අවුල් වූ සංස්කෘතිය

Wednesday, March 11, 2009
[මෙම ලිපිය 2008-ජූනි-11 දින විදුසර පුවත්පතේ පලවිය]
විදුසරෙහි මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ලියන අපේ ප්‍රවාද ලිපි පෙළ කියවූ මට මෙය ලිවීමට සිත්විය. මෙය එම ලිපි පෙළට විවේචනයක් හෝ ඇගයීමක් හෝ ඌණ පූරණයක් නොවේ. මෙය එම ලිපි කියවූ විට මට ඇතිවූ හැඟීම් වේ.
මිනිසා යනු සමාජයීය ජීවියෙකු වුවද, ඒ ඒ මිනිසාගේ චින්තනය ඒ ඒ මිනිසාට අනන්‍ය (unique) වේ. සංස්කෘතියක් ගොඩනැගෙන්නේ යම් සමාජ කොටසක සිටින මිනිසුන් පිරිසකගේ ආසන්න වශයෙන් සමාන වූ චින්තනයන් සමූහයක් එකතු කිරීමෙන්, එම සමාජ කොටස සඳහා පොදු වූ චින්තනයක් ඔවුන් විසින් ගොඩනගා ගැනීමෙන්ය.[මා සමාජයක් යනුවෙන් හඳුන්වන්නේ මිනිසුන් සමූහයකි (group of people) එමෙන්ම සංස්කෘතියක් යනු චින්තන රටාවකි. යම් සමාජයක් පොදු චින්තන රටාවකට අනුගත වූ විට එය එම සමාජයේ සංස්කෘතිය බවට පත්වේ. මෙහිදී යම් සමාජයක් තුල සංස්කෘතීන් කීපයක් පැවතිය හැකි මෙන්ම යම් සංස්කෘතියක් තුල සමාජ කීපයක් වුවද පැවතිය හැක. එනම් එකම මිනිසුන් කොටසක් තුල විවිධ චින්තන රටාවන්ට අනුගත වී ඇති අය සිටිය හැකි මෙන්ම, එකම චින්තන රටාවකට අනුගත වී ඇති මිනිසුන් කණ්ඩායම් කීපයක් වුවද පැවතිය හැක.] කාලයාගේ ඇවෑමෙන් එම සංස්කෘතියට අනුගත වී ඇති සමාජ කොටස ප්‍රසාරණය හෝ සංකෝචනය විය හැක. ඒ කෙසේ නමුත් ඒ සමාජ කොටස තුල ඒ සංස්කෘතියට (චින්තන රටාවට) අනුකූල වන දැනුම නිර්මාණය විය හැක. [මා මේ ලිපියේ “වේ” යන්න වෙනුවට “විය හැක” යනුවෙන් යොදන්නේ මේ විශ්වය අවිනිශ්චිත නිසාය. එනම් මේ අපූර්ව විශ්වය තුල විය නොහැක්කක් නොමැති බව මා පෞද්ගලිකව විශ්වාස කරමි. ඒ නිසා සෑම දෙයක්ම අවිනිශ්චිත බවකින් වෙලී පවතින බව මට හැ‍ඟේ]
එමෙන්ම යම් දැනුමක් සැලකූ විට එය, එය නිර්මාණය වූ සංස්කෘතියට සාපේක්ෂ වේ. එමෙන්ම භාෂාවක් යනු සංස්කෘතියක මූලිකම අවශ්‍යතාවයකි. යම් භාෂාවක් මඟින් එය නිර්මාණය වූ සංස්කෘතිය මූර්තිමත් වේ. යම් භාෂාවක වචනයක් වචනයක් පසා එය අයත් වූ සංස්කෘතිය මඟින් නිර්මාණය වූ දැනුම නියෝජනය වේ. ශබ්දකෝෂ මඟින් කෙතරම් දුරට එක් බසක වචන තවත් බසක වචන වලට අර්ථය අනුව ගැලපීමට උත්සාහ කලද එය සම්පූර්ණයෙන් සාර්ථක නොවේ. කිමද යම් වචනයකින් නියෝජනය වන දැනුම එම සංස්කෘතියට සාපේක්ෂ බැවිනි. උදාහරණයක් විධියට “සංවර්ධනය” / “development” යන වචනය ගනිමු. බටහිර සංස්කෘතියට අනුව “development” යනු ආර්ථිකමය හා භෞතිකමය දියුණුවකි. පෙරදිග සංස්කෘතියට අනුව “සංවර්ධනය” යනු සමාජයීය හා ආධ්‍යාත්මික දියුණුවකි. එමෙන්ම මෙහිදී මා යොදාගත් භෞතිකමය හා ආධ්‍යාත්මික යන වචන වල අර්ථය පවා මා මේ ලිපිය ලියන සංස්කෘතියට සාපේක්ෂ වේ.
එමෙන්ම සංස්කෘතියක් ඇතිවීම සඳහා සෑහෙන මිනිස් සමාජයක් හෝ කාලාන්තරයක් ගතවීම අවශ්‍ය නොවේ. යම් සංස්කෘතියක් නිමේශයකින් වුවද ඇතිවිය හැක. එමෙන්ම එය එක් මිනිසෙකු තුල පවා ඇතිවිය හැක. වඩා සාධාරණ වශයෙන් පවසනවානම් සෑම පුද්ගලයෙක්ම ඔහු/ඇය නියෝජනය කරන සමාජ සංස්කෘතියේ, උප සංස්කෘතියක් නියෝජනය කරයි. එමෙන්ම විටෙක පුද්ගලයෙකුගේ චින්තනය, පවතින එක් සංස්කෘතියක් සමඟවත් සමපාත නොවී පැවතීමට පුළුවන. එවිට එම පුද්ගලයා තුල වෙනම සංස්කෘතියක් පවතින බව අපට කිව හැක. එමෙන්ම බටහිර හෝ පෙරදිග හෝ ඕනෑම සමාජයක ජීවත් වන පුද්ගලයෙකුගේ චින්තන රටාව, ඔහු/ඇය ජීවත් වන සමාජයේ චින්තන රටාවම බව සිතීම වැරැද්දකි. පුද්ගලයෙකුගේ සංස්කෘතියට ඔහු/ඇය ජීවත් වන සමාජයේ සංස්කෘතිය බලපෑම් ඇතිකරන බව සැබෑය. නමුත් ඔහු/ඇය ගේ සංස්කෘතිය ඊට හාත්පසින්ම වෙනස් වීමටද පුළුවන.
අප සිදුකල යුත්තේ දැනට පවතින පවතින සංස්කෘතීන් උදෙසා වාද කිරීම, සටන් කිරීම නොව මුළු මිනිස් වර්ගයාටම යහපතක් වන චින්තන රටාවක් (සංස්කෘතියක්) නිර්මාණය කර ගැනීමය. මා එය නිදහස් සංස්කෘතිය (නිදහස් චින්තනය) ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. මෙහි චින්තනයට සීමා මායිම් නොමැත. චින්තනයට ආකෘති (model) නොමැත. එය අර්ථ දැක්වීම්, නිර්නායක, න්‍යාමයන් හා නීති වලින් කොටු වූ චින්තනයක් නොවේ. මෙවන් චින්තනයක් තුල ඒ ඒ පුද්ගලයාට අවශ්‍ය ආකාරයට දැනුම නිර්මාණයට ඉඩ ලැබේ. එනමුත් සංකල්ප නිර්මාණයේදී රාමු වලට කොටු නොවූවද සමාජයීය හා චර්යාත්මක (social and behaviour) කරුණු වලදී යම් ප්‍රමාණයකට හෝ රාමු පැවතිය යුතුය. කිමද සෑම පුද්ගලයෙක්ම බුද්ධිමතුන් නොවෙති. එමනිසා හොඳ-නරක තේරීමේදී විවිධත්වයක් ඇතිවිය හැක. එවිට සමාජයේ සදාචාරාත්මක හා සමාජයීය ගැටළු ඇතිවිය හැක. එය වැලැක්වීමට සමාජයීය හා චර්යාත්මක කරුණු යම් පමණක හෝ රාමු වලින් කොටු කර තැබිය යුතුය. මේ කෙසේ වුවත් සමහර විටෙක මා මේ පවසන චින්තන රටාවට මුළු මිනිස් සමාජයම අනුගත වීම හිතළුවක් පමණක්ම වීමටද පුළුවන. කිමද සෑම පුද්ගලයෙකුගේම චින්තනයට තමාගේ පෞද්ගලික විශ්වාසයන් මඟින් නිර්මාණය වූ රාමු පවතින බැවිනි.
මෙම චින්තන රටාවන්හි (සංස්කෘතීන්ගේ) වූ අවුල නිසා ඇතිවී ඇති එක් ගැටළුවක් දැක්වීමට මා මෙහිදී කැමෙත්තෙමි. සමහරුන් ආගම් මඟින් සංස්කෘතීන් වී ඇති බවද, තවත් සමහරුන් සංස්කෘතීන් මඟින් ආගම් නිර්මාණය වී ඇති බවද කියමින් තර්ක කරති. සැබැවින්ම ආගම් මඟින් සංස්කෘතීන් වලට බලපෑම් ඇතිකරන අතරම, සංස්කෘතීන් මඟින්ද ආගම් වලට බලපෑම් ඇතිකරයි. නමුත් ඔවුන් මෙවන් නිෂ්ඵල කරුණු ගැන වාද කරන්නේ ඇයි දැයි මම නොදනිමි. මා සිතන විධියට ඒ පෞද්ගලික අභිමානය (personal glory) සඳහාය. මා සිතන ආකාරයට මෙවන් නිෂ්ඵල කරුණු ගැන වාද කිරීම නවතා ඒ කාලය හා ශ්‍රමය ඵලදායී දෙයක් කරා යොමු කල යුතුය. සැබැවින්ම ඉහත ගැටළුව කිකිළි හා බිත්තරය වැනි ගැටළුවකි. මෙහි සැබෑ ගැටළුව ඇත්තේ ගැටළුවේ නොව ගැටළුව දෙස බලන චින්තනයේය. එනම් මෙයට වාද කරන්නන් එය විසඳීමට උත්සාහ කරන්නේ රේඛීය චින්තනයක් තුල සිටය. නමුත් එමඟින් එයට සාර්ථක විසඳුමක් නොලැබෙන බව පැහැදිලිය. නමුත් මෙය බෞද්ධ දර්ශනය පවා පදනම් වී ඇති චක්‍රීය චින්තනයක් තුලින් පහසුවෙන් විසඳිය හැක. නමුත් මා මෙමඟින් රේඛීය චින්තනය ප්‍රතික්ෂේප නොකරමි. මා පැවසීමට උත්සාහ කරන්නේ සියළුම කරුණු සඳහා එකම චින්තන රටාවකින් පිළිතුරු සෙවිය නොහැකි බවයි. සමහර කරුණු රේඛීය චින්තනයට නොගැලපෙන අතර සමහර කරුණු චක්‍රීය චින්තනයට නොගැලපේ. අනෙක් චින්තන රටාවන් සඳහාද එසේමය.
නමුත් මා පෙර සඳහන් කරන ලද නිදහස් සංස්කෘතිය තුල එවන් ගැටළු පැණ නොනඟී. කිමද එහිදී චින්තන ක්‍රම හෝ දැනුම ප්‍රතික්ෂේප නොවන බැවිනි. (සැබැවින්ම පවසන්නේ නම් මෙහිදී සිදුවිය යුත්තේ යැයි මා අදහස් කරන්නේ දැනට ඇති සංස්කෘතීන් අතහැර දමා වෙනත්ම සංස්කෘතියක් නිර්මාණය කලයුතු යැයි කියා නොවේ. මා අදහස් කරන්නේ අප ඕනෑම සංස්කෘතියක් (චින්තන රටාවක්) සඳහා විවෘතව සිටිය යුතු බවය.) නමුත් මෙහිදී චින්තන රටාවන් හෝ දැනුම ප්‍රතික්ෂේප නොවන නිසා විටෙක සත්‍යය කුමක් දැයි ගැටළුවක් ඇතිවිය හැක. කෙසේ නමුත් සැබැවින්ම සත්‍යය යන්න ඒ ඒ චින්තන රටාවන්ට (සංස්කෘතීන්ට) සාපේක්ෂ වේ. පරම (නිරපේක්ෂ) සත්‍යය යනුවෙන් දෙයක් පවතීද යන්න මා නොදනිමි. එහෙත් එය ඇතැයි හෝ නැතැයි කියා මා නොකියමි. එමෙන්ම පරම සත්‍යයක් පැවතුනද එය වටහා ගැනීමට තරම් අප අත්විඳින බුද්ධිය (මෙහිදී අප යනුවෙන් හඳුන්වන්නේ සාමාත්‍ය මනුෂ්‍යයන් ගැනය. සාමාන්‍යත්වය ඉක්මවා ගිය බුදුරදුන් වැනි සුවිශේෂීන් ගැන මෙමඟින් අදහස් නොකෙරේ.) තවමත් ප්‍රමාණවත් නොවන බව මගේ හැඟීමයි. එමෙන්ම පරම සත්‍යය පවතින්නේ නම් හා අප එය දන්නේ නම් වාද විවාද, මතවාද, න්‍යායන්, නීති, දැනුම හා චින්තන රටාවන් නිර්මාණය අවශ්‍ය නොවේ. කිමද ඒ සියලු දේ පරම සත්‍යයෙන් ආවරණය වන බැවිනි. එමෙන්ම එවිට තමා පවසන දේ පරම සත්‍යය යැයි කියා ගන්නා මිනිසුන් ලොවින් තුරන් වී යනු ඇත.
මෙලෙස බලන කල්හි මිනිස් සමාජය තවමත් එවැන්නකින් බොහෝ ඈත සිටින බව මට හැ‍ඟේ. එමනිසා දැන් අප කල යුත්තේ පවතින දේ ගැන වාද විවාද කරමින් අනෙකා නොව තමන් නිවැරදි බව පෙන්වීමට උත්සාහ කිරීම නොව රාමු වලින් කොටු නොවුනු, අර්ථ දැක්වීම් හා නිර්වචන වලට සීමා නොවුනු චින්තනයක් නිර්මාණය කර ගැනීම තුලින්, විශ්වය ඇති සැටියෙන් දැකීමට හුරු වීමත්, එතුලින් වඩා සාර්ථක මිනිස් සමාජයක් නිර්මාණය කර ගැනීමත්ය.

2 ක් වූ ප්‍රතිචාර:

මකබාස් said...

අම්මෝ ! මචන් උඹ නලින්ගෙන් ගුටිකාල මැරෙන්නයි හදන්නේ. නලින් ට අනුව සංස්කෘතිය කියන්නෙ චින්තන රටාවක් නෙවෙයි නේ. සංස්කෘතිය කියන්නෙ චින්-තනේ ඇතුලෙ තියෙන එකක් නෙ. සුසමාදර්ශයත් encompass කරන එකක් නෙ, චින්-තනය

අනිත් එක ඔය නිදහස් චින්තනයක් හදා ගන්න කතා නිකං utopia නේ. එහෙම එකක් ඇතිවෙන්න බැහනේ. කියවපං clash of civilisations

ජීවන්ත said...

"අම්මෝ ! මචන් උඹ නලින්ගෙන් ගුටිකාල මැරෙන්නයි හදන්නේ. නලින් ට අනුව සංස්කෘතිය කියන්නෙ චින්තන රටාවක් නෙවෙයි නේ. සංස්කෘතිය කියන්නෙ චින්-තනේ ඇතුලෙ තියෙන එකක් නෙ."

මේක නලීන් ගෙ පැත්තට ලියපු එකක් නෙවෙයිනේ! ඒක හින්දා කමක් නෑ.

"අනිත් එක ඔය නිදහස් චින්තනයක් හදා ගන්න කතා නිකං utopia නේ. එහෙම එකක් ඇතිවෙන්න බැහනේ. කියවපං clash of civilisations"

මේකත් කියවන්න
http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_12.html

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails