පරිණාමයේ හා ජීවියාගේ අරමුණ ගැන පිස්සු කතාවක්!

Saturday, April 25, 2009
පරිණාමයේ මූලික අංගයක් වන්නේ විකෘති ඇතිවීමයි. ඉන්පසු මේ විවිධ විකෘති සහිත ජීවීන් ස්වභාවිකව වරණයකට ලක් වෙනවා. මේ වරණයේදී පදනම් වන්නේ කැලෑ නීතියයි. ඒ අනුව ජීවියා වඩාත් ශක්තිමත් කරන ආකාරයේ විකෘති ඇති ජීවීන් තව දුරටත් පැවතීමටත්, දුර්වලයින් විනාශයටත් මග පාදා ගන්නවා. දැන් මේකෙ මම දැකපු පිස්සු කතාව බලමු. ජීවියෙකුගේ විකෘතියක් ඇති වෙන්න අරමුණක්/ තේරුමක් අවශ්‍ය නෑ. මේවා විටෙක random හෝ spontaneous වෙන්න පුළුවන්. (උදාහරණයක් විධියට අපේ (වානරයන්ගේ) මහඟු මහපට ඇඟිල්ල ගනිමු. මේක නිර්මාණය සමහර විට අහම්බයක් වෙන්නත් පුළුවන්. (සමහර විට විකිරණ නිරාවරණය වීමක් හෝ යම් රෝගයක් නිසාත් මෙය ඇතිවීමේ සම්භාවිතාවයක් පවතිනවා) නමුත් මේ විකෘතිය නිසා වානරයන්ට ලැබුනේ සුළුපටු ශක්තියක් නොවේ. ඒ නිසා ඔවුන්ට (අපිට) අනෙක් සතුන්ට කල නොහැකි දේවල් කල හැකි වුනා; ඒ ආධාරයෙන් ඔවුන් (අපි) අළුත් අරමුණු නිර්මාණය කරගත්තා.) දැන් මෙතන ප්‍රශ්නය තියෙන්නේ මේ විධියට ගත්තහම අපි (සියලු සත්වයන්) කිසි තේරුමක් නැතිව නිර්මාණය වුනු පිරිසක් බවට පත්වෙනවානේ. අපි අරමුණු නිර්මාණය කරගෙන තියෙන්නේ අපේ හැකියාවන්ට සාපේක්ෂව මිසක් අපි අරමුණු වලට සාපේක්ෂව හැකියාවන් නිර්මාණය කරගෙන නෑනෙ. හැබැයි මේක එක අතකින් බැලුවම ඇත්ත. කිසිදු තේරුමක් හෝ අරමුණකින් තොරව අති විශාල කාලාන්තරයක් තිස්සේ නිර්මාණය වී ඇති මේ අති සංකීර්ණ යන්ත්‍ර (ජීවීන්) තමන්ගේ පැවැත්මම තමන්ගේ අරමුණ කරගෙන වෙන කිසිම දෙයක් ගැන වැටහීමක් නොමැතිව ඔහේ ජීවත් වෙනවා. අනෙක් අරමුණු සියල්ල ඒ තමන්ගේ පැවැත්ම කියන අරමුණ වටා ගොඩනැගුනු දේවල්. (මටත් දැන් නිකං පිස්සු වගේ!)

2 ක් වූ ප්‍රතිචාර:

Anonymous said...

වරණය සහ විකෘති මගින් නව ප්‍ර‍භේද ඇතිවීම ජීවියාගේ තෝරාගැනීම ම වෙන්නෙ නෑනෙ නේද? ඒ වුණාට ඒක තේරුමක් ඇතිව වෙනවය කියන්නෙ මොකක්ද? තේරුම කියන්නෙ අපේ නිර්වචනයක් නේද? ඒ නිසාම සහමුලින්ම ජීවයට හේතුවක් තිබුණට තේරුමක් නෑ. තේරුම කියන්නෙ පරිණාමිත අපි ‍පසුව හිත හදාගන්න හෝ කුතුහලය සංසිඳුවගන්න ගොඩනගපු දෙයක්.

ජීවන්ත said...

ඇත්ත. ඒක තමයි මමත් කියන්නේ. නමුත් සමහර අය කියනවා අපි මේ විධියට හැදිල තියෙන්නෙ මේ හින්දයි, අර විධියට හැදිල තියෙන්නෙ අර හින්දයි කියල. නමුත් ඒ හේතු අපි පස්සෙ හදාගත්ත ඒව කියලයි මම කියන්නේ.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails