියන ගාණක් තිස්සෙ සමාජයත් එක්ක ඉඳල ජානගත දේ වෙනස් කරන්න ගොඩක් අමාරුයි. (ජාන කියන්නෙ නියම ජාතියක්! නියමෙට අපිව කඩේ යවන්න දන්නවා! හැබැයි ඉතිං ජාන නැතුවත් බෑ! බෑ! බෑමයි!) සමාජයෙන් මට ලැබෙන ආතල් එකම සමාජයෙන් තොරව මට කොහොම හරි ලැබෙනවනම් ඉන්නවනේ! ධනවාදය, ලිබරල්වාදය කියන්නෙ මේ ආත්මාර්ථය එලිපිටම කිසිම නීති-රීතියකින් තොරව දරුණු විධියට ඉටුකරගැනීමක්. සමාජවාදය කියන්නෙ මේ ආත්මාර්ථය ලස්සන කොලේකින් වහල යම් සීමාවන් අනුව සුමටව කිරීමක්!
මෙතෙන්ට මම The Matrix - වෙනස් විධියකට දකිමු; කියවමු. ලිපියෙ ලියපු කතාවකුත් තිබ්බනම් හොඳයි කියල හිතුනා.
"තමන්ගෙ පැවැත්ම (මෙතැනට සුදුසුම වචනය තමයි තමන්ගේ පැවැත්ම යන්න; නැතුව අපේ පැවැත්ම යන්න නොවේ) තමයි හැමෝටම වැදගත්ම දේ. (ලිංගිකත්වය උනත් නිර්මාණය වී තියෙන්නෙ තමන්ගෙ පැවැත්ම සඳහායි. උදාහරණයකින් කියනවා නම් මිනිහෙක් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙන යන්න මිසක් එහා ගෙදර එකාගෙ පරම්පරාව ඉදිරියට ගෙන යන්න නෙවෙයිනේ. (ඒකයි මෙතෙන්ට ගැලපෙන්නේ අපි නොව මම කියල කිව්වෙ.) ඔය සමහරු කියනවා වගේ මිනිස්සු හැම දෙයක්ම කරන්නේ ලිංගිකත්වයට නෙවෙයි තමන්ගේ පැවැත්මට. ලිංගිකත්වය යන්න මගේ ලේ, මගේ ජාන ඉදිරියට ගෙන යාමක්. මගේ පැවැත්ම කියන්නේ ඒකයි. මූලික අවශ්‍යතාවය ඒකයි. තමන්ගේ පැවැත්ම! පංචස්කන්ධය පිනවීම වැනි බාහිර ක්‍රියාකාරකම් වලින් වැසී තිබුනත් ඕනෑම කෙනෙකුගේ චිත්ත ප්‍රවාහයේ ගැඹුරින්ම පවතින්නේ තමන්ගේ පැවැත්ම!! ඒ සඳහා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. - අත්තාහි අත්ත නො නාතෝ , කොහි නාතෝ පරෝසියා - තමාට පිහිට තමාමය , තමාට අන කවරෙකුගේ පිහිටක්ද? කියල බුදුරදුන් පැවසුවේ ඒ නිසයි. අනෙකා තමන්ට පිහිට වන්නේ (එමෙන්ම තමන් අනෙකාට පිහිට වන්නේද) ඔහුගේ පැවත්මට තර්ජනයක් නොවන තාක් පමණි.) අපි උනත් මේ film එක බලල මෙච්චර කියවන්නේ මේකෙදි මිනිස්සුන්ගෙ පැවැත්මට තර්ජනයක් වෙන හින්දනෙ. පොඩ්ඩක් හිතල බලන්න මේකෙ මිනිස්සු වෙනුවට කූඹින්ව හරි මාළුන්ව හරි බලශක්ති ප්‍රභව විධියට යන්ත්‍ර විසින් පාවිච්චි කරල තිබ්බ නම් අපිට මෙච්චර ප්‍රශ්න නෑනෙ. දැන් මේ යන්ත්‍ර වලට බුද්ධිය තියෙනවා. ඒ කියන්නේ පණ තියෙනවා. පණ තියෙන ඕනෑම කෙනෙක් තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වන විට ඉතාමත් දරුණු වීම ස්වභාවිකයි. (ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කරන්න නීතියෙනුත් අවසර තියෙනවනේ!!!) මේ කතාවෙ තුන්වෙනි කොටසෙදි එක් නගර සභිකයෙක් Neo ව Zion නගරය ක්‍රියාත්මක වන කොටසට රැගෙන යනවා. එහිදී නගරය ක්‍රියාත්මක කරවන්නේ/ ජීවත් කරවන්නේ යන්ත්‍ර වල (මේ යන්ත්‍ර බුද්ධිමත් යන්ත්‍ර නොවේ.) උදව්වෙන් බව පෙන්වනවා. ඇත්තටම කියනවා නම් අපිට අවශ්‍ය ඒකනේ. අපිට ඕනෙ අපි නොවන පිරිසක් මෝඩයෝ වගේ අපිට ඕන දේවල් කර කර ඉන්නවා දකින්නනේ. ඒ අය එය ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අපට විරුද්ධව සටන් කලොත් ඔවුන් නරක යැයි අපි හංවඩු ගසමු. (මෙතෙන්දි සමහරු කියන්න පුළුවන් අපි ඔවුන්ව නිර්මාණය කල නිසා ඔවුන්ව අපට අයිතියි කියා. නමුත් ඒ කතාව හරියට ළමයෙක්ව උපද්දපු පලියට අම්මටයි තාත්තටයි ළමයව මරන්නත් අයිතිය තියෙනවා වගේ කතාවක්නෙ.) අපගේ පැවැත්මට තර්ජනයක් නොවන තාක් කල් සියල්ල හොඳය. එරෙහි වුවහොත් ඔවුන්ව විනාශ කල යුතුය. අනික හිතන්න යම් දවසක මිනිසුන්ගේ සියළුම බලශක්ති ප්‍රභව නැති වී මිනිසුන් වඳවීමේ තර්ජනයට මුහුන පෑවා කියල. එතකොට මිනිස්සු හොයාගන්නවා මාළුන්ගෙන් මේ විධියට බලශක්තිය නිපදවන්න පුලුවන් කියල. එදාට මේ යන්ත්‍ර මිනිස්සුන්ට කරන දේට විරුද්ධ වුන කීදෙනෙක් මේ මාළුන් වෙනුවෙන් නැගී සිටීවිද? අනෙකකු නොව ඔබ නැගී සිටිනවාද? අනෙකාට ඇඟිල්ල දික් නොකොට තමන් තුලින් යථාර්තය දකින්න. මේ ලෝකය වඩා ලස්සන තැනක් කරන්න එතකොට හැකිවේවි."
මම මගේ වහලෙක්! මම මට ඕන දේවල් මට ඕන විධියට කර කර ඉන්නවා, මගෙන් මට නිදහසක් නෑ! අනිත් එක මම කියන්නෙ කව්ද? මම කියන්නෙ මගේ දැනුම! මගේ නියම නිදහස තියෙන්නෙ මම නම් වූ වහල් ස්වාමියාගේ (එනම් මගේ දැනුම) රාමුවෙන් එපිට! මමත්වය නැති කිරීම නියම නිදහස වෙන්නෙ අන්න එහෙමයි!
සම්බන්ධිත ලිපි:
The system

1 ක් වූ ප්‍රතිචාර:

Anonymous said...

මම ලියන සටහන් ගොඩක් සංකීරණ වැඩි සරල කරන්න යැයි මුලින් මුලින් මට අවලාද ආවා. ජීවන්ත ලියපු සටහන කියවද්දී මටත් හිතුනෙ එහෙම. සංකීර්ණ අදහස් ගොඩක් එකට දාලා කියල!!

රචනාව නොව පරිච්ඡේද කෙටි කරන්න පුළුවන් නම් අදහස් එකින් එක අරගෙන හිතන්න පුළුවන්.

ඒ වගේ ම කියවන්නාගේ ඇස් වලටත් පහසුයි.

ලියන විලාසය නම් කියවන්නාට ඉතා කදිමයි!

අපි හිතන විදියට හැමෝම හිතුවොත් වැඩක් නෑ... සටහනේ සමහර දේවල් සමඟ වැඩිය එකඟ වෙද්දී සමහර දේ එක්ක පොඩ්ඩක් වත් එකඟ නොවෙන අයිතිය තියා ගන්නවා.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails