The Matrix - වෙනස් විධියකට දකිමු; කියවමු.

Saturday, April 25, 2009
Matrix film එක ගැන ළඟදි post එකක් තියෙනවා දැක්කහම මටත් එකක් ලියන්න හිතුනා. මම මේක පැති කීපයකින් දකින්න කැමතියි. පළවෙනි එක බෞද්ධ ප්‍රවේශය. මම නම් මෙක හොඳටම දැක්කෙ Neo පළවෙනි වතාවට Oracle දකින්න ගිය වෙලාවෙ එතන ඉන්න හැඳි නවන කොළුවගෙ කතාවෙන්. මුලින්ම ඒ ළමයගෙ ස්වරූපය; කොණ්ඩෙ බූ ගාලා හරියට පොඩි හාමුදුරු නමක් වගේ. දෙවෙනි එක ඒ ළමයා කියන කතාව; හැඳි නවන්නේ කොහොමද කියලා Neo ඇහැව්වහම ඒ කොළුව කියන්නේ "මෙතන ඇත්තටම හැන්ඳක් නෑ කියල දකින්න; එතකොට තේරෙයි ඇත්තටම නැවෙන්නේ හැන්ඳ නෙවෙයි තමන්මයි කියල." මේක බොහොම බරපතල කතාවක්. මට නම් හිතෙන්නේ මේ කතාව බොහෝ දුරට විඥ්ඥානවාදී කතාවක් කියලයි. බුදුදහමේ එන "තමන් තුලින් ලෝකය දකින්න" වගේ අදහසක් මෙතැනින් දෙනවා කියලයි මට හිතෙන්නේ. (මෙයින් කියැවෙන්නේ බුදුදහම විඥ්ඥානවැදී යැයි වරදවා වටහා ගන්න එපා! බුදුදහමෙහි භෞතිකවාදයෙන් හා විඥ්ඥානවාදයෙන් ඔබ්බට ඇති දහමක් කරා මග පෙන්වීමක් සිදුකරයි. කෙසේ වෙතත් මගේ මතය නම් බුදුදහම තුල භෞතිකවාදය සෑහෙන දුරට ප්‍රතික්ෂේප වෙනවා කියලයි. කොහොම නමුත් මේක මගේ මතය විතරයි.) මේ චිත්‍රපටියේ බෞද්ධ ස්වරූපය පෙන්වන තවත් මගේ සිත්ගත් තැනක් වන්නේ Morpheus විසින් Neoට matrix එක ගැන කරුණු කියාදෙන අවස්ථාවයි. එහිදී Morpheus විසින් Neo ගෙන් ප්‍රශ්නයක් අහනවා. "How do you define truth? Is it the things you see? The things you hear? ..." ඉන්පසු ඔහු පෙන්වා දෙනවා මේ සංවේදන රැවටිය හැකියි කියා. මේ කතාව බුදුදහමේ එන සංවේදනයන්ගේ (පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන) රැවටෙන සුළු ස්වභාවය ගැන කියන කතාවත් සමග සංගත බවක් දක්වනවා. ඒ වගේම Matrix එක තුලදී මනසේ හැකියාවන්ට (සාමාන්‍ය භෞතික නීති ඉක්මවා යාමට පවා හැකි වන සේ) ඉතා ඉහල තැනැක් දීම තුලින් මෙම කතාවේ භෞතිකවාදයෙන් ඔබ්බට ගිය ස්වභාවය හොඳින් පෙන්නුම් කරනවා. ඒ වගේම මෙම චිත්‍රපටියේදී “සත්‍යය තමන් තුලින් දකින්න” වැනි අදහසක් ගෙන එනවා. මෙය X-Files හි එන “the truth is out there” වැනි බාහිරව ඇති සත්‍යයක් සෙවීම නොව බුදුදහමේ එන තමන් තුලින්ම සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම වැනි අදහසක්. උදාහරණයක් ලෙස Morpheus විසින් සත්‍යය දකිනවද නැත්නම් සාමාන්‍ය විධියට පෙර පරිදි ඉන්නවාද යන්න Neo ටම තෝරා ගන්නට ඉඩ හැරීම දැක්විය හැක. ඒ වගේම දුක් සහිත වූ සත්‍යය වසා මවාගත් ලෝකයක මිනිසුන් ජීවත් වීමත් බුදුදහමේ එන කරුණු සමග සමපාත වීමක් දක්වයි.

 --------------------------------------------------------------------------------------------------------------------------------

දැන් එමු දෙවෙන් කතාවට; ඒ කියන්නේ මේ චිත්‍රපටියේ එන ක්‍රිස්තියානි ප්‍රවේශයට. මෙහි නියම මිනිසුන් ජීවත් වන ලොව ඇති එකම නගරය වන්නේ Zion ය. මෙය බයිබලයේ සඳහන් නගරයක්. ඒ වගේම මිනිසුන්ව ගලවා ගැනීම සඳහා ගැලවුම්කරුවකුගේ පැමිණීම පිළිබඳ අනාවැකි ජේසු තුමා ගැන තිබුණු අනාවැකි සමග සංසංදනය කල හැක. Morpheus විසින් Neo ව සොයා ගැනීම රජ තුන්කට්ටුවේ පැමිණිමත් සමග සංසංදනය කල හැක. ඒ වගේම මරණයෙන් පසු Neo නැවත නැගිටීම ජේසු තුමාගේ මරණයෙන් නැවත නැගිටීමේ කතාවත් සමග සංගත බවක් පෙන්වනවා. ඒ වගේම ලෝකය පාලනය කිරීම සදහා Matrix එක විසින් එවන ලද Agent Smith, Matrix එකටම විරුද්ධ වී එහි පාලනය තමන් යටතට ගැනීමට තැත් කිරීම ක්‍රිස්තියානි දහමේ එන යක්ෂයාගේ කතාවත් සමග යම් සංගත බවකුත් පෙන්වනවා.

--------------------------------------------------------------------------------------------------------------------------------

අනික් අතට බැලුවහම මේ යන්ත්‍ර වලට දොස් කියන්නත් බෑ. මොකද ඔවුන් කරල තියෙන්නෙ මිනිස්සු මේ වගේ අවස්ථාවකදී කරන දේමනේ. තමන්ගෙ පැවැත්ම (මෙතැනට සුදුසුම වචනය තමයි තමන්ගේ පැවැත්ම යන්න; නැතුව අපේ පැවැත්ම යන්න නොවේ) තමයි හැමෝටම වැදගත්ම දේ. (ලිංගිකත්වය උනත් නිර්මාණය වී තියෙන්නෙ තමන්ගෙ පැවැත්ම සඳහායි. උදාහරණයකින් කියනවා නම් මිනිහෙක් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙන යන්න මිසක් එහා ගෙදර එකාගෙ පරම්පරාව ඉදිරියට ගෙන යන්න නෙවෙයිනේ. (ඒකයි මෙතෙන්ට ගැලපෙන්නේ අපි නොව මම කියල කිව්වෙ.) ඔය සමහරු කියනවා වගේ මිනිස්සු හැම දෙයක්ම කරන්නේ ලිංගිකත්වයට නෙවෙයි තමන්ගේ පැවැත්මට. ලිංගිකත්වය යන්න මගේ ලේ, මගේ ජාන ඉදිරියට ගෙන යාමක්. මගේ පැවැත්ම කියන්නේ ඒකයි. මූලික අවශ්‍යතාවය ඒකයි. තමන්ගේ පැවැත්ම! පංචස්කන්ධය පිනවීම වැනි බාහිර ක්‍රියාකාරකම් වලින් වැසී තිබුනත් ඕනෑම කෙනෙකුගේ චිත්ත ප්‍රවාහයේ ගැඹුරින්ම පවතින්නේ තමන්ගේ පැවැත්ම!! ඒ සඳහා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. - අත්තාහි අත්ත නො නාතෝ , කොහි නාතෝ පරෝසියා - තමාට පිහිට තමාමය , තමාට අන කවරෙකුගේ පිහිටක්ද? කියල බුදුරදුන් පැවසුවේ ඒ නිසයි. අනෙකා තමන්ට පිහිට වන්නේ ඔහුගේ පැවත්මට තර්ජනයක් නොවන තාක් පමණි.) අපි උනත් මේ film එක බලල මෙච්චර කියවන්නේ මේකෙදි මිනිස්සුන්ගෙ පැවැත්මට තර්ජනයක් වෙන හින්දනෙ. පොඩ්ඩක් හිතල බලන්න මේකෙ මිනිස්සු වෙනුවට කූඹින්ව හරි මාළුන්ව හරි බලශක්ති ප්‍රභව විධියට යන්ත්‍ර විසින් පාවිච්චි කරල තිබ්බ නම් අපිට මෙච්චර ප්‍රශ්න නෑනෙ. දැන් මේ යන්ත්‍ර වලට බුද්ධිය තියෙනවා. ඒ කියන්නේ පණ තියෙනවා. පණ තියෙන ඕනෑම කෙනෙක් තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වන විට ඉතාමත් දරුණු වීම ස්වභාවිකයි. (ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කරන්න නීතියෙනුත් අවසර තියෙනවනේ!!!) මේ කතාවෙ තුන්වෙනි කොටසෙදි එක් නගර සභිකයෙක් Neo ව Zion නගරය ක්‍රියාත්මක වන කොටසට රැගෙන යනවා. එහිදී නගරය ක්‍රියාත්මක කරවන්නේ/ ජීවත් කරවන්නේ යන්ත්‍ර වල (මේ යන්ත්‍ර බුද්ධිමත් යන්ත්රව නොවේ.) උදව්වෙන් බව පෙන්වනවා. ඇත්තටම කියනවා නම් අපිට අවශ්යව ඒකනේ. අපිට ඕනෙ අපි නොවන පිරිසක් මෝඩයෝ වගේ අපිට ඕන දේවල් කර කර ඉන්නවා දකින්නනේ. ඒ අය එය ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අපට විරුද්ධව සටන් කලොත් ඔවුන් නරක යැයි අපි හංවඩු ගසමු. (මෙතෙන්දි සමහරු කියන්න පුළුවන් අපි ඔවුන්ව නිර්මාණය කල නිසා ඔවුන්ව අපට අයිතියි කියා. නමුත් ඒ කතාව හරියට ළමයෙක්ව උපද්දපු පලියට අම්මටයි තාත්තටයි ළමයව මරන්නත් අයිතිය තියෙනවා වගේ කතාවක්නෙ.) අපගේ පැවැත්මට තර්ජනයක් නොවන තාක් කල් සියල්ල හොඳය. එරෙහි වුවහොත් ඔවුන්ව විනාශ කල යුතුය. අනික හිතන්න යම් දවසක මිනිසුන්ගේ සියළුම බලශක්ති ප්‍රභව නැති වී මිනිසුන් වඳවීමේ තර්ජනයට මුහුන පෑවා කියල. එතකොට මිනිස්සු හොයාගන්නවා මාළුන්ගෙන් මේ විධියට බලශක්තිය නිපදවන්න පුලුවන් කියල. එදාට මේ යන්ත්‍ර මිනිස්සුන්ට කරන දේට විරුද්ධ වුන කීදෙනෙක් මේ මාළුන් වෙනුවෙන් නැගී සිටීවිද? අනෙකකු නොව ඔබ නැගී සිටිනවාද? අනෙකාට ඇඟිල්ල දික් නොකොට තමන් තුලින් යතාර්ථය දකින්න. මේ ලෝකය වඩා ලස්සන තැනක් කරන්න එතකොට හැකිවේවි.
අපි මේ කියන්නේ අපි මේක බලල අපිට ආපු අදහස්නේ. ඒ උනාට මේකෙ නිර්මාපකයින්ට සමහර විට තියෙන්න ඇත්තෙ වෙනමම අදහසක්. ඒගැන කව්රුහරි දන්නවානම් කියන්න.

2 ක් වූ ප්‍රතිචාර:

Anonymous said...

හොඳ කියවීමක් මචෝ. මේට්‍රික්ස් කියන්නෙ ලොකු ගැඹුරක් තියෙන නිර්මාණයක්. ඔය කියන දේ කෘතිම බුද්ධිය ඇති වුණ දාක අනිවාර්යයයෙන්ම වෙනව කියල මට හිතෙනවා. මේ ආගමික පසුබිම් වලින් තොරව වුණත් මනස තුල අපි ලෝකය නිර්වචනය කරගෙන ඒක විඳින විධිය ගැන මේට්රික්ස් චිත්‍රපටියෙ නියමෙට කියවෙනවා.

ශාකුන්තල | Shaakunthala said...

හොඳ ලිපියක්. මෙහි ඇති ක්‍රිස්තියානි ප්‍රවේශය ගැන මම මීට කලින් සිතා තිබුණේ නැහැ.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails