අපි මේ කරන දේ හරිද?

Saturday, March 7, 2009
අපි මේ කරන දේ හරිද? අපිට අයිති නැති දේවල් නීති දාලා පාලනය කරන එන හරිද? මිනිස් සමාජය පාලනය කරන්න නීති දාන එක වෙනම දෙයක්. මොකද, අපි කරන්න ඕන මොනවද - අපි නොකරන්න ඕන මොනවද, මේක අපේ රට - ඕක ඔයාගෙ රට, මේක මගේ වත්ත - ඕක ඔයාගෙ වත්ත කියලා නීති දාගෙන තියෙන්නේ මිනිස් සමාජයේ නිරන්තර යහපැවැත්ම සඳහා අපිමනේ.
ඒ වුනාට අහිංසක සත්තු අපිට ඕන විධියට පාලනය කරන එක වැරදියි. මොකද අපිට ඔවුන්ව අයිති නෑ. පොඩ්ඩක් හිතන්න, අපිට වඩා දහස් ගුණයක් විතර බුද්ධිමත් (අපියි සත්තුයි අතර බුද්ධි පරතරය වගේ) පිටසක්වලයො ඇවිල්ල අපිව පාලනය කලොත් මොන වගේ වෙයිද? හරියට අපි සත්තුන්ට කරනව වගේ. අපිව නිකං ප්‍රාථමික ජීවීන් වගේ සලකන, ඔවුන්ගේ සත්තු වත්තවල් වල කූඩු වල අපිව දාල - ඔවුන්ගේ පොඩිඑවුන්ට ඇවිත් බලලා හිනාවෙන්න, අපේ මස් අරගෙන අමුත්තෙකුට රසවත් කෑමක් හදල දෙන, ඔවුන්ගේ ඇඳුම්, සපත්තු හදන්න අපිව හම ගහන, අපේ දතුයි නියපොතුයි කලු කඩවල (black market) විකුණන, දරුණු මෘගයොත් එක්ක අපිව සටන් කරන්න දාල විනෝදවෙන, ඔවුන්ට බෙහෙත් හදන්න කරන පරීක්ෂණ වලදි අපේ ජීවිත පූජා කරන්න, ඔවුන්ගෙ චාරිත්‍ර වලට අපෙ දරුවන්ව මරන්න, අපි ඉන්න කොන්ක්‍රීට් වනාන්තර වටේට දැල් ගහල - අපිට එලියට යන්න බැරි වෙන්න, එහෙමත් නැත්නම් කෝටු කෑල්ලක් විසි කරහම ඒක අරගෙන එන ඔවුන්ගෙ සුරතලෙක් වෙන්න ඔබ කැමතිද? එහෙමත් නැතිනම් අපි සත්තුන්ට කරන දේවල් නිවැරදියි කියල ඔබ හිතනවද?
මෙහෙම කියනකොට සමහරු කියන්න පුළුවන් අපි සත්තුන්ට ආදරේ නිසා තමයි සුරතලුන් විධියට ඇති කරන්නේ කියලා. නමුත් පොඩ්ඩක් හිතන්න, ඔවුන්ගේ ස්වභාවික පරිසරයෙන් වෙන් කරලා අපි ඔවුන්ට කරන්නේ කෙතරම් අසාධාරණයක්ද කියලා. හිතන්න, ඔය ගෙදරක සැපට ඇති කරන බල්ලෙක්ව උගේ ස්වභාවික පරිසරය වන කැළෑවකට ගිහින් දැම්මොත් මොනවා වෙයිද? ඌ තමන්ගේ කෑම සොයාගන්න දන්නේ නෑ, කැළෑවේදී තමා ජීවත් විය යුත්තේ කෙසේද, උවදුරු වලින් ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න ඌ දන්නේ නෑ. එනම් ඌට ස්වාධීනව ජීවත් විය නොහැකියි. කිමද ඌ මිනිස් සමාජය මත යැපෙන්නෙක් බවට අප විසින් පත්කර ඇති බැවිනි. මෙමගින් අපි ඔවුන්ගේ ස්වභාවික ජෛවීය පරිණාමයටත් ඍජුවම දැඩිලෙස බලපෑම් කරනවා. ඉතින් මෙය නිවැරදිද?
ආත්මාර්ථකාමී වෙන්න එපා! නිවැරදි දේ වෙනුවෙන් නැගී හිටින්න. ලෝකෙ පෝසත්ම මිනිහ වෙනවට වඩා ලෝකෙ හැමෝම එක්ක සාමයෙන් සමගියෙන් එක පවුලක් විධියට ජීවත්වෙන එක වඩා සතුටුදායකයි කියල හැමවෙලේම මතක තියා ගන්න.

6 ක් වූ ප්‍රතිචාර:

Wiz Kun said...

ගෙවල් වල ඇති කරන බල්ලන් කැලෑ බල්ලන් වගේ නෙමෙයි, බොහෝ කාලයක් තිස්සේ (ඩයානා දේවතාවියගේ කාලයේ සිට) මිනිසුන් සමඟ සිටීමට පරිනාමය වූ සතුන් විෂේශයක්.

Anonymous said...

ඩයානා දේවතාවිය ???? ඒ කවුද ඒ. ඔයා අදුනන කෙනෙක් ද ?

ජීවන්ත said...

Wiz Kun ට,
මේක තමන්ගෙ වැරදි වහගන්න කියන කතාවක් වගේ! ඔබ හදන්නේ මේ ක්‍රියාව සාධාරණීකරණය කරන්න නේද?

kesh said...

ඇත්තටම මමත් ඔබත් එක්ක එකග වෙනව මොකද අපි අවිහිංසාවාදිව හිතන්න ඕන වගේම බෞද්ධයෙක් විදියට අත්තූපනායික ධර්ම පර්යාය කියන එක ගැන අපි සැළකිලිමත් වෙන්න ඕන එනම් සරලව කිවුවොත් යමක් වෙන අයෙකුට කරන්න යනවිට තමාටත් එය සිදුවුවොත් එය මොන වගේ ද කියල හිතල අපි වැඩ කරන්න ඕන.එහෙම බැලුවම ඔබ කියන විදියට අපි සත්තුන්ට කරන්නෙ වැරැද්දක් තමයි.
ඇත්තටම මේ වගේ කථාවක් පටන් ගත්තට ඔබට ගොඩක් ස්තූතියි!!

තෙරුවන් සරණයි !!!

malee_msg said...

මට මෙහෙම හිතෙනවා.. අදකාලේ බල්ලෙක් ගෙදර හැදෙන එකමයි හොද මොකද පේනවානේ පාරවල් වල දඩාවතේ යන බල්ලෝ මැක්කෝ වහලා ලෙඩ ‍රෝග කොයි තරම්ද? දැන් වෙනකොට බල්ලෝ අපිත් එක්ක ඉන්න හුරු වෙලා ඉවරයි.. එහෙම නම් වැරදි කියන්න ඕනි මුලින්ම බලු කෙනෙ‍ක්ව ඇති කරපු කෙනාට.

Narada said...

මේකයි, මෙම ලිපියට මට එකඟවිය හැකි මුත් අපි අපිම අවබෝධ කර වැලැකී සිටිනවා හැරෙන්නට අපිට වැඩි දෙයක් කරන්නට නො හැකියි. නමුත් යම් සතෙක්ගේ පැවැත්මට ආරක්ෂාව උදෙසා ආදරෙන් කරුණාවෙන් සුරකිත් නම් මෙහි වැරැද්දක් නැති බව මාගේ හැඟිමයි.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails