බුදුදහම විකෘති කරන්න එපා!

Thursday, May 7, 2009
මෙය ලියන්න මා පෙළඹුනේ දැනට දින කීපයකට පෙර මා දුටු ලිපියක් නිසයි. (මේ ලිපිය සින්ඩියේත් තිබුණු නිසා බොහෝ දෙනා දකින්නත් ඇති.) එහි තිබුනේ වෙනත් රටක මෑත අතීතයේ සිටි රහතන් වහන්සේ නමකට ඊට පෙර සිට පිරිණිවන් පෑ ඇති බුදුවරුන් පැමිණ ආශිර්වාද කලා යැයි කියැවෙන කතාවකි.
මෙය බරපතල කතාවකි. මේ අභියෝග කරන්නේ බුදුදහමේ හරයටයි. මෙයින් බුදුදහමේ එන ලෝකය සම්බන්ධ මූලිකම ඉගැන්වීම් 3න් 2ක් ම අභියෝගයට ලක් කරයි. බුදුදහමේ එන පරිදි ලෝකය,
1.අනිත්‍යය
2. දුක්ඛය
3. අනාත්මය
නමුත් මෙම කතාව මඟින් මෙහි අනිත්‍ය හා අනාත්ම යන කරුණු හෑල්ලුවට ලක් කරයි. බුදුදහම අනෙක් දේව ආගම් වලින් වෙනස් වන්නේ මේ ඉගැන්වීම් නිසාය. නමුත් මේ කරුණු ඉවත් කල විට බුදුදහම අනෙක් දේව ආගම් මට්ටමට වැටේ.
මා මෙය දකින්නේ බුදුදහමට එරෙහිව කරන කුමන්ත්‍රණයක් ලෙසිනි. මෙවැනි කුමන්ත්‍රණ අද කොතෙකුත් ඇත. බොහෝ අය කැසකවන්නේ ලොව ඇති අනෙක් ආගම් වලින් පැහැදිලි ලෙස වෙනස් වූ බුදුදහම විනාශ කර දැමීමටය. මෙය අධිපතිවාදයේ ප්‍රතිඵලයකි. අනෙක් සියළුම ආගම් යම් අධිපතිවාදයකට (දෙවියන්ගේ හා දේව නියෝජිතයන්ගේ අධිපතිත්වයට) ඉඩ සලසන අතර එසේ නොවන එකකට ඇත්තේ බුදුදහමය. බුදුදහම ඉතාමත් පැහැදිලි ලෙසම සියළුම දෙනාගේ (මිනිසාගේ පමණක් නොව සියළුම සත්වයන්ගේ) නිදහස අගය කරයි. එනිසා සමහර ජාතීන්ට තම අධිපතිවාදය ලොව පැතිරවීමේදී බුදුදහමේ මේ එන නිදහස් ප්‍රතිපත්ති බාධාවක් බව නොකිවමනාය. එනිසා මේ බාධකය බිඳහෙලන්නට ඔවුන්ට අවශ්‍ය වී ඇති බව ඔවුන් කරන කියන දේ වලින් පැහැදිලිය. හනිංටන් මහතාගේ “clash of civilizations” පොතේ පවා අන් සියළු ආගම් තිබියදී ථෙරවාදී බෞද්ධ සංස්කෘතිය/ශිෂ්ටාචාරය පමණක් “ගොන්පාට්” කර දක්වන්නේත් මෙනිසා විය හැක.
ගෞතම බුදුරදුන්ගේ ධර්මය පවතිනවා යැයි කියා ඇති වසර පන්දහසෙන් අර්ධයකට වඩා (එනම් 2500 කට වඩා) දැන් ගෙවී අවසන්ය. එනිසා දැන් ඇත්තේ අසීරු කාලයකි. බුදුදහම විනාශ කරන්නට ඇති බලවේග වඩා දැඩි ලෙස පෙරට එමින් පවතී. මේ සඳහා හොඳම ක්‍රමය “පිටත සිට පහර දීම” නොව “ඇතුලත සිට පහරදීම” බැව් ඔවුන් තේරුම් ගෙන ඇත. බෞද්ධයකු නොවන අයෙකු බුදුදහමට පහර ගසා විනාශ කරනවාට වඩා හොඳින් බෞද්ධයකුටම බුදුදහමට පහර ගසා විනාශ කල හැක. ඊටත් වඩා හොඳින් ස්වාමීන් වහන්සේ නමකට කල හැක. (අද සමහර භික්ෂූන්ගේ ක්‍රියාවන් සිහියට නගා ගන්න.) ඊටත් වඩා හොඳින් මාර්ගඵල ලාභියෙකුට කල හැක. (තමන් සෝවාන් ආදී ඵලයන්ට පත්වී ඇතැයි කෑගසන අය දැන් බිහිවී ඇත.) ඊටත් වඩා හොඳින් රහතන් වහන්සේ නමකට (එලෙස කියා ගන්නා අයට) කල හැක. (මේ සිදුකර ඇත්තේ එයයි.)
එනිසා සියලු බෞද්ධයින්ගෙන් හා ඉල්ලීමට ඇත්තේ මොවුන්ගෙන් පරිස්සම් වන ලෙසයි.
එමෙන්ම තමන් පවසන දෙයිනුත් බුදුදහම ආරක්ෂා වන්නේද නැතිනම් පහර වදින්නේද යන්න ගැනත් සිතා බලන්න. මෙය මා පවසන්නේ මෙනිසාය; අප බුදුදහම ගැන කතා කරන්නේ අපට තේරෙන ආකාරයටය. අපි නම් පිළිගන්නවා අපි තාම මාර්ගඵල ලබල නෑ කියල. එනිසා අපි, අපිට තේරෙන විධියට කතා කලත් ඒ දේවල් වැරදි වෙන්න පුළුවන්. එනිසා බුදුදහමේ එන කරුණු වලට අර්ථදැක්වීම් දෙන්නට යන විට පරිස්සම් වන්න.
හැම දෙනාටම බුදුසරණයි!

ඉතා වැදගත්!!
මේ කරුණු සියල්ලම මා පවසන්නේ මාගේ දැනුමට අනුව මා හට වැටහෙන ආකාරයටය. මාගේ මතය යනු නිර්මල බුදුදහම නොවීමටද හැකිය. මා පවසන දෙයින් බුදුදහමට යම් හානියක් වන්නේ නම් කරුණාකර එය පෙන්වා දෙන්න. එනිසා විවෘත මනසකින් යුතුව නැණසින් මෙය කියවන්න.

5 ක් වූ ප්‍රතිචාර:

ecH said...

බුදුදහමෙ ආයු කාලය ගැන කලින්ම කියල තියෙනවනම් ඒ ගැන දුක් වෙන්න දෙයක් නෑ. ඒකත් අර අනිත්‍ය ලක්ෂණයමයි.

෴ .:GiniMakara :.෴ said...

බුදු දහමත් අනිත්‍යයි නෙ කියල ඒකාලෙ හිටපු රහතන් වහන්සේල පළමු දෙවන තෙවන ධර්ම සංගායනාවන් තියල හිටපු දුසිල්වත් අයව, ඒවගෙම බුදු දහම ගැන තිබුන දුර්මත බැහැර කලේ නැත්නම් අද වෙන කොටත් බුදු දහම දකින්නවත් ලැබෙන එකක් නැහැ.

සරත් ගුණතුංග said...

හිතවත් ජීවන්ත මහත්මයානනි,
ඔබ කියන සටහන ලිව්වේ මමයි. ඒ මගේ අදහසක් නොව මා කියැවූ එක්තරා පොතක පරිවර්තනයකි. මම ඒ බව නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. ඔබේ විද්යුත් ලිපිනය මට ලැබෙන්න සැලැස්වුව හොත් ඒ පොත් (ත )ඔබට ලිපියක අමුණා එවීමට පුලුවන. ඔබටම එය කියවා සැකහැර ගත හැකි වෙනු ඇත. බුදු දහමට අගෞරව කිරීමට මට කිසිම අදහසක් නොමැත. ඒ පොත් කියැවූ පසු මටත් ඇතිවූයේ විශාල කුතුහලයකි. ඒ පොත් ලියූ ඥාණසම්පන්නෝ හිමියන් තවමත් ජීව්තින් අතරය. දැනට වයස 94කි. මම විද්යුත් ලිපියක් මගින් ඒ හිමියන්ගෙන් විස්තර සහිතව මේ ගැන විමසා බලා සටහන් 12ක් පමණ ලියා ඇත. ඔබේ අටහනේ මගේ පසුගිය සටහන් කියැවූ බවක් සඳහන් නොවේ. ඒ නිසා යමක් පැවසීමට පෙර සොයා බලා කටයුතු කිරීම මහත්වරුන්ගේ ගතියකි. ඔබට තව විස්තර අවශ්‍ය නම ලියා එවන්න. තෙරුවන් සරණයි.

ජීවන්ත said...

මම ඔබට පුද්ගලිකව පහර ගැසීමට උත්සාහ නොකලෙමි. නමුත් උක්ත කරුණ දුටුවිට මට මගේ අම්මාට යමෙක් කරදර කරන්නට එනවිට වැනි ආවේගයක් මට ඇතිවිය. ඔබට හැකිනම් ඒ පොත මට එවන්න. ( trueorcrazy@gmail.com )
බුදු සරණයි!

Anonymous said...

මහායාන ආගමට අනූව නිවනින් පසු පෑවත්මක් ගෑන කියවේ. ඔය පොත එ ගෑන වෙන්න ඈති.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails