ප්‍රස්ථා පිරුලේ දැනුම

Sunday, March 1, 2009
අපිට ඉතාමත් ආඩම්බර විය හැකි සංස්කෘතියක්, දැනුම් පද්ධතියක් තියෙනවා. අපේ පැරැන්නන් (සාමාන්‍ය ගැමියන් පවා) ඉතාමත් විද්වත් පිරිසක් කියල කියන්න පුළුවන්. (මේ කතාව පැරැන්නන්ට විතරක් වලංගු වීම පිළිබඳ පොඩි දුකක් තියෙනවා. දැන් ගොඩක් ඉන්නෙ මිනිස්සු නෙවෙයි යන්ත්‍ර(.) අපිට ඇතිවෙන හැම ප්‍රශ්නෙකටම (සමාජයීය විතරක් නෙවේ විද්‍යාත්මක ඒවටත්) වගේ පිළිතුරු ප්‍රස්ථා පිරුළු, උපදේශ කාව්‍ය වගේ දේවල තියෙනවා. උදාහරණෙකට මම එකක් කියන්නම්. “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය” කියන ප්‍රස්ථා පිරුලේ, මහාචාර්ය නලීන් ද සිල්වා මහත්තයාගේ “නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය” ප්‍රවාදය වගේ කතාවක් හැංගිලා තියෙනවා. “දැනුම එකිනෙකාට සාපේක්ෂ වීම” ඒ ප්‍රස්ථා පිරුලෙන් හොඳින් කියවෙනවා. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුත්තේ ඇයි කියල විමසා බලමු. කියන්නා කියන්නේ කියන්නාගේ දැනුමට සාපේක්ෂවය. ඒ වුනාට අසන්නා අසන්නේ අසන්නාගේ දැනුමට සාපේක්ෂවය. ඒ නිසා සිහිබුද්ධියෙන් ඇසුවෙ නැත්නම් අසන්නා තේරුම් ගන්නේ වෙනමම දෙයකි. මේ කතාව අපේ පැරැන්නන් දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම මේ පිරුලෙන් ශිෂ්‍ය කේන්ද්‍ර අධ්‍යාපනයේ වැදගත්කමත් හොඳින් විද්‍යාමාන වෙනවා. මේ වගේ අපි සුළුවෙන් තකන අපේ දැනුම තුල අප නොදකින සෑහෙන ගැඹුරක් තියෙනවා. දුර්වලකම ඇත්තේ අපේ පාරම්පරික දැනුමේවත්, අපේ සංස්කෘතියේවත් නොවේ; බටහිර අධ්‍යාපනය මතම යැපෙන අපේ දෙයෙහි අගය නොදකින අප තුලය. (ප.ලි. මට දැන් ටික කාලෙකට කලින් ක්වොන්ටම් විද්‍යාත්මක ගතියක් තියෙන වැකියක් හම්බඋනා. මට දැන් ඒක මතක නෑ. මතක් උනාම කියන්නම්; කියන්නම් නොවේ ලියන්නම්.)

7 ක් වූ ප්‍රතිචාර:

෴බින්කු෴ said...

නියමයි අයියේ, වැදගත් කතා ලියන්න මේ විදියටම තවත්!

Ramachandra said...

අලුත් අර්ථ කතනයක් දෙන්න ඔබ දරපු වෑයම අගය කල යුතුයි.නමුත් ඔබ පවසන කරුනෙහි තරමක අතිශයෝක්තියක් තියෙනවා නේද?අතීත ගැමියන් හෙන දාර්ශනික අර්ථයකින් විවිධ පිරුලු හදාගෙන තියනවා කියන එක පිලිගන්න අමාරුයි.හැරත් ඔබ දක්වා තිබෙන ප්රකාශය "කියන්නා කෙසේ කීවත්...."ගැමියෙකුගේ ප්රකාශයකට වඩා මෑතකදී නිර්මානය වුන ප්රකාශයක් කියායි මට සිතෙන්නෙ.
"දුරට ඇපල් ලගට පැපොල්"වගේ වර්තමාන පිරුලක් ගත්තම ඒකටත් අවශ්‍ය නම් දාර්ශනික අර්ත කතනයක් දෙන්න බැරි නැහැ.නමුත් ඒකෙන් අදාල ප්රකාශය කරන අය විද්වතුන් හෝ දාර්ශනික දැනුමක් සහිත වූවන්ය කියා අදහස් වෙනවාද?

චමිල said...

මමත් යම් තාක් දුරකට රාමචන්ද්‍රගේ ප්‍රකාශයට එකඟ වෙනවා. මෙය නිර්මාණය වුනේ මෑත කාලයේදීද නැද්ද කියන එක නම් මම දන්නේ නෑ.
ඒත් ඔය ප්‍රස්ථා පිරුල නිර්මාණය කිරීමට නිරීක්ෂනයන් විතරක් ඇති නේද? මොකද ඔබ ලබා දී ඇති අරුත ගැන කල්පනා කිරීමට වඩා ගැමියන්ට එය නිතර නිතර සිදුවීම නිරීක්ෂනය කිරීමට නුවණක් තියෙන්න ඇති. අද කාලයට වඩා නම් ගැමියන්ට එදිනෙදා ජීවිතය ගැන නුවණක් තියෙන්න ඇති.
ඒත් ලබා දී ඇති අරුත නම් නියමයි. මම සෑමදාම වගේ ඔබගෙන් අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා

malee_msg said...

දාර්ශණික වීම හා නොවීම කෙසේ උනත් අද කාලෙට වඩා‍ නිදහසේ සිතා බලා තීරණ ගැනීමේ හැකියාව ගැමියන්ට තියෙන්න ඇති‍.

SLcitizen said...

malee ට
තේරෙන්නැති දේවල් නොකියා හිටපන්...

පිස්සෙක් said...

රාමචන්ද්‍ර වෙත,


ලියන්නඅ කෙසේ ලීවත් කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුයි.

ඔබට ප්‍රශ්ණයක් යොමු කරමි.

1. "අලුත් අර්ථ කතනයක් දෙන්න ඔබ දරපු වෑයම අගය කල යුතුයි.නමුත් ඔබ පවසන කරුනෙහි තරමක අතිශයෝක්තියක් තියෙනවා නේද?අතීත ගැමියන් හෙන දාර්ශනික අර්ථයකින් විවිධ පිරුලු හදාගෙන තියනවා කියන එක පිලිගන්න අමාරුයි.

ඒ කෙසේද?

2.හැරත් ඔබ දක්වා තිබෙන ප්රකාශය "කියන්නා කෙසේ කීවත්...."ගැමියෙකුගේ ප්රකාශයකට වඩා මෑතකදී නිර්මානය වුන ප්රකාශයක් කියායි මට සිතෙන්නෙ.

ඔබට සිතෙන දෙයක් නියතයක් ලෙස එහෙමත් නැතිනම් ප්‍රත්‍යාක්ෂයක් ලෙස දක්වා ඇත්තේ ඇයි? මෙවැනි වැකියක වයස සෙවීමට කාලය මිඩංගු කිරීමේ හැකියාවක් ඔබට ද මට ද නොමැති නිසා එය නොදන්නා දෙයක් ලෙස සලකා කටයුතු කරමු. එසේ නැතිව ඔබට රිසි පරිදි ඉතිහාසය ලිවීමට කටයුතු කිරීමක් මෙතැන අනවශ්‍යයි.

Ramachandra said...

හිතවත් පිස්සා වෙත
1.ඔබේ අන්තිම ප්රකාශයෙන් පටන් ගන්නම්.මේ වාක්‍යයේ සම්භවය ගැන මම/ඔබ නිශ්චිතව නොදන්නා නිසා ඒක "නොදන්නා"එකක් ලෙස සලකමු කියල ඔබ යෝජනා කරනවා.ඒක "නොදන්නා"එකක් ලෙස උපකල්පනය කරගන්නවා නම් ඒක "ගැමියෙකුගේ"ප්රකාශයක් ලෙස තවදුරටත් පිලිගන්න බැහැ නේද?එතකොට ඉස්සර ගැමියන් දාර්ශනික ප්රවාද නිර්මානය කලා කියන එක ඔප්පු කරන්න ඒ "නොදන්නා"ප්රකාශය යොදා ගැනීම අතාර්කික වෙනවා නේද?
2.ඉතිහාසය "මට ඕනෙ විදිහට"විස්තර කිරීම ගැන-අපි හැමෝම කරන්නෙ යමක් පිලිබද අපේ අදහස අපිට හැගෙන ආකාරය අනුව ප්රකාශ කිරීම.මේකට "ඉතිහාසය"වගේ පුලුල් සංකල්පයක් ඔබ ඈදා ගත්තේ ඇයි කියල මට පැහැදිලි නැහැ.ඉතිහාසය ගැන වුනත් ඔබ අදහස් දක්වන්නෙ ඔබට "දැනෙන/අවශ්‍ය"ආකාරයට සහ මම අදහස් දක්වන්නෙ මට "දැනෙන/අවශ්‍ය"ආකාරයට.ඔබට අවශ්‍ය ආකාරය පමනක් පිලිගන්නත් මට අවශ්‍ය විග්රහය "අනවශ්‍යයයි"කියල කියන්නත් කිසිවෙකුට අයිතියක් ඇත කියල මම සිතන්නෙ නැහැ.
මගේ අදහස මම නියතයක් ලෙස ඉදිරිපත් කොට නැති බව මගේ feedback එක සිහිබුද්ධියෙන් කියවන ඕනෙම අයෙක්ට වැටහෙනවා.-මෑතකදි නිර්මානය වුන ප්රකාශයක් කියායි "මට හිතෙන්නෙ"-
උද්ධෘත ඇතුලෙ -මට හිතෙන්නෙ-කියන යෙදුම දාල තියෙන්නෙ ඒක මගේ අදහස පමනක් බව දැක්වීමට.
3.අතීත ගැමියන් දාර්ශනික අරුතෙන් ප්රකාශ හැදුවා කියල මම සිතන් නැහැ කියල කීමේ පදනම මේකයි.
දෛනික ජීවිතයේදී මුහුන දෙන අත්දැකීම් වලට ප්‍රතික්රියා ලෙසයි ඔය වගේ ප්රකාශ බිහිවෙන්නෙ.ඒවා සරල හා ප්රාථමික ප්‍රතික්‍රියා විතරයි.අතීත ගැමියො විතරක් නෙමෙයි වර්තමාන නාගරිකයන් අතරෙත් ඔය වගේ දෛනික ප්රකාශ තියෙනවා.නිද-"අල වගේද ගෝවා"
මේවාට දාර්ශනික අර්ථකතන දෙන්නෙ ඒ ප්රකාශ හදන ක්රියාවලියට බාහිරින් ඉන්න "විද්වත්" පිරිස්.ක්රියාවලිය තුල ඉන්න අය තුල ඒ වගේ ගැඹුරු අදහස් නැහැ.මම කිව්ව වර්තමාන "පිරුලු"වල සම්භවය හා පැවැත්ම අධ්‍යනය කලොත් ඒක වැටහේවි.ජී.බී.සේනානායක මහත්තයාගේ කෙටිකතාවක් තියෙනවා.ඒකෙ චරිතයක් ලෙස ඉන්න ලේඛකයෙක් වාක්‍යයක් ලියනවා.වාක්‍යය තමයි-දැරිය ඝටය ගෙන ගගට ගියාය.ඝටය දියේ ගිලුන අතර දැරිය ඒ දෙස බලාගෙන සිටියාය-(මේ උපුටනයේ වචන එහා මෙහා විය හැකි නමුත් දල අදහස ඒ වගේ එකක්)
විචාරකයෝ මේ වාක්‍යයට එක එක සීරියස් අර්තකථන දෙන්න පුදුම මහන්සියක් දරනවා.ලේඛකයාගේ දාර්ශනික ගැඹුර ගැන ප්රශස්ති වයනවා.නමුත් ලේඛකයාම පසුව කියන විදිහට එයා මේ වාක්‍ය ලියල තියෙන්නෙ නිකම් වාක්‍යයක් විදිහට පමනයි.ලොකු අදහසක් හිතේ අහලකවත් තිබිල නැහැ.
ගැමියන්ගේ හෝ වෙනත් අයගේ පිරුලු වලට සීරියස් නිර්වචන දෙන්න යාමත් ඒ වගේ වැඩක් කියලයි මට හිතෙන්නෙ.
(හිතවත් පිස්සා වෙත-මෙතන අගට තියෙන "මට හිතෙන්නෙ"කියන කෑල්ල හොදට අවධාරනය කරගන්න.නැතිනම් මම නියමයන් ඉදිරිපත් කරනවා කියල ආයෙත් පිටු පුරවාවි)

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails