දැනුමයි - බුද්ධියයි

Wednesday, February 25, 2009
සියලුම දත්ත, සියලුම තොරතුරු දැනුම (knowledge) වේ. පුද්ගලයකුගේ නමක් දැනගැනීම, කෑමක රස/ සුවඳ දැනගැනීම, වාහන පැදවීමේ හැකියාව, ලිවීමේ හැකියාව පමණක් නොව සිටගෙන සිටීමේ හැකියාව, මිටියකින් ඇණයකට ගැසීමේ හැකියාවද දැනුමකි. අත්දැකීම් යනුද දැනුම වේ. අත්දැකීම් යනු යම්කිසි කාර්යයක් සිදු කිරීමේදී ඇතිවන ගැටළු, දුෂ්කරතා, ඒවා මැඩපවත්වන ආකාරය, එම කාර්යය කිරීමේ ක්‍රියාපිළිවෙල, එහිදී තමන්ගේ අත-පය, ඇස, අනෙක් සංවේදන, බුද්ධිය ආදිය සංයෝජනය කිරීමේ ආකාරය වැනි දැනුම වේ. (අත්දැකීම් යනු තවෙකෙකුට කියාදීමට අපහසු (බෝහෝවිට නොහැකි) දැනුමක් වේ. කිමද ශරීරාංග, සංවේදන, බුද්ධිය ආදිය සංයෝජනය කිරීම ඒ ඒ පුද්ගලයාට අනන්‍ය බැවිනි.) දැනුම සොයාගන්නා හෝ ලබාගන්නා දෙයක් නොව නිර්මාණය කරගන්නා දෙයකි. (ඉගෙනගැනීම යනු මෙයයි.) එමෙන්ම එක් එක් පුද්ගලයා සතු දැනුම ඒ ඒ පුද්ගලයාට අනන්‍ය වේ. උදාහරණයක් විධියට අයෙක් පොතක් කියවා සූර්යයා ගැන ඉගෙනගනියි. මෙහිදී සිදුවන්නේ ඔහු පොතේ ඇති වචන කියවා, රූප බලා සූර්යයා යනු මෙවන් දෙයක් යැයි ඔහුගේ මනස තුල දැනුමක් නිර්මාණය කරගනී. තවත් අයෙක් එයම කියවා නිර්මාණය කර ගන්නා දැනුම මුල් පුද්ගලයා නිර්මාණය කරගත් දැනුමට වෙනස් විය හැක හෝ ඒ හා සමාන විය හැක. සමාන වුවද එය එකක් නොව දෙකකි. පරිඝණක ජාලයක එක පරිඝණකයක ඇති තොරතුරක් අනෙක් පරිඝණක භාවිතා කරන ආකාරයට මිනිසුන් විෂයෙහි කල නොහැකියි. එනම් යම් පුද්ගලයකු තුල ඇති දැනුමක් තවකෙකුට භාවිතා කිරීමට අවශ්‍ය නම් ඔහු අනෙකාගෙන් එම දැනුම අසාගෙන එමගින් තමා තුල ඒ දැනුම තමා විසින්ම නිර්මාණය කරගත යුතුය. කටපාඩම් කිරීම ඉගෙනගැනීමක් නොව හුදෙක් ගබඩා කිරීමකි. (කෙසේ වුවත් තේරුම් ගැනිමකින් තොරව ගබඩා කරගත් දැනුමෙන් පවා ප්‍රයෝජන ගත හැක. නමුත් එහි ඵලදායී බව අඩුය.)
එමෙන්ම බුද්ධිය (intelligence) යනු දැනුම නිර්මාණය කිරීමේ, දැනුම හැසිරවීමේ හා සහජ ඉව ඇතුළුව යම් යම් දැනුම කොටස් ඉක්මවා යාමේ හැකියාවයි (The ability to create and manipulate knowledge and to override fragments of knowledge including instinct). වඩා සාධාරණ විධියට සලකන්නේ නම් සහජ ඉව යනුද දැනුමකි. එය මූලික පැවැත්ම (basic survival) සඳහා වන දැනුමකි. එය ඉක්මවා යාමට හැකිය යනු යම් අවස්ථාවකදී සමහර දැනුම කොටස් (වැදගත් යැයි සැලකිය හැකි දැනුම පවා) නොසලකාහැරීමේ (Ignore) හැකියාවයි. විශාල දර්ශනයක් දෙස බලා අපට අවශ්‍ය කොටස් පමණක් වෙන්කර ගැනීමට අපට හැකියාව ඇත්තේ එබැවිනි. මෙහිදී එක්තරා පරීක්ෂණයක් සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙහිදී බළල් පැටවුන් නහවන ලද ජලයෙන්ම මීයන් කීපදෙනෙකු නහවා බළල් පැටවුන්ගෙන් නිකුත් වන ගන්ධයම මීයන්ගෙන් නිකුත්වන ආකාරයට සකස් කර ඇත. ඉන්පසු උන් බැළලිය වෙතට යැවූ විට බැළලිය මීයන්ටද තම පැටවුන්ට මෙන් සලකා ඇත. බැළලිය මීයන්ව තම පැටවුන්ගෙන් වෙනස්ව දුටුවත් ඌ මෙසේ කරන්නේ තමන්ගේ සහජ ඉව ඉක්මවා යාමට තරම් බුද්ධියක් ඌට නොමැති නිසාය. (මේ නිසා සැබෑ කෘත්‍රීම බුද්ධියකට එච්. ජී. වේල්ස් මහතාගේ කෘතියක සඳහන් වී ඇති කෘත්‍රීම බුද්ධියක් සහිත රොබෝවන් සඳහා වන මූලික නීති 3 මෙන්ම අනෙක් ඕනෑම නීතීයක්ද ඉක්මවා යාමට හැකි විය යුතුය. නොඑසේනම් එය සැබෑ කෘත්‍රීම බුද්ධියක් නොවන්නේය.) එනම් යමෙකු නිර්මාණය කරගන්නා දැනුමෙහි සාර්ථකත්වය, විශ්වසනීයත්වය මෙන්ම යම් අවස්ථාවකට අවශ්‍ය දැනුම මතකයෙන් හා සංවේදන (ඇස, කණ, නාසය ආදී) වලින් ග්‍රහණය කරගැනීම හා ඒ ඒ අවස්ථාවට උචිත විධියට එම දැනුම හැසිරවීම ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම අනුව වෙනස් වේ.
(මෙහි දක්වා ඇත්තේ දැනුම හා බුද්ධිය යන සංකල්ප පිළිබඳ මගේ පෞද්ගලික අදහස් බව සලකන්න)

2 ක් වූ ප්‍රතිචාර:

මකබාස් said...

යාලුවා,
1. රොබෝවක් පිලිපැදිය යුතු මූලික නීති තුන නිර්මාණය කලේ issac asimov

2. ඔබ ඔය කියන එකිනෙකාට අනන්‍ය වූ දැනුම් generalise කල යුතුයි නේද? නැත්තං ඉතිං නලින් ද සිල්වා වගේ "මගේ ලෝකය" කිය කිය ඉන්න වෙනව නේද??

ජීවන්ත said...

ඇත්තටම කියනවා නම්,
1. issac asimov වැරදියට යෙදීම ගැන කණගාටු වෙනවා. ඒක අත්වැරැද්දක්.
2. මේකෙ දැනුමට generalise කරපු definition එකක් යොදල ඇති බවක් පේන්නෙ නැද්ද?
3. දැනුම අනන්‍ය බව වෙනම කතාවක්. ඒ උනාට මේ ලිපියෙන් ඒක ගැඹුරින් සාකච්ඡා කරලා නෑ. මේ ලිපියෙ අරමුණ දැනුමට හා බුද්ධියට general definitions මට තේරෙන විධියට ලබාදීමයි.

හිතෙන දෙයක් කියල යන්න. . .

Related Posts with Thumbnails